උපන් දා පාටන් මගේය අපේය කියා පැවසෙන සිංහල බස ආරම්භය සිදුවූයේ කෙසේ ද? එකල සිංහල බස කෙසේ වුවක් ද? කෙසේ විකාශනය වන්න ඇද්ද?  යන්න අප කාටත් පවතින ගැටලුවකි.

සිංහල භාෂාවේ ආරම්භය සිංහලයාගේ ආරම්භය දක්වාම දුරාතීතයට දික්වෙයි. සිංහල භාෂාව ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේදී පමණ උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්ය ගණයට අයත් භාෂාවක් ලෙස බොහෝ දෙනා විසින් පිළිගනු ලබයි.  උතුරු ඉන්දියාවේ සංස්කෘත භාෂාවට ඥාතීත්වයක් ඇති ප්‍රදේශයක පැවැති භාෂාවකින් සිංහල බස පැවත එන බවද පිළිගන්නා තවත් මතයකි. මේ ප්‍රදේශය කුමක්ද යන්න අද දක්වාම නිශ්චිත නිගමනයකට පැමිණ නැත. විසි වන සියවසයේ මුල් භාගයේ සිට සිංහල භාෂාවේ සම්ඹ්හවය පිළිබඳ විදේශීය උගතුන්ගේ ද විමර්ශනාක්ෂිය යොමු වී තිබේ. ක්‍රිස්තු වර්ෂ සිව් වැනි සියවසේ තරම් ඈත අතීතයේ පටන්ම දේශීය විදේශීය වියතුන් සිංහල සිංහල භාෂාවේ සම්භවය පිළිබඳ විමර්ශනයේ යෙදුණු බවට සාධක හමු වේ. එම විද්වතුන්ගේ පිළිගැනීම අනුව සිංහල භාෂාව ඉන්දු-ආර්ය ගණයේ භාෂාවක් බව, මහාචාර්ය සෙනරත් පරණවිතාන ලක්දිව අන්තරාලීන ශිලාලිපි මගින් ඉදිරිපත් කොට තිබේ. කෝට්ටේ යුගයේ අවසාන වන තෙක් මෙරට පහළ වූ සිදත් සඟරා කතුවරයා ඇතුළු දේශීය පඬිවරු වැඩි දෙනෙක් සාම්ප්‍රදායික වශයෙන් සිංහලය සකු මගද යන භාෂාවන් ගුරු කොට සිංහල භාෂාව බිහි වී ඇතැයි ද කරුණු ඉදිරිපත් කර තිබේ. තවද සිංහලය කිසියම් පූර්වතා අනාර්ය භාෂා විෂයකින් උපත ලද්දක් බව ද භාෂා දැනමුත්තන් පවසයි.

Image

විජය ආගමනය  සිංහලයාගේ ආරම්භය සේ සැලකුව ද මෙරට හමුවෙන විවිධ සාක්ෂිවලට අනුව ලක්දිව ඊට පෙර සිටම මනුෂ්‍ය වාසයක්ව පැවති බවට වර්තමානයේ කථිකාවන් පවති. අතීතයේ සිටම මේ පිළිබඳව පවත්නා නිරාකරණය නොවූ විද්‍යාත්මක කරුණු සමස්තයක් ලෙස ගෙන බලන කළ අපට පෙනී යන පැහැදිලි කරුණක් වන්නේ සිංහලයාගේ සම්භවය සෙවීමට වඩා සිංහල භාෂාවේ උපත සෙවීම වඩාත් දුෂ්කර කාර්යයක් බවයි. එයට ප්‍රධානම සාධකය ලෙස සිංහල භාෂාවේ පවත්නා සංකීර්ණ ස්වභාවය දැක්විය හැකිය. ප්‍රාග් - විජය සමය පිළිබඳව අපට අසන්නට දක්නට ලැබෙන බොහෝ  වෘතාන්ත ප්‍රවාදාත්මක වේ. එම යුගයේ භාෂාව පිළිබඳ කිසිදු සාධකයක් ද මෙතෙක් අනාවරණය වී නැත. එහෙත් ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසයෙන් පසු සිංහලයා පිළිබඳ මෙන්ම සිංහල භාෂාව පිළිබඳ අඛණ්ඩ තොරතුරු හා සාධක අපට හමුවේ. මහින්දාගමනයෙන් පසු අපට උරුම වූ විශිෂ්ට දායාදයන් අතර ලේඛන කලාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. එකී ලිඛිත සාධක ඔස්සේ සිංහල භාෂාවේ ක්‍රමික විකාශනය අධ්‍යයනය කිරීමට අපට හැකියාවක් ලැබී ඇත. කරුණු කෙසේ වුවද  සිංහලයෙන් උපන් සිංහලයට ආවේණික වූ මුල් භාෂාවක් ප්‍රාග් මහින්ද යුගයේ සිටම පැවති බවට වර්තමානයේ පවා බහුලව ව්‍යවහාර කරනු ලැබේ. එහෙත් කිසිදු මාතෘ භාෂාවකට හෝ ආකෘතියකට අයත් නො වූ වදන් මාලාවක් අපගේ වචන කෝෂය තුළ ස්ථාවර ව තිබීම තුළ සිංහල භාෂාවේ ආරම්භය දුරාතීතයට අයත් වු  බව කිව හැකිය. මේ කරුණු පදනම් කොටගෙන ඇතැම් භාෂා  සිංහල භාෂාව අන්කිසි භාෂාවකට සම්බන්ධ නොවූ මෙරට ම නිපන් භාෂාවක් ලෙස පෙන්වා දි තිබේ.තවත් පිරිසක් ඉන්දියාවෙන් පැමිණි විජය ආදීන්ගේ භාෂාවත් මෙරට මූල භාෂාව සම්මිශ්‍රණය වීමෙන් සිංහල භාෂාව නිපන් බවත් කල්යාමේදී මුල් භාෂාව යටපත්කොට ආගන්තුක භාෂාවන් ඉස්මතුව සිංහල භාෂාව නිර්මාණය වූ බව පවසති.

Image
Image

යථෝක්ත  මත වාද විමසා බලන විට සිංහල භාෂාවේ ඉතිහාසය පිළිබඳව අගනා කරුණු රැසක් දැකගත  ගත හැකිය. මහින්දාගමනයෙන් පසු ආගමික භාෂාවන්ට පාලි භාෂාව වඩාත් ඉස්මතුව පෙනෙන බවත් මුල් යුගයේ ලෙන් ලිපි තුළින් භාෂාව මනාව පැහැදිලි වන බවත් පෙනේ. එහෙත් මිහිදු හිමියන්ගේ සමයේ පෙළ අටුවා හෙළ බසට පෙරළීම හෙළ බසෙහි  ආධුනිකත්වය ප්‍රකට කරවයි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට පෙර සිටම දියුණු ලේඛන කලාවක් නොවුව ද හෙළ බස බුදුදහම වැනි ගැඹුරු දහමකට පවා අටුවා සපයන්නට තරම් පොහොසත් බසක් වූ බවද සිහිගැන්විය යුතුය. සිංහල භාෂාව ඉන්දු ආර්ය ප්‍රාකෘත භාෂා ගණයට අයත් බවට ඉදිරිපත්ව ඇති මත බොහෝ වියතුන්ගේ පිළිගැනීමට හා සම්භාවනාවට ලක් ව ඇති නිසාත්, ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂය සිට අඛණ්ඩව ලිඛිත සාධක සොයා ගැනීමට නොහැකි වීම නිසාත් භාෂාවේ ක්‍රමික වර්ධනය අධ්‍යයනය කිරීමේ හැකියාව අපට උදා වී තිබේ. 

මෙහිදී ද විශේෂයෙන් කැපී පෙනෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මුල් යුගයේ සිටම සිංහල භාෂාව ජීව භාෂාවක් ලෙසින් විවිධ භාෂාවන් හා සම්මිශ්‍රණය වෙමින් හැඩ වැඩ වෙමින් විකාශනය වීමයි. මෙකී සුවිශේෂී ලක්ෂණ පාදක කර ගනිමින් සිංහල භාෂාව අද වන විට සුපෝෂණය වී පරිණාමය වෙමින් තිබේ.

01) සිංහල ප්‍රාකෘත අවධිය   -  (ක්‍රිස්තු අවධිය) ක්‍රිස්තු පූර්ව තුන්වන දෙවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ තුන්වන හතරවන සියවස දක්වා 

02)  පුරාතන සිංහල අවදිය    - 4 වන සියවසේ සිට 8 වන සියවස දක්වා 

03)  මධ්‍යතන සිංහල අවධිය - ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසේ සිට දහතුන්වන සියවසේ මැද භාගය දක්වා 

04) නූතන සිංහල අවධිය - ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේ මැදභාගය සිට අද දක්වා කාලය 

යන  අවධි හතර සිංහල ශබ්දකෝෂකරුවන්  සිංහල භාෂා අධ්‍යයන ඉතිහාසය බෙදා අධ්‍යනය කරනු ලබයි. මේ ආකාරයට ආරම්භ වන සහ විකාශනය වෙන සිංහල  භාෂාව භාෂාවක් ලෙස ප්‍රෞඩ ඉතිහාසයකට උරුම කම් කියයි. මගේ ය අපේ ය කියා කියන්නට තරම් උතුම් භාෂාවක් ලෙස සිංහල භාෂාව සුපෝෂණය වී ඇති සේ ම අනාගතයේදීත් නොයෙකුත් වෙනස්කම් වලට  ලක් වෙමින් වඩාත් ශක්තිමත්, මිහිරි හා නිර්මාණශීලිෂාවක් ලෙස ඉදිරියට යනු ඇති. ඒ අනුව සිංහල භාෂාව කවදා කොතනක ආරම්භ වී විකාශනය වී අද දක්වා පැවැත ඒම මෙලෙස යැයි නිශ්චිතවම පැවැසිය නොහැකි වුවද සන්නිවේදන කාර්යයෙහිලා ලොව අන් භාෂාවන් හා ඉදිරියෙන්ම සිටී. 


ආශ්‍රිත ග්‍රන්ත - සිංහල භාෂා විකාශනය හා ශිලාලේඛන විමර්ශනය 


හේමමාලි  වඩුගේ

විශේෂවේදී තෙවන වසර

වාග්විද්‍යා අංශය 

මානව ශාස්ත්‍ර පීඨය