Image
ශබ්දකෝෂය යනු,බොහෝ විද්වතුන් මෙන් ම වාග්විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූ තේමාවකි. මෙය අතීතයේ leksikographs ලෙසින් හඳුන්වා තිබේ.ඒ, ග්‍රීක වචන දෙකක සංයෝගයෙනි.එනම්,leksikos හා graphin යන වචන දෙකේ සුසංයෝගය යි. Leksikos යනු,වචන එක්රැස් කිරීම යි.graphin යනු,ලිවීම යි.මේ අනුව ශබ්දකෝෂ යනු,වචන එකතු කිරීමේ හා ලිවීමේ කලාවයි.
ශබ්දකෝෂයක් යනු කුමක් ද යන්න පිළිබඳ විද්වතුන්ගේ විචාරාක්ෂිය යොමු වී තිබෙන අතර මොවුන් මේ සඳහා විවිධ නිර්වචන ද දක්වා තිබේ.
“A dictionary is a book in which the words and phrases of a language are listed alphabetically, together with their meanings or their translations in another language.”
-        A Welsh English Dictionary
“ ශබ්දකෝෂයක් යනු භාෂාවක වචන සහ වාක්‍ය ඛණ්ඩ අකාරාදී ලෙස ලැයිස්තුගත කර ඇති පොතකි , ඒවායේ අර්ථයෙන් හෝ වෙනත් භාෂාවකින් පරිවර්තිත.”
Image
“ A dictionary is an alphabetically ordered reference book on one particular subject or limited group of subjects. ”
-        The Dictionary of National Biography
“ ශබ්දකෝෂයක් යනු එක් විශේෂිත විෂයක් හෝ සීමිත විෂයයන් සමූහයක් පිළිබඳ අකාරාදී පිළිවෙලට යොමු කරන ලද පොතකි. ”
භාෂා පිපාසයෙහි හැසිරෙන නොහොත්, භාෂාව පිළිබඳ හදාරන විද්‍යාර්ථින්ට මෙන්ම ගත්කතුවරුන් හට එකී භාෂාවෙහි පවත්නා වචනවල නිවැරදි හා නිශ්චිත අර්ථය දැනගැනීම අතිශයින් ම වැදගත් කාර්යයකි.මෙකී අවශ්‍යතාව සපුරාලීම සඳහා අවියක් ව මග පෙන්වන්නෙක් ව හැසිරෙනුයේ ශබ්දකෝෂය යි.ශබ්ද යනු පද හෙවත් වචන වේ.එකම භාෂාවකින් සම්පාදිත ශබ්දකෝෂ මෙන්ම , නිරුක්ති සපයමින් සම්පාදිත ශබ්දකෝෂ ද වේ.
සාමාන්‍යයෙන් ශබ්දකෝෂ යනු, අප පරිශීලනය කරන පොතකි. නමුත් , සාමාන්‍යයෙන් අප පොතක් කියවීමට අරඹන්නේ මුල සිට අගට ය.නමුත්, ශබ්දකෝෂ පරිශීලනය පොත් පරිශීලනයට වඩා තරමක් වෙනස් ය.අප එය පොතක් මෙන් මුල සිට අගට නොකියවමු.අප එය එම භාෂාවේ හෝ වෙනත් භාෂාවකට අදාළව වචනයක් හා පදයක් නිවැරදි ව උච්චාරණය කරන්නේ කෙසේ ද ? , එහි නිවැරදි අක්ෂර වින්‍යාසය කුමක් ද? එහි අර්ථය කුමක් ද? යනාදී ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමක් වශයෙන් භාවිත කරමු.මෙය අවශ්‍යතාව අනුව භාවිත කරනු ලැබේ.
සාමාන්‍යයෙන් ශබ්දකෝෂයක් තුළ එක් භාෂාවක ඇති වචන අකාරාදී පිළිවෙලට සකසා , ඒවායේ අර්ථය ලබා දෙනු ලැබේ. සමහර විටෙක එම වචන සම්බන්ධ වෙනත් ප්‍රතිරූප එනම් ප්‍රකෘතිය , එය නාමයක් අනුව හෝ ක්‍රියාවක් අනුව භාෂාවේ වර නැඟීම ආදිය ද අන්තර්ගත වේ.මේවා අකාරාදී පිළිවෙලට සකස් වන අතර එකම අක්ෂරවලින් පටන් ගන්නා වචන , එකී වචනවල දෙවන අක්ෂරය අනුව අකාරාදී පිළිවෙලට සකස් කරනු ලැබේ. මෙපරිද්දෙන් වචනයේ අවසන් අක්ෂරය දක්වා ම අකාරාදී පිළිවෙල සලකා බලනූ ලැබේ.
Image
ශබ්දකෝෂ වර්ගීකරණ නිර්ණායක
  1.     ප්‍රමාණය - ශබ්දකෝෂයක වචන සාමාන්‍ය වචන ද , පාරම්පරික වචන ද , විශේෂ වචන ද,ප්‍රාදේශීය හෝ     සමාජීය උපභාෂා එකතු වනවා ද යන්න හෝ පැරණි වචන ඇතුළත් වනවා ද යන්න යි.
  2.     ඇතුළත් වන භාෂා සංඛ්‍යාව - ශබ්දකෝෂයට භාෂා කිහිපයක් එකතු වනවා ද යන්න යි.( ඒක භාෂීය - Monolingual , ද්වි භාෂීය - Bilingual , බහු භාෂීය - Multilingual )
  3.     කෝෂීය ස්වභාවය - ශබ්දකෝෂයේ ඇතුළත් ව තිබෙන ශීර්ෂ පදවලට දෙන විස්තරයේ ස්වභාවය යි.
  4.     කාල ස්වරූපය - ශබ්දකෝෂයක කාල සැලකිල්ලට ගෙන දෙආකාරයකට වර්ග කළ හැක. ඒ සමකාලීන හා ඓතිහාසික වශයෙනි.
  5.     කෝෂීය සංවිධානය - ශීර්ෂ පද පෙළගස්වා ඇති ආකාරය වේ.සමහර වේලාවට අකාරාදී පිළිවෙලට පෙළගස්වා තිබිය හැක.තවත් විටෙක අර්ථ පදනමකින් වර්ග කොට තිබිය හැක , හේතු පදනම මත ද පෙළගස්වා තිබිය හැක.
  6.     අරමුණ - ශබ්දකෝෂය සම්පාදනය කිරීමේ අරමුණ වේ.( විශේෂ අරමුණු හෝ එදිනෙදා භාවිතයට වැදගත් ශබ්දකෝෂ)
  7.     අපේක්ෂිත පරිශීලකයා - සාමාන්‍ය භාෂාත්මක තොරතුරු සොයන්නෙක් ද , උච්චාරණය, අර්ථය හෝ වෙනත් දෑ පිළිබඳ සොයන්නෙක් ද යන්න නිෂ්පාදකයා සැලකිලිමත් වේ.
 
ශබ්දකෝෂ වර්ගීකරණය
  •       ඒක භාෂික ශබ්දකෝෂ - සාමාන්‍ය ශබ්දකෝෂ , නෛරුක්තික ශබ්දකෝෂ , විෂයබද්ධ ශබ්දකෝෂ , සමාන පද ශබ්දකෝෂ , විරුද්ධාර්ථ පද ශබ්දකෝෂ
  •       ද්වී භාෂික ශබ්දකෝෂ - සාමාන්‍ය ශබ්දකෝෂ , විෂය බද්ධ ශබ්දකෝෂ , උච්චාරණ ශබ්දකෝෂ , පාරිභාෂික වචන ශබ්දකෝෂ
  •       බහු භාෂක ශබ්දකෝෂ
ශබ්දකෝෂවලින් ගත හැකි ප්‍රයෝජන
  •       අක්ෂර වින්‍යාසය නිවැරදි කර ගැනීමට හැකි වීම.
  •       පදයක අර්ථ අවබෝධ කරගැනීමට හැකි වීම.
  •       විවිධ විෂයන්ට අදාල සංකල්ප පැහැදිලි කර ගැනීමට හැකි වීම.
  •       පදයක ව්‍යාකරණ ලක්ෂණ , නිරුක්ති හෙවත් පද සකස් වූ ආකාරය දැක ගත හැකි වීම.
එබැවින් ශබ්දකෝෂය ජාතියක් පිළිබඳව ලියැවී ඇති ලිඛිත සංරක්ෂණ සහිත තෝතැන්නකි.
 
නිර්මලා බාලක්‍රිෂ්ණන්,
විශේෂවේදී තෙවන වසර,
වාග්විද්‍යාව අංශය,
මානව ශාස්ත්‍ර පීඨය.