නාඩගම්කාරයෝ අපේ අප්පච්චිගේ කතාව

පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය අද වනවිට ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හා ආදරයක් දිනාගත් නාට්‍යක් බවට පත්ව ඇත.  නාට්‍ය පුරා  අපුර්‍ර්ව ලෙස චරිත හසුරුවමින්,විවිධ පැති ඔස්සේ ප්‍රේක්ෂකයා රැගෙන යාමට සමත් වන නාඩගම්කාරයෝ මෙතරම් ප්‍රේක්ෂක ජනාදරයක් දිනා ගැනීම සඳහා එහි තිරපිටපත් රචනය මනාව හේතු වී ඇති බැව් නොරහසකි.මේ සම්බන්ධයෙන්  නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පිටපත් රචක  සද්ධාමංගල සුරියබණ්ඩාර මහතා සමඟ සිදු කළ කතා බහකි මේ.

1. නාඩගම්කාරයෝ පිටපත ලියන්න පසුබිම හැදෙන්නේ කොහොමද?

මගේ ගම මහනුවර.මගේ අප්පච්චී සංගීත ගුරුවරයෙක්.ඉතින් අප්පච්චී ගමේ තරුණ තරුණියන් එකතු කරගෙන, ඒ කියන්නේ ජීවිත අරමුණක් නැතුව ඉන්න තරුණ පිරිසක් එකතු කරගෙන ගමේ කලා කවයක් හදලා වැඩකරා.ඒ වගේම එයාලට ජීවිත අරමුණක් හදලා දීලා නිසි මගකට යොමු කරන වැඩ පිළිවෙළක් කරා.ඒක තමයි නාඩගම්කාරයෝ පිටපත ලියන්න මුල් වුණේ.ගොඩක් දුරට නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය අපේ අප්පච්චීගේ කතාව තියෙන්නේ ඒ නිසා.මෙහෙම තමයි නාඩගම්කාරයෝහි මූලාරම්භය වෙන්නේ. 

2. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය තුළ  චරිත හසුවෙන්නේ කොහොමද?

මෙහෙමයි සමහර චරිත මම දන්න චරිත .මට ජීවිතයේ හමුවුණ චරිත.සමහර චරිත මට කවදාවත් හමුවෙලා නැතිව මම නිර්මාණය කරපු චරිත.එතකොට ඒ චරිත වර්ග දෙකම මේකේ තියෙනවා.එතකොට චරිත හැසිරවීමේදී මගේ හිතේ ඇදුණු විදිහක් තියෙනවා .ඒකට අදාළව ඕනෑම චරිතයක  හැසිරීම ,පසුබිම කොහොමද කියන එක සම්බන්ධයෙන් මූලික අදහසක් මට තියෙනවා.

අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරයා එක්කත් සාකච්ඡා කරලා තමයි ඒ චරිත වලට සුදුසු පුද්ගලයෝ තෝරාගන්නේ.සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න නළු නිළියන් ඉලක්ක කරගෙන මම චරිත ලියන්න්නේ නෑ. චරිතය ලියලා ඉවර වෙලා තමයි ගැළපෙන නළු නිළියන් බලන්නේ.එහෙම නැත්නම්, අපි නළු නිළියෝ හොයා ගන්නවා.ඊට පස්සේ මම දකින විදිහ අධ්‍යක්ෂවරයාගේ දකින විදිහ මෙන්ම අදාළ රංගන ශිල්පියා හෝ රංගන ශිල්පිනිය ඒක දකින විදිහ යන තුන් කොට්ඨාසයේම එකතුවක් හැටියට තමයි අවසාන චරිතය අපි නිර්මාණය කරන්නේ.

සමහර චරිත මම නිර්මාණය කරපු චරිත සීයට සීයක්ම ඉන්නවා.සමහර චරිතවල මම නිර්මාණය කරපු චරිතයම නෙමේ.ඊට වඩා වෙනස් ස්වරූප තියෙනවා.සමහර චරිත තියෙනවා මම නිර්මාණය කරපු චරිතයට වඩා ඉස්සරහට ගියපු චරිත .ඒ වගේ නළු නිළියන්ගේ දේවල් එකතු කරගෙන අධ්‍යක්ෂකවරයාගේ අදහස් ,මේ හැමදේම මුල් කරගෙන අවසානයේ චරිතයක් නිර්මාණය වