වර්තමාන මාධ්‍ය පරිහානියට හේතුව මාධ්‍යවේදීන් හරියට භාෂාව හදාරලා නෑ.
- ගවේෂණ
- Hits: 884
අතීතයේ පැවති මාධ්‍ය කර්මාන්තයට සාපේක්ෂව වර්තමාන මාධ්‍ය කර්මාන්තයේ යම් පිරිහීමක් දක්නට ලැබේ. වර්තමාන මාධ්‍ය භාවිතය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ජේෂ්ඨ මාධ්‍යෙවේදී කරුණාරත්න අමරසිංහ ශූරීන් සමඟ කළ සොඳුරු කතාබහක් ඇසුරින් සකසන ලද ලිපියකි.
01.පළමුවෙන්ම මාධ්‍ය සමඟ ඔබතුමාට ඇති සම්බන්ධය පිළිබඳව කතාකරද්දි පාසල්වියේදීම ඔබතුමාට අවස්ථාව හිමිවෙනවා ගුවන්විදුලි ක්ෂේත්‍රය සමඟ සම්බන්ධවීමට. ඒ “ළමා පිටිය” ගුවන්විදුලි වැඩසටහන හරහා. මෙලෙස කුඩා කාලයේදීම මාධ්‍ය ක්ෂේත්‍රය සමඟ සම්බන්ධවීමට අවස්ථාව හිමිවන්නේ කොහොමද?
එතකොට මට මං හිතන්නේ වයස අවුරුදු නමයක් දහයක් වගේ වෙන්නෙ. මොකද මං ඉස්සෙල්ලම “ළමා පිටියට” යනකොට වයස අවුරුදු 15යි. මගේ පංතියේ යාළුවෙක් හිටියා “වෝල්ටර් කල්දේරා” කියලා. එයා ළමා පිටියට ලිපි එහෙම ලියනවා.දවසක් මෙයාට ගුවන්විදුලියෙන් එන්න කියනවා.ඒ කාලෙ ඒගොල්ලො කියනවා කැමති අයට ලිපි,කවි එවන්න ඔවුන් ප්‍රචාරය කරනවා කියල. ඉතිං එහෙම එකක් අහලා අරයා ලිව්වම එයාට එන්න කියලා එව්වා. එයා මට කිව්වා මෙහෙම එන්න කියලා තියෙනවා යමු කියලා. මට හරි සන්තෝෂයි.ඉතින් එයත් එක්ක මං ගියා ගුවන්විදුලියට. එයා ලියාගෙන ගියේ සර් අයිසෙක් නිව්ටන් ගැන ලිපියක්. ඒ කාලේ ගුවන් විදුලි ළමා වැඩසටහන කළේ තිලක සුදර්මන් ද සිල්වා කියන ශ්‍රේෂ්ඨ ගුවන්විදුලි නිශ්පාදකවරයා. පසු කලෙක එයා ඉතා විශිෂ්ට ගණයේ මාධ්‍යවේදියෙක් වුණා. එයා වෝල්ටර්ට කිව්වා ඒක කියවන්න කියලා. එයා කියවගෙන යනකොට එක දෙබසක් තියෙනවා අයිසෙක් නිව්ටන්ගේ දෙබසක්. සුදර්මන් ද සිල්වා මට කිව්වා‚ මල්ලි බලන්න මේ දෙබස කියවන්න කියලා. මං ඒක කියෙව්වා. ඒක රඟපාල කියන්න ඕන. පිටපතක්නෙ කියවන එකක් නෙමෙයිනේ.මෙයාට ඒක ඇල්ලුවා “ආ ශෝක්නෙ ඔයා මේක කියන්න” කියලා කිව්වා. අදත් ඒ ගුවන්විදුලි මැදිරිය තියෙනවා. දහවෙනි මැදිරිය. ඒ කාලේ රෙකෝඩින් නෑ පටිගතකිරීම් නෑ කෙලින්ම සජීවීව ඉදිරිපත් කරන්න ඕන. වැරදුනොත් ඔක්කොම ඉවරයි. ඉතින් මං මේ දෙබස කිව්වා. අන්න ඒක තමයි මගේ කටහඬ ඉස්සෙල්ලම ආවකාශයට ගිය දවස. “සර් අයිසෙක් නිව්ටන්ගේ” මේ සංවාදයෙන් තමයි පටන් ගත්තෙ. ඒක තමයි මගේ මුල.
- මඟුල් කෑම,මඩොල්දූව කෘති ගුවන්විදුලි නාට්‍ය දෙබස් ලෙස රචනා කළේ ඔබතුමා නේද?
ඔව් මම තමයි.ඉස්සෙල්ලම මඩොල්දූව චිත්‍රපටය එන්න ඉස්සෙල්ලා ළමා නාට්‍යයක් හැටියට කොටස් වශයෙන් මඩොල්දූව මම තමයි ලිව්වෙ.ඊළඟට මුනිදාස කුමාරතුංග මහත්මයාගේ “මඟුල් කෑම” පොත රසායන තුනෙන් එකක්නෙ.හීං සැරය, මඟුල් කෑම,හත් පණ.මඟුල් කෑම එත් ළමා නාට්‍යයක් හැටියට “ළමා පිටියේ” කොටස් වශයෙන් ලිව්වෙ මම .විශේෂයෙන් කියන්න ඕනෙ මම ගුවන්විදුලියේ මුලින් ම ළමා ශිල්පියෙක් හැටියට ඇවිල්ලා හුඟාක් මිනිස්සු අතරට ගියේ නාට්‍ය ශිල්පියෙක් හැටියට. නාට්‍ය රචකයෙක් හැටියට. ඒක තමයි මගේ ප්‍රධාන අනන්‍යතාවය ගුවන්විදුලියේ. අදත් මිනිස්සුන්ගෙ මනසේ ඉන්නෙ මං නාට්‍ය ශිල්පියෙක් හැටියට. මගේ හඬ ඒ ගොල්ලන්ගෙ මනසේ රැඳෙන්නේත් නාට්‍ය ශිල්පියෙක් හැටියට.
- මුල් යුගයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ පැවති ස්වභාවය මොනවගේ ද?
ඒ කාලේ ගුවන් විදුලියට වැඩිය පත්තර තමයි හුඟක් ප්‍රබල. හැබැයි පත්තර හුඟක් තිබුණේ නෑ. ප්‍රධාන පත්තර කිහිපයයි තිබුණේ. ගුවන්විදුලිය පත්තරේ තරම් පැතිරිලා නොයන්න හේතුවක් තමයි ගුවන්විදුලි යන්ත්‍ර තිබුණෙ ටික දෙනාටනේ. ඒ කාලේ ගුවන්විදුලියේ වැඩසටහන් විවේචනය කරලා පත්තරේ ගියා විවේචන ලිපියක්. “ධර්මසිරි ජයකොඩි” කියන ලංකාදීපේ පුවත්පත් කලාවේදියා ගුවන්විදුලි වැඩසටහන් අහල පත්තරේ විවේචනය කරනවා. එදා ඉඳන් අද වෙනකල් කවදාවත් පත්තරේකින් එහෙම ගුවන්විදුලි වැඩසටහන් විවේචනය කරල නෑ. අදත් හොඳයි ඒක කරනවානම්. ඒ කාලේ ගුවන්විදුලියට ලොකු පිළිගැනීමක් තිබුණා.ඒ පිළිගැනීම තියෙන්න හේතුව එතකොට මේ මාධ්‍ය විෂයක් හැටියට ඇවිල්ලා නෑ. සන්නිවේදනය, ජනසන්නිවේදනය, මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය,විද්‍යුත් මාධ්‍ය වැනි වචනවත්‚ විෂයක්වත් මොකක්වත් නෑ.ඒ කාලේ කතා කරන්නේ “රේඩියෝ සිලෝන්” කියලනෙ. ගුවන් විදුලිය ගැන කතා කරනවා‚ පත්තර ගැන කතා කරනවා. නමුත් මාධ්‍යකරුවෝ කියලා හඳුන්වන නමක්වත් තිබුණේ නෑ.පත්තරවල ලියන කියන අයට “පත්තරකාරයා” කියල කිව්වා. දැන්නම් පත්තරකාරයා කියන්නේ පත්තරේ බෙදෙන මිනිහටනේ. ඒ කාලේ පත්තරකාරයා අවනම්බු කරන්න කියන නමක් නෙමෙයි. ටිකක් වැදගත් වචනයක් හැටියට පාවිච්චි කළේ “පුවත්පත් කලාවේදියා” .මුලින්ම ජනසන්නිවේදන කාර්යයේ යෙදෙන පුද්ගලයෙක් හඳුන්වන්න පාවිච්චි කරපු වචනය තමයි “පුවත්පත් කලාවේදියා”. ඒක කිව්වෙත් පත්තරේට ලියන කෙනාට. ගුවන්විදුලියට ලියන කෙනාට මුකුත් නමක් තිබුණේ නෑ.ගුවන්විදුලි ශිල්පියා කියලා තිබ්බා. මුල් අවධියේ ගුවන්විදුලියෙත්‚ පත්තරවලත් ඒ ඉහළ මට්ටම තිබුණා.
අනිත් එක ගුවන් විදුලියේ වැඩසටහන්වලට සහභාගී වුණේ භාෂා ඥානය තිබුණු පුවත්පත් කලාවේදීන්. ලියන්න කියන්න හොඳට ඉගෙන ගත්ත අය. ද්විභඥා ඥානය තිබුණ අය. සමහරු භාෂා කීපයක් දන්නවා. ප්‍රාචීන භාෂා සංස්කෘත, පාලි ,ඉංග්‍රීසි ,සිංහල ,දෙමළ භාෂා ඥානය තිබුණා. සිංහල පමණක් දන්නා අය වුනත් ඉතාම හොඳට ලියන්න‚ කියන්න නිවැරදි ව්‍යාකරණ ඥානය තියෙන අය තමයි හිටියෙ.ලංකාවේ හිටිය ඉහළම මට්ටමේ උගත්තු, වියත්තු ඒ ඒ විෂය හදාරන ඒවායෙන් නිපුණ වෙච්ච අයට තමයි කතා කළේ. අද නම් මාධ්‍ය මේ තුට්ටු දෙකේ වැඩකට නැති මෝඩ හරක් ගෙන්නලා කතා කරනවනෙ. එහෙම නෑ ඒ කාලේ ප්‍රමිතියක් තියෙනවා.
- මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඔබතුමාට අමතක නොවන අත්දැකීම් සහ සිදුවීම් මොනවාද?
එක ගමනක් අපි නාට්‍යයක් කරනවා. ඒක ප්‍රචාරය කරන්න ඉස්සෙල්ලා පුහුණු වෙනවා පුහුණු වන ශිල්පීන් එකතුවෙලා. එතකොට පී. වැලිගම කියලා මහත්තයෙක් හිටියා නාට්‍ය අංශය භාරව. ඒ නාට්‍ය ශිල්පීන් අතර හිටියා නාට්‍ය ශිල්පී තරඟයකින් අලුතෙන් පාස් වෙච්ච ආධුනික ශිල්පියෙකුත්. මිනිහට අත්දැකීමකුත් නෑ. අනිත් එක මිනිහා ටිකක් හඬෙන් රඟපෑම් එහෙම පුහුණු වෙලා නෑනේ.දැන් ඔන්න අපි පටන් ගත්තා. එයාගෙ දෙබසට එනකොට මෙයා මේ දෙබස කියනවා. නාට්‍යයේ ඉන්න හැම ශිල්පියාට ම සම්පූර්ණ නාට්‍යයේ පිටපතක් තියෙනවා. අපි ඔක්කොම දිගටම ඒක බලාගෙන කියන්න ඕන. අරයට එනකොට එයා දත්මිටි කාගෙන කියනවා. වැලිගල මහත්තයාට කේන්ති ගියා. “නවත්තනවා ඕක. ඔහොම ඉන්නවා ඔය මොකක්ද කිව්වේ ආ.. ? ඕක ඔහොම නෙමේ කියන්නේ. බලනවා ඔය පිටපත. පිටපතේ දෙබසට ඉස්සෙල්ලා ඇති වරහන් ඇතුලේ කොයි වගේ හැඟීමකින් ද මේ දෙබස කියන්න ඕන කියලා. උපදෙස් වගයක් ඇති. ඒක බලලා හරියට කියනවා” ඔන්න ආයි දැන් අපි මුල ඉඳලා මේ ටික කියාගෙන යනකොට අරයාගෙ දෙබස ආවා. ආයෙ මේ යකා අර වගේම කිව්වා. “නවත්තනවා. තමුසෙ අරක බලලා නෙමෙයි නේද කියන්නේ. ඕක ඔහොම නෙමෙයිනේ.” ඒ පාර කිව්වා නෑ සර් බලලා තමයි කියන්නේ කියලා. වෙලා තියෙන්නේ තනියම අපි අපිත් එක්ක කතා කරනවා කියන එකට සාමාන්‍යයෙන් වරහන් ඇතුලේ ගහන වචනය තමයි “තමාට”. ඒ කියන්නේ තමාටම කියාගන්නවා කියන එක. ටයිප් කරන කෙල්ල මේක ටයිප් කරල තියෙන්නේ ‘තටමා’කියලා. තටමලා තියෙන්නේ ඒකයි.ඔන්න ඔය වගේ සිද්ධි වෙනවා.
05.මුල් යුගයේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලද සහය සහ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ එදා සහ අද අතර දකින වෙනස්කම් මොනවාද?
අද මම යම්කිසි හරවත් දෙයක් කතා කරනවා නම් විශේෂයෙන්ම ගුවන්විදුලිය සම්බන්ධව යම්කිසි රඟපෑමක් කරනවා නම්, ලියනවා නම් ඒ සියලු ම ගෞරවය හිමි වෙන්න ඕන අපේ ජේෂ්ඨයන්ට. මොකද ඒ තරම් උදව් පදව් සහයෝගය දෙන ජේෂ්ඨ පරපුරක් අපට ගුවන්විදුලියේ හිටිය.ඒ ගොල්ලොන්ගේ අලුතින් එක්කෙනෙක් ආවාය, ඒගොල්ලොන්ට නැති දක්ෂකම් මේ මිනිස්සුන්ට තියෙනවාය එහෙම කියලා ඊර්ෂ්‍යාවක් කුඩුකේඩුකමක් මගේ අත්දැකීම් අනුව නම් මට හමුවෙලා නෑ. මට සියලු දෙනාගේම සහයෝගය උපකාරය ලැබුණා. ඇත්ත වශයෙන්ම මේ මම නෙමෙයි මගේ ඇතුලේ ඉන්නේ ඒගොල්ලොයි කියලා හිතන තරමට ඒගොල්ලන්ගෙන් මං පෝෂණය වෙලා තියෙනවා. එහෙම ගුවන්විදුලි පරපුරක් හිටියා.
දැන් නම් හුඟක් අය ජීවතුන් අතර නෑ. නමුත් වර්ථමානයේ ඒ කාලේ වගේ වැඩසටහන් කෙරෙන්නෙත් නෑ. දැන් ඒ වැඩසටහන් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා. මොකද ඊට වඩා පසුකාලෙක වල් දේශපාලනය රිංගුවා මේවට. දේශපාලනය ආවහම දේශපාලකයන්ට ඕනේ උන්ගේ වැඩයි, උන්ගේ චරිතයි පුම්බන්නනේ.නැත්තන් උන්ගේ පක්ෂ පුම්බගන්න.උන්ට මේ මාධ්‍යවත්,මාධ්‍ය කලාවටත් එහෙම නැත්තන් මේ සන්නිවේදන කලාවවත් ඒවා දියුණු කරන්න පෝෂණය කරන්න උවමනාවක් නෑ.මේක ප්‍රචාරක මාධ්‍යයක් හැටියට ඒගොල්ලන්ගෙ පැවැත්ම සඳහා භාවිතා කරන්න පටන් ගත්තා.මුල් අවධියේ ඒක තිබුණෙ නෑ.මුල් අවධියෙත් මේ රටේ දේශපාලනය තිබුණා.නමුත් ඒගොල්ලො ඇඟිලි ගහන්න ආවේ නෑ.ඒ ඇඟිලි ගහන්න නේන්න හේතුව ඒ කාලේ හිටිය දේශපාලනඥයින්ගේ අද ඉන්න මේ වල් ජඩයින්ට වැඩිය උගත්කමක් තිබුණා.ශිෂ්ඨකමක් තිබුණා. ඒ වගේම කලාව,සාහිත්‍ය ගැන ගෞරවයක් තිබුණා.අපේ රටේ ඉතිහාසය දැනගෙන හිටියා.එහෙම දේශපාලන පරපුරක් තමයි ඉස්සර හිටියේ.
වර්තමානයේ විශේෂයෙන් ගුවන්විදුලි පරිහානියට හේතුව ජඩ දේශපාලන පරපුරක් බිහි වෙලා උන්ගෙ දහජරාව ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුණා. උසස් දේවල් ප්‍රචාරයෙන් වැළකිලා මුන්ගෙ අර දහජරාව ප්‍රචාරය වෙන්න පටන් ගත්තේ.ඒ නිසා උසස් මට්ටමේ වැඩසටහන් නැතුව ගියා. උසස් මට්ටමේ මාධ්‍ය කරුවන් වෙනුවට මුන්ගෙ කක්කුස්සිවලට වතුර අදින තුට්ටු දෙකේ කුලීකාරයන් අර තනතුරුවලට ආවා.
එදා මම ළමයෙක් හැටියට ආවේ. ඒ කාලේ අර පුටුවල බැබලිච්ච ප්‍රඥාවන්ත පරපුර හැටියට‚ අද ගිහින් බැලුවහම අර පුටුවල ඉන්නේ අයියෝ එහෙම පිටින් එක එකාගේ අසූචි කඳන්. මුන්ගෙ මූණු කට නෑ. ඉතින් කොහොමද ළමයෝ මාධ්‍යයක් දියුණු වෙන්නේ? එහෙම උනහම ඊළඟට එන දරු පරපුරත් උන්ගෙ කණට වැටෙන්නෙත් මේවා.ඇහැට වැටෙන්නෙත් මේවා. ඉතින් කොහොමද හොඳ උසස් රසවින්දනයක් ඇති වෙන්නේ.ළමයි අතරෙත් ඔක්කොටම ඉස්සෙල්ලා තමන්ගේ මතයක් තියෙන්න ඕන, පිළිවෙතක් තියෙන්න ඕන,නිර්මාණ ශක්තියක් තියෙන්න ඕන. ඒව නෑ. ඒවා සම්පූර්ණයෙන්ම පිරිහිලා ගිහිල්ලා. ඒ ඥානය දෙන්න පුළුවන් ආයතනය තමයි රූපවාහිනිය ,ගුවන්විදුලිය, පුවත්පත්. ඉස්සර ගුවන් විදුලියෙ “ළමා පිටියෙන්” දරු පරපුර පෝෂණය කළේ, වැඩිහිටි පරපුරට ඥානය දුන්නෙ, අත්දැකීම් දුන්නෙ ගුවන්විදුලි වැඩසටහන්වලින්. අද ගුවන්විදුලියෙන් හම්බෙන ඒවා මොකක්ද? අහසට පොළොව වගේ.
-
මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙම ක්‍රමික වෙනස් වීම ඔබතුමා දකින්නේ කොහොමද?
ප්‍රධාන වශයෙන්ම මෝඩයෝ රජ කරන්න පටන් ගත්තහම මේක වළක්වන්න බෑ. මෝඩයෝ රජ වෙලානේ ඉන්නෙ. ප්ලේටෝ එහෙම කියලා තියෙන්නේ “රටක නායකයෝ වෙන්න ඕන දාර්ශනිකයෝ” කියලා. මුන් දාර්ශනිකයෝද? දැන් මේ ඉන්න එවුන්ට විතරක් නෙවෙයි මං කියන්නේ පහුගිය කාලේ දිගටම බෝවෙලා ආපු පරම්පරාවක්. මුන් ඔක්කොම කවන්දයෝ. මුන්ට ඔලුව තිබුනට මොලේ නෑ. අන්න එහෙම කවන්ද පරපුරක් තමයි ඉන්නේ දේශපාලන නායක පරපුරේ.ඉතින් කොහොමද මිනිස්සු දියුණු වෙන්නේ. විශ්වවිද්‍යාලය ගත්තත් අරුන්ගේ අර ජඩ දේශපාලනය තියෙන්නේ. ඉස්කෝලේ ගත්තත් එහෙමයි. මේ පරිහානියේ මුල 77න් පටන් ගත්තේ. රටේ නස්පැත්තියේ මුලත් ඒක. ජේ. ආර්ගේ 78 ව්‍යවස්ථාවනේ මේ ගලව ගන්න බැරුව දඟලන්නේ.
-
වර්තමාන මාධ්‍ය භාවිතය පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද?
වර්තමාන මාධ්‍ය භාවිතය පිළිබඳව කතා කරනකොට ප්‍රධානතම කාරණය තමයි විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය දෙකේම භාෂාව හදාරලා නෑ.ඒක තමයි ප්‍රධානතම හේතුව මේ මාධ්‍ය පරිහානියට. ඔක්කොටම ඉස්සෙල්ලා මාධ්‍යයට ගන්න ඕන භාෂාව හදාරපු අය. භාෂාවක් කතා කරන්න පුලුවන් වූ පමණින් මාධ්‍යයක වැඩකරන්න බෑ. භාෂාව හදෑරුවොත් තමයි පැරණි භාෂා සාහිත්‍ය‚ සම්භාව්‍ය භාෂා සාහිත්‍ය‚ ඉතිහාසය‚ සංස්කෘතිය හඳුනගන්න පුලුවන්. එහෙම දැනුමකින් තොරව කවදාවත් සාර්ථකව සන්නිවේදනය කරන්න බෑ. ඒ නිසා ඉබේම අනුකරණයට පෙළබෙනවා.දැන් ඉන්න මාධ්‍යවේදීන්ට තියෙන්නෙ සීමා සහිත වචන ටිකක්. කවදාවත් වෙන වෙනම අනන්‍යතා නෑ. කවුරුත් එකම අච්චුවේ. බහුලව ඉන්නෙ මෝඩ ගඩොල් අච්චු. කැපී පෙනෙන අනන්‍යතාවයක් නෑ.
- මාධ්‍යෙවේදීන් විදිහට එකී භාෂා ඥාණය වර්ධනය කරගන්න පුලුවන් ක්‍රම මොනවද?
ප්‍රධාන වශයෙන්ම භාෂාව දන්න උගතුන් ආශ්‍රය කරන්න ඕන.මොකද එවැනි අත්දැකීම් බහුල කෙනෙකු සමඟ විනාඩි පහක් කතාකරාම අවුරුදු පහක දැනුම එනවා.ඔවුන් මඟ පෙන්නවා. ඥානවන්තයන් ආශ්‍රය කරනවා වගේම ඒ හා සමානව පොත්පත් කියවන්න ඕන.මොකද හැමදාමත් මිනිස්සු ඥාණයට ගරු කරනවා.
09.වර්තමානයේ නව මාධ්‍යයක් ලෙස සමාජ මාධ්‍ය කරලියට පැමිණ තිබෙනවා. ඒ වගේම අනෙකුත් ජනමාධ්‍යයන්ට සාපේක්ෂව සමාජ මාධ්‍ය භාවිතය ඉහළ යාම ඔබතුමා දකින්නෙ කොහොමද?
