මිනිසා සිය අවශ්‍යතා සපුරාගනු වස් සන්නිවේදනයෙහිලා උපයුක්ත කරගන්නා මිනිස් භාෂාව වූ කලී, මෙලොව එළිය දුටු දා පටන් තමා අවට පරිසරයෙන් ග්‍රහණය කොට ගන්නා වූත්,  ක්‍රමයෙන් වර්ධනය කරගන්නා වූත්  සංකීර්ණ ක්‍රියාදාමයකි. දරුවෙකුගේ කායික වර්ධනයත් සමඟ ඊට සාපේක්ෂව මනසේද වර්ධනය වීමක් සිදුවේ. නමුත් ඇතැම් විට ඇතැම් දරුවන්ගේ මෙම මානසික වර්ධනයේ යම් දුර්වල වර්ධනයක් නොහොත් ඌන වර්ධන තත්වයක් දැකගත හැකිය. එය අපට ‘මන්දමානසිකත්වය’ ලෙස හැඳින්විය හැකිය. කෙනෙකුගේ ජීවිතයට බෙහෙවින් බලපානු ලබන මෙම මන්දමානසිකත්වය, භාෂා හැකියාවන් සඳහාද විශාල ලෙස බාධා ඇති කරනු ලබයි. සාමාන්‍යයෙන් මිනිස් දරුවෙකුගේ පවතින භාෂා වර්ධනයෙහි විශ්වීය ක්‍රමානුකූලත්වය මෙවැනි අයගෙන් දැකගත නොහැකිය. නමුත් එම ඌන වර්ධන තත්වයන් දරුවෙකුගෙන් දරුවෙකුට වෙනස් විය හැකිය. ඇතැම් විට එය සාමාන්‍ය මන්දමානසික තත්වයක් විය හැකි සේම, ඇතැම් විට අධික මන්දමානසිකත්වයක් විය හැකිය. මෙම මන්දමානසිකත්වය සඳහා විවිධ හේතු බලපෑ හැකි අතර ඒවා අනුව විවිධ චර්යා ලක්ෂණ හා රෝගාබාධයන් ඇති වීම දැකගත හැකිය.

රුධිරගත අසාමාන්‍යතා හේතුවෙන් මොළයට ඇතිවන බලපෑම මන්දමානසිකත්වය ඇති වීමට බලපාන එක් හේතු සාධකයකි. ඩවුන්ස් සින්ඩ්‍රම් (Downs syndrome) එවැනි රෝගී තත්වයකි. මොළයට ඔක්සිජන් ප්‍රවාහනය කරන රුධිර නාලිකාවන්ගේ යුගල වශයෙන් පවතින වර්ණදේහ විසිතුනෙහි  විසි එක්වන වර්ණදේහය පමණක් ත්‍රිත්වාකාර බෙදීමක් ඇති කිරීම මෙම ඩවුන්ස් සින්ඩ්‍රම් තත්වයට හේතු වී ඇත. එය කෙනකුගේ සම්පූර්ණ ජීවන රටාවටම බාධා ඇති කරන බව පෙනේ. එවැනි පුද්ගලයන්ගේ ශාරීරිකමය වශයෙන්ද විශේෂ ලක්ෂණ හඳුනාගත හැකිය. ඇස් ඉදිමුණු ස්වභාවයක් ගැනීම, දිව සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වීම හේතුවෙන් දිව මුවෙන් පිටතට දමා සිටීම, ඍජු වූ හිසකෙස් පිහිටීම, කම්මුල් හා ස්වරාලය පළල් ස්වරූපයක් ගැනීම නිසා බොහෝ විට මෙම රෝගය පවතින අයගේ බාහිර ස්වරූපය එකිනෙකාට සමාන වේ. මීට අමතරව කෙටි ඇඟිලි හා රළු ස්වභාවයකින් යුක්ත අත්ලක් පිහිටීම,  අපැහැදිලි හස්ත රේඛාවන්ද ඒ අතර විශේෂ වේ. මීට අමතරව උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියෙහි පවතින විවිධ අසාමාන්‍යතා මෙන්ම පවතින මානසික ඌනතා හේතුවෙන්ද භාෂා උත්පාදනය, සංජානනය හා අවබෝධය සම්බන්ධයෙන් විවිධ ගැටලු දක්නට ලැබේ.‘මස්තිෂ්ක ආඝාතය’ද මන්ද මානසිකත්වය ඇති කරන තවත් රෝගී තත්වයකි. ඉපදෙන විට මොළයෙහි ඇති සුව කළ නොහැකි තුවාලයක් හේතුවෙන් මොළයෙහි ක්‍රියාකාරීත්වය හීනවී යාම මෙකී තත්වයට හේතු වේ. විශේෂයෙන්ම මව් කුස තුළ සිටින, මොළය වර්ධනය වන කාල පරාසය තුළ මොලයේ ‘Cerebrum නම් කොටසට හානි වීම නිසා චාලක ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවීම මෙහි විශේෂ ලක්ෂණයකි. එසේම එලෙස මොළයට සිදුවන හානිදායක තත්වයන් පදනම් කොට ගෙන විවිධ අනුරෝගී අවස්ථාවන්ද හඳුනාගත හැකිය. ‘ස්පැස්ටික්’ (Spastic) තත්වය, ඇතිතෝටිස් (Athetotis) තත්වය, ඇටැක්ෂියා (Ataxia) තත්වය, වශයෙන් මස්තිෂ්ක ආඝාතයෙහි ප්‍රධාන වර්ග තුනක් හඳුනාගත හැකිය. අධික ලෙස මාංශ පේශීන් පාලනය කිරීමට අපහසු වීම Spastic තත්වයෙහි මූලික ලක්ෂණයයි. මාංශ පේශීන් තද හෝ දරදඬු වීම නිසා චලනය අලස වීම හා ව්‍යාකූල වීම සිදුවේ. අස්වාභාවික ඉරියව්ද මොවුන්ගෙන් දැකගත හැකිය. අතපයවල ඇඹරී ඇති ස්වභාවයකින් යුක්තවීම ඇතිතෝටිස් තත්වයෙහි ලක්ෂණයයි. විශේෂයෙන්ම යමක් ඇල්ලීමට උත්සාහ කිරීමේදී ඒ තත්වය කැපී පෙනේ. බොහෝවිට දරුවා කලබල වූ විට හෝ තැති ගැන්මකට ලක් වූ විට එම තත්වයෙහි වැඩිවීමක්ද දැකගත හැකිය. අස්ථාවර, වෙව්ලන, ගැස්සෙන චලනයන්ගෙන් යුක්තවීම රෝගී තත්වයයි. දරුවෙකු ඇවිදීමට උත්සාහ ගන්නා අවස්ථාවේදී හිස වෙව්ලමින්, දෙපා ඈත්ව තබා වෙව්ලන ස්වභාවයකින් යුක්තව ගමන් කිරීම මෙහි මූලික ලක්ෂණයකි. මෙම රෝගී තත්වය නිසා සමබරව ඇවිදීම මහත් අපහසු වන අතර පඩි නැගීමට එවැනි දරුවන් දැඩි බියක් දක්වන අවස්ථා පවතී. ඇතැම් විට මෙම ලක්ෂණ දෙකක් හෝ සියල්ලම හෝ මිශ්‍ර රෝගී තත්වයන්ද පැවතිය හැකිය.

උපන් විගස හෝ මුල් මාස කිහිපය තුළදී මෙන්ම එසේ නොවුණහොත් දරුවෙකු හිඳ ගන්නා කාලය, නැගිටින කාලය ආදී අවස්ථාවල එම ක්‍රියාකාරීත්වයන් ප්‍රමාද වීමේදී වෛද්‍ය පරීක්ෂණ තුළින් මෙම රෝගී තත්වයන් හඳුනාගත හැකිය. ශරීරයේ එක් පාර්ශවයක් පමණක් පාලනය කරගත නොහැකි වන  ‘Hemiplegia’ තත්වයද මොළයට සිදුවන හානි දායක තත්වයක් නිසා ඇතිවන්නකි. එක් කකුලක් හා අතක් පාලනය කරගත නොහැකි වීම එහි ලක්ෂණයයි. ඇතැම් විට මෙකී මිශ්‍ර ලක්ෂණ නිසා ශාරීරික අවයව පාලනය කිරීමට නොහැකි වීමත්, වාචික ස්නායු පාලනය කිරීමට නොහැකි වීමෙන් භාෂා ශබ්ද උච්චාරණයට බාධා ඇතිවීමත්, ඒ නිසා සංජානනය හා අවබෝධ ක්‍රියාවලීන්ගේද ගැටලු ඇතිවීම වැනි තත්වයන් ඇති වේ. එනිසා නිසි ආකාරව යමක් ප්‍රකාශ කිරීමට එවැනි පුද්ගලයන්ට හැකියාවක් නොමැත.

මනෝ වික්ෂිප්තතාවද (Autism) මන්දමානසිකත්වය පෙන්නුම් කෙරෙන තවත් එක් රෝගී තත්වයකි. මොළයෙහි නියුරෝන ස්නායු අක්‍රමවත්ව පිහිටීම නිසා ඇතිවෙන මෙම රෝගී තත්වය නිසා කෙනෙකුගේ සිතීම, අවබෝධය හා භාෂණය යනාදී අංශවල ගැටලු මතු කෙරේ. බැලූ බැල්මට සාමාන්‍යය දරුවන් ලෙස පෙනුණත් මෙවැනි පුද්ගලයන්ගේ මනස සෑම විටම ප්‍රකෘති ස්වභාවයෙන් නොපවතී. අධික මනෝ වික්ෂිප්තතාවයෙන් යුක්ත වූවන් සිය ළඟින්ම ඇසුරු කරන මව පියා හඳුනා නොගන්නා අවස්ථාද පවතී. ඔවුන්ගේ භාෂාව හා වෙනත් සන්නිවේදන විධි, සිතීම, සංඥා හෝ ඉඟි ආදී සෑම අංශයකින්ම දුර්වලතා පෙන්නුම් කෙරේ. නිතරම මුමුණමින් සිටීම, යම් යම් කටයුතු වල අඛණ්ඩව යෙදී සිටීම, නිතර දෑත් එසවීම, තනිව පැත්තකට වී සිටීම, වැඩිහිටි වියේ වුවද ළදරුවන් මෙන් කටයුතු කිරීම වැනි ලක්ෂණ ඔවුන් ඇසුරෙන් හඳුනාගත හැකිය. එහෙත් පිළිවෙළකට කටයුතු කිරීමට හා අනෙකුත් අය තුළින්ද එම පිළිවෙළ බලාපොරොත්තු වීමද මෙවැනි අයගේ විශේෂ ලක්ෂණයකි. මනෝ වික්ෂිප්තතාවයෙන් යුත් සමහරෙකුට කතා කිරීමේ හැකියාව තිබුණද, භාෂණ හැකියාව ඉතාමත් දුර්වල වන අතර අවබෝධ මට්ටම දුර්වල තත්වයක පවතී. මොවුන්ගේ උපරිම ආයු කාලය අවුරුදු හැටක් පමණ වේ.

කොඳු ඇට පෙළෙහි ඇතිවන තුවාලයක් නිසා මධ්‍ය ස්නායු පද්ධතියට වන බලපෑම හේතුවෙන් ඇතිවෙන පක්ෂාගාතයද මන්දමානසිකත්වයට හේතු වේ. දෙපා අප්‍රාණික වීම, කොඳු නාරටිය වැඩීම බාල කිරීම වැනි තත්වයන් නිසා ශරීරයේ නොයෙකුත් ක්‍රියාකාරීත්වයන්ට බාධා ඇතිවේ. රෝද පුටුවක ආධාරය අත්‍යවශ්‍යය  වන අතර එම තත්වය මොළයේ නිසි ක්‍රියාකාරීත්වයටද බාධා පමුණුවයි. වමනය, නිදිමත ගතිය, හිසරදය, පෙනීම අඩුවීම, අවධානය අඩුවීම, කල්පනාව අඩුකම ආදී ලක්ෂණ ඔවුන් තුළින් දැකගත හැකි අතර සාමාන්‍යයෙන් කතා බහට වැඩි ඇල්මක් නොදක්වන අනවබෝධයෙන් අනර්ථවත් දෑ කියවීම වැනි ලක්ෂණ ඔවුන් තුළින් දැකිය හැකිය.

සාමාන්‍ය වහරෙහි ‘හිසෙහි වතුර පිරිම’ ලෙස හඳුන්වන ‘ජලකපාලතාවය’ද  මන්ද මානසිකත්වයෙහි එක් අවස්ථාවකි. එසේම සාමාන්‍ය හැසිරීමට වඩා අධික්‍රියාකාරී ලක්ෂණ පෙන්වන අධික්‍රියාකාරීත්වයද මානසිකත්වයට බලපාන තවත් හේතුවකි. අස්වාභාවික වූ මෙම තත්වය නිසා තමාටම අනතුරු කරගැනීමත්, අනුන්ට හිරිහැර කිරීමත් දැකගත හැකිය. මෙය බොහෝවිට පාලනය අපහසු තත්වයක් වන අතර වෛද්‍ය ප්‍රතිකාර මත තරමක පාලනයක් සිදු කළ හැකිය. සිතීම, භාෂණය, අවබෝධය ආදී සන්නිවේදන දාමයට වැදගත් වන අංශවල ඌනතා ද ඔවුන් තුළ පවතී.

රෙට් සින්ඩ්‍රම් ( Rett syndrome ) තත්වයද මන්දමානසික තත්වයට හේතුවන අතර ඔවුන්ගේ ස්නායු පද්ධතියේ හා කායික වර්ධනයේද ගැටලු පවතී. බොහෝ විට ගැහැණු ළමුන්ට මෙම තත්වය බලපාන අතර එය ඉතාමත් දුර්ලභ රෝගී තත්වයකි. ඉපදී වර්ෂ තුනකුත් මාස තුනක් පමණ ඉක්ම ගිය පසු හඳුනාගත හැකි මෙම තත්වය නිසා ශාරීරික වර්ධනය මෙන්ම බොහෝ හැකියාවන්ගේ ඌනතාද පෙන්නුම් කරයි. භාෂණ හා අධ්‍යාපන හැකියා නොමැතිවීම, ශරීරය සමබරව තබා ගැනීමට නොහැකිවීම, ශ්වසන අපහසුතා මෙන්ම චර්යාමය වෙනස්කම් ද ඔවුන් තුළින් දැකගත හැකිය. මෙවැනි හේතූන් නිසා ඇති වන මන්ද මානසිකත්වය පූර්වයෙන් හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කළහොත් ඇතැම් විට සුව කළ හැකි අතර ඇතැම් විට පවතින තත්වය යම්තාක් දුරට පාලනය කිරීමට හැකියාව පවතී.

 

බී.ලක්ෂිකා මදුශානි 

විශේෂවේදී දෙවන වසර 

වාග්විද්‍යා අධ්‍යයනාංශය

මානවශාස්ත්‍ර පීඨය  

 

මූලාශ්‍ර 

 

A.R.Luria. (1976). Basic problems of Neurolinguistics.

N.Chomsky. (1972). Language and Mind. New York:Harcourt,Brace,Jovanovich.

ජේ.එම්.හියුස්. (1973). මන්ද බුද්ධිකයන්ට සහය වීම.

විජේසේකර.ජේ.එස්. (2009). සන්නිවේදන දුබලතා . කැළණිය: කැළණිය විශ්වවිද්‍යාලයීය වාග්විද්‍යා අධ්‍යයනාංශය .

සූරසේන, මාලිකා. (2008). ඉගෙනුම් දුබලතා කළමනාකරණය . ගම්පහ : බුද්ධි විශේෂ අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්‌ථානය .