''වසා දැමූ පොත් කඩදාසි ගොඩක් පමණි.'' මෙම චීන කියමන නිරායාසයෙන් මතකයට නැගෙනුයේ කියවීමේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වන විටය. කෙතරම් වටිනා පොතක්  වුවත් කිසිවෙක් එය කියවන්නේ  නැත්නම්, එයින් යමක් ඉගෙන ගන්නේ නැත්නම් එම පොත කිසිදු වටිනාකමක් නො මැති කොළ  ගොඩක් පමණි. නමුත් යමෙක් පොත් පරිශීලනය කරමින් දැනුම, අත්දැකීම් ලබා ගන්නේ නම් එම පුද්ගලයාට මෙන්ම පොතටද වටිනාකම් රාශියක් එකතු වේ.  '' කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ.'' කාලාන්තරයක් පුරා මෙම කියමන සමාජය තුළ පවතින්නේ කියවීමේ අගය සර්වකාලීන බව පෙන්වා දෙමිනි. එකොළොස්වන ශත වර්ෂයේදී මුරසාකි ෂිකිබු නමින් හැඳින්වෙන ජපන් කාන්තාව ලොව ප්‍රථම  නව  කතාව වන " ටේල් ඔෆ් ජෙන්ජි" ලියා වසර ගණනක් ගත වූ පසු ,

වර්තමානයේ පවා මිනිසුන් තුළ නවකතා කියවීමට  දක්වන රුචිකත්වය වඩාත් වැඩි වන ආකාරය දැක ගත හැක. තාක්ෂණය දියුණු වෙමින් ලෝකය නව මානයන් වෙත ගමන් කළ කියවීමේ වැදගත්කම අඩුවන ආකාරයක් නොව එය දිනෙන් දින වැඩි වන සමාජ අවශ්‍යතාවක්   බවට පත් වි ඇති ආකාරය පෙනි යන කරුණකි. සමාජ වටිනාකම් සහ අත්දැකීම්වලින් පරිපූර්ණ වූ සමාජයක් ගොඩ නැංවීමට කියවීම හුරු කිරිම ප්‍රබල  සමාජ අවශ්‍ය තාවයක් බවට පත් වී ඇත.

 

වර්තමාන සමාජය ගෝලීයකරණය සමඟ මුහු වෙමින් නව සමාජ, ආර්ථික රටාවන් ගොඩ නංවා ගනිමින් ඉදිරියට යන ආකාරය දැක ගැනීමට හැකියාව ඇත. විශ්ව ගම්මාන වැනි සංකල්ප තුළින් යහපත් මෙන්ම අයහපත් ගති ලක්ෂණද සමාජයට එක් වි ඇති ආකාරය දැන ගැනීමට හැකි වී  ඇත.තාක්ෂණය හා වැඩි වශයෙන් මුහු වීම නිසාවෙන් සමාජය තුළ අතීතයේ පටන් පැවැත එන හර පද්ධතින්වලට හානි වන ආකාරය දැක ගැනීමට හැක. එමෙන්ම කාර්යබහුල සමාජ, ආර්ථික රටාවන්  වර්තමාන මිනිසාව කියවීමෙන් ඈත් කර තැබිමට හේතුවක් වි ඇත. බොහෝ වැඩ රාජකාරි හමුවේ එදිනෙදා කටයුතු සමඟ කාර්ය බහුල වී සිටින වර්තමාන පුද්ගලයන් හට තම මානසික සුවතාවය හා දැනුම හඹා යාම පිළිබඳ අවශ්‍යතාව හීන වී යන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබේ. වයස භේදයකින් තොරව සමාජයේ බොහෝ පිරිසක් තාක්ෂණික මෙවලම් හා සමාජ ජාලා වැඩි වශයෙන් භාවිතයට හුරුවීම  අද වන විට සමාජයෙන් කියවීම ඈත්වීමට ප්‍රබල හේතුවක් බවට පත් වී ඇත. කියවීම වර්තමාන සමාජයෙන් ඈත්වීමට කාලීනව බලපාන ලද ප්‍රබල  හේතුවක් ලෙස කොරෝනා වසංගත තත්ත්වය ඇති වීම දැක්විය හැක. සංචරණ සීමා හේතුවෙන් පුස්තකාල වෙත යෑම සීමා වීම, මෙන්ම පොත් සාප්පු වසා දැමීම වැනි හේතුන් කියවීමේ පුරුද්ද සමාජයෙන් ඈත් කර වීමට බලපා ඇත.

කොරෝනා වසංගතය හමුවේ  මාර්ගගත අධ්‍යාපන ක්‍රමය  සමාජගත වීම හා සමාජ මාධ්‍ය වැඩි වශයෙන් සමාජයට සමීප වීම වැනි කරුණු හේතුවෙන් වර්තමාන සමාජය වැඩි වශයෙන් කියවීමෙන් දුරස් වී ඇති ආකාරය දැකීමට හැකියාවක් ඇත. කියවීමේ පුරුද්ද සමාජයෙන් ඈත් වී යාම එම සමාජ සංස්කෘතිය පරිහානියට බලපාන කරුණකි. රේ බ්රැඩ්බර් දක්වනුයේ ''සංස්කෘතියක් විනාශ කිරීමට පොත්පත් පුළුස්සා දැමිය යුතු නැත. ඒවා කියවීම නැවැත්වීමට මිනිසුන්ට ඉඩදෙන්න.'' යනුවෙනි. ඔහු දක්වනුයේ ඉහත සඳහන් කළ පරිදි පොත් කියවීමෙන් ඈත් වීම සමාජ පරිහානියට වඩාත් වැඩි වශයෙන් බලපාන ආකාරයයි. එමෙන්ම කියවීමෙන් ඈත් වූ සමාජයක් යනු අත්දැකීම්වලින් විරල වු, දැනුමෙන් හීන වූ, නො දියුණු මානසිකත්වයක් සහිත මිනිසුන්ගේ ගහනය වූ ස්ථානයකි. එවැනි සමාජයක් තුළ  දියුණුවක් අපේක්ෂා කළ නො හැකිය.

කියවීමේ අගය මෙතරම් ප්‍රබල  සමාජ අවශ්‍යතාවක්  වනුයේ මන්ද? එය මිනිසාට සැබැවින්ම ලබා දෙනුයේ කුමක්ද? යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය  කාරණයකි. කියවීම හුදෙක් සතුටක් පමණක් ලබා දෙන්නක්ද, නො එසේ නම් කියවීම රසවින්දනයට එහා ගිය දෑ අප ජීවිතයට ලබා දෙනවාද? යන්න පිළිබඳ අධ්‍යනය  කිරීම කියවීමේ වැදගත්කම පිළිබඳව අවබෝධ කර ගැනීමට උපකාරයකි. කියවීම තුළන් කායික මෙන්ම මානසික සුවතාවය මිනිසාට ළඟා කර ගැනීමට හැකියාවක් ඇත. කියවීම තුළින් මොළය ශක්තිමත් කරන බව පර්යේෂණ තුළින් හෙළි වී ඇත. කියවීමට මොළය ඇති පරිපථ හා සංඥා සංකීර්ණ ජාලයක් සම්බන්ධ වන අතර කියවීමේ හැකියාව පරිණත වන විට එම ජාලයද ශක්තිමත්ව හා වඩාත් සංකීර්ණ වන බැවින් කියවීම සිදු කරන විට මොළේ ක්‍රියාකාරිත්වය වැඩි වේ. එමෙන්ම පුරුද්දක් ලෙස නිරන්තරයෙන් කියවීමෙන් වාග් මාලාව වැඩි දියුණු වේ. එය හොඳ සන්නිවේදන කුසලතාවයක් ගොඩනංවා ගැනිමට මෙන්ම තුළින් හොඳ ආත්ම ශක්තියක් ඇති කර ගැනිමට වැදගත් වේ. වර්තමාන වැඩ ලෝකය ජය ගැනීම සඳහා අවශ්‍ය  මෘදු කුසලතාවක් වන සන්නිවේදන හැකියාව, වඩාත් වැඩි වශයෙන් දියුණු වනුයේ කියවීම තුළින් වඩාත් හොඳ වාග්මාලාවක් නිර්මාණය වන බැවිනි.

 එමෙන්ම හොඳ සමාජ සම්බන්ධතා ගොඩ නංවා ගනිමින් පවත්වාගෙන  යෑමට කියවීම  උපකාරයකි. මානසික ආතතිය අඩුකර ගැනීමට මෙන්ම  මානසික ඒ්කාග්‍රතාව  පුරුදු කර ගැනිමට කියවිම උපකාර වේ, මිනිත්තු තිහක් පමණ කියවීම තුළින් රුධිර පීඩනය, හෘද ස්පන්දනය මෙන්ම මානසික පීඩාකාරී හැඟීම් අඩුවන බව විද්‍යාත්මක  පරීක්ෂණවලින් සනාථ වී ඇත. වර්තමානයේ  බොහෝ පිරිසක් මානසික ආතතියෙන් පෙළීම සමාජයේ පවතින ප්‍රබල  ගැටලුවකි. සඳහා වැඩි වශයෙන් සමාජ ජාලා හා පරිගණක ක්‍රිඩා  ආදියට ඇබ්බැහි වීම හේතුවක් බවට පත් වී ඇත. කියවීම තුළින් මානසික ආතතීන් අවම කර ගනිමින් යහපත් මානසික සෞඛ්‍යයක්   ගොඩනංවා ගත හැක. එමෙන්ම දිවිනසා ගැනීම්, හදිසි කෝපය නිසාවෙන් පුද්ගල ඝාතනයක් සිදු කිරීම වැනි දේ වර්තමාන සමාජය තුළ දක්නට ලැබෙන පොදු  ගැටලු වේ. තම ජීවිතයට පැමිණෙන ප්‍රශ්න , අභියෝග දරා ගැනීමට නො හැකි වීම ඉහත ආකාරයේ ගැටලු මතු වීමට මූලික ලෙස බලපාන කරුණකි. නමුත් කියවීම පුරුදු කරගත් පුද්ගලයන් නිරන්තරයෙන් කියවිමෙන් ලද අත්දැකීම් එකතු කර ගනිමින් එලෙස ජීවිතයට පැමිණෙන ගැටලුවලට ආවේගශීලී නොවි වෙනුවට බොහෝ අවස්ථාවලදී තමන් ලද අත්දැකීම් තුළින් ප්‍රයෝගිකව  ජීවිතයට මුහුණ දීමට හුරුවක් ලබා ගැනීම සිදු කරයි.මෙලෙස අත්දැකීම්  මෙන්ම දැනුම ආදිය තුළින් සන්නද්ධ සමාජයක් ගොඩ නැංවිමට නම් වර්තමානයේදි මග හැරී ගොස් ඇති කියවීමේ පුරුද්ද නවතාවයකින් යුතුව සමාජගත කිරීමේ ප්‍රබල  සමාජ අවශ්‍යතාවකි.. කියවීමේ වැදගත්කම හා එයින් ලැබෙන කායික මානසික සුවය පිළිබඳ සමාජය දැනුවත් කිරීම සිදු කළ යුතුය. එමෙන්ම සමාජජාලාවලට ඇබ්බැහි වී සිටින්නන් හට පොත් පොත් කියවීම සඳහා ක්‍රමවත්  වැඩ පිළිවෙළක් සකස් කර දිය යුතුය. එමෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල  ශීෂ්‍යන්  මෙන්ම වැඩිහිටි සමාජයට   ගිලිහී ගොස් ඇති කියවීමේ පුරුද්ද නැවත ඇති කරලීම සඳහා  උනන්දු කළ යුතුය. . දැනුමෙන්, අත්දැකීම්වලින් පරිපූර්ණ වූ සමාජයක් ගොඩනැංවීමට නම් නිරන්තරයෙන් පොත් මිතුරන් බවට පත් කරගත් පරපුරක් ඇති කරලිම සිදු කළ යුතුය. එලෙස ගොඩනැගෙන සමාජය ස්වර්ණමය යුගයක් බිහි කිරීමට මුල පුරනු ඇත.