ශ්‍රී ලංකාවේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ රෝහල්වල ඖෂධ හිඟ වීමත්, ඉන්ධන ගැටලුව නිසා රෝහල් වෙත යෑමත් ප්‍රශ්නයක් වී ඇති මොහොතක දියවැඩියාව ඇති හා නැති සැවොම මේ පිළිබඳ මනා අවබෝධයක් ලැබීම කාලෝචිතය. මෙම ලිපිය කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය අන්තරාසර්ග විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුලානි කොට්ටහච්චි මහත්මිය සමඟ දියවැඩියාව පිළිබඳ සිදුකළ සාකච්ඡාවක් ඇසුරින් නිර්මාණය විණි. 

 

සිනී වැඩි වෙනවා කිව්වට කවුරුවත් මෙහි බරපතලකම හරියට දන්නේ නැහැ. ඇත්තටම කෙනෙකුට සිනී ඇති වීම හෙවත් දියවැඩියාව කියන්නේ මොකක්ද?

සාමාන්‍ය ව්‍යවහාරයේ දී මිනිස් ශරීරයේ පවත්නා රුධිරයේ සීනී මට්ටම වැඩි වීම අපි දියවැඩියාව කියලා හඳුන්වනවා. රුධිරයේ සීනි මට්ටම නියමිත ප්‍රමාණයට වඩා වැඩි වූ විට එම පුද්ගලයාට දියවැඩියාව ඇති බවට හඳුනා ගන්නවා.  මිනිස් ශරීරයේ ඇති අග්න්‍යාශය රුධිර සීනි මට්ටම නියාමනය කරමින් අන්තරාසර්ග කාර්යය සිදු කිරීමට අවශ්‍ය ඉන්සියුලින් හෝමෝනය නිපදවනවා. කෙනෙකුට දියවැඩියාව ඇති විට මෙම ඉන්සියුලින් නිපදවන සෛල විනාශ කිරීම හෝ එහි මනා ක්‍රියාකාරීත්වය අඩාල කරනවා. එමනිසා ඉන්සියුලින් හෝමොන ඌණතාවයක් ඇත විට එය රුධිර ග්ලුකෝස් මට්ටම වැඩි කිරීමට හේතුවක්. උදාහරණයක් විදියට ඔබ බත් ආහාරයට ගත් විට එහි ඇති කාබෝහයිඩ්‍රේට් ග්ලුකෝස් බවට පරිවර්තනය වෙනවා. ග්ලූකොස් යනු අපගේ ශරීරයට ශක්තිය ලබා දෙන උප ස්ථරයක්. දියවැඩියාවේදී ඉන්සියුලින් හෝමෝනය රුධිරයේ ග්ලුකෝස් පාලනය කිරීමට අවශ්‍ය වෙන අතර ආහාර ගැනීමෙන් පසු ශරීරයේ සීනි මට්ටම පාලනය කිරීමට ද අවශ්‍ය වෙනවා.  නමුත් අප ආහාර ගැනීමෙන් පසු ශරීරයේ ප්‍රමාණවත්ව ඉන්සියුලින් නොමැති වු විට සිරුරේ සීනි මට්ටම පහත හෙළීමට හැකියාවක් නොමැති අතර සීනි මට්ටම වේගයෙන් ඉහළ යනවා.

 

Image

දියවැඩියාව පුද්ගලයෙකුට තිබෙන බව හඳුනාගන්නේ කෙසේද?

 

දියවැඩියා රෝග ලක්ෂණ ලෙස අසාමාන්‍ය ලෙස පිපාසය දැනීම, කිසියම් කාලයක් තුළ ශරීරයේ බර අඩු වීම, නිතර නිතර බඩගිනි දැනීම දැක්විය හැකියි. රුධිරයේ සිනී මට්ටම ඉතාම ඉහළ මට්ටමකට පැමිණි විට අලස බව, නිදි මත, කෙට්ටු වීම වැනි රෝග ලක්ෂණ මතු වෙනවා. ඒවගේම තමන් දියවැඩියා රෝගීන් බව නොදැන ජිවත් වෙන සෑහෙන පිරිසක් ඉන්නවා. සමහර අයට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. රුධිරයේ සීනි මට්ටම 200 ඉහළට වගේ යනවිට රෝග ලක්ෂණ මතු වෙන්න පටන් ගන්නවා. පෙර දියවැඩියා සමයේ දී දියවැඩියා පරීක්ෂණයකින් තිබෙන අවධානම හඳුනා ගත්තොත් දියවැඩියාව හැදීම නවතාගන්න පුළුවන්.

 

දියවැඩියා රෝගයේ ප්‍රභේද මොනවාද?

 

දියවැඩියාවේ ප්‍රධාන කොටස් තුනයි. පළමු වර්ගයේ දියවැඩියාව ළමයින් අතර හටගන්නවා- මෙහි දී ඉන්සියුලින් නිපදවන සෛල තරුණ අවධියේදීම සම්පූර්ණයෙන් විනාශ කරනවා. එවගේම ස්වයං ප්‍රතිශක්තිකරණය මගින් අග්න්‍යාශයේ බීටා සෛල විනාශ වීම සිදු වේ. එයට හේතුව නම් ඔහුගේ ශරීරය විසින් ඔහුගේම සෛල සඳහා ප්‍රතිදේහ නිපදවීමයි. දෙවන වර්ගයේ දියවැඩියාවේදී ශරීරයේ අන්තරාසර්ග ග්‍රන්ථි යහපත්ව තිබෙන අතර ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීම සිදු කරනවා. නමුත් මෙම ඉන්සියුලින් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එයට හේතුව ප්‍රතිග්‍රාහක ඌනතාවයි. දියවැඩියාව සහිත පවුලක පුද්ගලයෙකුට ජානමය සම්බන්ධතා නිසා දෙවන වර්ගයේ දියවැඩියාව ඇති විය හැකියි. තෙවන වර්ගයේ දියවැඩියාව ගර්භණීභාවය නිසා ඇති විය හැකියි. ගර්භණී කාලයේදී පමණක් ඇති වන දියවැඩියාව ගර්භණි වී මාස හයකට පමණ පසු ඇති විය හැකියි. නමුත් මේ තත්වය ගර්භණීභාවයෙන් පසු පහව යනවා. ඉතාම කලාතුරකින් ශරීරයට ගන්නා සමහර ඖෂධ නිසා ද දියවැඩියා රෝගය ඇති විය හැකියි. උදාහරණයක් ලෙස සමහර පිළිකා සඳහා නියම කරන ඖෂධ දක්වන්න පුළුවන්. නමුත් මෙය කිසියම් කාලසීමාවකදී තාවකාලිකව ඇති වන තත්වයක්. එම ඖෂධ ගැනීම නතර කළ විට දියවැඩියාව පහව යනවා.

Image
Image

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගය කොයි තරම් දුරට ව්‍යාප්ත වෙලා තිබෙනවා ද?


ශ්‍රී ලංකාවේ 2008 කරපු සංගණනයකින් දියවැඩියා රෝගීන් හෝ පෙර දියවැඩියා මට්ටමේ සිටින පුද්ගලයින් 10% සිටින බව සොයාගෙන තියෙනවා. එවගේම මෑතකදි කරන ලද සමීක්ෂණයකට අනුව නගරාසනන්නයේ වෙසෙන ජනතාව අතර 25%ක පමණ දියවැඩියාව හා පෙර දියවැඩියා තත්වය තිබෙන බව වාර්තා වෙනවා. ලංකාවේ හතරදෙනෙක්ගෙන්  එක්කෙනෙකුට දියවැඩියාව හෝ දියවැඩියාව හැදීමේ අවධානම ඉතාමත් වැඩියි. එවගේම තරුණ වියේ පසුවන අයටත් දියවැඩියාව ඇතිවීම වර්ධනය වෙලා තියෙනවා. බොහෝ විට ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් උසට සරිලන බර නියමිත පරිදි පවත්වා නොගැනීම, අධික ලෙස පැණි රස හා පිෂ්ඨය සහිත ආහාර ගැනීම, ජානමය සම්බන්ධතා පැවැතීම, ව්‍යායාම නොකිරීම හා ආතතියකින් පෙළීම මේ සඳහා හේතු වෙනවා.

දියවැඩියාව ඇතිවිමට ජානමය සම්බන්ධතාවයේ බලපෑම කොයි වගේද?
දියවැඩියාවට ජානමය  බලපෑම ගැන කතා කරන විට දියවැඩියාව හා සම්බන්ධ වුණු ජානය පරම්පරාවෙන් පරම්පරාවට යනවා. පවුලෙන් පවුලට දියවැඩියා රෝගය ජාන හරහා යන විට ළඟ ඥාතියෙකුගේ සම්බන්ධතාවයකින් දියවැඩියාව ඇති වෙනවා. 
දියවැඩියා අවධානය ඇතිවීමේ වයස් සීමාව?
ඇත්තටම නිශ්චිත වයස් සීමාවක් කීමට නොහැකි තරමට හැම වයස් සීමාවකම වගේ දියවැඩියා රෝගීන් හමුවෙනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 35ට වැඩි නම් දියවැඩියාව පරීක්ෂා කරගැනීම සුදුසුයි. නමුත් ඊට වඩා අඩු වයසකදී වුවද ශරීරයේ බර වැඩි නම්, ආතතියෙන් පෙළීම, නිතර අලස ගර්භණි වීමට පෙර බව ඇති වීම වැනි රෝග ලක්ෂණ තිබුණොත් දියවැඩියාව පරීක්ෂා කිරීම සුදුසුයි.
ඖෂධ නොගෙන දියවැඩියාව පාලනය කළ හැකිද? 
දියවැඩියාව හැදුනට පසුව නියමිත ප්‍රමාණයට පාලනය කරගැනීමට නම් ඖෂධ අවශ්‍ය වෙනවා. දියවැඩියාව කියන්නේ බෝ නොවන රෝගයක් නමුත් දීර්ඝකාලීනව ඔබ සමඟ රැදෙන රෝගයක්.  දියවැඩියාව වැළඳූනාට පස්සේ පළමු වසර 10 තුළ ඔබ දියවැඩියාව පාලනයට ගන්නා ක්‍රියාමාර්ග මත ඊළඟ වසර 10 ගත කරන්නේ කෙසේද යන්න තීරණය වෙනවා. පළමු වසර 10 නිසි පරිදි දියවැඩියාව පාලනය කරන රෝගීන් ඊළඟ වසරවල සංකූලතා සඳහා මුහුණ දෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ නිසා ඖෂධ ගෙන, ආහාර පාලනය කර හා ව්‍යායාම කර නිවැරදිව දියවැඩියාව පාලනය කර ගත හැකියි. බොහෝ අය විශ්වාස කරනවා දියවැඩියාවට ගන්නා ඖෂධවලින් වකුගඩුවලට, අක්මාවට හානි වෙනවා කියලා. වැළඳී තිබෙන දියවැඩියා රෝගය නිසි පරිදි පාලනය කර නොගැනීමෙන් තමයි මෙම අවයවවලට හානි වෙන්නේ. මේ වසරට දියවැඩියාවට ගන්නා මෙට්ෆොමින් ඖෂධයට වසර සියයක් පිරෙනවා. අතුරු ආබාධ තිබෙනවනම් මෙතරම් කාලයක් එම ඖෂධය දියවැඩියාව සඳහා රෝගීන්ට දෙන්න පැවත එන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කර නොගෙන නිසි මාත්‍රාවට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමයි කළ යුත්තේ. 
Image

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා ඖෂධ හිඟකම නිසා  දියවැඩියා රෝගීන් ලෙස මෙය පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද?

 

මේ සඳහා තිබෙන එකම විසඳුම නිසි ආහාර පාලනයක් පවත්වාගෙන යාම හා ව්‍යායාම කිරීමයි. බත් ආහාරයට ගැනීමට අවශ්‍ය වූ විට කාන්තාවක් නම් බත් කෝප්ප එකක්ද, පිරිමි පුද්ගලයෙකු නම් බත් කෝප්ප 1 ½ ද වශයෙන් ආහාරයට ගත හැකියි. මෙය පිඟාන ආකෘතික සංකල්පයයි. අපි කන පිඟානේ භාගයක්ම කෙඳි සහිත ආහාරවලින් අන්තර්ගත විය යුතුයි. කැරට් හා රතුඅලවල සිනී අඩංගු වුවත් එහි කෙඳි විශාල ප්‍රමාණයක් අඩංගු නිසා දියවැඩියා රොගීයෙකු ඒවා ආහාරයට ගත්තට කමක් නැහැ. පිඟානේ ඉතිරි කොටස ප්‍රොටීන්වලින් සම්පූර්ණ කරගන්න. ශ්‍රී ලංකාවේ දැකිය හැකි ආහාර රටාවක් තමයි ඉඳි ආප්ප, රෝටී, පාන් වැනි දේ ආහාරයට ගන්නා විටත්, උදෑසන ආහාරයටත් එළවළු ආහාරයට නොගැනීම. නමුත් මෙහිදී එළවළු හැකි පමණ ඔබේ ආහාර වේල් තුන සඳහා එකතු කරගැනීම වැදගත්. ප්‍රාධාන ආහාර වේල් ගෙන පැය දෙකකට පමණ පසු පලතුරු ගැනීම සුදුසුයි. නිතර ජලය පානය කිරීමත් දියවැඩියා රෝගියෙකුට අත්‍යවශ්‍ය කාරණයක්. දවසකට අඩුම තරමින් විනාඩි තිහක් හෝ ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයි.

 

සාකච්ඡාව හා සටහන

අමානි ඉරේෂිකා රූපසිංහ

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය