‘තෙයියම්’ යනු මලයාලම් භාෂාවෙන් දෙවියන් හැදින්වීම උදෙසා යෙදෙන පර්යාය නාමයකි. දෛවම් යන නාමයෙන් මෙම තෙයියම් යන්න ව්‍යවහාරයට පැමිණි බව විද්වත් මතය යි. මෙම අභිචාරය තෙයියාට්ටම් යනුවෙන් ද හැඳින්වේ. උතුරු කේරළයේ කොළතුනාඩු, කන්නූර්, වයනාද්, මනන්තවාඞී, තලූක් යන ප‍්‍රදේශයන්හි මෙම වන්දනය ව්‍යාප්ත ව ඇත. මෙම තෙයියා කෝලම් හාරසිය පනහක් පමණ ඇති අතර ඉන් එකසිය දොළහක් වත්මනෙහි ඉතා ප‍්‍රසිද්ධ ය. දෙවිවරුන් ලෙස සමාරෝපණය වන්නා වූ රංගන ශිල්පීහු විසින් එම දෙවිවරුන් පින්වීම උදෙසා සිදුකරන අභිචාරාත්මක රංග ශෛලියක් ලෙස මෙම තෙයියම් සරලව හඳුන්වා දිය හැකිය. අතීතයේ පටන් කේරළයේ පැවැති භූත වන්දනා, මුතුන්මිත්තන් වන්දනා, වෘක්ෂ වන්දනා, සත්ත්ව වන්දනා, සර්ප වන්දනා, ග්‍රාම දේවතා වන්දනා ද මෙම තෙයියම් විකාශනයට මූලික වී ඇත. 

 මෙම තෙයියම් රංගනයන් ඉදිරිපත් වනුයේ දේවාල ඉදිරිපිට ය. දෙවියන් ලෙස සමාරෝපණය වන නර්තන ශිල්පියා මෙම අභිචාරයට පැය විසි හතරකට පෙර සිට දේවාල පරිශ‍්‍රයේ වාසය කළ යුතුය. මෙම අභිචාරය උදෙසා වේශ නිරූපණය කටයුතු සිදු කිරීමට විශේෂිත වූ වේශ නිරූපණ ශිල්පීන් ද සිටී. තෙයියම් හි පළමු රංගනය හඳුන්වන්නේ වෙල්ලට්ටම් ලෙසිනි. එය නිසි වේශ නිරූපණයකින් හෝ කිසිදු අලංකාර ඇඳුමකින් තොරව සිදු කෙරේ. මෙම අවස්ථාවේ දී නර්තන ශිල්පියා කුඩා, රතු හිස් ආවරණයක් පමණක් පැළඳ සිටී. මෙහි දී නර්තන ශිල්පියා සමඟ සිටින බෙර වාදකයින් ද විශේෂිත වූ ගී ගායන ඉදිරිපත් කරයි. මෙහි දී චෙන්ඩා, එලතාලම්, කුරුම් කුසල්, වීක්කු චෙන්ඩා වැනි සාම්ප‍්‍රදායික වාද්‍ය භාණ්ඩ වාදනය කෙරේ. එම ගීතයන්හි දෙවිවරුන් පිළිබඳ විස්තර වේ. මේ සමඟ සංගීත භාණ්ඩ ද වාදනය වේ. මෙම මූලික චාරිත‍්‍ර කොටස අවසන් කිරීමෙන් පසු නර්තන ශිල්පියා නැවත නේපත්‍යාගාරය වෙත පැමිණේ. කෙටි විරාමයකින් පසු ඔහු නිසි වේශ නිරූපණ සහ ඇඳුම් පැළඳුම් සමඟ තම රංගන ඉදිරිපත් කරයි. තෙයියම්හි රංගන ශිල්පීහු දෙවිවරුන් ලෙස සමාරෝපණය වීමේදී වෙස් මුහුණු සහ මුහුණේ විවිධ රටා පින්තාරු කිරීම සිදු කරයි. වයිරදෙලම්, කත්තරම්, කොශිපුෂ්පම්, කොටුම්පුරිකම් සහ ප්‍රක්කෙජුතු යනුවෙන් පින්තාරු රටා කිහිපයකි. මුහුණු පින්තාරු කිරීම සඳහා බොහෝ විට ප්‍රාථමික සහ ද්විතියික වර්ණ යොදනු ලැබේ. එය මෙම රංගන අවස්ථාවන්හි දී භාව ප්‍රකාශනය ඇති කිරීමට මහත් ලෙස උපකාරී වේ. නර්තන ශිල්පියා දේවාලය ඉදිරිපිටට පැමිණ ක්‍රම ක්‍රමයෙන් දේවස්ථානයේ වෙසෙන දෙවියන් ලෙස සමාරෝපණය වීමට උත්සාහ දරයි. සියලූම රංගන ශිල්පීන් පලිහක් සහ කඞ්තල (කඩුව* අතට ගනී. රංගන ශිල්පියා දේවාලය වටා ගමන් කර, මළුවට දිව ගොස් තම රංගන දක්වයි. තෙයියම් නැටුමේ විවිධ පියවර ඇත, එය කලාසම් ලෙස හැඳින්වේ. සෑම කලාසමක් ම පළමු පියවරේ සිට අටවන පියවර දක්වා ක‍්රමානුකූල ව රංගනයේ යෙදේ. මෙම තෙයියා කෝලම් රාශියකි. ඉන් කිහිපයක් ආරම්භ වූ අයුරු සැකවින් පහත් දැක්වේ.

ගුලිකාන්

මරණයේ දෙවියන්ගේ ලෙස සැලකෙන යම දෙවියන්ගේ ස්වරූපයක් ලෙස ගුලිකාන් රඟ දක්වයි. හින්දු ග‍්‍රන්ථවල ගුලිකාන් ශිව දෙවියන්ගේ වැදගත් ම රණශූරයා ලෙස විස්තර වේ. ගුලිකාන්ගේ සංකීර්ණ හා ආකර්ශනීය නැටුම් පියවර අනෙකුත් තේයියම්වලින් වෙනස් ය. ගුලිකාන් දෙස බැලීමට දෙවිවරුන් ඇතුළු සියලූ දෙනා බිය වන බව පොදු විශ්වාසයයි. ශිව තම බිරිඳ වන පාර්වතී සමඟ ගමන් ගන්නා අවස්ථාවක දී පාර්වතිය ගුලිකාන් දැක බියට පත්විය. කෝපයෙන් සිටි ශිව ගුලිකාන් දෙසට හැරී ඔහු බිම හෙලා දැමූ බවට කේරළ ජන සංස්කෘතියේ සඳහන් වේ. බෙන්කනකාවු හි ගුලිකාන් දෙවි වැඩ සිටින බව ජන විශ්වාසයයි .

පදමඩක්කි භගවතී

වරක් නිල්ස්වර් රජුට එරෙහිව කර්ණාටකය රජු යුධ ප‍්‍රකාශ කරන ලදි. එහි දී නිල්ස්වර් රජු බියට පත් විය. ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් ‘‘කොරොත් නාග භගවතී’’ සහ ‘‘කුට්ටිචත්තන්’’ යන බහිරවන්ට යාඥා කළහ. එහි දී දෙවිවරු සැදැහැවතුන්ගේ ආයාචනා පිළිගෙන ‘‘පදමඩක්කි භගවතී’’ නම් දේවතාවිය යුද්ධයට යැවීය. ‘‘පදමඩක්කි භගවතී’’ දැකීමෙන් ආක්‍රමණික භට පිරිස් සිහිසුන් වූ අතර එම දෙවියන් යුද්ධයක් වැළැක්විය. කොරොත් විහාරයේ වසරක් පාසා එම සිද්ධිය සිහිකර පදමඩක්කි භගවතී වන්දනය කෙරේ.

මනක්කොට් අම්මා

මනකොට් යනු අතීත භාරතයේ පැවති කුල ක‍්‍රමයට විරුද්ධ වූ තැනැත්තියකි. ඇය උගත් තැනැත්තියක් වූ අතර කුල ක‍්‍රමයට විරුද්ධ විය. ඇය කුල නීතිය කඩ කළේ පුවක් කොළයෙන් තැනූ මුට්ටියක තිබූ ජලය අඩු කුලයේ යැයි සම්මත පුද්ගලයෙකුට පානය කිරීමට දීමෙනි. මෙම සිද්ධියෙන් කෝපයට පත් පවුලේ ප්‍රධානියා ගැබ්බර ව සිටි ඇයව මරා දැමුවේ ය. ඝාතනයට ලක්වූ මෙම කාන්තාව මනක්කොට් අම්මා ලෙස හැඳින්වූ අතර ඇය දේවතාවියක ලෙස ඇදහීමට ප්‍රදේශවාසීන් පෙලඹිණි. නිලේෂ්වර් හි මලප්පචෙරි, වයිරජාතන් යන කෝවිල් හි ඇය උදෙසා තෙයියම් රඟ දැක්වේ.

කතිවානුර් වීරන්

කතිවන්නූර් වීරන් යනු මහා රණශූරයෙකි. මොහු ඉපදුණේ මංගාඞ් ප්‍රදේශයේ තියියා පවුලක ය.  මෙත්ලියිල්ලමේ කුමාරච්චන්ට සහ ඔහුගේ බිරිඳ වූ චක්කියම්මා හට දරුවන් සිටියේ නැත. ඔවුන් චුෂාලි දේවතාවියට පුද පූජා පැවැත් වූ අතර පසුව කුළුදුල් දරුවෙකු මොවුන් දෙපලට උපත ලැබීය. මොහු කතිවානුර් විය. තරුණ වියේදී මොහු ඉතා දක්ෂ පුද්ගලයෙක් විය. දිනක් කුමරච්චන් හෙවත් පියා කතිවානුර්ගේ දුන්න සහ ඊතලය කඩා එළියට විසි කළේය. මෙයින් කෝපයට පත් කතිවානුර් දැඩි කෝපයට පත් වූ අතර ඔහු තම උපන් ගම හැර දමා තම මාමා පදිංචි ව සිටි කූර්ග් වෙත ගියේය.  එහි දී ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර මාමා ඔහුගේ දේපළවලින් අඩක් ද මොහුට ලැබිණි. එහි දී මොහු චෙම්මරති නම් ගැහැණු ළමයෙකු සමඟ ද විවාහ විය.  එකල කූටක රාජ්‍යය මලයාලයින්ට එරෙහිව යුද්ධයක් ආරම්භ කළහ. කතිවානුර් සහ ඔහුගේ මිතුරන් එම යුද්ධයට සහභාගී වී කූටකයන් පරාජය කළහ. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුට මුද්දක් සමඟ ඔහුගේ ඇඟිල්ලක් අහිමි විය. කතිවානුර් ඔහුගේ මුද්ද ආපසු ලබා ගැනීමට නැවත යුධ පිටියට පැමිණියේ ය. ඔහු තනිවම එනු දුටු සතුරන් ඔහුව මරා දැමීය. පසු කතිවානුර්ගේ බිරිඳ වූ ද කතිවානුර්ගේ චෙම්මරතී සෑයට පැන සියදිවි නසා ගත්තේ ය. පසු කාලයේ මොහු ද දේවත්වයෙන් ඇදහීමට කේරළ වාසීහු උත්සුක වූහ. වර්තමානයේ කතිවනූර් වීරන් රඟ දැක්වීමට කලරිපයාට්ටු සටන් කලාව ප්‍රගුණ කළ පුද්ගලයෙකු යොදාගැනේ. එයට හේතුව ඔහු රණ ශූරයෙකු වන හෙයින් ඔහුගේ අවස්ථා සිදුවීම් සාමාන්‍ය නර්තන ශිල්පියෙකුට රඟ දැක්වීමට අපහසු නිසාය.

පඩිකුට්ටි අම්මා

පඩිකුට්ටියම්මා මුත්තප්පන් දෙවියන්ගේ මව යැයි විශ්වාස කෙරේ. ඇය වසර ගණනාවක් මුතප්පන්ව රැකබලා ගෙන ඇත. මුත්තප්පන් දෙවියන් බවට පත් වූ විට ඇයට දේවතාවියකගේ තත්ත්වය හිමි විය. කොඩල්ලූර්හි සුප්‍රසිද්ධ පලාප්‍රත් විහාරස්ථානයේ පඩිකුට්ටි අම්මාන් රඟ දක්වයි.

පුතිය භගවතී

කන්නූර්හි පිහිටි බොහෝ සිද්ධස්ථානවල ප්‍රධාන දෙවියා වන්නේ පුතිය භගවතී ය.  ශිව දෙවියන්ගේ වසූරිය සුව කිරීම සඳහා ඍෂිවරුන් (සාන්තුවරයන්* හෝමයක් ආරම්භ කරන විට ඇය හෝම කුණ්ඩයෙන් (පූජා ගින්නෙන්* පෙනී සිට ඇති බවට ජනශ්‍රතියේ සඳහන් වේ. රංගනයේ දී පූතිය භගවතී සමඟ පදකුලංගර වීරන් සහ වීරකාලි ද රඟ දක්වයි. මෙම තෙයියම් වලට අමතර ව තවත් තෙයියම් රාශියක් ඇත. එම තෙයියම් නාම පහත දැක්වේ.

අග්නි කන්දකර්නන්, පුලියූර් කාලි, පෙරුම් කලියට්ටම්, පුල්ලිකාරිම් කාලි, මුත්තප්පන් අන්තිතිරා, විෂ්ණු මූර්ති, කුට්ටිච්චතන්, පුලිකන්දන්, මාරපුලි, කන්දපුලි, පුලිමරුතන්, පදර්කුලංගර භගවතී, කරින්තිරි නායර්, කුට්ටිකෝල් තඹුරට්ටි තෙයම්, එලයෝර් තෙයම්, මුතූර් තෙයම්, වන්නතාන්, චුෂාලි භගවතී, කන්නංගත් භගවතී, කොඩොත් චාමුන්දි, මූවලම්කුෂි චාමුන්දි, පලොට් දෛවම්, දණ්ඩිංගනාත් භගවතී, පදර්කුලංගර භගවතී, කරීම් චාමුන්දි, මුතාල තෙයම්, ඇල්ලෙදුත් භගවතී, අදුකුන්නත් භගවතී, නාරම්බිල් භගවතී, චෙම්බිලොත් භගවතී, පුලිචොන්, වෙල්ලරංගර භගවතී මයියක්කල් භගවතී, කොරොත් නාග භගවතී, පඩින්හාරේ චාමුන්දි, වෙට්ටකෝරුමකං, මාවිල චාමුන්දි තෙයියම්හි අන්තර්ගත රංගන අවස්ථා, වේෂ භූෂණ, වාදන අංග, ඉපැරණි චාරිත‍්‍ර වාරිත‍්‍ර නිරීක්ෂණයේ දී එය ඉන්දියාවේ වඩාත් ආකර්ශනීය වූ සංස්කෘතික උරුමයක් බව හදුන්වාදිය හැක.

 

සහකාර කථිකාචාර්ය රමිත් චන්ද්‍රසේකර

ලලිත කලා අධ්‍යනාංශය

මානවශාස්ත‍්‍ර පීඨය