Image
ලිඛිත ඉතිහාසයේ මුල් ම ස්ථානයකට හිමිකම් කියන විජය රජු ගොඩබසින ලද තම්බපණ්ණිය ආසන්නයේ තැනක් ලෙසින් මෙම කුදිරමලේ තුඩුව හඳුනාගත හැකිය. විල්පත්තු අභය භූමියට අයත් කුදිරමලේ තුඩුව පිහිටි ප්‍රදේශයේ ඇති ඉපැරැණි අශ්වයෙකුගේ රුවක් සහ මුස්ලිම් සාන්තුවරයෙකුගේ සොහොනක් තිබෙන අතර මන්නාරම් බොක්ක ආසන්නයේ පිහිටා ඇති මෙම ස්ථානය කිසිදු සංරක්ෂණයකින් තොර වීම ද එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් දිරාපත් වී පොලොවට පස් වී ගිලිහී යාමත් ඛේදජනක ලෙස කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුම ය.
මෙහි කුතුහලය ජනිත කරවන්නේ අශ්වයෙකුගේ නටබුන් ලෙසින් ගඩොල් සහ බදාමයෙන් තැනූ බව පෙනෙන පසුපස පාද යුගලක් සහිත එම පිළිරුව කුමන කාලයක තැනූවක් ද යැයි නිශ්චිතව කිව නොහැකි වීමත් අශ්වයා තම ඉදිරි පා යුගළ ඉහළට ඔසවා ගෙන සිටින ඉරියව්වෙන් සිටින්නට ඇති බවත් අශ්වයාගේ පිට මත සත්ත්වයා හසුරුවන වරපට අතින් අල්වාගත් මිනිසෙකුගේ රුවක් ද තිබෙන්නට ඇතැයි අදහස්,මතවාද හා විශ්වාසයන් පැවතීමත් නිසාය.
Image
Image
කෙසේ නමුත් කුදිරමලේ තොට හෙවත් අශ්ව කන්ද නමින් අතීතයේ මෙම ස්ථානය නම් කර ඇති අතර ඉදිරියට පාදය ඔසවාගෙන සිටි එම අශ්ව රුව පසුගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත යුද හමුවේ විනාශයට පත් වී ඇති බවද වාර්තා වෙයි
විල්පත්තු අභය භූමියේ උසම ස්ථානය මෙය වන අතර මෙහි කුවේනියගේ මාලිගයේ බවට සැලකෙන ගල් කණු සහ වෙනත් නටබුන් රැසක්ද දැකගත හැකි වීමත් විශේෂත්වයක් වන අතර ම ඒ අවට වර්තමානයේ කපුගස් ගණනාවක් ද දැකගතහැකි වීමත් නිසා කුවේනියගේ කපුකැටීමේ දස්කම් කතාන්දර සිද්ධි යලි මතකයට නංවන්නේය. කොහොම නමුත් තවමත් මෙය කුවේනි නටබුන් ලෙසින් තහවුරු කර නොමැත්තේ මේ පිළිබඳ මේ වනතුරුත් පුරාවිද්‍යාත්මක කැනීම් කිසිවක් සිදුකර නොමැති නිසාවෙනි.
එමෙන්ම මෙම ස්ථානයේ සහ අවට භූමියේ පස තඹ පැහැයෙන්ද යුතු වීමත්, ක්‍රි.පූ.543 වකවානුවේ විජය කුමරු සිය පිරිවර සමඟ මෙම ප්‍රදේශයෙන් ලක්බිමට පය තැබූ බව සඳහන් තම්බපණ්ණිය ද මෙහි පිහිටා තිබීමත් එදා අප රට තම්බපණ්ණිය ලෙසින් හඳුන්වා ඇත්තේ ද පසෙහි මේ ඇති ස්වභාවය නිසා බවටත් විශ්වාස කෙරෙති.
එපමණක්ද නොව මුස්ලිම් ප්‍රජාව විසින් මෙම ස්ථානයේ වෙළඳාම් කළ බවටත් ඉතිහාස තොරතුරුවල සඳහන් වීමත් මෙම ස්ථානයේ යකඩ ආවරණයකින් ආරක්ෂාව යොදා ඇති නමුත් එම ස්ථානය ද මේ වන විට විනාශ වී නුදුරු දිනයේ ම මුහුදට බිලිවිය හැකි වීම දැකගතහැකි වීම ද කණගාටුවට කරුණකි.
පෙර කී පරිදිම මෙසේ වෙළඳාම්හි නිරත වූවා යැයි සැලකෙන ප්‍රජාව අතර මුස්ලිම් සාන්තුවරයෙකුට අයත් යැයි සොහොනක් ද මෙයට පහළින් කිසිදු සංරක්ෂණ ක්‍රියාදාමයකින් තොරව විනාශ වෙමින් පවතින බවද දැකගතහැකි ය.
මෙම ස්ථානයේ විශාල පැරණි ගඩොල් රැසක්ද තැනින් තැන විසිරී ඇති අතර වර්තමානයේ මේ ප්‍රදේශවල විවිධ ස්ථානවල නාවික හමුදා නිලධාරින් පමණක් සිටින ආකරය දක්නට ලැබෙන අතර වෙනත් කිසිදු පුද්ගලයෙකු දක්නට නොලැබීමත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුමය.
අවසාන වශයෙන් සඳහන් කළ යුතුවන්නේ විල්පත්තු අභය භූමිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ මේ ඓතිහාසික ස්ථානය නැරඹීමට අමතක නොකරන නමුත් ඊට අවශ්‍ය සෑම සියලු පහසුකම් ද සලසා දීමටත් පෞරාණික වටිනාකමකින් යුක්ත ඉපැරැණි කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකි මෙම ස්ථානය සංරක්ෂණය කොට ඉදිරි පරපුර වෙත ආරක්ෂා කරදීම ජාතික වගකීම්ක් ලෙසින් වගකිවයුතු බලධාරීන් මේ වෙනුවෙන් ක්‍රියාකළ යුතු බවයි.
තිලක්ෂි උත්පලා සමරතුංග 
විශේෂවේදී දෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයනාංශය