Image
දේශීය ජනශ්‍රැතියට මූලිකත්වය ලබාදෙමින් අපටම ආවේණික වූ ජන ආගමක් අප විසින් නිර්මාණය කරගන්නා ලදී. එහි දී ව්‍යවහාරික බෞද්ධ පාර්ශවය මූලික වූ අතර ඊට යම් යම් දේව ඇදහිලි විශ්වාසයන් ජනයා විසින් එකතු කර ගන්නා ලදී. මෙම අධි විශ්වාසයන් අතීතයේ සිට අද දක්වා ගතිකානුකූලව පැවත එන්නකි. දෙවියන් සඳහා වූ ඇදහිලි යාගහෝම මේ නිසා දේශීය ජන සමාජය තුළ බොහෝ දක්නට ලැබේ. ඒ අතරින් සුමන සමන් දෙවියන්ට ද ප්‍රමුඛ ස්ථානයක් ජන ආගම තුළ හිමි වී තිබේ. 
              සුමන සමන් දෙවියන් යනු දේශීය සම්භවයක් ඇති ලාංකීය ප්‍රථම දෙවි කෙනෙකු වශයෙන් හැඳින්විය හැකිය. මහා සුමනල යක්ක සුමනල සමන් බොක්සැල් යනාදී නම්වලින්ද සමන් දෙවියන් හඳුන්වනු ලැබේ. සුමන සමන් දෙවියන් පිළිබඳව ප්‍රථම වරට තොරතුරු සාධක හමුවන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය හා සම්බන්ධවයි. මේ පිළිබඳ සාහිත්‍යය මූලාශ්‍රයන් වංශකතා තුලින් උපුටා ගත හැකිය. 
ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ ලක්දිව මහියංගනයට (බිම්තැන්නට) වැඩම කොට යක්ෂයින් දමනය කිරීමත්, එහිදී සමන් දෙවියෝ ධර්ම ශ්‍රවණය කොට සෝවාන් ඵල ලාභී වීමත්, බුදුරජාණන් වහන්සේගෙන් පූජාවට යමක් අයදින ලදී. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සිරස අතගා කේශධාතු ස්වල්පයක් සමන් දෙවියන්ට දුන්නේය. එම කේශධාතු නිධන්කොට මියගුණු සෑය කරවන ලදී. එය ලංකාවේ ප්‍රථම ස්ථූපය වශයෙන් ද සැලකිය හැකිය. 
              කෙසේ නමුත් මේ දෙවියන් පිළිබඳ විමර්ශනාත්මකව අධ්‍යයනය කිරීමේ දී ඔහුගේ ප්‍රභවය පිළිබඳව විවිධ ආකාරයෙන් මතවාදයන් පවතී. මෙම මතවාදයන් බොහොමයක් ජනප්‍රවාද මත ගොඩනැගී ඇති බව ද සඳහන් කළ යුතු ය.
Image
සුමන දෙවියන් යනු ජනපද ප්‍රධානියකු වශයෙන් සැලකේ. ප්‍රධාන වශයෙන් සබරගමු ප්‍රදේශයේ ජනපද නායකයෙකු වශයෙන් සැලකු අතර බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කරන අවස්ථාවේ සබරගමු ප්‍රදේශය නියෝජනය කිරීමට එහි ගිය බවත්, එහිදී බුදුන් ගෙන් ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵල ලාභී වීම නිසාවෙන් ඔහු දේවත්වයෙන් සැලකීමට පටන් ගත් බවට ජනප්‍රවාදයේ තොරතුරු සඳහන් වේ. නමුත් ජනපද නායකයකු වශයෙන් බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් කේශ ධාතූන් සබරගමුවට ගෙන ඒමට කටයුතු නොකර මහියංගණයේම මියගුණු සෑය නම් ස්තූපයක්ථූපයක් කොට තැන්පත් කිරීම අවුල් සහගත තත්ත්වයකි. නමුත් තම වැදි පරපුරේ ලේ ඥාතීන් සිටින බැවින් එසේ සිදු කරන්නට ඇති බවට විශ්වාස පවතී.
              ඊට කදිම නිදසුනක් වශයෙන් සමන් දෙවියන් හා සම්බන්ධ ප්‍රධාන පෙරහර දෙකක් පවතී. මහියංගනය හා සබරගමුවේ මහ සමන් දේවාල වල කෙරෙන මේ පෙරහර දෙකම ඇරඹෙන්නේ මහනුවර ඇසළ පෙරහර අවසන් වූ පසුය. සබරගමුවේ සමන් දේවාලයේ පෙරහර කොටස් පහකින් යුක්තය. එනම් දළදා පෙරහැර, බිසෝ පෙරහැර, පත්තිනි පෙරහැර, සමන් පෙරහරල නරදේව පෙරහර යනුවෙනි. බිසෝ යනුවෙන් හැඳින් වෙන්නේ සමන් දෙවියන්ගේ අක්කා වන ,මහා ලොකු අක්කා, යැයි මහියංගන වැසියන් අතර විශ්වාසයක් ද තිබේ. මේ හේතු සාධක නිසාවෙන් එවැනි තීරණයක් ගන්නට ඇති බවට ද මොහු වැදි පරපුරට නෑකම් කියන අර්ථය මෙන් සපයනු ලබයි. 
ශ්‍රී ලංකාවේ ජනාවාසයන්හි ආරම්භය ගැන කතා කරන විට ශ්‍රී ලංකා සිංහල ජනාවාස ආරම්භකයා විජය ලෙස ඇතැම් අය විසින් සලකනු ලබන බව පෙනේ. මේ සිද්ධිය ඇත්තක් හෝ නැත්තක් වේවා එය මෙහිදී සඳහන් නොකරමි. 
             විජය පැමිණෙන විට මෙහි රජ කළේ කුවේණි නැමැත්තෙකි. විජය ඇය හා කාලයක් වාසය කළේය. මේ නිසා කුවේණියට දරුවන් දෙදෙනෙකු ලැබුණේය. ඒ දිඝහත්ත හා දිසාලය. විජය රජු පසුව මදුරාපුරයෙන් කුමාරිකාවක් ගෙන්වාගෙන ඇය අභිෂේක කළෙන් කුවේණි හා දරුවන් රජ මැදුරෙන් එලවා දමන ලදී. කුවේණි දරුවන් දෙදෙනා සමග වීරසවත්තු පුරයට ගිය ද, ඇයගේ නෑයින් විසින් ජාතියට කරන ලද විපත නිසා ඇය මරා දමන ලදී. ඒ අවස්ථාවේ දරුවන් දෙදෙනා වෙන කිසිවෙකුගේ පිහිටක් නො ඉල්ලා පලා ගියේ සබරගමුවට ය. ”සබර” යන්නෙහි අදහස වැදි යන්නය. සබරගමු ප්‍රදේශයේ වැදි ජනතාව ඇති වුයේ මෙසේ සමනල අඩවියෙහි පදිංචි වූ දීඝහත්ත හා දිසාලගෙනි. සමන් නැමැත්තා මෙම දීඝහත්ත හා දිසාල පරපුරෙන් පැවත එන වැදි පරපුරට අයත් කෙනෙකු වශයෙන් ද සැලකේ. 
Image
එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පිහිටි ස්ථානය සබරගමු ප්‍රදේශයේ පිහිටා තිබීම නිසාවත් එම ප්‍රදේශය සුමන සමන් දෙවියන්ට වාසස්ථානය වූ නිසා සමන්කූඨ නම් විය. මේ ආකාරයෙන් සමන් දෙවියන්ගේ ප්‍රභව පිළිබඳව සඳහන් කිරීමේ දී වැදි පරපුරෙන් පැවත එන ප්‍රාග් බෞද්ධ යුගයේ සිට වැඳුම් පිදුම් ලැබූ දෙවිකෙනකු වශයෙන් පෙන්වා දිය හැකිය.
නමුත් මේ පිළිබඳ තවත් මතවාදයන් පවතී. එම මතවාදයන් අතර සමන්ත්‍ර භද්‍ර නම් බෝධිසත්වයකු වශයෙන් ද ජනප්‍රවාදය තුළ සමන් දෙවියන් හඳුන්වා දී ඇත. එපමණක්ද නොව රාම කුමරුගේ සොහොයුරා වූ ලක්ෂ්මන් බව ද විශ්වාසයක් ගොඩනැගී ඇත. එම මතය හයවන පැරකුම්බා යුගයට අයත් සබරගමු මහ සමන් දේවාල සන්නසෙන් ද තහවුරු වේ. මේ සියලු මතවාදයන්ට අමතරව තවත් මතවාදයක් ගෙන එන සෙනරත් පරණවිතාන මහතා දක්වා ඇති අදහස අනුව සුමන සමන් දෙවියන් යනු පුරාණ වෛදික දෙවි කෙනෙකු වන යම බවය. ප්‍රාග් බෞද්ධ යුගයේ පසු සුමන සමන් දෙවියන් වශයෙන් විකාශනය වීම සිදු වී ඇති බව මෙහෙදී ගෙන එන මතයක් වී ඇත. දීඝ නිකායේ ආටානාටිය සූත්‍රයේ යක්ෂ සුමන වශයෙන් හඳුන්වා ඇත්තේ ද සුමන දෙවියන් බවද තොරතුරු සාධක පවතී. 
                       මෙම මතවාදයන් සියල්ලම විධිමත් ලෙස අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වශයෙන් දේශීය සම්භවයක් ඇති ලාංකික ප්‍රථම දෙවි කෙනෙකු වශයෙන් සුමන සමන් දෙවියන් හැඳින්විය හැකිය.  ගෝත්‍රික සමාජීය පරිසරයක් තුළ සිට එහි ක්‍රමික විකාශනය සිදු වී ඇති බව පැහැදිලි ලෙසම තර්ක කිරීමේ හැකියාව ද පවති. 
කේ.ඒ.ජී.සී බණ්ඩාර
සිව්වන වසර
ලලිතකලා අධයන අංශය
මානවශාස්ත්‍ර පීඨය