දිනපතා දවසට කිහිප වරක් තේ පානය කරන ඔබට “තේ කලාව” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ විමතියක් ඇති වුවද ලෝකයේ විවිධ රටවල තේ පානය කිරීම සංස්කෘතියේ එන කාලවක් සේ සලකා ක්‍රියා කරනු දැකිය හැකිය. මේ අතරින් ලෝකයේ වැඩිම ජනගහනය හා විවිධ සංස්කෘතිකාංගයන්ගේන් පෝෂණය වු චීනයට හිමි වනුයේ ප්‍රමුඛ ස්ථානයකි. 

තේ ගසෙහි නිජබිම වන චීනයේ තේ කලාවට අවුරුදු 5000ක පමණ අතීතයක් ඇත. පුරාවෘත වලට අනුව වෛද්‍ය විද්‍යාවේ හා කෘෂි කර්මයේ පියා ලෙස සැලකෙන “ෂෙන් නොන්ග්” විසින් තේ සොයාගෙන ඇත. මොහු විසින් ලියැවුණු “shen nong herbal” යනු තේ වල විවිධ වෛද්‍ය ප්‍රයෝජන ලියැවුණු මුල්ම පුස්තකයයි.
Image

චීන ජාතිකයින්ට තේ යනු සිය මූලික අවශ්‍යතා හතෙන් එකකි. මොවුන් තේ පානය ඉතාම ප්‍රිය කරන අතර මිතුරන්ට , අමුත්තන්ට , සංග්‍රහ කිරීමටත්, විනෝදයක් ලැබීමටත් තේ පානය කරයි. මෙලෙස පානයට ගන්නා ප්‍රධාන තේ මාදිලි කිහිපයක්ම ඇත. හරිත තේ, රතු තේ සුදු තේ, ඕලොන්ග් තේ, මල් තේ, තේ කැට, කහ තේ හා කලු තේ ආදියයි. හරිත තේ යනු පැසීමට ලක් නොකළ තේ ය. මේද දහනය සම්බන්ධව ලොව පුරා එක් එක් වෙළද නාමවලින් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මේ හරිත තේ ය. චීනයේ ප්‍රසිද්ධ හරිත තේ නාම ලෙස Dragon Well Tea , Yellow Mountain Fur Peak , Green Snail Spring” හැදින්විය හැක. රතු තේ යනු හොදින් පැසීමකට ලක් කළ තේ ය. ලාංකිකයින් වන අප අතර වඩා ප්‍රචලිත මෙම රතු තේ ය. ඕලොන්ග් තේ යනු අර්ධ් වශයෙන් පැසීමකට ලක් කළ තේ ය. මල් තේ යනු එක් එක් විශේෂ මල් යොදාගෙන ඒවා මගින් පානයට සුවදක් එක් කර ගනිමින් නිෂ්පාදනය කෙරෙන වර්ගයකි. මෙය චීනයටම ආවේණික වූ තේ වර්ගයකි. තේ කැට යනු කැටයක් ලෙස සකසන ලද තේ කුට්ටියකි. මෙම වර්ගය චීනයේ මොංගෝලියානු හා ටිබෙට් ජාතිකයින් අතර ඉතාම ප්‍රචලිත වේ. 

ලාංකිකයන් වශයෙන් අප තේ පානයෙන් පිපාසය, තෙහෙට්ටුව සංසිදවා ගත්තද හිතකර තේ පානයකින් ආහාර දිරවීම, ඇතැම් නිධන්ගත රෝග වළක්වා ගැනීම හා අවම කරගැනීම, ශරීරයේ බර තුලනය කර ගැනීම වැනි යහපත් ශරීර සෞඛයයකට අවැසි බොහොමයක් දේ සපුරා ගත ගත හැක.

චීන තේ කලාව තුළ ඊටම ආවේණික වූ සිරිත් විරිත් ඇත. ඒවා විවිධ ජන කණ්ඩායම් අනුව, ප්‍රදේශ අනුව, ජීවන රටා හා ආගමික කරුණුකාරණා අනුව වෙන්ස්කම් පෙන්වයි. කෙසේ වෙතත් තේ කලාව සම්බන්ධව චීන ජාතිකයින්ගේ පොදු සිරිත් විරිත් කිහිපයක් ද ඇත චීන ඉතිහාසය තුළ සමාජ මට්ටම් ක්‍රම යටතේ පහළ පන්තියේ යැයි සැලකෙන පිරිස් ඉහළ පන්තියේයැයි සැලකෙන අයට තේ පැන් සංග්‍රහ කිරීමේ ක්‍රමයක් ද විය. ඊට අනුව තේ පැන් සංග්‍රහය පහළ පන්තියේ යැයි සැලකෙන පිරිසගේ කාර්‍යභාරයක්ව පැවතිය ද, වර්තමානය වන විට එම පටු අදහස් පසෙකලා වඩා මානුෂීය මුහුණුවරකින් සංස්කෘතිය වෙනස් වී ඇත. 

ඔබ චීනයේ මිනිසුන් සමග තේ පානය කරන විට, ඔබ අවසන් කිරීමට පෙර ඔවුන් සැමවිටම ඔබේ කෝප්පය නැවත පුරවනු ඇත. එය මිනිසුන්ට ගෞරව කිරීමේ ක්‍රමයක් වන අතර, ඔබ වෙනත් කෙනෙකුගේ කෝප්පයක් නැවත පුරවන්නේ නම්, ඔබ ඔවුන්ට විශාල ගෞරවයක් පෙන්වයි. එමෙන්ම තේ පිළිනොගැනීම අතිශය රළු හා පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස සැලකෙන අතර අඩුම තරමින් උගුරක්වත් පානය කිරීම අත්‍යවශ්‍ය වේ. 

එමෙන්ම තේ පානය කිරිමේ දී එකවර පානය නොකරන අතර, සුහද සංවාදයක් සමග වැඩි වේලාවක් ගත කරමින් තේ පානය කිරීමට ඔවුන් පුරුදුව සිටී. සෑම නිවසකම පාහේ තේ සැදීමට, තේ පිළිගැන්වීමට හා තේ පානයට විශේෂිත වූ උපකරණ ඔවුන් සතුය. පෝසිලේන් මිශ්‍රිත භාණ්ඩ වලට මුල්තැනදීම මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයකි.

Image

චීන සංස්කෘතිය තුළ තේ පිළියෙල කොට පරිබෝජනය කෙරෙන අවස්ථා කිහිපයක්ම ඇත. ඒ අතුරින් ආගන්තුක සත්කාරයක දී තේ පිළිගැන්වීම ප්‍රධාන වේ. එමෙන්ම චීන සම්ප්‍රධායට අනුව තරුණ පරපුරේ සාමාජිකයන් තම වැඩිහිටි පරපුරට ගෞරවය පෙන්වීමට ද තේ පිළිගැන්වීම කරයි. තේ පානයට අවන්හල්වලට ආරාධනා කිරීම ද ඔවුන්ගේ නිවාඩු ක්‍රියාකාරම් අතර ප්‍රධානතම එකකි. විධිමත සමාව ඉල්ලීමේ කොටසක් ලෙසද තේ පිරිනැමීම චීනය තුළ සිදු වේ. 

මේ අනුව දරුවන් තමා අතින් මාපියන්ට වරදක් සිදු වූ විට, ඔවුන්ට තමාගේ ඇති යටහත්පහත් ගෞරවය පෙන්වීමට තේ පැන් සංග්‍රහයක් භාවිතයට ගනී. කෘතඥතාවය පෙන්වීමේ අරමුණින්ද තේ පැන් සංග්‍රහ  කරන අතර, සාම්ප්‍රදායික චීන මංගල උත්සවයකදී මනමාලයා හා මනමාලිය සිය වැඩිහිටි දෙපාර්ශවයට තේ පැන් සංග්‍රහ කරන අතර ඒ මගින් අලුත සම්බන්ධ වූ පවුල් දෙකෙහි එකතුව සංකේතවත් කරයි.

වර්තමානය වන විට චීනයේ ඇතැම් පළාත්වල වැඩිහිටි පාර්ශවය මෙන්ම , තරුණ පෙම්වතුන් දින ගත කිරීමට පාරාදීසයක් ලෙස චීන තේහල් තෝරාගෙන ඇත. මෙහි දී නොයෙක් තේ වර්ග පානයට මෙන්ම, නිදහස් සන්නිවේදනයකට ඉඩහසර ලැබී ඇත. ක්වාන්ජූඩ් තේ හල එලෙස ඉතාම ප්‍රසිද්ධ තේ හලකි.  

චීනයේ තේ පානය කිරීම අතීතයේ සිට කලාවක් සේ පැවැත ආවද ශ්‍රී ලංකාවේ තේ බීම කලාවක් මෙන් සිදු කරනු දැකිය නොහැකිය. නමුත් තේ වැවීම, දළු නෙළීම වැනි නිෂ්පාදන කාර්යයෙහිලා විවිධ සිරිත් විරිත් පැවැතීම දැකිය හැකිය. නමුත් චීනයට අමතරව එංගලන්තය, රුසියාව වැනි රටවල් තේ පානය සංස්කෘතික කලාවක් සේ පවත්වාගෙන යයි. 

 

එල්.එස්.ඉන්දීවරී

තෙවන වසර

නූතන භාෂා අධ්‍යනාංශය

මානව ශ්‍රාස්ත්‍ර පීඨය.