වර්තමානයේ අප සැම පසු කරමින් සිටින්නේ  ඉතා දුෂ්කර කාල සීමාවක් බව ලොකු කුඩා අප  හැමෝම දන්නා  කාරණාවක්. රටේ පවතින ආර්ථික, දේශපාලන අස්ථාවරත්වය තුළ දැඩි පීඩනකාරී වාතාවරණයක් හමුවේ මිනිසුන් තම ජීවිකාව ගෙන යන්නේ අපහසුතා රැසක් මැද.  අනාගතය පිළිබඳ සේයාවක්‌ හෝ මවන්නට ළමා, තරුණ, වැඩිහිටි මේ සැමට ඇත්තේ උදාසීනත්වයක්,ඉච්ඡාභංගත්වයක්.  රටේ යාන්ත්‍රණයේ පවතින මන්දගාමීත්වය සහ අකාර්යක්ෂමතාව හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා, අධ්‍යාපන, සෞඛ්‍ය හා ප්‍රවාහන ආදී මෙකී නොකී සියළු ක්ෂේත්‍රයන්හි බරපතළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී හමාර යි. මේ තත්ත්වයන් තුළ  පෙර මෙන් සුමටව තම ජීවිකාව ඉදිරියට ගෙන යාමට සාමාන්‍ය ජනතාවට හැකියාවක් නැහැ.  අතේ මිටේ  මුදල් තිබෙන අයට පවා මෙම පවතින උද්ධමනයත් සමඟ ඇති ව තිබෙන ආහාර, ගෑස්, ඉන්ධන හිඟතාව නිසා දවස් ගණන් සති ගණන් මහපාරේ දුක් විඳින්නට සිදු වෙලා.

මේ පරිසරය තුළ මිනිසුන් සෞඛ්‍යමය  හා මානසික වශයෙන් ද  රෝගාතුර වී ඇති බව පැහැදිලිව පෙනෙන දෙයක් . සෞඛ්‍යමය ගැටලු හමුවේ කිහිප දෙනකුම  තෙල් පෝලිම්වල මියගිය ආකාරයක් අපට දකින්නට ලැබුණා. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්වල සුළු ආරවුල් දුරදිග ගොස් මිනිසුන්ම කාකොටා ගනිමින් ජීවිත හානි සිදු කර ගන්නවා. මේ අතර අනුන්ගේ දේ කඩා වඩා ගන්නවුන්ගේ ප්‍රතිශතයද ඉහළ යමින් තිබෙනවා. සොරුන්, මංකොල්ලකාරයන් වැඩිවෙලා. මේ අතරේ ඇතැම් කළුකඩකරුවන් අව්‍යාජ භාණ්ඩ, ඉන්ධන ආදියට මිනිසුන් රවටා ඔවුන් අසීරුවෙන් උපයා ගත් සොච්චම් මුදලත් පැහැර ගැනීමට තරම් නොමිනිසුන් බවට පත්වෙලා . ඖෂධ හිඟය නිසා බල්ලෙක් පූසෙක් සපා කෑවත් බෙහෙත් නැහැ.  හදිසි රෝගියෙක් නිසි වේලාවට රෝහලට ගෙන යෑමට  හැකියාවක් නැත්තේ ඉන්ධන  ප්‍රශ්නය නිසා.නමුත්  දිගින් දිගටම මෙලෙස පීඩාවට පත්වන්නන් පිළිබඳ ඇසෙන ප්‍රවෘත්ති දැන් සාමාන්‍යකරණයට ලක්වී ඇති බවක් පේන්නට තිබෙනවා.නමුත්   වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ ,  මේ සමාජ පරිසරය හමුවේ මිනිසුන් තුළ ආත්මාර්ථකාමීත්වයක්  ගොඩනැගී ඇති බැවින්  මැරෙන්නට වැටී සිටින පුද්ගලයකු පවා  බේරා ගැනීමට ඉදිරිපත් නොවීමයි. දිනෙන් දින මෙලෙස හීන වෙමින් යන්නේ මනුෂ්‍යත්වය සහ ජීවිතවල වටිනාකම නොවේ ද? මෙම මොහොතේදී ශ්‍රී ලාංකීය පුරවැසියෙක් ලෙස සැවොම අවබෝධ කර ගත යුතු යමක් තියෙනවා. එනම් මෙම අසීරු තත්ත්වය තුළ තමා සේම අනෙකාද පීඩා විඳින බවයි. අද අනෙකාට උරුමවන ඉරණම හෙට තමාට ද උරුම වීමට ඉඩ ඇති බවයි. එලෙස සිතීමට සිත දියුණු කළහොත් පවතින මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නට, ජීවිතයක් නැති වී යනතුරු ඇස්කන් පියා බලා සිටීමට, තවත් අහිංසකයෙකුගේ දෙයක් උදුරා ගැනීමට, තමා සමඟම පෝලිමේ දුක්විඳින තවත් මිනිසෙක් හා ගැටුම් ඇති කර ගෙන ඔවුන්ට හානි කරන්නට ඔබට නොසිතෙන්නට පුළුවන්. ජීවත් වීම අසීරු වන විට  මිනිසුන් වශයෙන් අප තවත් තවත් ශක්තිමත් විය යුතු යි. රට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට සිදුකරනු ලබන අරගලය අතරතුර, භෞතික සම්පත් වෙනුවෙන් මනුෂ්‍යත්වය හා තම හෘද සාක්ෂිය පාවා නොදීමට වග බලා ගත යුතුයි.  එසේ නො සිතුවොත්, නො කළහොත් රටක් ලෙස ස්ථාවරත්වයකට එන විට තමන්ට තමන්වත් අහිමිවී ගොස් තිබෙන්නට පුළුවන්.

මෙවැනි සමාජ පරිසරයකදී  අවශ්‍ය වන්නේ  පංතිභේදයකින් තොරව සියළු දෙනාම තම මානසික තත්ත්වය හොඳින් පවත්වා ගැනීමට උත්සහ කිරීමයි. වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික  අර්බුදයේ බලපෑම රටේ සියල්ලන්ටම කුමනාකාරයෙන් හෝ බලපායි. එනිසා කෙතරම් ප්‍රශ්න පීඩන තිබුණද තමන්ගේ පවුලේ අය සමඟ  දවසට පොඩි වේලාවක් හෝ එකට හිඳ කතා බස්කොට, විසුළුවක් කර සිනා සීමට අමතක නොකරන්න. එතුළින් පවුලේ සියල්ලන්ටම ඇති මානසික පීඩාකාරී තත්ත්වයන් සඳහා සුළු හෝ විරාමයක් ලබා ගැනීමට පුළුවන්.. භාර්යාවන් ලෙස කාන්තාවටද මේ අවස්ථාවේ දී පැවරෙන වගකීම අතිමහත්. නිවෙසේ තිබෙන සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කරනවා වගේම  ස්වාමිපුරුෂයාගේ මානසික මට්ටම හොඳින් පවත්වා ගැනීමට ඔහුට උපකාර විය යුතු යි. නිවෙසින්  පිට ඇති ඒ පීඩාකාරී තත්ත්වයන් නිවෙස  තුළදී  හැකි උපරිමයෙන් අවම කර ගැනීමට  ඔහුට සහාය විය යුතු යි. එසේ ම  ඔබට තිබෙන පීඩනය දරුවන්ට සම්ප්‍රේෂණය වීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමටත්  කටයුතු කළ හැකියි. 

ලද දෙයින් සතුටු වෙමින් තමන්ට  හැකි පමණින් අසරණයන්ට, අසල්වාසීන්ට උපකාර කිරීමට අමතක නොකරන්න. මන්ද මේ අප එකිනෙකාට උදව් කරගත යුතුම කාලයයි. හැකිතරම් උදව් අවශ්‍ය අය පිළිබඳ සැලකිලිමත් වෙමින්, තමන්ට උපකාර කළ නොහැකි වුවත්, උපකාර කළ හැකි අයකු වෙත හෝ ඔවුන් සම්බන්ධ කරවීමට  කාරුණික වන්න. තමන්ට අසීරුතාවක් ඇත්නම් තව කෙනෙකුට එය පැවසීමට, උදව් ලබා ගැනීමට මැළි    නොවන්න. එසේ නොකර තම ජීවිතය අර්බුද හමුවේ විනාශ කිරීමට තරම් දුර්වලයෙකු නොවන්න. ප්‍රශ්න නැති කාලයේදී මෙන්ම ප්‍රශ්න ඇති කාලයේදීත් ජීවිතවල වටිනාකම නොවෙනස්වන බව මතක තබා ගන්න. එවිට අප විසින් අරගල කර අසීරුවෙන් නිර්මාණය කර ගන්නා රටේ හෙට දවස තුළ හෘද සාක්ෂියට එකඟව සතුටින් සිනා සීමට ඔබටත් හැකිවනු ඇත.



රෙෂිනි අනුරාධා

විශේෂවේදී දෙවන වසර

ජන සන්නිවේදන අධ්‍යනාංශය

සමාජ විද්‍යාපීඨය