ශ්‍රී ලාංකේය සංස්කෘතිය විවිධ ය, එය විචිත්‍ර ය. එකී විචිත්‍රත්වය උදෙසා දේශීය නර්තන කලාවෙන් ලැබෙන්නා වූ  දායකත්වය ද ඉමහත් ය. උඩරට, පහතරට හා සබරගමු වශයෙන් දේශීය නර්තන සම්ප්‍රදාය ත්‍රිත්වයකි. එක් එක් නර්තන සම්ප්‍රදායන්ට ආවේනික වූ, අනන්‍ය වූ ලක්ෂණ මත පදනම්ව මෙම සම්ප්‍රදාය ත්‍රිත්වය බිහිව ඇත. මේ අතරින් උඩරට  නර්තන සම්ප්‍රදාය මහනුවර, සත් කෝරළය, සතර කෝරළය යන ප්‍රදේශයන්හි ද පහතරට නර්තන සම්ප්‍රදාය මාතර, බෙන්තර සහ රයිගම යන ප්‍රදේශයන්හි ද සබරගමු නර්තන සම්ප්‍රදාය රත්නපුර, කලවාන, බළන්ගොඩ හා ඌව යන ප්‍රදේශයන්හි ද ව්‍යාප්ත ව පවතී. මෙකී සම්ප්‍රදායන් ත්‍රයේම “කලඑළි මංගල්‍යය” නම් වූ සංස්කෘතික උත්සවයක් පවති. 

   

කලඑළි මංගල්‍යයක දී සිදුවනුයේ නර්තන හා වාදන කලාව අරඹන ආධුනිකයකු එම විෂය මැනවින් ප්‍රගුණ කළ පසු ඔහු හෝ ඇය නර්තන ශිල්පියකු හෝ වශයෙන් සමාජගත කිරීම ය. නර්තන ශිල්පියකු, නම් සුභ මුහුර්තයට අනුව ශීර්ෂාභරණ පැළඳීම ද වාදන ශිල්පියකු ශිල්පිනියක නම් සුභ මුහුර්තයට අනුව තමා ප්‍රගුණ කළ වාද්‍ය භාණ්ඩය තම ගුරුවරයා ලවා ඉණ බැඳීම ද සිදු කරයි. ඉන් අනතුරු ව තම ගුරු දෙමාපිය ආශිර්වාදය මධ්‍යයෙහි තත් විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් අභිමුව ශිල්ප දැක්වීම සිදු වේ. ඉන් අනතුරු ව ඔහුට හෝ ඇයට තමා උගත් ශිල්පය තනිව කරගෙන යාමට අවකාශය සැලසෙන්නේ ය.

උඩරට නර්තන සම්ප්‍රදායේ මෙකී සංස්කෘතික උත්සවය “වෙස් මංගල්‍යය” ලෙස ද පහතරට නර්තන සම්ප්‍රදායේ “මඩු බැසීම” ලෙසද සබරගමු නර්තන සම්ප්‍රදායේ “ගුරු වරම්දීම” ලෙස ද ව්‍යවහාර වේ. නර්තන සම්ප්‍රදායානුකූල ව මෙම මංගල්‍යය විවිධ නම්වලින් හැඳින්වුව ද සිදුවනුයේ එකම ක්‍රියාවලියකි. අන්තර්ගතමය වශයෙන් සාම්‍ය ක්‍රියාපටිපාටියකි.

උඩරට  සම්ප්‍රදාය තුළ මෙකී මංගල්‍යය වෙස් මංගල්‍යය වශයෙන් ව්‍යවහාර වනුයේ ඔවුන්ගේ ඇඟ පළඳින ප්‍රධාන ඇඳුම් ආයිත්තම වන “වෙස් ඇඳුම් කට්ටලය” සුභ මුහුර්තයට අනුව පළඳවන හෙයිනි. පහතරට සම්ප්‍රදාය තුළ මෙකී මංගල්‍යය “මඩු බැසීම” නමින් හඳුන්වනුයේ එකී සම්ප්‍රදායේ අන්තර්ගත ශාන්තිකර්මයන්හි නාම ව්‍යවහාරය වන බව කිව හැකිය. මෙම සම්ප්‍රදායේ ගම්මඩු, දෙවොල් මඩු, පූනා මඩු යනාදී වශයෙන් සමාජ ව්‍යවහාරයේ පවතින නිසා උක්ත නාම භාවිත වන්නට ඇත. සබරගමු නර්තන සම්ප්‍රදායේ මෙම මංගල්‍යය “ගුරු වරම් මංගල්‍යය” ලෙස හැඳින්වීමට මූලික වශයෙන් එකල පැවති ගුරු-ගෝල සම්ප්‍රදාය හේතු විණැයි කිව හැකිය. එනම් ගුරුවරයාගෙන් වරම් ගෙන කලඑළි බැසිය යුතුය යන ආප්ත වදන තරයේ අනුමත කළ බවයි. සබරගමු නර්තන ශිල්පීන් සතු “ඇදුරු කලඑළි බැසීම” නම් පද්‍යාවලියෙන් ද මේ බව ප්‍රකට වේ. 

එය මෙසේ ය.

ගුරු වරම් ලැබ          ගෙන 

සබයෙන් වරම්        ගනිමින  

සිව් වරම්            බලයෙන 

බසී ඇදුරා වරම්       ගනිමින 

මෙකී කාව්‍ය ප්‍රබන්ධයෙන් පසු කාලීන ව සමාජ විඥානය තුළට කාවදින්නට ඇතැයි කිව හැකිය.  මෙකී පද්‍යයේ “ගුරුවරම් ලැබගෙන” යනුවෙන් සඳහන් ව තිබෙන හෙයින් යථෝක්ත ව අප සඳහන් කළ කරුණ එයින් සනාථ වේ. අනෙක් පසින් සබයට පැමිණ සිටින අයවලුන් (දෙමව්පියන් ඇතුළු පිරිස) හා සියලු ම දෙවියන්ගේ ආශිර්වාදය මධ්‍යයේ කලඑළි බසින  බව තවදුරටත් තහවුරු වේ. 

වත්මනෙහි සෙසු නර්තන සම්ප්‍රදායන්ට සාපේක්ෂ ව සබරගමු නර්තන සම්ප්‍රදායේ නර්තන හා වාදන ශිල්පීන්ගේ හිඟ බවක් දැකිය හැකිය. එය සාම්ප්‍රදායික සබරගමු නර්තනයේ  සුරක්ෂිතභාවය හීන වීමට එල්ල වන මහත් බලපෑමකි. එම නිසා එය සාම්ප්‍රදායික නර්තනයේ සුරක්ෂිතභාවය හීන වීමට එල්ල වන මහත් බලපෑමකි. නූතන සමාජ සංස්කෘතික පරිස්ථිතීන්ට අනුව බොහෝ තරුණ තරුණියෝ ජනප්‍රිය සංස්කෘතිය පසුපස හඹා යමින් එම පරිස්ථිතීන්ට අනුව නර්තන හා රංගන කටයුතුවල නිරත වෙයි. මෙකී හේතූන් මත ලක්දිව ඉපැරණි නර්තන කලාවන් වියැකී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. එකී කලාවන් වියැකී යාමට නොදී රැක ගැනීම ඉතා වැදගත් වේ. සබරගමු නර්තන සම්ප්‍රදායේ ගුරුවරම් මංගල්‍යයක සිදුවන චාරිත්‍ර සටහනක් මතු දක්වා ඇත. 

ගුරුවරම් මංගල්‍යයට පෙර දින උදයේ චාරිත්‍ර

රංග භූමිය ඉදිකිරීම.

කලඑළි මංගල්‍යය උදෙසා තෝරා ගත් භූමියේ සීමා ලකුණු කර සුභ මුහුර්තයට අනුව විෂ්ණු, සමන්, පත්තිනි, කතරගමල නාථ හා ගම්භාර යන දෙවිවරුන් උදෙසා මල් යහන් ඉදි කිරීම.

ගුරුවරම් මංගල්‍යයට පෙර දින සවස චාරිත්‍ර :ආධුනික ශිල්පීන්, ශිල්පිනියන් ගේ රංග වස්ත්‍ර (හඟල) හා ශීර්ෂාභරණ පේ කිරීමට අදාල චාරිත්‍ර*

දේව ආරාධනය

විෂ්ණු, සමන්, පත්තිනි, කතරගම, නාථ හා ගම්භාර යන දෙවි දේවතාවුන් උදෙසා පහන් දල්වා එම දෙවිවරුන්ට අයත් ස්තෝත්‍ර ගායනා කරමින් දේව ආරාධනා කිරීම.

දළුමුර පිදීම

දේව ආරාධනයෙන් පසු දළුමුර පිදීම සිදු වේ. යහන් මස්ථක වූ දෙවිවරුන්ට දළුමුර දී පිළිගැනීමක් ලෙස මෙම නර්තනය අර්ථ දැක්විය හැක. සබරගමු නර්තන සම්ප්‍රදායට ආවේණික වූ ශාස්ත්‍රීය නර්තනයකින් මෙම දළු මුර පිදීම රඟ දැක්වේ. සුදු පිරුවටයක් මත තබා ගත් බුලත් අතක්, පඬුරු හා පුවක් මලක් මේ සඳහා යොදා ගැනේ.

මංගල දවුල් වාදනය 

මල් යහනට ආරාධනා කරාවූ දෙවිවරුන් හට පූජා පිණිස මඟුල් බෙර වාදනය කිරීම මීළගට සිදු වේ. සබරගමු නර්තන සම්ප්‍රදායට අයත් ප්‍රධාන අවනද්ධ වාද්‍ය භාණ්ඩය වන දවුලෙන් මඟුල් බෙර වාදනය සිදු වන අතර වාදන ශිල්පීහු සියලු දෙනා මේ සඳහා සහභාගී වෙති.

මඬු බැසීම

මෙය සබරගමු නර්තන සම්ප්‍රදායේ දේව ශාන්තිකර්මයන්හි අන්තර්ගත නර්තනයකි. ආධුනික ශිල්පීන්, ශිල්පිනියන් ගේ රංග වස්ත්‍ර හා ශීර්ෂාභරණ පේ කිරීමට උදෙසා සහභාගී වන සියලුම  නර්තන ශිල්පීහු මෙම නර්තනය සඳහා සහභාගී වෙති. නර්තන ශිල්පීන් ප්‍රථමයෙන් රඟ මඬලට ප්‍රවිෂ්ට වනුයේ මෙම නර්තනයෙන් ය.

කෝල් පාඩුව, මුදුන් තාලය, යහන් දැක්ම 

මඬු බැසීමෙන් අනතුරු ව කෝල් පාඩුව නම් නර්තනය ඉදිරිපත් කෙරේ. මෙම නර්තනයේ දී විවිධ තිත් රූපයන්ට අදාළ ව ගායනයන් ඉදිරිපත් නොවේ. මෙහි දී ගායනය කෙරෙනුයේ  අනාඝාත්මකව ගැයෙන කෙටි කවි ගායනා පමණි. මුදුන් තාලය නම් නර්තනය ද ගායනා රහිත නර්තනයකි. යහන් දැක්ම නම් නර්තනයේ දී ද කෙටි කවි ගායනා පමණක් භාවිත වේ. සබරගමු නර්තනයට ආවේණික වූ චලන රිද්ම රටා ලක්ෂණ ඉතා හොඳින් ප්‍රකට කෙරෙන මෙකී නර්තනයන් දෙවියන් තුටු කිරීමට ඉදිරිපත් කරන නර්තන බව මෙකී නර්තනයන්ට අයත් පද්‍ය විමර්ශනයේ දී පැහැදිලි වේ.

හත් පද පෙළපාලිය

පූජා භාණ්ඩ යැයි සම්මත කරගත් භාණ්ඩ රැගෙන ශාන්තිකර්ම අවස්ථාවන්හි මෙම නර්තන ඉදිරිපත් කෙරේ. හත් පද පෙළපාලිය ලෙස පොදුවේ මෙම නර්තනයන් හැඳින්වුව ද සබරගමු නර්තන සම්ප්‍රදායට අයත් ශෛලීන්හි මෙම පූජා භාණ්ඩ සංඛ්‍යාත්මක ව වෙනස් වන බව දක්නට ඇත. සබරගමු නර්තන සම්ප්‍රදායේ රත්නපුර ශෛලියේ පාලි සතක් ද, බළන්ගොඩ ශෛලියේ පාලි නවයක් ද, කලවාන ශෛලියේ පාලි නවයක් ද, ඌව ශෛලියේ පාලි සොළොසක් ද ඇතුළත් වේ. 

මල් යහන් කීම

දෙවිවරුන් උදෙසා මල්  යහන් කවි ගායනා කිරීම මීළඟට සිදු වේ. විෂ්ණු, සමන්, කතරගම, නාථ, පත්තිනි හා ගම්භාර යන මෙකී දෙවිවරුන්ගේ ස්වරූප, උපත් කතා හා ජීවන කතාවන්හි ඇතුළත් සුවිශේෂ අවස්ථා මූලාශ්‍රය මෙම කර පද්‍යවලි රචනා වී ඇත.

හඟල් උපත ගායනා කිරීම

පහන් මඩු ශාන්තිකර්මය බිහිවීමට මූලික වූ කතා පුවත විස්තර කෙරෙන මහ මඬු පුරය නම් පද්‍යාවලියේ මෙම හඟල් උපත සිදු වූ අයුරු ද විස්තර වේ. සේරමානන් රජුට වූ උපද්‍රාව, එම උපද්‍රාව සුව කිරීම උදෙසා භාරතයෙන් බමුණන් ලක්දිවට පැමිණි අයුරු, ශාන්තිකර්මය සිදු කිරීම උදෙසා නර්තන ශිල්පීන් ශිල්පිනියන් තෝරාගත් අයුරු හා එම නර්තන ශිල්පීන් ශිල්පිනියන් උදෙසා යොදාගත් රංග වස්ත්‍ර පිළිබඳ පූර්ණ විස්තරයක් මෙහි අන්තර්ගත ය. එම රංග වස්ත්‍ර පිළිබඳ විස්තර වන පද්‍ය ගායනා කිරීම මෙම පූර්ව චාරිත්‍ර අවස්ථාවන්හි සිදු කෙරේ. 

සෙත් කියමන් කීම 

හඟල් උපත් කවි ගායනයෙන් අනතුරු ව සිදු කරනුයේ සිරස පාද කවි ගායනා කරමින් ආධුනික ශිල්පීන් හට ආශිර්වාද කිරීම ය. මෙම චාරිත්‍රයෙන් පසු පෙර දින චාරිත්‍ර අවසන් වේ.

ගුරුවරම් මංගල්‍යය දින චාරිත්‍රආධුනික ශිල්පීන් ස්නානය කිරීම

  • ඇඳුම් ආයිත්තම්වලින් සැරසීම
  • සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුභ මුහුර්තයට අනුව ශිර්ෂාභරණ පැළඳීම
  • වාදන ශිල්පීන්හට සුභ මුහුර්තයට අනුව දවුල් ඉණ බැඳීම හා දවුල වාදනය කිරීමට උපයෝගී කර ගන්නා  කඩිප්පු ඔවුන්ගේ දෑතට ලබා දීම
  • ආධුනික ශිල්පීන් වහන්තරා වකින් වසා රඟ මඬල වෙත රැගෙන යාම
  • සිංහල ජන සමාජයේ සුභ යැයි සම්මත කිරි ගසක් දෙස හා කිරි එල දෙනක් දෙස බැලීම 
  • වස් ඇරීම සඳහා ආධුනික ශිල්පියා තම අත ඇති පැන් කලය බිද දැමීම
  • ආධුනික ශිල්පියා කැඩපතකින් තම මුහුණ බැලීම හා වහන්තරා ඉවත් කිරීම
  • යහන් පහන් ආලෝකනය හා දේව ආරාධනා කිරීම, භූම දේවියහට නමස්කාර හා සන්න ගායනා කිරීම
  • දෙමාපිය ගුරු වන්දනය
  • ආධුනික වාදන ශිල්පීන් නමස්කාර ස්තෝත්‍ර හා මඟුල් බෙර උපත් කවි ගායනා කර මඟුල් බෙර වාදනය කිරීම
  • ආධුනික නර්තන ශිල්පී ශිල්පිනියන් තම ප්‍රථම මංගල නර්තනය ඉදිරිපත් කිරීම
  • ගරා යක් ශාන්තිකර්මය පවත්වා අධුනික ශිල්පීන්ට සෙත් කිරීම
  • ඇස්වහ කටවහ දෝෂ සමනයට දෙහි කැපීම
  • සෙත් කවි ගායනා කර කලඑළි මංගල්‍යය හමාර කිරීම

ඉහත දක්වා ඇත්තේ ගුරුවරම් මංගල්‍යයට ප්‍රථම දිනයේ සිදු කරන චාරිත්‍ර හා ගුරුවරම් මංගල්‍යය දින සිදු කෙරෙන චාරිත්‍ර රටාව වේ. ලාංකේය සංස්කෘතියට අයත් ඉපැරණි හර පද්ධතීන් වියැකී යන සමයක මෙවැනි විරල වූ චාරිත්‍ර වාරිත්‍ර, ආචාරධර්ම රැකගෙන මතු පරපුරට දායද කිරීම ඉතාමත් වැදගත් වන්නේ ය. දේශීය සංස්කෘතික හරයන් අප ආරක්ෂා කර ගතහොත් අපගේ අනන්‍යතාවය ලොවට හඬ ගා කීමට අපට හැකි වන්නේ ය. 

 

සහකාර කථිකාචාර්ය රමිත් චන්ද්‍රසේකර

දෘශ්‍ය කලා සැළසුම්කරණය හා ප්‍රාසාංගික කලා ඒකකය

 

ලලිත කලා අධ්‍යයනාංශය