Image

වර්තමානයේ ශ්‍රී ලාංකේය සමාජය තුළ ජනතාවගේ මානසික සෞඛ්‍ය පිරිහීමක් තිබෙන බව එදිනෙදා ප්‍රවෘත්ති දකින විට අපට තෙරුම් ගත හැකියි. අපාරාධ, මිනිමැරීම්, අපයෝජන, සිය දිවි නසා ගැනීම් යනාදි නොයෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවල වැඩි වීමක් නීරීක්ෂණය කළ හැකියි. එබැවින් මීට හේතු වන කාරණා සොයා බලා, පවත්නා අර්බුද තත්වය අවස්ථාවක් කරගෙන ඊට කඩිනම් පිළියම් යෙදීමට කාලය එළඹ ඇත. මේ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්යය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ගොඩමුන්නේ මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි මේ.

 

වර්තමානයේ ශ්‍රී ලංකේය ජන සමාජය තුළ මානසික ආතතිය වේගයෙන් වර්ධනය වීමේ ස්වභාවයක් දැක ගත හැකියි, මේ සඳහා බලපාන හේතු මොනවාද? 

මේ වන විට මිනිසුන් තුළ මානසික ආතතිය ඉතා වේගයෙන් වැඩි වීමක් දක්නට ලැබෙනවා. මෙම වැඩි වීමට වර්තමානයේ අප මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය ප්‍රධාන හේතුවක්. මෙය අපේ රටේ පර්යේෂණ සාධක මඟින් තහවුරු කර නොමැති වුවත් ලෝකයේ කුමන හෝ රටක ආර්ථික අර්බුදයක් පැවතුණොත් එය අනිවාර්යෙන්ම ඒ රටේ ජනතාවගේ මානසික සෞඛ්‍යයට බලපානවා. විශේෂයෙන් ම මෙවැනි රටක ආතතිය, විශාදය හා සිය දිවි නසා ගැනීම් වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. මොකද ආර්ථික අර්බුදයක් ඇති විට මිනිසුන්ගේ රැකියාවන් නැති වෙන්න පුළුවන්. රැකියාවක් අහිමි වෙනවා කියන්නේ පවුලක සමස්ත ආර්ථිකයම බිඳ වැටෙනවා. රැකියාවක් තිබෙන පුද්ගලයෙකුගේ වුවත් රැකියාවේ සුරක්ෂිතභාවය අඩුයි. එම අවධානමත් මානසික සෞඛ්‍යට අහිතකරයි. අනිත් කාරණය තමයි පවත්නා රැකියාවෙන් උපයන මුදලින් තමන් බලාපොරොත්තු වන ජීවන රටාව පවත්වාගෙන යන්න නොහැකි වීම. ආර්ථික අර්බුදය නිසා සෑම භාණ්ඩයකම මිල ඉහළයි. තමන් හුරු වී සිටින ජීවන රටාව අහිමි වීමත් මානසික සෞඛ්‍යට හොඳ නැහැ. විශේෂයෙන ශ්‍රී ලංකාවේ සෑම තරාතිරකම සිටින පුද්ගලයින්ට ඉස්සර ගත කරපු ජීවන රටාව දැන් ගත කරන්න බැහැ. ඒ නිසා මානසික ආතතිය හා අනෙකුත් මානසික රෝග ඇති වීම වැඩි වෙලා තියෙනවා.

                                     

තරුණ ප්‍රජාව තුළ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට මානසික සෞඛ්‍ය බලපාන්නේ කොහොමද? 

විශේෂයෙන්ම තරුණ ප්‍රජාවගේ රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ පවත්නා අවිනිශ්චිතභාවය හා විරැකියාව මානසික සෞඛ්‍යට අහිතකරව බලපෑමෙන් සමාජයේ නොයෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීම සිදු වෙනවා. ආර්ථික අර්බුදය ඇති වීමට විවිධ හේතු බලපෑවත් ඒ කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට එරෙහිව තමන්ට කිසිවක් කරකියා ගත නොහැකි වුණාම මිනිසුන් කලකිරීමට පත් වෙනවා.  එතකොට ඒ ඉච්ඡාභංගත්ව පීඩනය පිට කරන්නේ වෙන කෙනෙකු පිටින්- ඒ නිසා ප්‍රචණ්ඩත්වය නිර්මාණය වෙනවා. තරුණයින් අතර කෑකෑරෙන තරහ පිටකරන්න විදියක් නැතිකොට පවුල තුළ හෝ මහමඟ හෝ සමාජයේ ඕනම සම්බන්ධතාවක ප්‍රචණ්ඩත්වය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම  මධ්‍යම පංතිය නියෝජන කරන පිරිස තුළ ඇතිවන උගත් අසරණභාවය ප්‍රචණ්ඩත්වයේ විවිධ මුහුණුවර තුළින් මතු වෙනවා. 

අරමුණු බිඳ වැටීම නිසාත්, ඉච්ඡාභංගත්වය නිසාත් තරුණ උගත් පිරිස රට හැට යනවා. රට හැර යාමට නොහැකි උගත් පන්තිය අසරණ වීමෙන් ආතතිය වැඩි වීමටත් ඉන් විශාදය ඇති වීමටත් ගොදුරු වෙනවා. අනෙක් අතට ආක්‍රමණශීලීත්වය හා සිය දිවි නසා ගැනීම් වැඩි වෙන්න හේතු වෙන්න පුළුවන්. කොහොමත් ලෝකයේ සිය දිවි නසා ගැනීම් වැඩි රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළ තැනක හිටියේ. ඒක දැන් තව දුරටත් ඉහළ යන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි සමාජය තුළ මානසික ආතතිය වැඩි වන විට මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ වර්ධනයක් දකින්න පුළුවන්. මින් තරුණ ප්‍රජාව ප්‍රචණ්ඩ ක්‍රියා හා අපරාධවලට යොමු වීමත් වැඩි වෙනවා. එවගේම පවුල් ප්‍රශ්න වැඩි වෙනවා. දික්කසාද වීම් වැඩි වෙනවා. විවාහ සංස්ථාව බිඳ වැටීමට ලක් වෙනවා.

Image

සමාජයේ අපරාධ හා මනුෂ්‍ය ඝාතන වැඩි වීම මානසික ආතතිය වැඩි වීමේ ප්‍රතිපලයක් ද?

ආර්ථික අර්බුදය නිසා ඇති වන මානසික ආතතියෙන් පුද්ගලයින්ට චිත්තවේග යාමනය කිරිමේ හැකියාවට බලපානවා. එවිට ආවේග පාලනය කරගැනීමට නොහැකි වෙනවා. මේ නිසා තමයි තෙල් පෝලිම්වල, මහා මාර්ගය තුළ අහිංසක මිනිසුන් ඝාතනය වුණේ. සිත ඇතුළේ කෑකෑරෙන් තරහ පාලනය කරගන්න නොහැඛි වීම පිට වෙන්න වෙන කෙනෙකුගේ පිටින්. ඒ නිසා ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීමේන් නොයෙකුත් ආකාරයේ අපරාධ කාන්තා හා පිරිමි දෙපාර්ශවයේම වැඩි වීම දකින්න පුළුවන්. දිනපතා ප්‍රවෘත්ති බැලුවම මේක පහැදිලිව පේනවා.

 

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සමාජය තුළ වැඩි වීම පාලනය කිරීමට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම යෝග්‍යද? 

යම්කිසි ප්‍රචණ්ඩ ක්‍රියාවන් සඳහා දඬුවම් පැමිණ වීමට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් එය කෙටිකාලීන විසඳුමක් විතරයි. දිගුකාලීන විසඳුමක් නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කිරීමෙන් යම් පිරිසක් ප්‍රචණ්ඩ ක්‍රීඩා නොකර ඉන්න පුළුවන්. නමුත් එය තාවකාලික පැලැස්තරයක්. මිනිස්සු සතුටින් ඉන්න නම් ආර්ථිකය ගොඩනගන්න ඕනේ. නමුත් එය එකවර කරන්න බැහැ.  කෙටි කාලීනව සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් එය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය යහපත් කරන්න ඉක්මණ් වැඩපිළිවෙළක් අවශ්‍යයි. නීතිය ක්‍රියාත්මක කළා කියලා ඔක්කොම සිර ගෙවල් අපාරාධකරුවන්ගෙන් පිරෙන් එක නෙමෙයි වෙන්න ඕනේ. සිර ගෙවල් වසන මට්ටමට සමාජය ගෙන යන එක.

 

විශ්වවිද්‍යාලවල, පාසල්වල හා පෙර පාසල්වල අධ්‍යාපන හදාරන දරුවන්ගේ ආතතිය වැඩි වීමත් දකින්න පුළුවන් නේද?

ඔව්. දරුවන්ගේ විතරක් නෙමෙයි අපි හැමෝටමත් තියෙන්නේ දීර්ඝ කාලීන මානසික ආතතියක්. මේ ආර්ථික අර්බුදය පැමිණෙන්න ඉස්සර අපි හැමෝම කොවිඩ් වසංගතය නිසා බැට කෑවා. කොවිඩ් නිසා අපේ තිබුණ ජීවන රටාව සෑහෙන්න වෙනස් වුණා. කොවිඩ් ඉවර වෙන්නේ කවද්ද කියලා බලාගෙන ඉඳලා, ඒක යම් ප්‍රමාණයකට විසඳුන ගමන් ආර්ථික ප්‍රශ්නය ආවා. මේක ඉක්මණින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙමෙයි. මේ දීර්ඝ කාලීන ආතතිය අපි හැමෝටම එක එක විදියට බලපානවා. විශේෂයෙන්ම කුඩා ළමුන්ට ඔවුන්ගේ ඉච්ඡාභංගත්වය පිට කරන්න විදියක් නැහැ. ඒ නිසා ආක්‍රමණශීලීත්වය වැඩියි. ආවේග පාලනය කරන්න අමාරුයි. සමහර දරුවන්ට වර්ධන තත්වය, භාෂා කුසලතාව අනුව හා මානසික ස්වභාවය අනුව තම හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව අඩුයි. ආර්ථික ප්‍රශ්න නිසා දෙමාපියන්ගේ ආතතියත් ඔවුන් දකිනවා. සමහර විට වෙනදා නොලැබුණ කෑම බීම අරන් දෙන්න දෙමාපියන්ට සල්ලි නැති වෙන්න පුළුවන්. මුදල් හොයන්න මහන්සි වෙන නිසා දරුවන් වෙනුවෙන් වෙන් කරන කාලය අඩු වෙන්න පුළුවන්. පවුල තුළ මානසික සෞඛ්‍යත් දරුවන්ගේ මානසික සෞඛ්‍යට බලපානවා.  මේ නිසා දරුවන් තුළ  ආහාර ගැනීමේ විශමතා, නිදා ගැනීමේ ගැටලු, අධ්‍යාපන කටයුතු අඩාල වීම් හා චර්යාත්මක අක්‍රමිකතා ඇති වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වසර දෙකකට ආසන්න කාලයක් මාර්ගගත අධ්‍යාපනයට යොමු වෙලා හිටියේ. ඔවුන් තුළ ද අධ්‍යාපන කටයුතු නිසාත්, ආර්ථික හා අනෙකුත් ගැටලු නිසාත් මානසික ආතතිය වැඩි වීමක් තිබෙනවා. මේ තත්වය විශාදය, සිය දිවි නසා ගැනීම් දක්වා දුර ගිහින් තිබෙනවා.  

 

සමාජය තුළ මානසික සෞඛ්‍ය නගා සිටුවන්න අපිට කරන්න පුළුවන් දේ මොනවාද?

මේ සඳහා මූලිකත්වය ගත යුතු පාර්ශව කිහිපයක් සිටිනවා. රජය, ආගමික නායකයින් ගා උපදේශන සේවා ඊට උදාහරණ. රජයක් විදියට පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම. ඒ සමඟම රටේ ජනතාවගේ  මානසික සෞඛ්‍ය නගා සිටවන්න හැකි ක්‍රියාමාර්ගත් ගත යුතුයි. මනෝ චිකිත්සකවරුන්ගේවරුන්ගේ අවධානයත් මේ සඳහා යොමු වෙලා තියෙනවා. පවුල් උපදේශන කටයුතු ද පුළුල් කළ යුතුයි. සෑම පවුලක්ම ඒකකයක් විදියට ගෙන ඔවුන් තුළ දරාගැනීමේ හැකියාව, අභියෝගවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කළ යුතුයි. මේ අර්බුදයට අනුවර්තනය වීම නොවෙයි කළ යුත්තේ. අපේ රටේ දරා ගැනීමේ හා මුහුණ දීමේ ස්වභාවය මඳක් වෙනස්. ගොඩක් වෙලාවට මිනිස්සු හිතන්නේ මොන ප්‍රශ්නය ආවාත් ඒකට පුරුදු වෙන එක. නමුත් එය නොවෙයි කළ යුත්තේ. ඔහේ වෙන දෙයක් වෙච්චාවේ කියලා බලන් නොසිට අපි කොහොමද මේකෙන් ගොඩ යන්නේ කියලා ඊට සක්‍රීයව ප්‍රතික්‍රියා දැක්විය යුතුයි.  ආගමික ආයතන හා නායකයින් මිනිසුන්ගේ අධ්‍යාත්මික සුවය වැඩි කරන්න කටයුතු කරන්න අවශ්‍යයි. සහන මලු, සහනාධාර ලබා දීම විතරක් නොවෙයි මනසික සුවය වඩවන, උසස් විශාන්ත්‍රිය ඇති කරන වැඩසටහන් ප්‍රචලිත කළ යුතුයි. මාස්ලෝගේ අවශ්‍යතා දූරාවලියට අනුව එහි පළමු මට්ටමේ තිබෙන මූලික අවශ්‍යතා සපුරන ගමන් මානසික සෞඛ්‍ය ඉහළ නංවන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවට මේ ස්වභාවය පිළිබඳ දැනුම්වත් කළ යුතුයි- පෙර පාසල්වලත්. පාසල් ළමුන් තුළත්, විශ්වවිද්‍යාල තුළත් මානසික සෞඛ්‍ය ඉහළ නංවන ව්‍යාපෘති දියත් කළ යුතුයි.

 

අමානි ඉරේෂිකා රූපසිංහ

(මෙම ලිපිය 2022 සැප්තැම්බර් 26 දින මව්බිම පුවත්පතේ 04 වන පිටුවේ පළවුණි.)