Image

ලංකාවේ වාර්තාවන මදුරුවන්ගෙන් බෝවන රෝග අතර ප්‍රධානතම රෝගය වන්නේ  ඩෙංගු රෝගයයි.ලොව පුරා මෙන්ම ලංකාවේද ඩෙංගු රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යයි.ලංකාවේ වසරකට දහස් ගණනක් පුද්ගලයින් ඩෙංගු රෝගයෙන් පීඩාවිදිති. 2022 වසරේ මුල් මාස 8 තුළ පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩි අගයක් ගන්නා බව වාර්තාවල දක්වා තිබේ.මෙලෙස ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයේ,ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සචිත් මෙත්තානන්ද මහතා සමඟ සිදුකළ සංවාදය ඇසුරින් සකස් කළ ලිපිය.


මේ දිනවල ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා,මේ සඳහා බලපාන හේතු මොනවාද?


ඩෙංගු රෝගය වසංගත ආකාරයෙන් පැතිර යාමේ ප්‍රවණතාවයක් තමයි බොහෝ වෙලාවට අපිට දකින්න පුළුවන් වෙන්නේ.මේක හැම වසරකම සිදුවන්නේ නැහැ සාමාන්‍යයෙන්.වසර තුන හතරකට තමා සිදුවන්නේ.මේ වසරේ විතරක් නෙවෙයි, මොන වසරක වුණත් සැප්තැම්බර්,ජූනි, ජූලි මාසවල ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය සිදුවෙනවා.ඒකට හේතුව තමා අපි දන්නවා ඩෙංගු රෝගය බෝවෙන්නේ මදුරුවෙක්ගෙන්,ඒ ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ පිරිසිදු වතුර එකතුවන කුඩා දිය කඩක.ගහක කොළයක් වැටිලා ඒකට වතුර එකතුවීමත් ඒකත් සමහර වෙලාවට මදුරුව බිත්තර දාන්න පුළුවන්.එතකොට අපි දන්නවා නිරිතදිග මෝසමත් සමඟ බස්නාහිර,දකුණ,වයඹ පළාත්වලට වැසි ලැබිලා, පායන තත්ත්වයක් එන්නේ ජූනි,ජූලි මාසවලයි.වැස්සත් සමඟ එකතු වුණ වතුරවල ඩෙංගු මදුරුවන් බෝවෙන්න පුළුවන්.ඩෙංගු මදුරු ව්‍යාප්තිය බහුල වෙන්න පුළුවන්.මොන වසර ගත්තත් ජූනි,ජූලි මාසවල සාමාන්‍යයෙන් ඩෙංගු රෝගය බහුලයි.නමුත් මේ වසරේ ඒක වෙන වසරවලට වඩා වැඩීවීමක් දක්නට ලැබෙනවා.වසර තුන හතරකට වරක් අපි මේ සංසිද්ධිය අත්විඳිනවා.

Image

පළාත් වශයෙන් ගත්තාම වැඩියෙන් ඩෙංගු රෝගීන් වාර්තා වෙන්නේ පළාතෙන්,ඒකට මේ වර්ෂාව කියන කාරණයද වැඩි වශයෙන් බලපාන්නේ?


එකක් වර්ෂාව කියන එක.අපි දන්නවා නිරිතදිග මෝසමෙන් වර්ෂාව වැඩියෙන් ලැබෙන්නේ බස්නාහිර පළාත ආශ්‍රිත ප්‍රදේශයන් කිහිපයකට.දෙවනි එක තමා කඳුකර ප්‍රදේශවලට සාපේක්ෂව,තිබෙන්නේ පහත්බිම් ඒකත් මදුරුවාගේ වර්ධනයට උදව් වෙනවා.ඒවගේම කොළඹ,ගම්පහ කියන්නේ ජනගහනය අධිකම දිස්ත්‍රික්ක දෙක.ජනගහනය අධික වුණාම කොහොමත් රෝගීන් ගණන වැඩිවෙනවා.ඒ වගේම ඩෙංගු මදුරුවන්ගේ වාසස්ථාන ගොඩක් වෙලාවට තිබෙන්නේ නිවාස ආශ්‍රිතව,පොඩි ගෙවතුවල,වැහිපීළීවල,ටයර්වල මේ වගේ තැන්වල.කොළඹ,ගම්පහ දිස්ත්‍රික්කවල නිවාස ප්‍රමාණයත් වැඩී,ජනගහනයත් වැඩී,උෂ්ණත්වයත් සුදුසුයි,වර්ෂාවත් මේ කාලයට ලැබෙනවා ඉතින් මේ වගේ සාධක නිසා තමා මේ ප්‍රදේශවල ඇත්තටම ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ.මේ තාක් අපි අත්දැකපු මොන කාලේ වුණත් ඩෙංගු වසංගත කොළඹ,ගම්පහ දිස්ත්‍රික්ක තමයි වාර්තා වෙන්නේ.


ඩෙංගු වෛරස් රෝගය ආසාදනයවු ආසාධිතයෙකු පෙන්වන රෝග ලක්ෂණ මොනවාද ?


මුල් දින තුන තුළ ඩෙංගු රෝගයත්,සාමාන්‍ය වෛරස් උණත් අතර ලොකු වෙනසක් පෙන්නුම් කරන්නේ නැහැ.ඩෙංගු රෝගයේ ලක්ෂණ තමයි,


අධික උණ(දින තුනත් හතත් අතර කාලයක් තද උණ )

හිසරදය

ඇස් යට වේදනාව

වමනය

මස්පිඬු වේදනාව

හන්ඳි වේදනාව


මූලික ලක්ෂණයි.ස්වසන අපහසුතා පෙන්වනවා අඩු.ඒ කියන්නේ හෙම්බිරිස්සාව,කැස්ස කියන ලක්ෂණ ඩෙංගු රෝගයේ ලක්ෂණ හැටියට අපි හදුන්වන්නේ නැහැ.ඒවා තියෙනවා නම් ඩෙංගු රෝගය වීමේ හැකියාව,අවධානම අඩුයි.මුල් දින දෙක තුන පහුවුණාට පස්සේ ඩෙංගු රෝගය ආකාර දෙකකින් පවතින්න පුළුවන්,එක තමයි ඩෙංගු උණ වශයෙන් දිගටම තියෙන්න පුළුවන්,දෙවනි කාරණය තමා ඩෙංගු රක්තපාත උණ තත්ත්වයක් බවට පත්වෙන්න පුළුවන්.ඒ දෙකෙන් උණ පමණක් තියෙනවා නම් මුලින් සදහන් කළ ලක්ෂණ තියෙන්න පුළුවන්.ඩෙංගු රක්තපාත උණ තත්ත්වයට පත්වෙනවානම් රුධිරයේ පට්ටිකා විශාල වශයෙන් අඩු වීම නිසා සමේ ලේ යාම් ඇතිවෙන්න පුළුවන්,ඒ වගේම රුධිර ප්ලස්මාව ඉවතට යාම නිසා රුධිර පීඩනය අඩු වෙනවා.එතකොට ක්ලාන්ත ගතිය වගේ දේවල් ඇති වෙන්න හැකියාව තියෙනවා.

Image
Image

ඩෙංගු පරීක්ෂණ පිළිබඳව බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ,ඩෙංගු පරීක්ෂණ කරගත යුතු  පිළිවෙළ කුමක්ද ?


ඩෙංගු රෝගය කියා නිශ්චිතවම හදුනාගත හැකි බහුලවම භාවිතා කරන ක්‍රමයට අපි කියන්නේ ඩෙංගු ඵී1 ඇන්ටිජන් පරීක්ෂණය කියලා.ඒ කියන්නේ ප්‍රතිදේහජනක පරීක්ෂණයක්.නමුත් වැදගත්ම කාරණයක් වන්නේ මේක 100% ක්ම නිවැරදි නැහැ.මේකෙදි අපි කියන්නේ ඩෙංගු රෝගය හදුනාගැනීම 70% ත් 90% ත් අතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ.ඒ කියන්නේ ඩෙංගු රෝගීන් කිහිපය දෙනෙකුගේ  වුණත් මේ පරීක්ෂණය නෙගටිව් වීමේ හැකියාව තියෙනවා.නමුත් මේ ඵී1 පරීක්ෂණය පොසිටිව් වුණොත් ඩෙංගු රෝගය වීමේ හැකියාව 100%ක් තියෙනවා. මේ රුධිර පරීක්ෂණයක් කරගෙන ඉතා කෙටි

කාලයකින්,පැයක් ඇතුලත වගේ එහි ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්.මේ පරීක්ෂණයට පැයක් ගතවන්නේ නැහැ බොහෝ වෙලාවට.මේ පරීක්ෂණය කළයුත්තේ ඩෙංගු උණ පටන් අරගෙන පැය 24ක් වගේ කාලයක් ඇතුළත.සාමාන්‍යයෙන් අපි කියනවා හොඳම කාලය උණ පටන්ගෙන පැය 12 ත් පැය 72 ත් අතර කාලය තමයි මේ පරීක්ෂණයට සුදුසු කියලා.දින තුන පසු වුණාට පසුව පරීක්ෂණය නෙගටිව් වීමේ හැකියාව වැඩී.ගොඩක් කලින් කළත් නෙගටිව් වීමේ හැකියාව තියෙනවා.අඩුම ගානේ පැය 12ක් ගියාට පස්සේ තමයි කරන්න ඕනේ.


ඩෙංගු රෝගියෙක් ප්‍රතිකාර ලබා ගැනීමට ප්‍රමාද වීමේ අවදානම පැහැදිලි කළහොත්?

 

ඩෙංගු රෝගය කියලා හදුනගත්තොත් බොහො දෙනෙක් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද කරන්නේ නැහැ.බොහෝ වෙලාවට ඩෙංගු කියලා හදුනගන්න තමයි ප්‍රමාද වෙන්නේ.රටේ තියෙන විවිධ ව්‍යාකූලතා,ප්‍රවාහනයේ දුෂ්කරතා සමඟ සමහරක් දෙනෙක් නිවසට වෙලා ගොඩක් බලාගෙන ඉන්න අවස්ථා අපි දැකලා තියෙනවා.ප්‍රධානම දේ තමයි දින තුනෙන් එහාට උණ තියෙනවා නම් රුධිර පරීක්ෂණයක් කර ගැනීමේ හැකියාව තියෙනවා කලින් කරලා නැත්නම්.ඩෙංගු රෝගියෙක් ලෙස හදුනාගැනීමෙන් පසුව ඩෙංගු රෝගයේ ප්‍රතිකාර වෛද්‍ය අධීක්ෂණය යටතේ ගෙදර හිදලා සෑහෙන දුරට කරන්න පුළුවන්.ඩෙංගු රෝගියෙක් රෝහල්ගත වීම අත්‍යාවශ්‍ය වෙන්නේ නැහැ, ටෙස්ට් එකක් පොසිටිව් වුණ පලියට.උණ තත්ත්වය තිබෙනවා නම් වෛද්‍යවරයා දිනපතා හමුවිය යුතුයි.ඒ වගේම දිනකට වරක් දෙවරක් රුධිර පරීක්ෂණය කරලා බලන්න ඕනේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම කොයිවගේද කියලා.එම පරීක්ෂණ වලින් රුධිර පට්ටිකා ශීඝ්‍ර වශයෙන් අඩුවීමක් පෙන්නුවොත් අපී ඒ රෝගීන් රෝහල් වෙත ඇතුළත් කරගන්නවා.

 

කුඩා දරුවන්ට ඩෙංගු රෝගය වැළඳුණොත් අවදානම  වැඩිද ?

 

ඩෙංගු ඇත්තටම කුඩා ළමුන් අතර බහුල රෝගයක්.ඉස්සර නම් ඩෙංගු රෝගය කුඩා ළමුන් අතර තමයි වැඩියෙන්ම තිබුණේ,නමුත් දැන් දැන් වැඩිහිටියන් අතරත් ඩෙංගු රෝගය බහුලව දක්නට ලැබෙනවා.ඩෙංගු රෝගයේ වෛරස් ආකාරය 4ක් තියනවා,ඒක ඩෙංගු  1,2,3,4 කියලා හදුන්වනවා.පළමු වරට ඩෙංගු වෛරසය ආසාදනය වුණාම ඒක ඉතාම සුළු උණක් හැටියට තමයි අපිට පෙන්නුම් කරන්නේ,ඩෙංගු රක්තපාත තත්ත්වයට යන්නේ නැහැ.දෙවනවරට ඩෙංගු රෝගයේ වෙනත් වෛරස් කාණ්ඩයක් ආසාදනය වුණොත්,අපි හිතමු පළමු වරට ඩෙංගු වෛරස කාණ්ඩයේ ඩෙංගු 1 හැදුනා කියලා, ආයේ කවදාවත් ඩෙංගු වෛරසය ඒ පුද්ගලයාට ආසාදනය වන්නේ නැහැ  මොකද ඩෙංගු වෛරස් 1 කාණ්ඩයෙන් ඩෙංගුවලට ප්‍රතික්‍රියා දක්වන ප්‍රතිදේහ ශරීරය තුළ නිපදවන නිසා.නමුත් 2,3,4 කියන අනිත් කාණ්ඩ හැදුනොත්,ඒ කාණ්ඩවලින් ආසාදනයක් අවොත් ඒ දෙවනි අවස්ථාවේදී ඩෙංගු රක්තපාත තත්ත්වයට යාමේ අවධානම තියෙනවා.හතර වතාවක් ඩෙංගු ආසාදනය වීමේ අවස්ථාව අඩුයි.වැඩිහිටියන් වෙනකොට අපි ඇත්තටම ඩෙංගුවලින් ආරක්ෂාවෙලා තියෙන්නේ.ඒ නිසා තමයි කුඩා දරුවන්,පාසල් යන වයසේ දරුවන්  අතර වැඩි වශයෙන් ඩෙංගු රෝගය ආසාදනය වීමක් දක්නට ලැබෙන්නේ.

 

වර්තමානයේ රටේ පවතින ඖෂධ හිඟයත් සමග,මේ දිනවල ඩෙංගු රෝගීන්ට ලබාදෙන ඖෂධවල හිඟයක් රෝහල්වල තිබෙනවාද?

 

සියලුම ඖෂධ රටේ හිඟයි,ඒකේ අපිට හංගන්න දෙයක් නැහැ.සියලුම ඖෂධවල හිඟයක් රටේ තියනවා.වෛද්‍යවරුන් ඉතාම දුෂ්කර විදිහට තමයි සියලුම රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ.නමුත් වෛද්‍ය විද්‍යාව ඇතුලේ වෛද්‍යවරුන්ට,කිසියම් ඖෂධයක හිඟයක් පවතිනවා නම් ඒ ඖෂධය වෙනුවට වෙනත් ආදේශකයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.ඒ තත්ත්වය තමා දැනට තියෙන්නේ.යම් යම් දේවල්වල අඩු පාඩු තියෙනවා.ඒ දේවල් මගහරවාගෙන,අපේ දැනුම භාවිතා කරගෙන ඒ දේ වෙනුවට වෙනත් දෙයක් භාවිතා කරලා රෝගී ජීවිත බේරාගැනීමේ හැකියාව තියෙනවා.මේ දක්වා ඩෙංගු රෝගී ජීවිත නැතිවීමට තරම් ඖෂධ හිඟයක් පෙන්නලා නැහැ තවම.ඩෙංගු රෝගීන්ට අවශ්‍ය එක්ස්ට්‍රැක් කියන ඖෂධයේ හිඟතාවයක් කලිනුත් තිබුණා,දැනුත් තියෙනවා.අනාගතයේදී ඒක තව උග්‍ර වෙයි කියලා අපිට හැගෙනවා.

 

ඩෙංගු මර්දන සඳහා මොනවගේ වැඩපිළිවෙළක් අවශ්‍යද?

 

මම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරයෙක්,අපි වැඩි පුර යොමුවන්නේ ප්‍රතිකාර සඳහායි.ඩෙංගු වෛරස ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් වගකීම පැවරිලා තියෙන්නේ වසංගත රෝග විද්‍යා ඒකකයට,ජාතික ඩෙංගු මර්දන ඒකකයට,ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට.නමුත් වෛද්‍යවරයෙකුට,ඒකකයකට,අංශයකට මේක කරන්න පුළුවන් කමක් නැහැ.මේක ප්‍රජාව විසින්ම කළයුතු දෙයක්.කොහොමවෙතත් මේක වලක්වා ගැනීම ඉතාම අසීරුයි කියන එකයි මගේ පෞද්ගලික මතය.මොකද ඩෙංගු මදුරුවාගේ වාසස්ථාන විනාශ කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්,මොකද අපි දන්නවා ගහක කොළයක් වැටිලා ඒකේ වතුර රැදිලා මදුරුවන් බෝවෙන්න පුළුවන්.ලංකාවේ තියන සියලුම ගස් වර්ග,ශාකවර්ග විනාශ කර එක නෙවෙයි මේකට පිළියම.හැකි පමණ අවම කරන එක තමයි අපට කරන්න පුළුවන්.වෛද්‍ය විද්‍යාත්මකව ඩෙංගු මදුරුවාට එරෙහිව ක්‍රියා කරන බැක්ටීරියා වගේ ක්‍රම භාවිතා කළොත් සමහර විට 100% වලක්වා ගන්න පුළුවන් වෙයි.දැනට වුණත් ඩෙංගු මදුරුවන්ගේ වාසස්ථාන විනාශ කිරිම තුළින් මේක 100%ක්ම මේක වලක්වා ගන්න පුළුවන් කියන එක නෙවෙයි මගේ පෞද්ගලික මතය නම්.මම හිතන්නේ නැහැ ලොකේ කිසිම රටක් පරිසර විද්‍යාත්මක ක්‍රමවලින් ඩෙංගු රෝගය හෝ මදුරුවන් මර්දන කරලා ඇති කියලා.ඒක ජීවවිද්‍යාත්මකව කරන්න අමාරු දෙයක්.

 

රුවන් පුෂ්පකුමාර

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය