Image
1960 දි ඇල්ෆ්‍රඩ් හිච්කොක් Psycho චිත්‍රපටිය නිර්මාණය කරන්නේ. එදා මෙදාතුර බිහි වුණ චිත්‍රපටි අතර Psycho කියන්නෙ මාස්ටර් පීස් එකක් විදිහට අදටත් විචාරකයින් සළකනවා. Psycho චිත්‍රපටියෙ අපිට පේන්නෙ දාම ඝාතකයෙකුගේ ජීවිතය. හැබැයි ඔහු බොහොම නිවුණු සුන්දර සිනාවක් තියන කෙනෙක්. ජනශුන්‍ය ප්‍රදේශයක සරල, චාම් ජීවිතයක් ගත කරන කෙනෙක්. වැදගත් කතා විලාසයක් ඔහුට තියෙන්නෙ. නමුත් තමන්ගෙ හුදකලා හෝටලයේ නවාතැන් ගන්න එන සුන්දර තරුණියක් ඔහු විසින් ම මරල සිරුර වාහනයත් එක්ක ම මඩ ගොහොරුවක ගිල්වා දමනවා.
Image

ඊට දශක 4කට පස්සේ 2000 වර්ෂයේ American Psycho චිත්‍රපටය එළි දකිනවා. අධ්‍යක්ෂකයා Mary Harron. චිත්‍රපට දෙකේ නම් කිට්ටුවෙන් යනවා. Psycho යන උමතු බව වෙනුවෙන් භාවිතා කරන වචනය ඒ දෙක තුළ භාවිතා වෙනවා. නමුත් 1960 දශකයේ එළි දකින Psycho චිත්‍රපටයට වඩා හාත්පසින් වෙනස් කතාවක් American Psycho චිත්‍රපටය විසින් තෝර ගන්නවා. Psycho චිත්‍රපටයේ ඝාතකයා හුදකලාව නගරයෙන් ඈත් ව ජීවත් වෙන බොහොම නිවුණු පුද්ගලයෙක්. American Psycho චිත්‍රපටයට එද්දි දාම ඝාතකයා හෙවත් Seriel Killer නාගරික ජනාකීර්ණ පරිසරයක සිටින විනෝදකාමී එතරම් ම නිවුණු ගති පෙන්නුම් කරන හුදකලා චරිතයක් නෙවෙයි. ඔහු අවන්හල් හා මධු සාධවලට සහභාගී වෙන ප්‍රියමනාප තරුණයෙක්. එසේ ම, ඔහු තමන්ගෙ මිත්‍රයා ව මරා දමන්නෙ මුහුණට පොරවෙන් ගහල, සුරූපි තරුණියක් මරල ඇයගෙ හිස ශිතකරණ තුළ තබනවා. වීදියේ සිටින හිඟන්නෙකු පිහියෙන් ඇනල මරල දානවා. ඒ සියල්ල අතර ගණිකාවක් ප්‍රචණ්ඩ ලෙස දම්වැල් සහිත දැව කපන යන්ත්‍රයකින් සිදුරු කරල මරල දානවා. බැලූ බැල්මට Psycho චිත්‍රපටයට වඩා සමකාලීන ඝාතකයා අතිශය ප්‍රචණ්ඩ හා ම්ලේච්ඡ අයෙක්. ඒත් American Psycho චිත්‍රපටයේ අවසානය වන විට අපිට තේරෙන දේ තමයි ඇත්තට ම කිසිදු මිනිමැරුමක් ඔහු විසින් කරපු ඒවා නෙවෙයි. ඒ සියලු ඝාතන ඔහු විසින් ම මනසින් සැලසුම් කරල ඔහු විසින් ම මනසින් කරපු දේවල්. යථාර්ථය එක්ක සම්බන්ධයක් නෑ. නමුත් එම මිනීමැරුම් සඳහා චිත්‍රපටයේ අවසානය වන විට තමන් වැරදිකරුවෙක් බවට ඔහු දැඩිව විශ්වාස කරනවා.

