සමාජයේ මිනිස්සු නොයෙක් විදිහට අපිට අනුකලනය කරන්න පුළුවන්. තවත් විදිහක් කියනවනම් පවුල, පන්තිය, කුලය, ආගම, ජාතිය වශයෙන් විවිධ විදිහට අපිට කුලක ගතකරල කතා කරන්න පුළුවන්. බොහෝ විට මේ කුලක ගත කිරීම වෙන්නේ ආර්ථික, දේශපාලන, සමාජීය හෝ සංස්කෘතික කාරණාවක් පසුබිම් කරගෙන. උදාහරණයකට ගත්තොත් සමාජයේ ඉහළ පන්තිය හරි පහල පන්තිය කියල හරි අපි විභේදනය කර ගන්නේ එයාලගේ ආර්ථික පසුබිම අනුව. එහෙම නැත්නම් සංස්කෘතිකට මිනිස්සු කණ්ඩායම් ආගමික ගතවෙන්නෙත් එයාලගේ පිළිගැනීම් හා විශ්වාස එක්ක.

ඒත් ඇත්තටම මේ ධූරවලිය ඇතුලේ ලිංගිකත්වයත් සමාජ විභේදනයක් හෝ අනුකලනයක් සිදු කරනව කියන අදහස එච්චර ප්‍රසිද්ධ දෙයක් නෙවෙයි. තවත් විදිහකින් කිව්වොත් සමාජයේ මතයක් තියනවා පිරිමි බොහෝවිට මිතුරන් විදිහට සංවිධානය වෙන්නේ ඊටම ගැළපෙන තවත් පිරිමින් සමඟ කියල. තවත් මතයක් තියනවා ගැහැණියකගේ දුක පිළිබඳව වඩාත් දැනුවත් තවත් ගැහැණියක් කියල. මේ ප්‍රකාශවලින් පැහැදිලිව පේන දෙයක් තමයි තමන්ගෙ ලිංගික අනන්‍යතාවය මත සමාජයේ පිරිස් ඒකරාශී වීමක්, අනුකලනය වීමක් වෙනවා. වෘත්තීන් අනුව ලිංගික අනන්‍යතාව සංවිධානය වෙන හැටි බැලුවත් ගැඹුරින් මේ තත්වය සමාජ විද්‍යාත්මකව ලෙහා ගන්න අපිට පුලුවන්. බොහෝ විට දේශාපාලනයට යොමු වෙන්නේ පිරිමි අනන්‍යතාවයක් සහිත අය. එවිට ප්‍රතිපත්ති සම්පාදනය, තීරණ ගැනීම වැනි දෑ සමඟ වැඩි සම්බන්ධතාවයක් සහිත වෙන්නේ පිරිමින්ට. තවත් ආකාරයකින් රූපලාවණ්‍ය කටයුතුවලට සම්බන්ධ වෙන්නෙ වැඩි වශයෙන් ගැහැණු. ඒ වගේම සාමාන්‍ය නිරීක්ෂණය යටතේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ඇතුළේ වඩාත් කැපිපෙනෙන හෝ ඉදිරියට යන පිරිමින් සමරිසි හා ස්ත්‍රී සමාජ අනන්‍යාතවයකට සම්බන්ධයක් පවතින අය. මේ දේවල් මගින් අපිට විශ්ලේෂණය කරන්න පුළුවන් දෙයක් තමයි සමාජ දේහයේ නොයෙක් කුලක ගතවීම්වලට ස්ත්‍රී පුරුෂ සමාජභාවය බලපාලා තියනවා කියන එක.

සුවිශේෂීම දේ තමයි, සමාජය ඇතුළේ හොඳ ආකාරයකට වගේ ම නිශේධනීය ආකාරයකටත් පෞද්ගලික ලිංගික අනන්‍යතාවය මත පිරිස් අනුකලනය වීමක්, ඒකතු වීමක් දැක ගන්න පුළුවන්. ඒ තත්වය පැහැදිලි කරගන්න වඩාත් සුදුසු ම හා වඩාත් ආකර්ෂණීය ම නිදර්ශනය වෙන්නේ Money Heist  වගේ කතා මාලාවක්. මෙම ස්පාඤ්ඤ කතා මාලාව වඩාත් ම ලෝකයේ ජනප්‍රියත්වයට පත් වෙන්නේ ඒ තුළ ප්‍රේක්ෂකයාට විදීමට සලස්වන ත්‍රාසය, කුතුහලය වගේම නීති විරෝධී යමක් සිදු කිරීමේ විනෝදයයි. නීති උල්ලංඝනය, සොරකම් කිරීම, මිනීමැරීම කෙතරම් නරක දේවල් උනත් ප්‍රේක්ෂකයා කතා මාලාව තුළ රැදෙන්නේ ඒ හේතුවෙන්. අපව පිනවන කතා මාලාව තුළ සිටින ප්‍රබන්ධ චරිතවල ලිංගික අනන්‍යතා විශ්ලේෂණය කරද්දි පැහැදිලිවම අනාවරණය වෙන දෙයක් වෙන්නේ ඔවුන්ගේ ලිංගික දිශානතීන් හා අනන්‍යාතාවක් එවැනි සමාජ විරෝධී තත්වයන්ට ඔවුන්ව පොලඹවල තියනවා කියල. මේ විශ්ලේෂණය ඇත්තටම අපගේ ඇස් ඉදිරියේ පවතින සමාජය පිළිබඳ පැහැදිලි ලිංගිකව කියවීමක් (විවේචනයක්). 

කතාවේ හෙල්සින්කි, මාර්ටින් බෙරේටෝ වගේ චරිත සමලිංග දිශානතියක් තියන චරිත. බර්ලින් වගේ චරිතයක් ද්වීලිංගික ගති ලක්ෂණ ප්‍රකට කරනවා. ජුලියා වගේ චරිතයකට එද්දි ඇය සංක්‍රාන්ති ලිංගික ස්ත්‍රියක්. කතා මාලාව පුරාවට පොදු සම්මතය ප්‍රශ්න කරන ලිංගික දිශානති හා අනන්‍යාතවයන් සහිත මේ පිරිසට එම දිශානති හා අනන්‍යතාවයන් නිසාම සිදු වුණ පීඩනයන් කතාව පුරා අනාවරණය කරනවා. ඒ වගේම ඔවුන්ව බැංකු හා රත්තරං මංකොල්ලයක් සඳහා එකට එක් කරල(අනුකලනය) තියෙන්නේ ඔවුන් සොරුන් වීම මෙන්ම ඔවුන්ට ලිංගිකව ඇති වුණ  පීඩනය හා පහත් කොට සැළකීම.එම සමාජ පීඩනයේ ප්‍රකාශනය තමයි විශාල ත්‍රාසජනක මංකොල්ලයකට ඔවුන් එකතු කරන්නේ. එම සමාජ පහත් කිරීම තුළිනුයි ඔවුන් මරණීය මංකොල්ලයකට සහභාගී වීමට ජවය සපයන්නේ. ඒ සමාජ පීඩනය තුළිනුයි ඔවුන්ව මංකොල්ල කණ්ඩායමක් වශයෙන් සමාජීය වශයෙන් සංවිධානය කරල තියෙන්නේ. කතාව පුරා රචකයා, Álex Pina  අපිට යළි යළි අවර්ජනය කරවන්නෙ එම ලිංගික පීඩනයේ ප්‍රකාශනය හා ඒ පීඩනය කෙතරම් සහසිකත්වයකට මඟ පෙන්වනව ද කියන එක. Money Heist තුළ ක්‍රියාදාම වේගවත් රූගත කිරීම් තුළ ගිලිල තියෙන ලිංගිකත්වයේ සමාජ යථාර්ථය කතා මාලාව තුළින් විනිවිදින්නේ දාර්ශනික හා අතිශ්‍ය සංවේදි බවකින් යුතුව. එය සමස්ත සමාජයක් ලිංගික නිදහස වෙනුවෙන් පෙනී සිටවන විග්‍රහයක්.

නුදුරු දිනකදී Money Heist - season 05 නරඹද්දි ක්‍රියාදාම සහිත රූප රාමු අතරින් සිහින්ව ඇසෙන සුළුතර ලිංගික ප්‍රජාවන්ගේ පීඩනයේ හඬටත් නොවැරදීම සවන් දෙන්න!

 

ඉසුරු උදාකර යකන්දාවල

දෙවන වසර

භූගෝල විද්‍යා අධ්‍යනය අංශය

සමාජ විද්‍යා පීඨය