"හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්...

ඔබේ සුවඳ රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්....."

රියෙහි වේගය මදක් බාලකරමින් ගුවන්විදුලියේ හඩ මදක් වැඩිකලෙන් පණ්ඩිත් අමරදේව ශුරීන් ගේ හඩ සමග මුසුවුණු පදවැල් චිත්ත සන්තානයටම මොහොතකින් කඩා වැටෙනු මට දැනුණි…ප්‍රේමය,විරහව, මුණගැසීම් පරයන නික්මයාම් මෙකී සියල්ල අදටත් රහසිගතව සඟවාන ඇති අයුරු හරි අපූරුය. කී නොකී හරි අපූරු කතා ගොන්නක්ම මෙහිද සැඟව ඇතුවාට සැක නැත එය එසේමය ඉදින් අන් රාජකාරි සියල්ල මදකට පසෙකලා පන්හිදෙන් හන්තාන කඳුවැටිය තරණය කිරීමට මම ද තීරණය කළෙමි.

මධ්‍යම කදූකරයේ මහනුවර නගරයට ආසන්නව පිහිටා ඇති මෙකී මනස්කාන්ත කඳු වැටිය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 පමණ දක්වා විහිද ඇති අතර හන්තාන කඳුවැටිය අතරමැදි තෙත් කලාපයට අයත් මිලි මීටර් දෙදහසක් පමණ වන වාර්ෂික වර්ෂාපතනයකට ද ගොදුරු වන්නකි කෙසේ වෙතත් මෙකී මනස්කාන්ත කඳු වැටියට ඇතුළු වීම සඳහා භාවිතා කළ හැකි ප්‍රධාන මාර්ග හතරක් ඔබට දැක ගත හැකිය එනම්,

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා විකාශනාගාරය ට පිවිසෙන මාර්ගය

උඩවලව හන්තාන තේ වත්ත හරහා වැටී ඇති මාර්ගය

මහකන්ද සරසවිය හරහා වැටී ඇති මාර්ගය

පේරාදෙණිය හරහා වැටී ඇති ගලහ දෙල්තොට මාර්ගයේ දෙල්තොට   නගරයෙන් ද ඇතුළු විය හැකිය. 

මෙකී ඕනෑම මාර්ගයකින් පිවිස ඔබට ගමනාන්තය ලෙස අවසන දී මෙකී මනහර කඳු පන්තිය හමුවනු ඇත.එමෙන් ම වසර පුරා නිරිත දිග සහ ඊසාන දිග මෝසම් මගින්ද පෝෂණය වන්නක් වන මෙහි සෙල්සියස් අංශක 23 ත් 25 ත් අතර උෂ්ණත්වය පවතිනු ලබයි. අධික සිසිලස මෙන්ම සුළඟින් ද අඩු නොවන මෙකී අත්දැකීම ඔබට ද හරි අපූරු අත්දැකීමක් වනු නොඅනුමානයි. ඉතින් හන්තාන හඳ එක්ක තරගයට මෝරන්ට තරම් ප්‍රේමය ක් නොමැති වුවද, එකී සඳ හා දොඩමලු වන්න මමද කොයිතරම් නම් පෙරුමන් පුරන්නැතිද? හන්තාන පමණක් ම දන්නා ශෝකාන්ත ඊයෙට, අදට නොව හෙටටද සදාකාලික රහස් ගොන්නක් වනු නොඅනුමානය. 

 

රුවනි නිරෝෂණි

පළමු වසර 

කැලණිය විශ්වවිද්‍යාලය.