Image
Image
1960 ගණන් වෙන විට එනම් මීට කාලයකට පෙර පැරණි ධනවාදය ක්‍රියාත්මක වන කාලය තුළ ඝාතකයා තමන්ට අවශ්‍ය ඝාතනය නො සඟවා තෘප්ත කර ගන්නා ආයෙක්. Psycho චිත්‍රපටයේ පෙන්වන්නෙ එවැනි පැරණි සමාජ ක්‍රමය ඇතුළේ යථාර්ථවාදී ලෙස මිනීමැරීම සිදු කරපු පුද්ගලයෙක්. ඔහු සත්‍ය ලෙස ම හිතන දේ කරන, මැරිය යුතු විට අනෙකා නොපැකිලිව මරා දමන අයෙක්. නමුත් සමකාලීන සමාජ, දේශපාලනයට එද්දි පුද්ගලයා අතිශයින් පරිභෝජනවා දී, විනෝදකාමී අයෙක්. ඇත්ත වශයෙන් ම ඔවුන් භෞතිකව සිය අතින් මිනීමැරුමක් කරපු අය නෙවෙයි. නමුත් මේ ක්‍රමය ඇතුළේ බාහිරින් නොවුනත් ඇතුළතින් අපි සියලු දේනා, දශක කිහිපයකට කලින් සත්‍ය ලෙසම මිනී මරපු පුද්ගයන්ට වඩා ම්ලේච්ඡ මිනීමරුවන්. දාම ඝාතකයින්. 1960 නිෂ්පාදන වෙන Psycho චිත්‍රපටයේ ඝාතකයා ඇත්තටම මිනිස්සු මරද්දී, 2000 දශකයේ American Psycho චිත්‍රපටයේ චරිතය මීනිමරුවෙකු වෙන්නෙ ඇතුළතින්.
88/89 දී තරුණයන් ඝාතන කරද්දී අහක බලා ගෙන සිටි, උතුරේ දෙමළ තරුණයින් මරණ විට කිරි බත් කෑ, මධ්‍ය ආසියාවේ මුස්ලිම් ප්‍රදේශවලට බෝම්බ හෙලන විට අත්පොලසන් දුන් අපි සියලු දෙනා එම දහස් ගණනක ඝාතන වෙත සෘජු වග උත්තරකරුවන් නොවෙමු. නමුත් ඒ සියල්ල වෙතම මනසින් ආවඩන ලද හෘද සාක්ෂිය අප කිසිවෙක්ට අමතක කළ නොහැකි ය. ඒ නිසා අපි සියලු දෙනා මේ ක්‍රමය තුළ බාහිරින් ඉතාමත් ශික්ෂිත හා ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් වුවත් ඇතුළතින් මිනීමරුවන් ය. දාම ඝාතකයන් ය. වාර්ගික සංහාරකයන් ය. මේ නව ලිබරල් ධනපති ලෝක පර්යාය පවතින්නේ එසේ ය. 1960 Psycho චිත්‍රපටයේ සැබෑ මිනිමරුවෙකුගේ සිට සමකාලීන American Psycho චිත්‍රපටයේ මනසින් මිනීමරුවන් වන අප අතර ලකුණු කළ යුතු මූලික බෙදුම් රේඛාව එයයි.
එසේ නම්, මෙම ක්‍රමය තුළ අපි සියලු දෙනා බාහිරින් ඉතාමත් ශික්ෂිත හා ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුන් ය. ඇතුළතින් මිනීමරුවන් ය. දාම ඝාතකයන් ය. වාර්ගික සංහාරකයන් ය. ආමේන්!
ඉසුරු උදාකර යකන්දාවල
දෙවන වසර
භූගෝල විද්‍යා අධ්‍යනය අංශය
සමාජ විද්‍යා පීඨය
Image