පුනරුප්පත්තිය ගැන ඔබ විශ්වාස කරනවාද?
- ගවේෂණ
- Hits: 1252
මව් කුසෙන් උත්පත්තිය ලැබීම අප හැම කෙනෙක්ම දකිනුයේ ඉපදීම ලෙසයි. ඉපදීම යන්න මංගල කරුණක් ලෙස සලකන අතර නැකත්, සිරිත් විරිත් ඒ වෙනුවෙන් සිදුකරනු දක්නට ලැබේ. අපට ඉපදීමත් තිබෙනවා සේම මරණයක් ද ඒ හා සමානව තිබෙන බව අප දැන සිටිය යුතුය.
ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මේ සංසාර ගමනෙහි සුගතිය මෙන්ම දුගතිය කෙරෙහිද පෙර භවය යන්න ප්‍රබලවම බලපානු ලබන්නකි.තමන් ජීවත්වන කාලය තුළ කරන කියන සියල්ල තමන් ලබන ඊළග ආත්මයෙහි උත්පත්තිය තීරණය කරන බව අප දන්නා ලෝක ධර්මතාවයයි.
මනුෂ්‍යයෙක් ඉපදී මියගොස් කවර හෝ ආත්මයක උත්පත්තියක් නැවත ලබා ගැනීම හෙවත් නැවත ඉපදීම පුනරුප්පත්තිය යැයි අප දනී. පුනරුප්පත්තිය යන්නට විවිධ ආගම් විවිධ අදහස් දක්වයි. හින්දුන් විශ්වාස කරනුයේ තාවකාලිකව ශරීරයක් තුළ නැවත නැවත ඉපදෙමින් මිය යාම නොකඩවා පවතින ආත්ම සංකල්පයක් බවයි. මෙම ආත්ම සංකල්පයෙහි චක්‍රය සංසාරය යැයි අප දනී.
එහෙත් බෞද්ධ දර්ශනය තුළ එවැනි ආත්ම සංකල්පයක් නොමැත. බෞද්ධ දර්ශනය තුළ දැක්වෙනුයේ සියල්ල පටිච්ච සමුප්පාදය හෙවත් හේතු ඵල දහමට අනුව සිදුවන බවයි. බෞද්ධ දර්ශනයෙහි දැක්වෙනුයේ කෙනෙක් හේතුඵල දහම දකීද ඔහු බුදුන්ද දකී යනුවෙනි. පුනරුප්පත්තිය ලැබූ විට අප එය සසඳානුයේ අතීතය ජීවිතය ඇසුරිනි. අප දන්නා බෞද්ධ දර්ශනයට අනුව පුනුරුප්පත්තිය තුළ අප ලබන ලැබීම් තීරණය කරනුයේ අතීත ජීවිතය නිගමනය කරමිනි.
නිදසුනක් ලෙස පුනරුප්පත්තිය තුළ වෛද්‍යවරයෙකු වේ නම් ඔහු අතීත ජීවිතයෙහි සුවපත් කරුවකු වන්නට ඇතැයි ඇතැමුන් විශ්වාස කරයි. එසේම පුනරුප්පත්තිය තුළ තමන් කල් ගෙවන ජීවිතය තුළ ලබන අත්දැකීම් අතරතුර යම් ස්ථානයක් හෝ පුද්ගලයෙක් හුරුපුරුදු යැයි හැඟේ නම් අප විශ්වාස කරනුයේ තමන් අතීත ජීවිතයෙහි ඔවුන්ව දැන සිටින්නට ඇති බවයි. තමන් විසින් කරන ලද කුසල අකුසල කර්මයන්ද පුනරුප්පත්තිය තුළ ලබන ආත්මයට හේතුවන බව අප විශ්වාස කරන්නකි.
නැවත උපත ලබන ආත්මයෙහි අත්පා ආබාධ සහිතව උපත ලැබූවන් දුටුවිට අප නිගමනය කරනුයේ ඔවුන් පෙර ආත්ම භවයෙහි කවරෙකුගේ හෝ ශරීරයට හානි කළ අය වන්නට ඇති බවයි. ලස්සන රූප ස්වභාවයෙන් අගතැන්පත් අය දුටු විට අප සිතනුයේ පෙර ආත්මේ හි බොහෝ පින්කම් කර තිබෙන හෙයින් එවන් රූපයක් හිමි වන්නට ඇතැයි යනුවෙනි.
ඉපදිමින් මැරෙමින් ගමන් කරන මේ සංසාර ගමනෙහි අප ජීවිත කාලය තුළ රැස් කරන කිසිවක් මරණය වෙත නික්ම යන විට රැගෙන නොයයි. ගොනා පිටුපස බැඳි කරත්ත රෝදය මෙන් අප පසුපස ආත්මගත ව හබා එනුයේ අප විසින් කරනු ලබන කුසල අකුසල කර්මයන්හි ආදීන පමණය.
එහෙයින් ලබන ආත්මය තුළ දුක සැප බෙදා ගනිමින් පරිත්‍යාගශීලීව පාප කර්මයන්ගෙන් ඈත්ව පින්දහම් කරමින් කුසල් රැස්කර ගැනීම වටින්නේය. එවිට ඒ සියල්ල මෙලොව මෙන්ම පරලොව ජීවිතයේ සුගති උදෙසා ද හේතු වන්නේය.
පුනරුප්පත්තිය ගැන ඔබ විශ්වාස කරනවාද යන්න මා විමසුවහොත් වරක් ඉපදී මියගොස් නැවත ලබන ආත්මය තුළ ජීවත්වෙමින් තමන් පෙර ආත්ම හි ගත කළ ජීවිතය මතකය රැඳී බොහෝ මිනිසුන්ගේ ජිවිත කතා අප අසා තිබේ.
තමා ලැබූ වර්තමාන ජීවිත කාලය තුල හිඳිමින් පෙර ජීවිතයේ වෙත යෑමේ හැකියාව සෑම කෙනකුටම නොපවතින්නකි. තවත් ජීවිතයක් තුළ ගත කර ඇති මතකයන් එලෙස සිහිපත් වීම සිදුවිය හැකිය. සිහින විශ්ලේෂණය මගින් ද අපට අතීත ජීවිතය ගැන ඉගෙන ගත හැකි යැයි සමහරු විශ්වාස කරති.
යම් පුද්ගලයෙක් මිය යන මොහොතේ ඔහුගේ හෝ ඇයගේ සිතෙහි තිබෙන චිත්ත රූපයට අනුව නැවත යම් ස්ථානයක ඔහු හෝ ඇය උපත ලබන බව අපගේ විශ්වාසයයි. ඇතැම් මිනිසුන් මිය යන විට ඔවුන්ගේ අතීත මතකයන් ද ඔවුන්ගේ සිත් තුළ නොමැකී තිබෙන්නට පුළුවන්. මෙය ඉතාමත් දුර්ලභ සංසිද්ධියකි.
ඉතින් ඔවුන් නැවත උපත ලබන ආත්මය තුළ පෙර ආත්මයෙහි තමන් හිටපු හැටි ,මැරුණ හැටි ,කළ දේවල් අන් අයට කීම අරුමයක් නොවේ යැයි මට සිතෙන්නකි. සාමාන්‍යයෙන් අප විශ්වාස කරනුයේ එලෙස පුනරුප්පත්තිය පිළිබඳව කිව හැකි පුද්ගලයින් උපදින්නේ ලෝකයේ මිනිසුන්ගෙන් දාහකට එක්කෙනෙක් ලෙසිනි.
ඉතින් ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මේ සංසාර ගමනාන්තය තුළ පෙර ආත්මය සොයා යාමට නොව ඉදිරි ආත්මය නවතා ගන්නා අයුරු කල්පනා කිරීම වටින්නේ යැයි මෙහිදී මට සිතෙන්නකි. සසර තුළ අපට හිමි වන්නා වූ දුක් නතර කර ගැනීමට කළ යුත්තේ එයයි.
පුනරුප්පත්තිය යන්න මට හැඟෙන පරිදි මේ බොහෝ සෙයින් මනෝ විද්‍යාත්මක සංකල්පයක් ලෙසද අපට හඳුනාගත හැකිය. තමා ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මේ සසර තුළ ලබන ආත්මයන්වල ජීවත්වෙමින් පෙර ආත්මයන් කීමටද ඇතැමුන්ට හැකියාව පැවතිය හැකිය. එහෙත් මෙහිදී පෙර ආත්මය පිළිබඳව නැවත තමා කීම හෝ ඒ පිළිබඳව සොයා යෑම මා අනුමත නොකරන්නකි.
මන්ද අප කළ යුත්තේ පුනරුප්පත්තිය ඇසුරෙන් ජීවිතය දැකීම නොව අප ලබන ජීවිතය තුළ හැකි තරම් සුබවාදීව ආදර්ශමත්ව යහපත් ක්‍රියාකාරකම්වල නිරත වීමයි. එවිට පුනරුප්පත්තිය තුළ ලබන ආත්මයන් තුළ සසර දුක් අවම කර ගනිමින් යහපත් දිවියක් ගත කිරීමට මෙන්ම සංසාරගතව මෙලෙස යන ආත්ම ගමනෙහි ඉදිරි ආත්මය නවතා ගැනීමටද හැකි තරම් ශක්තියක් එවිට අපට ලැබිය හැකිය යන්න මට සිතේ.
ඩබ්ලිව්.එම්. පියුමි ඉදුනිල් කරුණාතිලක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
සමාජිය විද්‍යා පීඨය
කැලණිය විශ්ව විද්‍යාලය