Image

භාෂාව යනු කුමක් ද යන්න සම්බන්ධව ඈත අතීතයේ සිට බොහෝ විද්වතුන්ගේ විචාරාක්ෂිය යොමු වෙමින් තිබේ.එදා මෙදා තුර මානවයාට හමු වී ඇති විශිෂ්ටතම ආයුධයකි මේ භාෂාව. එදිනෙදා ජීවිතයට ඉතා අත්‍යවශ්‍ය, තම ඕනෑ එපාකම් පහසුවෙන් ඉටු කර ගැනීමට භාෂාවේ දායකත්වය අසීමිතය.සත්ත්ව ලෝකය තුළ මානවයා ශ්‍රේෂ්ඨ වන්නේ මන්ද? සන්නිවේදනය යන්න සෑම සත්ත්වයකුටම පොදු සහ අත්‍යවශ්‍ය කාරණාවකි.සත්ත්වයින් තම පිපාසය,කුසගින්න, බිය,කෝපය,ලිංගික අවශ්‍යතාව,සොම්නස,දොම්නස ...යනාදී සෑම අවශ්‍යතාවන් හෝ හැඟීම් ප්‍රකාශ කිරීමට එකිනෙකා  තම පිරිස,ස්වාමියා අතර සන්නිවේදනයේ නියැලෙති.නමුත් ඔවුනට‌ මානවයා මෙන් උච්චාරණ ඉන්ද්‍රියන් භාවිත කොට ශබ්ද පිට කළ නොහැක. එබැවින් ඔවුන් ඔවුනට ආවේණික හඬ,නාද නිකුත් කිරීමෙන් සන්නිවේදන ක්‍රියාවලිය පූර්ණත්වයට පත් කර ගනිති.ඒ අතරින් මානවයාගේ අභිමතය පරිදි ඇති කරන ලද ගිරවුන්, මයිනන්, චිම්පන්සීන් වැනි සතුන් තම දිගු කාලීන පුහුණු කිරීම්වල ප්‍රතිඑල ලෙස ඔවුන්ව කතා කරවති.නමුත් ඔවුනට කිව හැකි වන්නේ තම ස්වාමියා විසින් ලබා දුන් පුහුණුවේ සීමාව දක්වා පමණි.තවද ඒවා හඬ විනා අදහස් හෝ හැඟීම් ප්‍රකාශ කිරීම පිණිස හිතාමතා ගළපා පිට කරන ලද වාගාලාප නොවේ.නමුත් මානවයාට මින් පෙර නොඇසූ විරූ වාගාලාප ජනනය කිරීමටත් එසේ ජනනය කරන ලද වාගාලාප ග්‍රහණය කර ගැනීමටත් හැකි බැවින් ඔහු සත්ත්ව ලොව ශ්‍රේෂ්ඨ වේ.

භාෂාව යන්න කුමක්දැයි පිළිබඳව විවිධ විද්වතුන් විසින් නොයෙකුත් අදහස් ප්‍රකාශයට පත් කොට තිබේ.

  • සාමාන්‍ය ව්‍යවහාරයට අනුව භාෂාව යන්නෙහි අදහස පුළුල් ලෙස සලකන විට “මනුෂ්‍යයා ප්‍රධාන කොට ඇති සත්ත්ව වර්ගයා ඔවුන්ගේ හැඟීම් හා අදහස් ප්‍රකාශ කරන හෝ හුවමාරු කර ගන්නා කවර ක්‍රමයකට වුවද භාෂාව යැයි කිව හැකිය.”
  • “මනුෂ්‍යයින් අතර හැඟීම් හා අදහස් ප්‍රකාශ කරන හෝ හුවමාරු කර ගන්නා කවර ක්‍රමයක් වුවද භාෂාව නමින් හැඳින්විය හැකි ය.”
  • ක්‍රමවත් ලෙස පිළියෙල වූ ශබ්ද සංකේත සමුදාය භාෂාවයි. ”
  • “පොදු ව්‍යවහාරය මගින් ක්‍රමානුකූලව පිළියෙල වී සමාජ සම්මුතිය ලත් වාග් ශබ්ද සංකේත සමුදාය භාෂාවයි” 
  • “ජනතාව අතර සම්බන්ධතාව ගොඩ නගන ඉතා වැදගත් සමාජ බන්ධනය භාෂාවයි. ”
  • “භාෂාව නම් එය කතා කරනු ලබන ජනතාවත් සමඟ හැදී වැඩී වෙනස් වන සුලු සමාජ සංස්ථාවක්.”
  • “මනුෂ්‍යයන් අදහස් හුවමාරු කරගන්නා ප්‍රධාන මාර්ගය භාෂාවයි. ”
  • “ශබ්ද උච්චාරණය හා ශ්‍රවණය මගින් මිනිසුන් අතර හැඟීම් හා අදහස් හුවමාරු කර ගන්නා මාර්ගය භාෂාවයි”

මීට අමතරව ජෝර්ජ් එල්.ටෙරගර් සහ බර්නාඩ් බ්ලොක් ,භාෂාව යනු ,“මිනිසුන් සමාජීය සමූහයක සාමාජිකයින් ද සංස්කෘතික කොටස්කරුවන් වශයෙන් අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය හා සන්නිවේදනය සඳහා යොදා ගන්නා සම්මුතිය වූ වාග් සංකේත පද්ධතියක් බව පැහැදිලි වේ.” යනුවෙන් දක්වා ඇත.

වාග්විද්‍යාවේදී භාෂාව යන්නෙන් අදහස් කරන්නේශබ්ද උච්චාරණය හා ශ්‍රවණය මගින් මිනිසුන් අතර අන්‍යෝන්‍ය අදහස් හා හැඟීම් හුවමාරු කරගන්නා මාර්ගය යි.කලින් හිතාමතා ක්‍රමානුකූලව පිළියෙල කරගත් අදහස් මාලාවක් ශබ්ද පිට කරන ඉන්ද්‍රියන් මගින් පිට කිරීම උච්චාරණය යි. “ යනුවෙනි.

Image

ශබ්ද උත්පාදනයේ දී අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් ලෙස පෙනහලු දැකිය හැකිය. උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය මුල් කොට ගෙන ශබ්දයක් නිෂ්පාදනය කිරීමේ දී එම ශබ්දය සඳහා ප්‍රධාන ශක්තියක් ලබෑ දෙන්නේ ශ්වසන වායුව මගිනි. ශ්වසන වායුව පෙනහලුවලට නාසික රන්ද්‍රයෙන් සහ මුඛ රන්ද්‍රයෙන් ඇතුළු වීමේදී ආගාමී වායුව ලෙසින් පිට කිරීමේදී විගාමී වායුව ලෙසින් හැඳින්වෙයි.ශබ්ද උත්පාදනයේ දී බොහෝ අයුරින් යෙදෙනුයේ මෙම විගාමී වායුවයි. ආශ්වාස, ප්‍රාශ්වාස සිදු වන්නේ මහා ප්‍රාචීරිකා පේශියේ ක්‍රියාකාරීත්වයෙනි.මහා ප්‍රාචීරිකා පේශිය පහත් වන විට පෙනහලුවලට වායු ධාරා පිරෙණ අතර උස් වන විට පෙනහලු‌ තුළින් වායු පිටවෙයි. පෙනහලුවල සිට පිට කරන වායුව ස්වරාලයේ දී ස්වර තන්තු ( Vocal Folds ) අතරින් පිට වෙයි. ස්වර තන්තු යනුවෙන් මෙහිදී අදහස් කරනුයේ ස්වරාලයේ පිහිටා ඇති මාංශමය පටක විශේෂයකි.ආශ්වාස, ප්‍රාශ්වාසකරණයේදී ඈතින් පිහිටන දාර්වික කාටිලේජ භාෂණයේ දී සමීපව චලනය වෙයි.මේ ආකාරයට ස්වර තන්තු සමීප කිරීම හේතුවෙන් වායුවට ඉතා කුඩා සිදුරක් ඔස්සේ ගමන් කිරීමට සිදු වේ.මෙම කුඩා සිදුර ( විවරය ) ශ්වාසමුඛය ( Glottis ) නම් වෙයි. භාෂණයේදී මෙම ශ්වාසමුඛයෙන් වායු කදම්භ වරණය වන හෙයින් වායු පීඩනය ඉහළ යන අතර වායුවේ වේගය අනුව ස්වර තන්තුවල සංකෝචනය හා විකෝචනය ඇති වෙයි. මෙම සංකුචිත හා විකුචිත ස්වර තන්තු කම්පනය කරමින් පිටවන වායුවෙන් ශබ්ද නිෂ්පාදනය වෙයි.

Image

නිර්මලා බාලක්‍රිෂ්ණන්,

විශේෂවේදී තෙවන වසර,

වාග්විද්‍යාව අංශය,

මානව ශාස්ත්‍ර පීඨය.