Image
වපුළ හැකි නම් වෛර බිජුවට ...
ස්නේහ මල් පීදුණු හද අරණ ,
පුදන සොමියුරු සිනහවක් ගානේ ඇයට ...
වෙනුවට දඟකාර හසරැලි ,
නොසැලකිල්ලෙන් මෙ’මට විසිකළ ...
 
යවුල් ඇතිතාක් මෙ’දියත
විෂ පොවා ඊර්ෂ්‍යාවෙන් ගිනියම්ව ,
එකින් එක ගෙන පසාරු කල දු
නුඹ අඳුරු වත සම චපල හදවත !
වගුරනු රිසින් රුහිර ධාරා ,
මා හෙලූ උණු කඳුළු ගණනට ...
රහිමින් සිවියෙන් සිවිය ,
පිරික්සමින් තිබුණිද ආදරයක්
කවදාක කොහේ හෝ සැඟවී ,
සම කළ නොහැක එක් බිඳක්වත්
නුඹ මා ළයට දුන් එක් සෝ සුසුමකට .....
 
අන් පෙම්වතුන් මෙන්
පරිත්‍යාගශීලී නොවේ මම ... !
එනමුත් වෑයම් කරන්නෙමි හැමදාම
උගුලා දමන්නට ...
පීදුණු ප්‍රේම අංකුර
වැනසුණ ද හද උයන ඒ සමඟ.
නොදිය හැකි මුත් සුභ පැතුම් මල් මිට ,
කෙසේ දෙන්නෙම් නුඹට විෂ දළ ?
 
කාලයෙන් දේශයෙන් ,
වර්ණයෙන් කුලයෙන් ,
සැතපුම් යොදුන් ගණනින් ,
ඈත් කොට අප දෙදෙන
කටු කොහොල් මං තනා ,
අහස් උස පවුරු බැඳි ,
පසමිතුරු “ දෛවය ”
විත්තිකරු වනවිට ?
 
සඳවි ජිත්මිණී රත්නායක.
ප්‍රථම වසර.
ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශය
මානව ශාස්ත්‍ර පීඨය.