Image
ලොව ඕනෑම භාෂාවක් බැහැරට ව්‍යක්තිගත වනුයේ භාෂණයෙන් හෝ ලේඛනයෙනි. වාග්විද්‍යාව තුළදී භාෂණ ව්‍යවහාරයට උසස් තැනක් ලබා දුන්නත් සාමාන්‍ය ජනතාව උසස් ගණයෙහිලා සලකනු ලබන්නේ ලේඛන ව්‍යවහාරයයි. ලොව සන්නිවේදන ක්‍රියාවලිය තුළ මුලින්ම ඇතිවුයේ භාෂණයයි. ලේඛන කලාව ආරම්භ වනුයේ භාෂණ ව්‍යවහාරය ඇති වී බොහෝ කාලයක් ගත වීමෙන් පසුවය. භාෂාවක සිදුවන පරිණාමය හෝ සමාජයීය යම් වෙනස්වීමක් වඩාත් ඉක්මනින් බලපානුයේ භාෂණ ව්‍යවහාරටය.  එනම් දැනට වසර ගණනාවකට පෙර භාවිත වූ වචන අද වන විට භාවිත නොකරන අවස්ථා පවතී. නව සොයාගැනීම්, කාලීන සිදුවීම් සමඟ භාෂාවකට අලුතින්  වචන එක්වේ. මේ හේතුවෙන් ලේඛනයට සාපේක්ෂව භාෂණය ඉතා ඉක්මනින් වෙනස් වේ. නමුත් යම් ව්‍යවහාරයක් ලේඛනයට ඇතුළත් වීමට බොහෝ කාලයක් ගතවේ. කතාබහේදී ව්‍යාකරණ නීති රීති, භාෂා රීතීන් පිළිබඳව වැඩි තැකීමක් නොකළද, ලේඛනයේ දී ඒ සියල්ලටම අනුගතව  යම් භාෂක සමාජයක් විසින් සම්මත කොටගත් විධිමත් ක්‍රමයකට අනුව ලියා දැක්විය යුතුවේ. මේ නිසාම සාමාන්‍ය ජනතාව ලේඛනය උසස් යැයි සලකනු ලැබේ.
ලේඛන කලාවේ ආරම්භය කවදා කොතැනක කවුරුන් විසින් ආරම්භ කරන ලද්දක්දැයි කිව නොහැකිය. නමුත් එය භාෂණ  ව්‍යවහාරයෙන් බොහෝ කලකට පසුව ඇති වූ බව නම් නිසැකය. මන්ද යත් අද වන විටත් ලොව ලේඛන කලාවක් නොමැති භාෂා ශේෂව පවතී. කතාබහේදී සිදු වන්නේ සිතෙහි හටගන්නා අපගේ අදහස් ශබ්දෝච්චාරණ  ඉන්ද්‍රිය පද්ධතිය උපයෝගී කොටගෙන  ශබ්ද වලට හරවා පිට කිරීමයි. ලේඛනයේ දී සිදුවන්නේ එම අදහස් ගෙනෙන භාෂා ශබ්ද, සම්මත භාෂා සංකේත/ අක්ෂර මඟින් ඉදිරිපත් කිරීමයි. මේ නිසාම භාෂාව සටහන් කර දක්වන ලේඛන කලාවේ ජීව ගුණයට වඩා භාෂණයේ ජීව ගුණය ඉතා ඉහළය. ප්‍රාණවත් ගතිය, පැතිරී යෑමේ හැකියාව, හඬ විවිධත්වය, අංග චලන මඟින් ඉදිරිපත් කෙරෙන නිර්මාණශීලීත්වය ලේඛනයේ දක්නට නොමැත. භාෂණයේද ව්‍යාකරණයක් පැවතියත් එය ලේඛනයට වඩා සරලය. එය එසේ වුවත් පරම්පරා හමුවේ යම් භාෂාවක තොරතුරු, දත්ත රැස් කොට සංරක්ෂණය කළ හැක්කේ ලේඛනය හරහාය. පුද්ගලයන් සමග වුවද ස්ථිර භාවයකින්, වඩාත් විශ්වාසී ලෙස යම් තොරතුරක් හුවමාරු කර ගැනීමේදී ලේඛනය ඉතා උසස් වේ. වැදගත් වේ. එය කෙතරම් වටිනාකමකින් යුක්ත වේදැයි කිවහොත් "භාෂාව නොමැතිව මනුෂ්‍යවයක් හෝ ලිඛිත භාෂාවක් නොමැතිව සභ්‍යත්වයක් හෝ නැත" යනුවෙන් නූතන වාග් විද්‍යාඥයන් පෙන්වා දෙයි. මනුෂ්‍ය සංහතියේ සංස්කෘතිය හෝ සභ්‍යත්වයද ආරක්ෂා කොට ගන්නෙ ලේඛන කලාව මඟිනි. ලේඛන වාර්තා නොමැතිදා භාෂාවක, රටක හෝ ඕනෑම දෙයක ඉතිහාසය, සංස්කෘතිය පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි නොවේ. මේ හේතුවෙන් භාෂණය මෙන්ම ලේඛනයේද ඇති වටිනාකම අපරිමිතය.
ලේඛන කලාවේ ආරම්භය සිදුවී ඇත්තේ චිත්‍ර හා රූ සටහන් පාදක කොට ගෙනය. ගල්ගුහාවල ජීවත් වූ ශිෂ්ට හෝ අශිෂ්ට ආදි මානවයා ගල් මත, මඩෙහි හා මැටි පුවරුවල මෙන්ම ගස් පොතුවල හෝ තෙලි සම්වල අඳින ලද විවිධ චිත්‍ර, ලේඛන කලාවේ මූලාරම්භයට අඩිතාලම සැපයීය. ප්‍රංශය, ස්පාඤ්ඤය හා ස්කැන්ඩිනේවියාවේ ගල් ගුහා තුළින් එලෙස ලොව පැරණිම ගුහා චිත්‍ර හමුවී තිබේ.

Lascaux paintings - France

Image
එවකට යුරෝපයේ සිටි ප්‍රාග් ඓතිහාසික මානවයා දඩයමෙහි යෙදුණු ආකාරය හා ඔවුන් දඩයම් කළ විශාල සතුන් දැක්වෙන රූප එම චිත්‍රවල ඇතුලත්ය. එසේම උතුරු ඇමරිකාවේ වාසය කළ රතු ඉන්දියානුවන් කතාන්දර කීමේදී හා සිද්ධීන් විස්තර කිරීමේදී ගස්වල පොතු මත කෙටූ රූප සටහන් භාවිත කළ බවටද සාක්ෂි හමුවී තිබේ. එලෙස ආදිකාලීන මානවයා යම් සම්පූර්ණ සිද්ධියක් විස්තර කිරීමට මෙන්ම ඇතැම් විට තනි අදහසක් දැක්වීමටද චිත්‍ර ලිපි ඇඳි බව පෙනේ. චිත්‍රයක් එකම ක්‍රමයට නිතර  ඇඳීම හේතුවෙන් ඒවා සමාජ සම්මුතික සංකේත බවට පත්වී සංකේත මාලාවක් ගොඩනැඟේ. ඒවා චිත්‍රාක්ෂර ලෙස වර්තමානයේදීත් ඇතැම් භාෂාවල  ශේෂව පවතී. ලොව පැරණිම චිත්‍රාක්ෂර හමුවන්නේ මෙසපොතේමියාවේ විසූ පැරණි සුමේරියානුවරුන්, නයිල් ගඟ මිටියාවතේ විසූ පැරණි ඊජිප්සියන්වරුන් හා චීනුන් විසින් භාවිතා කළ චිත්‍රාක්ෂරයන්ය. අද වන විටත් චීනයේ හා ජපානයේ මෙවැනි චිත්‍රාක්ෂර භාවිතයේ පවතී. සුමේරියානුවන් විසින් එලෙස හඳුන්වාදුන් චිත්‍රාක්ෂර 'වදන් රූප' (Word Pictures) ලෙසින් හැඳින්වේ.
මින් පසුව ලේඛන කලාවට බලපෑම් සිදු කිරීමෙහිලා බිහිව ඇත්තේ ‘සංකල්ප - අදහස් ලිවීමේ ක්‍රමය’යි. ( Ideogram) යම් සංකේතයක් මඟින් එක් අර්ථ නිරූපණයකට සීමා නොවී අර්ථ කිහිපයක් ඉදිරිපත් කිරීම ඒ තුළින් සිදුවිය. නිදසුනක් ලෙස හිරුගේ රූපයක් මැටි කැටයක ඇඳීමෙන් 'හිරු' යන අර්ථය පමණක් නොව පසුව 'දවස' යන අර්ථය නිරූපණයටද එය භාවිතා කොට ඇත. කුරුල්ලාගේ රුව ‘කුරුල්ලා’ යන අර්ථයට මෙන්ම පියෑඹීම පෙන්වීමටද යොදාගෙන ඇත. මිසරයේ ව්‍යවහාරයේ පැවැති මෙම චිත්‍රාක්ෂර පළමුවෙන්ම ශබ්දාක්ෂර  බවට හැරවූයේ ෆීනිෂියන්වරුන්ය. ඔවුන් මැටි කැට සාදා ඒවා මත උල් කරගත් ලී කැබැල්ලක් මඟින් ලිවීම කළ බවට සාධක හමුවී තිබේ. එය පසුව කූඤ්ඤාක්ෂර බවට පරිවර්තනය විය. හීබ්‍රෑවරුන් මෙම ක්‍රමවේදය තවත් දියුණු කරන ලදී. මෙසපොතේමියාවේද සම කාලයේ එවැනි ඛීල හැඩයේ අක්ෂර භාවිතා කළ බවට සාක්ෂි හමුවී තිබේ. සිංහල භාෂාව ඇතුළු නූතන ඉන්දු ආර්ය භාෂාවල ලේඛන ආරම්භයට පන්නරය සැපයූ බ්‍රාහ්මීය අක්ෂරද පරිණාමය වී ඇත්තේ මිසරයේ පැවති චිත්‍රාක්ෂර වලින් පැවතෙන "උත්තර ඇරමයික්" හෝඩියෙන් බවටද විද්වත් මතයක් පවතී. කෙසේ වුවත් මෙකල භාවිතා කල අක්ෂර මාලාවන් චිත්‍රාක්ෂරයන්ගෙන් බිඳී අවුත් පසුව ඊජිප්තුවේ සිට ෆිනීෂියන්, හීබ්‍රෑ හා ග්‍රීක භාෂා හරහා බටහිරටත්, ෆිනීෂියන්, උත්තර සෙමිටික් හා අරමයින් භාෂා හරහා ඉන්දියාව දක්වා නැගෙනහිරටත් එකිනෙකට වෙනස් වූ සම්ප්‍රදායන් දෙකකින් පරිණාමය වී ඇත. පසුව එම අක්ෂර කලාවන් සම්මත වීමෙන් ලේඛන කලාව ක්‍රමයෙන් වර්ධනය වී ඇත.
Image
Image

ක්‍රි.ව 3100 - 2900 අතර කාලයේ මිසරය ලේඛන කලාව උදෙසා පැපිරස් පත්‍ර භාවිත කොට තිබේ. නයිල් ගඟ අසබඩ වැවෙන පැපිරස් නැමැති ශාකයේ කඳ තුළින් කපා ගනු ලබන පටි, දින තුනක් පමණ පමන වතුරේ දමා ,දිය බේරා, තදැති රෝලක් වැනි උපකරණයකින් හොඳින් තලා, ලංකාවේ පොල් අතු වියනවා මෙන් අංශක 90° කෝණයකින් එම පටි එකට තබා කඩදාසි නිර්මාණය කොට ඇත. දින කිහිපයකින් එහි තෙතමනය ඉවත්ව ගිය පසු එම පත්‍රිකා වල සුමට භාවය තවත් වැඩිකර ගැනීමට බෙල්ලන් කුඩුකරගත් සියුම් කුඩු ඇකේසියා ශාකයෙන් මැලියම් උපයෝගී කොටගෙන අලවා තිබේ. මළානික කහ පැහැයක් ගන්නා පැපිරස් පත්‍රයන්ට කාලයත් සමඟ මානවයා දියුණු වීමේදී විවිධ පැහැයන් ගල්වා තිබේ. ‘ඔකර්’ නම් යපස් වලින් රතු පැහැයද, දැලි වලින් කළු තීන්තද ඔවුන් නිර්මාණය කොට ගෙන තිබේ. වර්තමානයේ paper  යන්න බිඳී ඇත්තේ ද මෙම Papyrus යන පදයෙන් බව කියවේ.

- පැපිරස් පත්‍ර නිර්මාණය -

Image

පැපිරස් පත්‍රයන්ගෙන් පසු වසර තුන්දාහක් පමණ ගතවනතුරු ලේඛනය සඳහා වෙනත් එකඳු ආදේශකයක් හෝ සොයාගැනීමට මානවයා අපොහොසත් විය. නමුත් ක්‍රි. පූ 100 / 105 අවධියෙදි ලේඛන කලා ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරමින් චීන ජාතිකයන් විසින් කඩදාසිය සොයා ගන්නා ලදී. චීනයේ හන් අර්ධද්වීපයේ රාජ්‍ය සේවයෙන් යුතුව සිටි ‘ට්සායි ලුං’ නැමැති පුද්ගලයා එලෙස කඩදාසි ලොවට හඳුන්වා දුන් බවට සැලකේ. මල්බෙරි ගසේ යටි  පැත්ත ගෙන එය උණ පතුරුවල කෙඳි සමඟ  වතුර ද මිශ්‍ර කොට, ලී පතකින් කලවම් කර, එම මිශ්‍රණය රෙදි කැබැල්ලක් මත තුනී කොට, වතුර බේරා වියළා ගන්නා ලදී. එවිට රෙදි කැබැල්ල මත  කෙඳි පමණක් ඉතිරි විය. එම කෙඳි වියළුණු පසු යමක් ලිවිය හැකි, බරින් ඉතා අඩුවූත්, වඩා සුදු පැහැ මතුපිටකින් යුක්ත  විය. එලෙස ඔහු තුළින් ලොව මුල්ම කඩදාසි නිර්මාණය විය. චීන රජය විසින් පසුව කඩදාසි නිර්මාණයෙහිලා ඔහුට රාජ්‍ය අනුග්‍රහය දක්වා තිබේ. නමුත් චීන ජාතිකයන් ඔවුන් සොයා ගත් මෙම රහස ලොව අනෙක් රටවල් සමග බෙදා ගැනීමට අකමැති විය.  නමුත් ශතවර්ශ ගණනාවක් ගත වීමේදී යුධමය කටයුතු හා වෙළඳාමේ ප්‍රතිඵලයක් ලෙස එලෙස රැකගත රහස මැදපෙරදිගට සංක්‍රමණය විය. යුද සිරකරුවන් ලෙස අරාබි ආක්‍රමණිකයන් ග්‍රහණයට ලක්වූ චීන භික්ෂූන් දෙපලක් සිය නිදහස වෙනුවෙන් කඩදාසියේ රහස ඔවුන්ට ලබා දුන් බව පැරණි පොතපතෙහි සඳහන් වේ. ඒ වන විටත් මධ්‍යතන යුගයේ යුරෝපීය ක්‍රිස්තියානිවරුන් රෙදි කැබලි මඟින් කඩදාසි නිපදවීමට උත්සාහ දරා තිබේ. ක්‍රිස්තු වර්ෂ 1200 දී ක්‍රිස්තියානි යුරෝපීන් එවකට ඉස්ලාමීය වූ ස්පාඤ්ඤය ආක්‍රමණය කිරීමත් සමඟ ඔවුන්ට චීනයේ තිබූ ඒ දැනුම අත්පත් කර ගැනීමට හැකි විය. සමකාලයේ හෙන්ඩ්‍රි ෆවුන්ඩ්‍රිනේ විසින් ප්‍රථම වරට යන්ත්‍රානුසාරයෙන් කඩදාසි නිර්මාණය ආරම්භ කර ඇත.

Image
කඩදාසියක දෙපැත්තෙහිම ලී අච්චු මඟින් අකුරු නිර්මාණය කිරීමේ මුද්‍රණ ක්‍රමයක් හඳුන්වාදී ඇත්තේ 1038 දී "ෂී සෙන්ග්" නැමැති චීන ජාතිකයායි. Movable type නොහොත් චලන මුද්‍රණය ලෙස හැඳින්වූ එම ක්‍රමයේ දී අකුරු හා මෝස්තර තමාට අවශ්‍ය පරිදි එහා මෙහා කර මුද්‍රණය කිරීමට හැකියාව ලැබිණි. පසුව "උත්තල මුද්‍රණය" ( Relief printing ) ලෙස හැඳින්වූ අක්ෂර හැඩය මතු කරමින් උඩට නෙරපූ ආකාරයෙන් අක්ෂර කපාගෙන ඒවා තීන්තවල ඔබා කඩදාසි මත තෙරපමින් අක්ෂර මුද්‍රණය කරන ලදී. වේගවත් මෙන්ම කල් පැවැත්ම වඩා හොඳ වූ බැවින් එය වඩාත් ජනප්‍රිය විය. එලෙස ලොව මුද්‍රණය වූ මුල්ම පොත ලෙස සැලකෙන්නේ "වජ්‍ර සූත්‍රය" ( Diamond Suthra ) ලෙස හැඳින්වූ "වොන් චී" විසින් තම දෙමාපියන්ට පින් පිණිස බෙදාහැරීමට මුද්‍රණය කළ ග්‍රන්ථයයි. එහි අන්තර්ගතය වන්නේ මහායාන බුදුදහමේ අන්තර්ගත වන වජ්‍ර සූත්‍රයම වේ. එය ක්‍රි.ව 868 මැයි එකොළොස් වන දින මුද්‍රණය කර ඇති අතර එහි දිග අඩි දාසයක් විය.
එලෙස චීන ජාතිකයන් විසින් මුද්‍රණ ශිල්පය ලොවට හඳුන්වා දෙද්දී එය තාක්ෂණික කාර්යයක් බවට පත් කරන ලද්දේ ජර්මන් ජාතික ජොහැන්නස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමෙනි. මිදි පෙරීමේ තාක්ෂණය යොදා ගනිමින් ක්‍රි.ව 1440 දී උත්තල මුද්‍රණ ක්‍රමය අනුගමනය කරමින් මුල්කාලීනව  එහි මුද්‍රණ කටයුතු ආරම්භ විය.  යුරෝපය පුරා මෙම මුද්‍රණ තාක්ෂණය ව්‍යාප්ත වනුයේ ඔහු මුද්‍රණ ශිල්පයේ පියා ලෙස ගෞරවාදරයට පත් කරමිනි. ක්‍රි.ව 1476දී විලියම් කැක්ස්ටන් විසින් එංගලන්තයට මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දෙන ලදී. ක්‍රි.ව  1793 දී ජර්මනියේ මියුනිචි හී, ඇලෝයි සෙනෙෆෙල්ඩර් විසින් "සමතල මුද්‍රණ ක්‍රමය" සොයා ගැනීමත් ලේඛන කලාවේ ගමන් මඟෙහි විශේෂ සංධිස්ථානයක් විය. මේ හේතුවෙන් අත් පිටපත් වලට සීමා නොවී මුද්‍රිත පිටපතක් ලෙස වඩාත් කාර්යක්ෂමව, පහසුවෙන් භාවිත කළ හැකි මුද්‍රිත පිටපත් ලොව පුරා බෙදා හැරීමට හැකි වීම භාෂාධ්‍යයන ඉතිහාසය නවමු මාවතකට යොමු කරන ලදී. ක්‍රි.ව 1814 දී එලෙස ලොව පළමු වරට රොටරි යන්ත්‍රය භාවිතා කොට ජර්මනියේ ටයිම්ස් පුවත්පත මුද්‍රණය කරන ලදී. ක්‍රි. ව 1868 දී ක්‍රිස්ටෝපර් ෂෙල්ස් විසින් යතුරු ලියනය නිපදවීමත්, දහනමවන සියවසේ අග භාගයේදී පමණ ඔත්මාර් මාර්ගක්තැලන් විසින් type setting  හඳුන්වාදීමත් සමග සමග මිනිසා පුවත්පත්, විවිධ පොත්පත් මුද්‍රණයට  පෙළඹීය. එලෙස පන්නරය ලැබූ ලේඛන කලාව අද වන විට තාක්ෂණයත් සමග ඩිජිටල් මුද්‍රණ කලාවක් වෙත පැමිණ තිබේ.
 
බී.ලක්ෂිකා මදුශානි
විශේෂවේදී තෙවන වසර
වාග්විද්‍යා අධ්‍යනාංශය
මානවශාස්ත්‍ර පීඨය