ඉතාම හොඳයි. මම බිහිවුණේ පරණ ගුවන්විදුලියෙන්. නමුත් දැන් මේකත් එක්ක ඉන්නවා. හේතුව මොකද මම වෙනමම යුගයකට අයිති මිනිහෙක්නෙ. දැන් මම ලිපියක් දාලා හැරෙන්න ඉස්සලේලා ලෝකෙන්ම ප්‍රතිචාර එනවා . කිසි මාධ්‍යයක එහෙම එන්නෙ නැනේ.මේක අත්‍යවශ්‍ය මාධ්‍යයක්. මේකෙ ඉන්නම ඕන. එහෙම නැත්තම් ඉස්සරහට යන්න බෑ.එතනදිත් අර කිව්ව භාෂා ඥාණය අවශ්‍යයයි. මේ මාධ්‍යයෙත් ඉන්නවා ගොන්කතා කියන තකතීරුවෝ. ඒ වගේම හොද බඩුත් ඉන්නවා. මෙතන තියෙන්නේ මාධ්‍යයේ වැරැද්දක් නෙවෙයි. ආයුධයකින් අපි තුවාල කරගත්තොත් ආයුධයද වැරදි? අපි දැනගන්න ඕන පාවිච්චි කරන හැටි.මම කිසිසේත්ම මාධ්‍යයට දොස් කියන්නෙ නෑ.මම කියන්නේ මේකත් පරද්දන සුළු අලුත් මාධ්‍යයක් එන්න ඕන.
- වර්තමාන නවක මාධ්‍යවේදීන් වෙනුවෙන් ඔබතුමා ලබාදෙන උපදේශය කුමක්ද?
තමන්ගේ ශෛලියක්, තමන්ගේ රීතියක්,තමන් ගොඩනගා ගන්න. තමන්ගේ අනන්‍යතාවක් තමන් ගොඩනගා ගන්න. පළවෙනි උපදේශය මට දෙන්න තියෙන්නේ ඒකයි. තමන්ගේ අනන්‍යතාවක් ගොඩනගා ගන්නවා නම් ඒකට අවශ්‍ය කාරණා කිහිපයක් තියෙනවා.පුද්ගලිකව මං විශ්වාස කරන එකක් තමයි හැම කෙනෙකුටම මොකක් හරි නිර්මාණ ශක්තියක් තියෙනවා. ඔය ආබාධිත අය ඉන්නවනෙ ඒ හැම කෙනෙකුට ම යම්කිසි අළුත් දෙයක් කිරීමේ සහජ කුසලතාවක් තියෙනවා. හැබැයි ඒක විතරක් තිබිලා හරියන්නෑ.ඒ කියන්නේ හරයක් තියෙන පොත් හදාරාන්න ඕන,කියවන්න ඕන. ඒවායින් තමයි පෝෂණය කරගන්න ඕන කුසලතාව.මම කියන්නේ ඕනෑම දෙයක් වර්ධනය කර ගන්න නම් පළවෙනි එක තමන් දැනගන්න ඕන තමන්ට තියෙන කුසලතා මොනවද කියලා.බැරි වැඩ කරන්න යන්න නරකයි.තමන්ගෙ සීමාව දැනගන්න ඕන.ඒකෙන් විතරක් තෘප්තිමත් වෙන්න බෑ. හොඳට කියවන්න ඕන,ඇහුම්කම් දෙන්න ඕන. අද බලන්නත් තියෙනවනේ.කවිනම් ලියන්න ඕන, කතා නම් කියන්න ඕන,නැටුමක් නම් නටන්න ඕන,සිංදු නම් කියන්න ඕන,පුහුණුවීම් කරන්න ඕන.ඒක තමයි මම කියන්නේ අනුකරණයෙන් වළකින්න අනන්‍යතාවය තියාගන්න.මාධ්‍යයට විතරක් නෙවෙයි මේක හැම ක්ෂේත්‍රයටම අදාළයි.
රසාන්දි විතාරණ
දෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජවිද්‍යා පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය.