ව්‍යාපාර වර්තමානයේ රට තුළත් ලෝකය තුළත් කතා බහ කරන ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. ව්‍යාපාර වල සංවර්ධනය, ව්‍යාපාරවල බිඳවැටීම ඒ තුළින් ආර්ථිකයට  වන බලපෑම පිළිබඳ බොහෝ මිනිසුන් උද්යෝගයෙන් බලා සිටියි.

සැබෑවටම ව්‍යාපාරයක් යනු, මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වුවමනාවන් තෘප්තිමත් කිරීමට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ආර්ථික කටයුත්තකි.

භාණ්ඩ හුවමාරුව තුළි පැන නැග  කාර්මික විප්ලවය තුළින් සුළු පරිමාණ සිට මහා පරිමාණ දක්වා දියුණු වූ ව්‍යාපාර මේ වන විට විද්‍යුත් ව්‍යාපාර දක්වා සංවර්ධනය වී තිබේ.මෙහිදී ලාභය අරමුණු කරගත් හා ලාභය අරමුණු කර නොගෙන සමාජ සුබසාධනය වෙනුවෙන් පවත්වාගෙන යන ව්‍යාපාර ද පවතියි. එමෙන් ම භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර හා සේවා නිෂ්පාදන ව්‍යාපාර ඔස්සේ  ව්‍යාපාර අදහස්, ඉසව්, පුද්ගල හා දේපල වැනි විව්ධ  නිෂ්පාදන කාණ්ඩයන් යටතේ වර්ධනය වී ඇත.

මිනිසුන්  වැඩිදුර නොසිතුව ද සමාජය රදා පවතින්නේ ව්‍යාපාර සංවිධාන මතයි. නිවසක අත්තිවාරමට එය සමාන කළ හැකිය.

ඔවුන් රැකියාවල නිරත වෙයි. ඉන්  වැටුප් ලබයි. තම අවශ්‍යතා සපුරා ගනියි. මූලික අවශ්‍යතා සපුරා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය වේ. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව හා සන්නිවේදනය යන දෑ ඒ අතර ප්‍රධාන වේ. ව්‍යාපාර විසින් සපයනු ලබන්නේ මෙම මූලික මිනිස් අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට හැකි භාණ්ඩ හා සේවා ය.

පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන දිනෙන් දින සංකීර්ණ වන, වුවමනා තෘප්තිමත් කරගත හැකි විවිධ වූ භාණ්ඩ හා සේවා ය. වෙළදපොලින් අප මිලදී ගන්නේ ඒවාය. මුදල් හුවමාරු කර ගන්නේ එහි වටිනාකමටය.

ආරම්භයේදී කුඩා ප්‍රමාණයක් වූ වුවමනාවන් කාලයත් සමග සංකීර්ණ වීම ලක්ෂ සංබ්‍යාත ව්‍යාපාර බිහිවීමට හේතු විය. ඔවුන් ක්‍රියා කරන්නේ වුවමනා තෘප්තිමත් කිරීම වෙනුවෙන් ය.

දෛනික පරිභෝන ක්‍රියාවලියේ සිට දිගු කාලින පරිභෝජනය දක්වා භාවිතා කරන්නේ එම භාණ්ඩ හා සේවාය. මෙම මූලික අවශ්‍යතා ඉටුකර නොගතහොත් අපට ජීවත් විය නොහැකිය.

සේවා නියුක්තිය රටක ප්‍රධාන ආර්ථික මිනුම් දර්ශකයකි. නව රැකියාවන් ආරම්භයේ මුල් පුරුක වන්නේ ව්‍යාපාරයි. ව්‍යාපාර තුළ බිහිවී ඇති රැකියා මිනිසුන්ගේ ජීවිතයේ එක් වැදගත් අංගයක් බවට පත්වී ඇත.

දවසේ නියමිත වූ පැය ගණනක ඔවුන් රාජකාරී කටයුතු වල නිරත වෙයි. වෙහෙස මහන්සි වී වැඩ කර වැටුප් ලබයි. වැටුපක් හෝ ආදායමක් නොලබා ඔවුන්ට ජීවත් විය නොහැක. ව්‍යාපාර නොමැති වුවහොත් රැකියා ද නොමැත. එවිට මිනිසුන්ට ජීවනෝපායක් නොමැත. තම අවශ්‍යතා සපුරා ගන්නටත් ජීවිත සාර්ථක කර ගන්නටත් හැකියාවක් නැත.  මෙය එක් මිනිසෙකුට බලපාන දෙයක් නොවේ. සමස්ත සමාජයටම බලපාන කරුණක් ය.

රටක ආර්ථිකය තුළ ව්‍යාපාර ඉටුකරන්නේ සුළු පටු කාර්යයක් නොවේ. අපේ රටේ ප්‍රධාන ආදායම් වන බදු මුදල් වැඩි ප්‍රමාණයක් සැපයීම සිදු වන්නේ ව්‍යාපාර හරහා ය. තම ව්‍යාපාරයන් උපයන ලාභය මත බදු ගෙවමින් රජයේ වියදම් පියවා දැමීමට ව්‍යාපාර දායක වන්නේය. ආර්ථිකයේ කටයුතු පවත්වා ගෙන යාමට දායක වන්නේය. විදේශ විනිමය ඉපැයීමටත්, අපනයනය ආනයනය යන කටයුතු වලටත් මූල්‍යමය කටයුතු වලටත් මුල් තැන ගන්නේ ව්‍යාපාරයන් ය.

ස්පෘශ්‍ය භාණ්ඩ සපයන ව්‍යාපාර වලට අමතරව ඊට උපකාරක සේවා සපයන බැංකු, රක්ෂණ, ප්‍රවාහනය, සන්නිවේදනය වැනි ක්ෂේත්‍රයන් වල පවා කටයුතු සිදු වන්නේ ව්‍යාපාර තුළින් ය. සියළු ක්ෂේත්‍රයන් ජාලයක් හා ව්‍යාපාර සමග සම්බන්ධ වී සිටියි. කුඩා ග්‍රාමයක සිට විශාල නගර දක්වා පැමිණීමේදී වුව දැක ගත හැක්කේ ටිකෙන් ටික විශාල වන ව්‍යාපාරයන් ම පමණි.

මෙහිදී ව්‍යාපාර විසින් තම ව්‍යාපාරයේ සේවය කරන පුද්ගලයන්ට විවිධ වූ ප්‍රතිලාභ ලබා දෙමින් රැකියාවන්හි සුරක්ෂිතභාවය ඇති කරමින් ඔවුන්ගේ ජීවන පැවැත්මට විශාල බලපෑමක් සිදු කරන්නේ ය. සුබසාධක කටයුතු, වැටුප් දීමනා, අතිරේක දීමනා ද ඒ අතර වෙයි. සේවය අත හැර යාමට ඇති හේතු සාධක අවම කරන්නේය.

ඔවුන්ව රැකියා ස්ථානයේ දීර්ඝ කාලීනව තබා ගන්නට අභිප්‍රේරණය කරන්නේය. එමගින් දියුණු වන්නේ මිනිසුන්ගේ ජීවන තත්ත්වයය. මානසික මට්ටමය. හොද යහපත් නිරවුල් මානසික තත්වයක් පවත්වා ගැනීමට එමගින් හැකි වන්නේ ය.

පරිසරය සුරැකීම හා සමාජ වගකීම් ඉටු කිරීමටත් ව්‍යාපාර විසල් උත්සහයක් ගන්නේය. ව්‍යාපාරයන් අතර තරගකාරීත්වයක් මෙහි දී දැක ගත හැකිය. මුළු මහත් සමාජයේ සෑම පාර්ශවයකටම සාධාරණයක් ඉටුවන අයුරින් කටයුතු කිරීම සමාජ වගකීම් තුළ ව්‍යාපාරයන්ගේ අපේක්ෂාවයි.

ඒ තම පාරිභෝගිකයන්ට, අයිතිකරුවන්ට, සමාජයට මෙන්ම සේවකයන්ට පිළිවෙළින් ගුණාත්මක නිශ්පාදන බිහි කිරීම, මූල්‍යමය වගවීම, හරිත නිෂ්පාදන බිහි වීම, කම්කරු අයිතීන් සුරැකීම තුළිනි. නිසි පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීම තුළින් පරිසරය කෙරෙහි ද හිතකර ක්‍රියා පිළිවෙතක් ඔවුන් අනුගමනය කරයි.

සංකීර්ණ වන වුවමනාවන් සමග නව්‍යෝත්පාදනයන් සිදු කිරීමට ව්‍යාපාරයන් අමතක නොකරන්නේ ය. නව අත්හදා බැලීම්, නව නිෂ්පාදන හදුන්වා දීම්, නව පර්යේෂණ ශිල්ප ක්‍රම භාවිතා කිරීම ද ඒ අතර වේ. සියළු දෙනාගේ ජීවන මට්ටම උසස් කරමින් ගුණාත්මක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර දී අවශ්‍යතා තෘප්තිමත් කිරීම ඔවුන්ගේ අභිලාෂය වන්නේය.

වගකීම් සහිත වූ පුරවැසියෙකු ලෙස ව්‍යාපාර සමාජය තුළ කටයුතු කරන්නේය. ඒ තුළින් සමාජය තුළ විවිධ පැතිකඩයන් හට බලපෑම් කිරීමට ව්‍යාපාර සමත් වන්නේය. ඒ අනුව සංකීර්ණ වුවමනා ඉටු කරමින් රැකියා සම්පාදනය කරමින් ව්‍යාපාර  සමාජයේ පැවැත්මට එක් පදනමක් ද වන්නේ ය.

 

නවෝදා දෙව්මිණි ප්‍රනාන්දු

අලෙවි කළමනාකරණ අංශය

වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨය