Image
‘ලිංගිකත්වය’ (Sexuality) යන වචනය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? මදක් සිතන්න. ‘ලිංගිකත්වය’ යන වචනය පිළිබඳ ශ්‍රී ලාංකික සමාජය තුළ ඇත්තේ ඉතා පටු දැනුමක් බව වර්තමානයේ සිදුවන නොයෙකුත් ලිංගික අතවර හා අපයෝජන දෙස බලන විට පැහැදිලි වේ. සමාජයේ ලිංගිකත්වය පිළිබඳ විවෘතව කතා කිරීමට පවා සමාජය තුළ ඇත්තේ ලැජ්ජාශීලී ස්වභාවයක් බවකි. නිදසුනක් ලෙස පාසල් අධ්‍යාපනයේ දී පවා ලිංගිකත්වය පිළිබඳ පාඩම්, විවෘතව දරුවාට ඉගැන්වීමට ගුරුවරුන් තුළ පවා ඇත්තේ කුලෑටි බවකි. එසේම ශ්‍රී ලාංකාවේ පාසල් අධ්‍යාපනික විෂය නිර්දේශය තුළ වුවද මෙම ලිංගික අධ්‍යාපනය පිළිබඳ ප්‍රමාණවත් ඉගැන්වීමක් නොකරන බවද හඳුනාගත හැක. කෙසේවෙතත්, ලිංගිකත්වය පිළිබඳ දැනුම පුළුල් කර ගැනීම සහ නිසි අවබෝධයක් ලබා ගැනීම අප සැමට වැදගත් වේ.
ලිංගිකත්වය යනු කුමක්ද? යන ප්‍රශ්නයට පිළිතුර ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ලෙස සරලව පෙන්වා දිය හැකි වුව ද මෙය ඉන් එහා ගිය පුළුල් ලෙස පැතිරුණු මාතෘකාවක් බව අවබෝධ කර ගත යුතු ය. ලිංගිකත්වය යනු, කෙනෙකුගේ ලිංගික සිතුවිලි, ලිංගික හැඟීම්, ආකර්ෂණය සහ හැසිරීම් යන මේ සියල්ලන්ගේම එකතුවයි.  ලිංගිකත්වය යන වචනය තුළ අන්තර්ගත වන්නේ ලිංගික ක්‍රියාකාරකම් පමණක් නොවේ. එය ඉන් එහා ගිය මානසික, ආධ්‍යාත්මික සහ සමාජීය කාරණාවන්ගෙන් ද ගැබ් වූවකි. ලිංගිකත්වය යනු කෙනෙකුගේ ලිංගික සිතුවිලි, ලිංගික හැඟීම්, ආකර්ෂණය සහ හැසිරීම් යන මේ සියල්ලන්ගේම එකතුවයි.  ස්ත්‍රී - පුරුෂ ලෙස ප්‍රධාන කොටස් දෙකක් පමණක් සමාජයේ බොහෝ අවස්ථාවල යොදා ගැනුන ද මෙම ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශවයටම අමතරව තවත් පාර්ශවයක් සමාජය තුළ ජීවත්වේ. ඔවුන් පිළිබඳ සමාජය කුමන කෝණයකින් බැලුව ද ඔවුනුත් සාමාන්‍ය මනුෂ්‍යයන් බව අමතක නොකළ යුතු ය‍. හැඟීම් සහ ආදරය යන වචනවල ඇති සංකීර්ණතාවය පිළිගන්නා ඕනෑම අයෙකු මෙම තෙවන පාර්ශවය දෙස මානුෂීයව බැලිය යුතු බව තේරුම් ගත යුතු ය. අද මෙම ලිපිය වෙන් වන්නේ එම තෙවන පාර්ශවය සඳහායි.
Image
ලිංගිකත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පුද්ගලයකු අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් පිළිබඳ පර්යේෂකයින් පෙන්වා දෙයි. ඉන් පළමුවැන්න ජීවවිද්‍යාත්මක ලිංගිකත්වය (Biological Sex) යි. දෙවැන්න ලිංගික අනන්‍යතාවය (Sexual Identity) යි. තුන්වැන්න ලිංගික නැඹුරුතාවය (Sexual Orientation) යි. ‘ජීවවිද්‍යාත්මක ලිංගිකත්වය’ යනු, පිරිමි සහ ගැහැණු අතර පවතින ජීව විද්‍යාත්මක වෙනස්කම්ය. නිදසුනක් ලෙස ලිංගික අවයව, වර්ණදේහ සහ හෝමෝන පෙන්වාදිය හැක. ‘ලිංගික අනන්‍යතාව’ ලෙස හඳුන්වන්නේ කෙනෙකුගේ ලිංගික සහකරුගේ ලිංගභේදය හෝ අනෙකුත් ලිංගභේදයන් මත පදනම්ව තමන්ව නිර්වචනය කරනවාට වඩා, තමාගේම අත්දැකීම්, සිතුවිලි සහ ප්‍රතික්‍රියා මත පදනම්ව, එකම ලිංගයේ හෝ වෙනත් ලිංගයේ සාමාජිකයන් වෙත ඇති ආකර්ෂණය අනුව තමා ගැන සිතන ආකාරය යි. සරලවම දැක්වුවහොත් කෙනෙක් තමන්ගේ ස්ත්‍රී - පුරුෂභාවය පිළිබඳ සිතින් දකින ආකාරය යි. සාමාන්‍යයෙන් සමාජයේ මතය වන්නේ, උපතේදී පුරුෂ ලිංගේන්ද්‍රයක් පිහිටන්නේ නම් සිතිනුත් පුරුෂයෙක් ලෙස සිතිය යුතු බවත්, උපතේ දී ස්ත්‍රී ලිංගික පද්ධතියක් පිහිටන්නේ නම් ස්ත්‍රියක් ලෙස සිතින් ද කල්පනා කළ යුතු බවයි. නමුත් මෙම තත්ත්වය වෙනස් කරමින් සමාජයේ ඇතැම් පුරුෂයන් ස්ත්‍රීන් ලෙසත් ස්ත්‍රීන් පුරුෂයන් ලෙසත් සිතන, හැසිරෙන අවස්ථා දැක ගත හැක. මෙය අතීතයේ දී මානසික රෝගයක් (Gender identity disorder) ලෙස හැඳින්වුවද, 2019 වසරේ සිට මෙය Gender dysphoriaලෙස හැඳින්වෙන අතර තවදුරටත් එය රෝගයක් නොවන බව තහවුරු විය.  මන්ද, රෝගයක් නම් ඖෂධ මඟින් සුව කළ හැකි විය යුතු අතර මෙය එවැනි තත්ත්වයක් නොවන බව සොයා ගැනීමයි. මෙම තත්ත්වයට හේතුව විද්‍යාත්මකව ද නිශ්චිතව පැවසිය නොහැකි අතර බොහෝ විට ජානමය වෙනස් වීමකින් හෝ පුද්ගලයා හැදෙන වැඩෙන පරිසරය සමඟ හෝ වෙනස් විය හැක. සමාජයේ ඇතැම් පුද්ගලයන් මෙවැනි පුද්ගලයන්ව උපදේශනයෙන් හෝ දඬුවම් දීමෙන් වෙනස් කිරීමට උත්සහ කළ ද එය නිෂ්ඵල මෙන්ම හිංසාකාරී බව ද මෙහිදී පසක් කළ යුතු ය. මෙවැනි පුද්ගලයන්ට උපතින් ලැබෙන ශරීරාංගයන් කුමක් වුවද ඔවුන්ගේ හැඟීම් මඟින් ඔවුන්ට, ඔවුන්ව දැනෙන ආකාරය අනුව ඔවුන් ස්ත්‍රී - පුරුෂ බව තීරණය කරයි.
මෙවැනි පුද්ගලයන් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උත්සහ ගැනීමෙන් බොහෝ අවස්ථාවල ආතතියට පත් වේ. ඔවුන් තම ලිංගික අනන්‍යතාවය (Sexual Identity) හඳුනාගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ විවිධ ක්‍රියාමාර්ග ගන්නා අතර එහිදී කෙනෙක් තමන් අඳින පළඳින ආකාරය සහ හැසිරීම වෙනස් කිරීමට පෙළඹිය හැකි යි. තවත් අයෙක් මෙයට විසඳුමක් ලෙස හෝමෝන ප්‍රතිකාර (Transgender hormone therapy) සඳහා යොමු වන අතර එහිදී විරුද්ධ ලිංගික හෝමෝන කෘත්‍රිම වශයෙන් ශරීරයට ලබා ගැනීමෙන් විරුද්ධ ලිංගික ලක්ෂණ වර්ධනය කර ගනියි. මෙයට තවත් විසඳුමක් ලෙස ශල්‍යකර්ම මඟින් විරුද්ධ ලිංගික අවයව ලබා ගැනීමද සිදු කරයි. පොදුවේ මෙය Sex reassignment surgery ලෙස හඳුන්වයි. එම ශල්‍යකර්ම මඟින් මුහුණේ හැඩය, පපු ප්‍රදේශය, හඬ, ප්‍රජනක පද්ධතිය ආදී වශයෙන් බාහිරින් මෙන්ම අභ්‍යන්තරව ද අවයව වෙනස් කිරීමේ හැකියාව පවතියි. නමුත් මෙම ශල්‍යකර්ම කිරීමෙන් අනතුරුව දරුවන් බිහි කිරීමේ හැකියාවක් නොමැත. මෙලෙස විරුද්ධ ලිංගිකයෙකු බවට පවන්නන් ‘සංක්‍රාන්තික ලිංගිකයින්’ (Transsexual / Transgender) ලෙස හඳුන්වනු ලබයි.
Image

ලිංගිකත්වය පිළිබඳ කතිකාවතේ දී හමුවන තුන්වැන්න ‘ලිංගික නැඹුරුතාවය’ (Sexual Orientation) යි. එනම් පුද්ගලයෙකුට, වෙනත් පුද්ගලයන් පිළිබඳ ඇති වන ආදරය සහ චිත්තවේගීය හෝ ලිංගික ආකර්ෂණය යි. සරලවම දැක්වුවහොත් කෙනෙක්ට තමන්ගේ ලිංගික ආකර්ෂණය ඇතිවන පුද්ගලයාගේ ස්ත්‍රී - පුරුෂභාවය යි. ඔබට මෙම තත්ත්වය සමාජය තුළ විවිධාකාර වචනවලින් කන් වැකී තිබිය හැකි යි. Gay, Lesbian, Transgender ආදී වශයෙන් ද එමෙන්ම මෙලෙස සම්මතයෙන් එහා ගිය, සමාජයේ පුද්ගලයින් හැඳින්වීමට LGBT .. ආදී වශයෙන් සමාජයේ විවිධ යෙදුම් භාවිත කරන අතර, මේ සියල්ලන්ගෙන් අදහස් වන්නේ සමලිංගිකත්වය යැයි සමාජයේ බොහෝ පුද්ගලයන් තුළ වැරදි වැටහීමක් ඇත. නමුත් එය එසේ නොවේ. මෙම එක් එක් වචන තුළින් වෙනස් වූ අර්ථ සහ වෙනස් වූ හැඟීම් අර්ථ ගන්වන බව ඔබ මින් ඉදිරියට දැනුවත් විය යුතු ය. ලිංගික නැඹුරුතාවය පිළිබඳ පර්යේෂකයින්ගේ ඉදිරිපත් කිරීම්වලදී විවිධාකාරයේ පුද්ගල කොටස් හඳුනාගෙන ඇත. එහිදී LGBT යන සරල යෙදුමෙනුත් වර්තමානයේ LGBTQIA+  ආදී වශයෙන් තවදුරටත් කොටස් කර ඇත. LGBT යන කෙටි යෙදුමෙන් අර්ථවත් වන්නේ Lesbian, Gay, Bisexual සහ Transgender යන්නයි.

LGBT ප්‍රජාව නියෝජනය කරන කලාප හයේ දේදුනු කොඩිය (A six-band rainbow flag representing the LGBT community)
ස්ත්‍රීන් වෙත ආකර්ෂණය ඇති වන ස්ත්‍රීන් ‘Lesbian’ (ලෙස්බියන්) ලෙස හඳුන්වන අතර ‘Gay’ (ගේ) ලෙස හඳුන්වන්නේ පුරුෂයින් වෙත ආකර්ෂණය ඇතිවන පුරුෂයන් ය. මෙම දෙපිරිස පොදුවේ සමලිංගිකයින් (Gay) ලෙස හැඳින්විය හැක. ‘Bisexual’ (ද්විලිංගික) ලෙස හඳුන්වන්නේ ගැහැණු පිරිමි ‌දෙපාර්ශවයටම පොදුවේ ආකර්ෂණය ඇති වන පාර්ශවයයි. මොවුන්ව ‘Bi (බයි) යන කෙටි යෙදුමෙන් ද හඳුන්වනු ලබයි. මෙම ද්විලිංගිකයින් ස්ත්‍රී  - පුරුෂ දෙපාර්ශවය වෙතම තම ආකර්ෂණය ලබා දෙන අතර ඔවුන්ගේ අතීත සබඳතා ගත් කළ එහි ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවයම සිටියි. ‘Transgender’ (සංක්‍රාන්ති ලිංගිකයින්) යනුවෙන් හඳුන්වනුයේ මින් පෙර සඳහන් කළ උපතින් ලැබෙන ස්ත්‍රී - පුරුෂ අනන්‍යතාවයන් වෙනස් කර ගැනීමෙන් විරුද්ධ ලිංගික ලක්ෂණ ලබා ගන්නා පුද්ගලයන් ය.
LGBTQIA+ යන කෙටි යෙදුම ද වර්තමානයේ ලෝකයේ බහුලව භාවිතා වේ. Lesbian, Gay, Bisexual, Transgender, Queer, Intersex සහ Asexual යන අර්ථයන් මෙම යෙදුම මඟින් අර්ථවත් කෙරේ. ‘Queer’ එසේත් නැතිනම් ‘Questioning’ යනුවෙන් හැඳින්වනුයේ මෙලෙස සම්මතයෙන් පිට ලෙස සැලකෙන පුද්ගල කණ්ඩායමක්ම වන අතර ඔවුන් පෙර සඳහන් කළ කිසිම වර්ගයකට අයත් නැති එසේත් නැතිනම් තමන් කුමන ආකාරයේ දැයි තවමත් හඳුනාගෙන නොමැති පිරිසකි. Intersex (අන්තර් ලිංගික) යනුවෙන් හඳුන්වනුයේ උපතේදී ම ජීව විද්‍යාත්මකව ලිංගේන්ද්‍රයේ වෙනස්කම් සහිත පුද්ගලයන් ය. විශේෂයෙන් ම මෙහිදී පිරිමි පුද්ගලයන්ගේ ලිංගේන්ද්‍රය නොපිහිටන අතර උපතේ සිට ඔවුන්ගේ ලිංගේන්ද්‍රය, ස්ත්‍රී ලිංගේන්ද්‍රයක් ලෙස අභ්‍යන්තරයට නෙරා ගොස් පිහිටයි. එහි දී ඇතැම්විට වෛද්‍යවරුන්ට හෝ දෙමාපියන්ට එය හඳුනාගත නොහැකි වන අතර මෙම තත්ත්වය හඳුනාගත හැකි වන්නේ, නව යොවුන් වියට පැමිණිය යුතු ‍අවස්ථාවේ එය සිදු නොවන විටදී ය. එතෙක් සමාජයේ ස්ත්‍රියක් ලෙස ජීවත්ව හිඳ පුරුෂයෙක් බවට පරිවර්තනය වීම ඉතා කටුක තත්ත්වකි. එහිදී මෙම පුද්ගලයන්ට ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බව අමුතුවෙන් කිව යුතු නැත. මීට අමතරව කිසිම කෙනෙකු වෙත ලිංගික ආකර්ෂණයක් ඇති නොවන, ලිංගික හැඟීම් ඉතාම අල්ප පුද්ගලයින් සමාජයේ ජීවත් අතර ඔවුන්ව Asexual (අලිංගික) ලෙස හඳුන්වයි. මෙලෙස LGBTQIA හි හඳුනාගන්නා පාර්ශවයන්ට අමතරව (+) ධන ලකුණ මඟින් මීට අමතර තවත් පාර්ශවයන් ඇති බව පසක් කරයි. නිදසුන් ලෙස Transvestite, Two – Spirit, Straight allies ආදී වශයෙන් දැක්විය හැක.
ලෝකයේ බොහෝ රටවල ප්‍රාන්ත වශයෙන් ද මෙම සමලිංගිකයින් සඳහා නීතිමය අවසර ලබා දී, ලබා දෙමින් පවතියි. ශ්‍රී ලංකාවේ නීතියට අනුව තවමත් සමලිංගිකත්වය දඬුවම් ලැබිය හැකි වරදකි. 1886 දී සම්පාදිත දණ්ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුල සමලිංගික චර්යාවල නිරතවීම දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්තීන්ට අනුව දඩුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව යම් පුද්ගලයතු ස්වකැමැත්තෙන් සම ලිංගික චර්යාවක හෝ එසේත් නැතිනම් සතකු සමඟ හෝ අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික චර්යාවක යෙදේ නම් වසර 10 සිර දඩුවමක් සහ දඩයකට යටත්විය යුතුය. බාල වයස්කරුවකු සමඟ සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩ සහිත වසර 10 නොඅඩු සිර දඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සමඟ දඩයකට යටත් විය යුතුය. එසේම අපරාධයට යටත්වූ අයට අධිකරණයේ අභිමතය පරිදි නියම කළ වන්දියක් ගෙවීමට සිදුවේ. මේ අනුව ශ්‍රී ලංකාව තුළ සමලිංගික චර්යාවකට, තම අභිමතය පරිදි අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික චර්යාවක යෙදීම දඩුවම් ලැබිය හැකි වරදකි.
කෙසේ වෙතත් ස්ත්‍රී - පුරුෂ සමාජභාවයට එහා ගිය, මෙලෙස වර්ගීකරණයට ලක් කළ හැකි පාර්ශවයන් සමාජය තුළ ජීවත් වන බව අපට හඳුනාගත හැකි වන්නේ සමාජයේ විවිධ පුද්ගලයින් ඇසුරු කිරීමේදී  ය. ඊට හේතුව පෙර සඳහන් කළ ලෙස ම වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ මේ පිළිබඳ අල්ප හෝ දැනුමක් ලබා නොදීමයි. එම නිසා සමාජයේ පුද්ගලයින් මෙවන් පාර්ශවයන් දෙස පිළිකුලෙන් බැලීමට සහ පහත් කොට සැලකීමට පෙළඹී ඇත. නමුත් මෙය හැඟීම් අතර ගනුදෙනුවක් බව සෑම කෙනෙකුම අවබෝධ කර ගත යුතු ය. සමාජය මෙම පාර්ශවයන් දෙස ද අනෙකුත් ස්ත්‍රී - පුරුෂ දෙවර්ගය මෙන් සාමාන්‍ය ලෙස දකින්නට උත්සහ කළහොත්, මෙවන් පුද්ගලයන්ට ඇතිවන ශාරීරික සහ මානසික පීඩා අවම කර මනුෂ්‍යයින් ලෙස ලැබිය යුතු නිසි ගෞරවය ලැබූ, මානුෂීය සමාජයක ජීවත් වීමට ඔවුන්ට ද අවස්ථාව හිමි වනු ඇත.
 
පී.ඩී. රෙෂිනි අනුරාධා
විශේෂවේදී දෙවන වසර
මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය
ජන සන්නිවේදන අධ්‍යයන අංශය