සෑම වසරකම මැදින් මස 08 වන දින වන විට බොහෝ දෙනාගේ කතාවට ලක්වන මාතෘකාවක් වන්නේ කාන්තාවයි. එයට හේතුව ලෝක කාන්තා දිනය සෑම වසරකම මැදින් මස 08 වැනි දිනට යෙදී තිබීම ය. එම දිනයට සමගාමීව දිනෙන් දින කාන්තාව පීඩාවට, ගැරහුමට ලක්වන සමාජයක සිටින පුරුෂයකු ලෙස හිඳිමින් කාන්තාව පිළිබඳව මම මෙම ලිපිය ලියමි.

සියවසකට අධික කාලයක් පටන් ලොව පුරා සිටින ජනතාව කාන්තාවන්ට සුවිශේෂී දිනයක් ලෙසින්  කාන්තා දිනය සමරයි. එක්සත් ජාතීන්ගේ පිළිගත් උත්සවයක් දක්වා මෙම කාන්තා දිනය ආරම්භ වූයේ කම්කරු ව්‍යාපාර හරහාය.එහි මූලාරම්භය සිදු වූයේ 1908 වසරේ දීය.ඒ කාන්තාවන් 15000ක් පමණ තමන්ගේ වැඩ කරන පැය ගණන අඩු කරන ලෙසත්, වඩා හොඳ වැටුපක් ලබා දෙන ලෙසත්. ඡන්ද අයිතිය දෙන ලෙසත් ඉල්ලමින් නිව්යෝක් නගරයේ පැවැත් වූ පාගමනක් හේතුවෙනි. ඉන් වසරකට පසුව පළමු ජාතික කාන්තා දිනය නම් කරන ලද්දේ අමෙරිකානු සමාජවාදී පක්ෂය විසිනි. 

1975 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් එය සැමරීමත් සමඟ  ඊට නිල පිළිගැනීමක් ලැබිණි. එම දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංගමය යෙදූ පළමු තේමා පාඨය වූයේ ,අතීතය සමරමින් අනාගතය සැලසුම් කරමින් සිටිමු, යන්න ය.සමාන ලොවක් යනු සක්‍රීය ලොවකි, යන්නය.එමගින් ඉල්ලා ඇත්තේ ස්ත්‍රී, පුරුෂ ලෙස භේද නෙසලකා සමාන ලෝකයක්  සඳහා ක්‍රියා කරන ලෙසය.

කෙසේ නමුත් මෙලෙස කාන්තාව වෙනුවෙන් වසරකට එක් දිනයක් පමණක් නම් කිරීම ම ඛේදවාචකයක් ලෙස දකිමි. එක් දිනයක් පමණක් කාන්තාව ගැන කතා කරමින්,ඇගෙන් සමාජයට,ලෝකයට සිදුවන සේවය අගයමින්, ඇය මුහුණ දෙන ගැටලු පීඩාවන් පිලිබඳ කතා කරමින් ඉතිරි දින 364 ම පාහේ ඇයව පෙළමින් පීඩාවට ලක් කරමින් කාන්තාවගේ ස්වාධීනත්වය නැති කරමින් සිටින සමාජයක වර්තමානයේ  අපි සිටිමු. එවැනි වාතාවරණයක් තුළ වසරකට එක්  දිනයක් පමණක් කාන්තාව ගැන කතා කර ඇයව අගය කර ඒ සියල්ල එදිනට ම පමණක් සීමා කිරීම හාස්‍යට කරුණකිෙ.

කාන්තාවට ඇයගේ නිදහස,ස්වාධීනත්වය හා මනුෂ්‍යයකු ලෙස ඇයට හිමි විය යුතු අයිතිවාසිකම් පවා අහිමි වූයේ අද ඊයේ නොවේ. කුමන හෝ හේතුවක් මත අතීතයේ සිටම කාන්තාවට දැඩි පීඩනයක් එල්ල වූ බවට ලෝක ඉතිහාසය සාක්ෂි දරයි. අතීතයේ ඉන්දියාවේ පැවති බමුණු සමාජ ක්‍රමය තුළ කාන්තාව දැඩි ලෙස පහතට ඇද දමමින් ඇයට හිරිහැර කරන්නට විය. එකල සමාජයේ කාන්තාව යනු පුරුෂයාගේ විනෝදාස්වාදය උදෙසා කළ නිර්‍මාණයක් ලෙස පිළිගැනුණි. බමුණු දහම තුළ කාන්තාවට තිබුණු ස්ථානය කුමක්ද යන්න පහත ශ්ලෝකයෙන් පැහැදිලි වේ.

,පිතා රක්ෂති කෞමාරේ

භාතා රක්ෂති කෞමාරේ

ස්ථවිරේ පුත්‍රා රක්ෂන්ති

ස්ත්‍රී ස්වතන්ත්‍රමර්‍හතී,

යනුවෙන් දක්වා ඇත්තේ ස්ත්‍රීය කුඩා කාලයේ පියා යටතේත්, තරුණ කාලයේ ස්වාමියා යටතේ ත්, මහළු වු පසු පිරිමි දරුවකු යටතේ ත් සිටිය යුතු බවත් ඇයට කිසි දිනෙක ස්වාධීන විමට ඉඩ නොදිය යුතු බවත්ය. නමුත් ක්‍රි.පූ 06 වන සියවසේ ලොව පහළ වූ බුදු රජාණන්වහන්සේ ඒ වැරදි මත සියල්ලම බැහැර කරමින් කාන්තාවට ලබා දිය යුතු නිදහස දියණියක්, බිරියක්, ගෘහණියක්, මවක්,උපාසිකාවක් හා භික්ෂුණියක් යන සෑම ආකාරයකින්ම ලබා දීමට කටයුතු කළ සේක.

නමුත් අවාසනාවකට මෙන් සති පූජාව කරමින් තම ස්වාමිය දැවෙන දර සෑයට බිරිය ද පැනිය යුතු යැයි ප්‍රකාශ කළ බමුණු දහමේ පදනම් විරහිත දර්‍ශනයන්ගේ නටඹුන් අද සමාජයේත් අඩු වැඩි වශයෙන් දැකිය හැකිය. එම නිසා නූතන සමාජයේ ජීවත් වන පුරුෂයකු ලෙස මෙවැනි අවිද්‍යාත්මකල හණමිට් අදහස් සමාජයෙන් අතුගා දැමිය යුතු යැයි තරයේ විශ්වාස කරමි. 

සිහිල් අදුනින් දෑස තවරන

මිහිරි වදනින් සවන් ගල්වන

අතීතය වත්මනට ගෙන එන

අරුම සුවදින් නහය පිනවන

යනුවෙන් මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍රයන් ,පේමතෝ ජායතී සොකෝ, නාට්‍යයේ කාන්තාව තම ස්වාමියා හා දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම කොතෙක් ද යන්න දක්වා ඇත. එලෙසම බටහිර කවියකු හා චින්තකයකු වන පාවුලෝ කොයිලෝ මෙසේ ප්‍රකාශ කර ඇත.

,මගේ මුළු ජීවිතයම පාලනය කරනු ලබන්නේ ස්ත්‍රීත්ව ශක්තියෙනි.එනම් සත්‍රීන් විසින් ස්ත්‍රීත්වය යනු කුමක්දැයි මැනවින් වටහා ගන්නා තුරු මම දයානුකම්පාව යනු කුමක්දැයි නොදැන සිටියෙමි, 

බහුතර සමාජයම අමතක කර ඇති, අමතක වී ඇති කටුක සත්‍ය මෙයය. ලෝකය පවතින්නේ කාන්තාව නිසාය. පුද්ගලයකු කාන්තාවක් නිසා මෙලොව එලිය දකිනවා සේම පෝෂණය වන්නේ ද කාන්තාව නිසා ය. නමුත් එම උත්තරීතර කාන්තාවම මේ වන විට පීඩාවට පත්කරන සමාජයක් ඇති වීම කනගාටුදායක සිදු වීමකි. අද වන විට කාන්තාවකට තනියම මහමඟ යෑමට නොහැකි තරමට ම කාන්තාව අසරණ වී ඇත්තේ කාන්තා දිනය මහ ඉහළින් කතා කරන, සමරන සමාජයේමය. මාර්ගයේ  පමණක් නොව පොදු ප්‍රවාහන සේවයේ දී, සේවා ස්ථානයේ දී, පාසලේ දී ආදී සෑම තැනකම කාන්තාව වයස භේදයකින් තොරවම අසරණ වන අවස්ථා සුලභ ය.

දිනෙන් දින අපට විද්‍යුත් මාධ්‍යයේ, මුද්‍රිත මාධ්‍යයේ අසන්නට දකින්නට ලැබෙන්නේ බොහෝ විට කාන්තා හිංසන, ස්ත්‍රී දූෂණ ආදියයි. එසේම අද වන විට ලංකාව මෙම කාන්තා හිංසන, දූෂණ ආදියෙන් ඉතා ඉහළ මට්ටමක සිටී. කාන්තාවන් මුහුණ දෙන හිංසනයන් වාර්තා  වීම දිනෙන් දින ඉහළ යයි. ඒ අතර වාර්තා නොවන සිද්ධීන් බහුලය. ඒ අනුව බලන විට කාන්තාව බමුණු සමාජයේ පමණක් නොව දියුණු සමාජයේ ද කොතරම් පීඩාවකට ලක් වන්නේ ද යන්න පැහැදිලිය.

එලෙසම කාන්තාවකගෙන් සමස්ත සමාජයට මෙන්ම ලෝකයට ජීවීන් බිහි කිරීම හැර ඔවුන්ගෙන් සිදුවන සේවය අමිලය. ඔවුන් කරනා  කැප කිරීම් ප්‍රමාණය අනන්තය.කාන්තාව යනු සම්පතකි.එහෙයින් අප කාන්තාව රැක ගැනීමට කටයුතු කළ යුතුය. ඇයට නිසි තැන ලබා දෙමින් ඇයට අවශ්‍ය ගමන් යාමට උදව් උපකාර කළ යුතු ය. විශේෂයෙන්ම කාන්තාව තම මව, සහෝදරිය,බිරිය ,දියණිය කවුරුන් හෝ වේවා ඇයට ගරු කළ යුතු ය. කාන්තාවට ගරු කරන තැන නියම පිරිමියෙක් නිර්මාණය  වේ. එලෙසම කාන්තාවට ගරු කරන තැන කාන්තාව සුරක්ෂිතය. එවිට නැවත ඇය රැකීමට වෙනත් නීති අවැසි නැත.ඇය වෙනුවෙන් ඇයට වන හිංසාවන් පිළිබදව කතා කිරීමට සිදු නොවනු ඇත. ජීවිත කාලය පුරාම කැප කිරීම් කරන, ජීවිත කාලය පුරාම විවිධ දුක් ගැහැට ඉවසන, විවිධ පීඩාවන්ට ලක්වන ඇය වෙනුවෙන් කතා කිරීමට එක් දිනයක් අවැසි නොවනු ඇත.එසේ නම් අප කළ යුත්තේ කාන්තාවට ගරු කරන පරම්පරාවක් ගොඩ නැගීමයි. ඒ සදහා සියල්ලෝම දායක විය යුතුය.

ටී.ඒ.මධුෂ ලක්ෂාන්

ශාස්ත්‍රවේදී ගෞරව පළමු වසර

ජනසන්නිවේදන අධ්‍යන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය