නුවර වැවට සින්න වුනු ඈ

අන්න ඇවිදින්

යලිත් සිහිනෙන්

හොයනවා ඇගේ දරුපැටව් මහ රෑ..

ඇගේ  විලාපයෙන්  ඇසෙන ආඳොනාවට 

අදත් හඬනවා නුවර වැව හරියට

නුවර ලස්සන වැස්සටයි කීවට

ඇගේ දුකටලු අඩන්නේ

උඩුදුම්බර ඔය...

පුංචි මද්දුම ගැනත්

වෛවාරණ ලිව්වට

ඇස් අද්දරමලු

පොඩි පුතා මැරුවේ උන්..

අම්මෙක්ගේ දුකමලු

රහ කෙරුවේ ඉතින් ඔච්චර

ඈ ඉදි නුවර වැව ලඟ තවම..

එදා රජවාසල ලඟත්,

කිරි සුවඳ දැනෙනවාලු ඈට තවම..

ඈ එව්ව පණිවිඩය

ලැබුනේ නැතිදො දෙවඟනනි තව..

රූප පෙට්ටියෙත් වගතොග

ඔය ගැනමලු හරියට

එත් කෝ ඉතින් ශක්තියක්..

ඈට අවැසිලු යුක්තියක්..

මහ රෑට  ගිගුම් දෙන අහසටත්

කියනවලු  ඈ දුක..

තවත් ඈ බලා ඉන්නවලු

දෙවඟන ගෙනෙන තුරා යුක්තියක්.

නුවර වැව ලඟට ගොහින් අහපන්

ඈ කියාවි නුඹ නොදත් ඒ කතාව...

 

චන්දුපා රත්නායක

සමාජවිද්‍යා පීඨය

ප්‍රථම වසර