ටික් ටොක් ? අද වන විට සමාජයේ වැඩිපුරම කතා බහට ලක්වන මාතෘකාවකි. ඒ මේ වන විට ටික් ටොක් සමාජ ජාලය මඟින් සමාජයේ සිදු වී ඇති විශේෂ සිදුවීම් නිසාය. ටික් ටොක් කියන්නේ කුමක්ද යන්න ඇතැමෙකුට තිබිය හැකි ගැටලුවකි. මුලින්ම මේ ටික් ටොක් කියන්නේ කුමක්ද යන්න අවබෝධ කරගත යුතුය. 1990 දශකයේ ලෝකය වෙනත් මඟකට යොමු කරමින් අන්තර්ජාල පහසුකම බිහිවීම සුවිශේෂී කරුණකි. ඒත් සමඟම වෙන් වෙන් වශයෙන් රටවල් අතර සන්නිවේදනයේ වෙනසක් සිදු විය. තැපැල් මඟින් පණිවිඩ යවමින් සිටි මිනිසා විද්‍යුත් තැපැල් මඟින් පණිවිඩ යවන්නට විය. අන්තර්ජාලය පුළුල් ලෙස ව්‍යාප්ත වීමේ දී ජන මාධ්‍යයට අමතරව ලොව පුරා "නව මාධ්‍ය" බිහි විය. නොදන්නා අයෙකුට නව මාධ්‍ය යනු කුමක්ද යන්න ගැටළුවක් විය හැක .

"නව මාධ්‍ය යනු, ඔබ අප සියලු දෙනා අන්තර්ජාලය හරහා තොරතුරු හුවමාරු කරගැනීම සඳහා භාවිත කරනු ලබන මාධ්‍ය ලෙස හැඳින්විය හැක." වර්තමානයේ දී නව මාධ්‍ය ලෙස භාවිත වන්නේ ඉහතින් සඳහන් කරන ලද විද්‍යුත් තැපෑල,වෙබ් අඩවි, වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ජාල වේ. සමාජ මාධ්‍ය ජාල ලෙස මෙහි සඳහන් වන්නේ, මිනිසුන් විසින් අන්තර්ජාලය හරහා තොරතුරු හුවමාරු කර ගැනීමට නිර්මාණය කරගත් සුවිශේෂී ක්‍රමයකි. සමාජ මාධ්‍යයක් ලෙස ෆේස්බුක්, යූටියුබ්, වට්ස්ඇප්,ටික් ටොක්,ඉන්ස්ටග්‍රෑම් ආදී බොහෝමයක් සමාජ මාධ්‍ය වර්ග පෙන්වා දිය හැක .මේ වන විට නොදන්නා අයෙකුට වුවද අන්තර්ජාලය තුළ  ටික්ටොක් මාධ්‍යයට ඇත්තේ කුමන ආකාරයක ස්ථානයක් ද යන්න අවබෝධ කරගැනීමට හැක. සමාජ මාධ්‍යට මෙන් ම ටික් ටොක් මාධ්‍යයට ද විශේෂිත වූ පොදු ලක්ෂණ කීපයක් ද මෙලෙස පෙළගැස්විය හැක .

  • නීතිමය රාමුවකින් පාලනය වන්නේ නැත
  • ඕනෑම අයෙකුට පෞද්ගලික වශයෙන් ගිණුම් සකස් කරගෙන සන්නිවේදන කටයුතු සිදු කරගත හැක.
  • විශේෂිත වූ මෙවලමක් අත්‍යවශ්‍ය වේ ස්මාර්ට් ජංගම දුරකථන වැනි යම් තොරතුරක් පාලනයකින් තොරව ව්‍යාප්ත වේ.
  • රූප ඡායාරූප ආදිය විකෘති කොට ඉදිරිපත් කළ හැක.
  • තම අභිමතය පරිදි ඕනෑම වෙලාවක භාවිතා කළ හැකිය.
  • එක් අයකු විසින් පළ කරන ලද තොරතුරක් ඡායාරූප වීඩියෝ ආදිය තවත් පරිශීලකයකුට බාගත කරගැනීමේ (Download )හැකියාව ඇත.

යමෙකුට සිතෙන්නට හැකි කරුණක් වන්නේ කොහොමද ටික්ටොක් සමාජ මාධ්‍ය සිහිනුවණින් භාවිතා කරන්නේ යන කාරණයයි .එයට ඉහතින් දක්වා ඇති සමාජ මාධ්‍යට මෙන්ම ටික් ටොක් සමාජ මාධ්‍යට පොදු කරුණු යමෙකුට අවබෝධයේ තිබිය යුතුමය. ටික් ටොක් සමාජ මාධ්‍ය ලංකාවේ ජනප්‍රියත්වයට පත්වන්නේ 2018 වර්ෂයේ දී පමණය. මෙම සමාජ මාධ්‍ය ජාලය  නිර්මාණය කරනු ලබන්නේ චීනය තුළ ය. ඒ 2016 වර්ෂයේ දීය. එකළ ශ්‍රී ලංකාව තුළ ටික් ටොක් සමාජ මාධ්‍ය පරිශීලනයට එතරම් නැඹුරු බවක්  දැක්වූයේ නැත. ඒ එම කාලය තුළ මෙම මාධ්‍යය භාවිතා කිරීමට තරම් සාක්ෂර හැකියාවක් නොතිබූ නිසා විය හැක. එසේත් නැතිනම් මිනිසුන් අතර එකිනෙකා මෙම සමාජ මාධ්‍ය බහුලව භාවිතා නොකළ නිසා විය හැක. ඉන් අනතුරුව 2019 වර්ෂය වන විට ලංකාවේ සැලකිය යුතු ප්‍රමාණයක් මෙම ටික් ටොක් නැමැති සමාජ මාධ්‍ය පරිශීලකයන් බවට පත්වුණි. ඒ තරුණ තරුණියන්ගේ පරිශීලනයෙනි.2020 අග භාගය පමණ වන විට වැඩිහිටි පුද්ගලයෝද මෙම සමාජ මාධ්‍ය භාවිතයට පැමිණ සිටියහ. 

මෙම තේමාව තුළ සාකච්ඡා කිරීමේදී වැඩි වශයෙන් පැහැදිලි කළ යුතු වන්නේ ටික්ටොක් මාධ්‍ය භාවිත කරන්නෙකු අතිශයින්ම සිහි  තබාගත යුතු කරුණු පිළිබඳවය .පරිශීලකයෙකු විසින් ටික් ටොක්  මාධ්‍යට මුදා හරින ලද ඡායාරූප එකතුවක් හෝ වීඩියෝ පට නැතිනම් යම් යම් මතවාද ඕනෑම අයෙකුට නැරඹිය හැකි බවත් , ඕනෑම අයකුට ඒවා බාගත කරගත හැකි බවත්, එම තොරතුරු නැවත විකෘති කොට සමාජ මාධ්‍යට මුදා හැරිය හැකි බවත්ය.  මේ පිළිබඳව පූර්ණ අවබෝධයක් නොමැතිව කටයුතු කරන්නන් හට නොසිතූ මොහොතක ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව පවතියි. එමෙන් ම අවබෝධ කරගත යුතු වැදගත්ම කරුණ වන්නේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රතිරූප ගොඩනගා ගෙන සිටින පුද්ගලයින්ගේ සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් එකක් විය හැකි වීමය. මේ සියල්ල අවබෝධ කරගෙන ටික් ටොක් සමාජ මාධ්‍ය භාවිතා කිරීම අතිශයින් වැදගත් කරුණක් වේ. විශේෂයෙන් ම ටික්ටොක් සමාජ මාධ්‍ය අනවබෝධයෙන් භාවිතා කොට ඒවා ජනමාධ්‍ය හා අධිකරණ ක්‍රියාමාර්ග දක්වා ගමන් කිරීමට තරම් බරපතළ සිදුවීම් බවට පත් වූ සිද්ධි ලංකාව තුළ වාර්තා වී ඇත.

පසුගිය කාල වකවානුව තුළ කොරෝනා වසංගතය සමඟ ඇති වූ එක් ගැටලුවක් වූයේ දෛනික ක්‍රියාමාර්ග සුපුරුදු පරිදි කරගෙන යාමේ අපහසුතාවයකට පත් වීමයි. ඒ අතර අධ්‍යාපනික කටයුතු වර්ෂයකට ආසන්න කාලයක් අතපසු විය හැකි තත්ත්වයක් උදාවන්නට විය. එම නිසා මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකරන්නට විය. එහිදී පාසල් දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථන හෝ වෙනත් මෙවලමක අවශ්‍යතාවයක් මත බහුතරයක් පාසල් වියේ පසුවන දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථනයක් පරිහරණය කිරීමට සිදුවිය. පාසල් දරුවකුට වැඩිහිටියකුගේ මඟ පෙන්වීම මත මිස, ස්මාර්ට් ජංගම දුරකථනයක් පරිහරණය කිරීමට අවබෝධයක් නැත. එයින් අදහස් කරන්නේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ දැනුම නොව, සමාජ අවබෝධය පිළිබඳව ය. එම නොදැනුවත්භාවය නිසා දරුවන්ට නොසිතූ සියදිවි හානිකර ගැනීම් වලට, රණ්ඩු හා නොගැළපෙන ක්‍රියාකාරකම් වලට මෙන්ම විවිධ අපචාර සිදුවීම්වලට ලක් වන්නට විය .එයට හේතුව අවුරුදු දහයත්, අවුරුදු දාසයකත් අතර දරුවන්ට සමාජය පිළිබඳ අවබෝධය මදිකම, ටික් ටොක් තුළ තමා දකින පුද්ගලයන්ගේ චරිත ඒ ආකාරයෙන්ම විශ්වාස කිරීම වේ. මෙලෙස සිදුවන්නේ වැඩිහිටි මැදිහත් වීමකින් තොරව දරුවන් තම අභිමතය පරිදි දුරකථනය පරිහරණය කිරීමෙන් ය. වැඩිහිටියෙකුගේ මැදිහත්වීමකින් අධ්‍යයන කටයුතු කරමින් හොඳ හා නරක යන කරුණු පහදා දෙමින් දරුවා සයිබර් අවකාශයට මුදා හැරීම අතිශය වැදගත් වන අතර ටික් ටොක් හරහා වන අවභාවිතය වළක්වා ගැනීමේ හැකියාව ද පවතී.

යමෙකුට නැවත පෙරලා නැඟිය හැකි ප්‍රශ්නය වන්නේ වැඩිහිටියන් ටික් ටොක් නමැති සමාජ මාධ්‍ය හැසිරීම යහපත් මට්ටමකින් පවත්වාගෙන යන්නේ ද යන පැනයයි. සැබැවින්ම එහි දී පෙන්වා දිය හැක්කේ ටික් ටොක් නමැති සමාජ මාධ්‍ය හැසිරෙන්නට අවශ්‍ය මූලික දැනුම හා පෞද්ගලික විනයක් ටික් ටොක් භාවිතා  කරන සියලුම දෙනාට තිබිය යුතු බවය . මෙම  ටික් ටොක් හා අනිකුත් නව මාධ්‍ය වලට නීතිමය බලපෑමක් එසේත් නැතිනම් වගකිවයුතු පාලනයක් නැත. තමා ස්වයං වාරණයට  ලක් වීම මඟින් බොහෝ දුරට සිදුවන අපරාධ හා අපචාර වලක්වා ගැනීමට හැකියාව ඇත. එහෙත් මෑතකදී පැන නැඟී ඇති ගැටළුවක් වන්නේ එක් අයෙක් විසින් තවත් අයෙකුට බැන වැදීමට, අන් අය කුපිත වන ආකාරයට ප්‍රකාශ මතවාද ඉදිරිපත් කිරීමට ටික්ටොක් මාධ්‍ය භාවිතා කිරීමයි. ඒ හරහා එම ප්‍රකාශනය අදාළ  පුද්ගලයාට පමණක් නොව විශාල ග්‍රහක පිරිසකට ලංකාව තුළ විසිරී යාම සිදුවේ .එහිදී සමාජයට නුසුදුසු දේ අනෙක් පුද්ගලයන් විසින්ද ප්‍රතිවිරුද්ධව ප්‍රකාශ කිරීම සිදු කරයි .එම හේතුවෙන් වැඩිහිටි පිරිස ද තම ස්වයං හික්මීම  සහිතව ටික්ටොක් මාධ්‍ය භාවිතා කිරීම අතිශය වැදගත් වේ. ඒ හරහා නිවැරදිව ටික් ටොක් මාධ්‍ය භාවිතා කිරීමේ හැකියාව පවතී. නිවැරදිව ටික් ටොක් සමාජ මාධ්‍ය භාවිතා කිරීමට ඒ පිළිබඳ අවබෝධය මෙන්ම තමාගේ පෞද්ගලික හැසිරීම හා මතය ආදිය වැදගත් වේ. අනෙක් කරුණ වන්නේ වර්තමානයේ සමාජ මාධ්‍ය වල ප්‍රබලත්වය නිසා ම ටික්  ටොක්  හරහා පළවන ලාංකේය ජනයා තුළ  කතාබහට ලක් වූ  මාතෘකා නැවත නැවත යූටියුබ්, ෆේස්බුක් හා වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය හරහා ද අන්තර්ජාලය තුළ හුවමාරු වීමයි. එහිදී වැරදි තොරතුරක් හුවමාරු   වුවහොත් නැවත එය නිවැරදි කිරීම ඉතා අපහසු කරුණකි .

මීට පෙරදී කතාබහට ලක් වූ පරිදි ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද නොදැනුවත්භාවය නිසා අයහපත් දේ සිදුවීමේ ප්‍රවණතාව ඉතා ඉහළය. එමෙන්ම අන්තර්ජාලය පිළිබඳව යම්තාක් දුරකට ධනාත්මක දැනුමක් සහිත තරුණ ප්‍රජාව  ටික් ටොක් මඟින් විනාශයට පත් වීමට පටන්ගෙන ඇත. ඒ හුදෙක් ම ටික් ටොක් තුළ තමන් ව්‍යාජ චරිතයක් නිර්මාණය කිරීමට යාම, එමෙන් ම ටික් ටොක් තුළ ව්‍යාජ වීර චරිත වලට රැවටීම හා තරුණ, තරුණියන් විවිධ අන්තර්ජාලය තුළ සැරිසරන අභියෝග සැබෑ ජීවිතයේ දී භාරගෙන  සිදු කිරීමට යාම පෙන්වා දිය හැක. ඒවාට කදිම උදාහරණ වන්නේ, කාන්තාවන්, තරුණියන් දුම්වැටි පානය කිරීම ටික් ටොක් හරහා පළ කිරීම. තවද , තරුණයන් අධික වේගයෙන් යතුරුපැදිවල ආදී වාහන තුළ ගමන් කොට විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම. මේ හරහා තරුණ ජීවිත ද විවිධ පැතිකඩ හරහා විනාශයට පත්වීම පටන්ගෙන ඇත .

ඉහතින් සඳහන් වූ කරුණු සමඟ යමෙකුට සිතීමට ඉඩ ඇති කරුණක් වන්නේ, ටික් ටොක් සමාජ මාධ්‍ය භාවිතයට නුසුදුසු එකක්ද යන්නය. එය සම්පූර්ණ වැරදි අදහසකි. සිතන්න! වෙහෙස මහන්සි වී සිටින වෙලාවට අපි ටික් ටොක් මාධ්‍ය වල වීඩියෝ පට නරඹමින් ඒ හරහා මනස කෙතරම් නිදහස් තත්ත්වයකට පත්කර ගන්නේ ද යන්න. දැනටමත් ටික් ටොක් පරිශීලකයන් එය හොඳින්ම දන්නා කරුණකි .එමෙන් ම විවිධ දක්ෂතා ඉස්මතු කිරීමට මෙන් ම ලාභදායී ලෙස අලෙවිකරණ  කටයුතු ආදිය සිදු කිරීමට ද මෙම ටික්ටොක් සමාජ මාධ්‍ය අතිශය වැදගත් අවස්ථාවක් බව හඳුන්වා දිය හැක .එමනිසා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා කවුරුන් හෝ අයෙක් යමක් පළ කරන විට තමාගේ ස්වයං විනය ගොඩනඟා ගත යුතුය.එමෙන් ම පාසල් වියේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීමට වැඩිහිටි මඟපෙන්වන්නකු අනිවාර්යෙන් සිටීම හා තරුණ තරුණියන් ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ නිසි අවබෝධයකින් සුදුසු, නුසුදුසු දේ තෝරා බේරා ගෙන භාවිතා කිරීම හරහා මෙම සමාජ මාධ්‍ය නිවැරදිව භාවිතා කර ගැනීමටත්, ටික් ටොක් සමාජ මාධ්‍යයෙන් නිවැරදිව ප්‍රයෝජනයක් ලබා ගැනීමට ද හැකියාව පවතී. එය වැඩි වශයෙන්ම තීරණය වන්නේ ටික් ටොක් පරිශීලකයන්ගේ ස්වයං විනය මතත්, අවබෝධය හා තේරුම් ගැනීමේ හැකියාව මතත් බව කිව හැක. ටික් ටොක් භාවිතයට සුදුසු දෙයක් ද නුසුදුසු දෙයක් ද යන්න තීරණය කිරීම තම අභිමතය පරිදි සිදු කළ හැකි අතර දැනට  ටික් ටොක් පරිශීලනය කරන්නන්ගේ හැසිරීම මත එය භාවිත කිරීමට සුදුසු තත්ත්වයකට හෝ නුසුදුසු තත්ත්වයකට පත්වන්නේ ද යන්න තීරණය වේ .

ඒ.ඒ.රචිනි මදාරා

මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ කළමනාකරණය 

ජනසන්නිවේදන අධ්‍යයන අංශය 

සමාජීය විද්‍යා පීඨය