Image

අපි ඇත්තටම කවුරුන්ද? මෙවන් ප්‍රශ්නයක් කවරෙකු හෝ අපෙන් වීිමසූ හෝ අපට ලබාදිය හැකි පිළිතුර සිතා ගැනීමට අපහසුයි නේද? ඇත්තටම ඒ ඇයි? මම හිතන්නෙ අපිට වෙනත් අයෙකුට ඔහු හෝ ඇය මෙවන් පුද්ගලයෙකු යැයි ඔහුගේ හෝ ඇයගේ බාහිර ක්‍රියාකාරකම් අනුව පැවසුවද අපට අප පිළිබඳව එසේ එකවර අසන විට ලබා දීමට පිළිතුරු නොමැත්තේ අප තුළ ඇති හැකියා, දක්ෂතා, දුර්වලතා අප නොහඳුනන නිසාවෙනි. අප වෙනත් අයකුට චරිත සහතිකයක් දීමට පෙළඹෙනවා ට වඩා අපට අප පිළිබඳව සියුම් ව හඳුනාගත හැකි නම් එය ජීවිතය තුළ සිදු කරගන්නා අපූර්ව ක්‍රියාදාමයකි.

සාර්ථකත්වය කියන්නේ ඕනම කෙනෙක්ගෙ ජීවිතයකට අනිවාර්යෙන්ම ළඟා කරගත යුතුම කාරණාවක්.සාර්ථකත්වය පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. එක් එක් අය සාර්ථකත්වය ළඟා කර ගන්න හීන දකින්නේ විවිධ ආකාරයෙන්.සමහරෙක් තමන්ගේ රැකියාවෙන්, සමහරෙක් අධ්‍යාපනික වශයෙන් ඉදිරියට යන්න සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙනවා, සමහර කෙනෙක් තමන්ගේ ව්‍යාපාරය තුළින්,තවත් කෙනෙක් තමන්ගේ පවුල් ජීවිතය තුළින් සාර්ථක වෙන්න හිතෙනවා.මේ විදිහට අපේ සමාජය තුළ පුද්ගලයන්ගේ එකිනෙකට වෙනස් හීන, බලාපොරොත්තු තියෙන පුළුවන්.

 

Image

 

සාර්ථකත්වය කියලා කියලා කියන්නේ මොකක්ද කියන තැනට ආවොත් මිනිස්සු හැටියට අපට අපේ ජීවිතේ අවසානය දක්වාම අපේ හීන සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා.මුලින් සඳහන් කලා වගේම" success is a journey- not a destination "සාර්ථකත්වය කියලා කියන්නේ ගමනාන්තයක් නෙවෙයි.. ඇත්තෙන්ම එය ගමනාන්ත ගොන්නක් පිරිවරාගත් දිගු ගමනක් විදියට හඳුන්වන්න පුළුවන්.ජීවිතයේ තමන් හීන දැකපු තැනට ආවම තමා සාර්ථක පුද්ගලයෙක් විදියට තමන්ට තමන්වම හඳුන්වා ගන්න පුළුවන්කමක් ලැබුණත් එතනින් තමන්ගේ ගමන නතර නොකර තවත් පියවරක් ඉදිරියට යන්න අපි තුළම දිරිගැන්වීමක් ඉබේම ගොඩනැගෙනවා.අන්න ඒ නිසා සාර්ථකත්වය කියලා කියන්නේ ගමනාන්තයක් නෙවෙයි ගමනාන්ත ගොඩක් එකතු වුණු සුන්දර චාරිකාවක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්.

සාර්ථකත්වය එහෙමත් නැත්නම් අපේ හීන බලාපොරොත්තු ළඟා කරගන්න අපි මොනවද කරන්න ඕන..ඕනම කෙනෙක්ට සාර්ථක කරගන්න හීන ගොඩක් තියෙන්න පුළුවන්.එහෙම හීන ගොඩක් ඇතිකරගන්න අපට අයිතියක් තියෙනවා. නමුත් ඒ හීනේ හැබෑවක් කරගන්න;අවසානයේ ඒවායේ උපරිම ප්‍රතිඵල නෙළා ගන්න;මනා අවදියෙන් යුතුව ඒ අරමුණ ඔස්සේ ගමන් කරන්න අපට අපිට ලොකු වගකීමක් තියෙනවා.පුංචි උදාහරණයක් සඳහන් කළොත් අපි අහලා තියෙන බොහොම ප්‍රසිද්ධ කතාවක් තමයි "ඕනම කෙනෙක් දුප්පත් වෙල ඉපදෙන්න පුළුවන් නමුත් ඒ පුද්ගලයා අවසානයේ සාර්ථක පුද්ගලයෙක් ලෙස මිය යා යුතුයි".එහෙම නැත්නම් ඔහු අනිවාර්යයෙන්ම දුර්වල පුද්ගලයෙක්.ජීවිතේ කිසිම හීනයක් නැති අරමුණක් නැති මහපොළොවට බරක් වුණ ජීවිතයක්.අන්න ඒ නිසා අපි යන්නෙ වර්ණයෙන්ම තමන් දකින හීන පසුපස හඹාගෙන ගිහින් ඒව සාර්ථක කරගන්න අපට ලැබුණු ජීවිතය ලොකු ආශිර්වාදයක් කරගත යුතුමයි.

සාර්ථකත්වය කරා යන ගමන චාරිකාවක් නම් චාරිකාවකදී අපට රළු කටුක මාවත් වල කඳු හෙල් ගිරි දුර්ග වගේම බොහොම සැප පහසු මාවත් හමු වෙන්න පුළුවන්.සාර්ථකත්වය කරා යන ගමනත් අන්න ඒ වගේ.බිඳීම, වැටීම්, හිත් තැවුල්,මානසික වැටීම් වගේ ගොඩක් අපහසුතාවලට වගේම අපට බොහොම සතුටු දනවන කාරණා වලට පවා මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්.සරලවම කිව්වොත් බෞද්ධ දර්ශනයේ සඳහන් වෙන විදියට අටලෝ දහමින් කම්පා නොවී අපේ ගමනාන්තය දක්වා යන්න මානසික ශක්තිය විශේෂයෙන්ම තමන් තුළ ගොඩනගා ගන්න කටයුතු කළ යුතුයි. එවගේම අපේ ජීවිතයේ ලැබෙන සුළු මොහොතක වුණත් එතැන අපිට පුංචි හෝ සතුටක් ලබන්න පුළුවන් දෙයක් හෝ තිබෙනවා නම් එතනදි සතුටු වෙන්න පුරුදු විය යුතුයි. 

සාර්ථකත්වය, හීන කියන දේවල් එක්ක ඉදිරියට යනකොට කෙනෙක් හිතන්න පුළුවන් "මම මගේ ජීවිතේ සතුටක් ලබන්නේ  මගේ හීන සම්පූර්ණයෙන්ම  සාර්ථක කර ගත්තාට පසුවයි"කියලා..නමුත් සාර්ථකත්වය කරා යන ගමනේදී අවසානය තෙක් නොඉඳ තමන්ගේ මනස සැහැල්ලු කර ගන්න අපට ලැබෙන සුළු මොහොතකින් වුණත් ලොකු සතුටක් ළඟා කරගන්න අපේ මනස හැඩගස්වා ගන්න උත්සහ කරන්න කෙනෙකුට පුළුවන් නම් ඒ පුද්ගලයා තමයි තමන්ගේ ජීවිතයේ නියම සාර්ථකත්වය ළඟා කර ගන්න කෙනා බවට පත්විය යුත්තේ.

අදිත කොඩිකාර

ශාස්ත්‍රවේදී( විශේෂ) පළමු වසර,

මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනොකරණය,

ජනසන්නිවේදන අධ්‍යනාංශය,

සමාජීය විද්‍යා පීඨය,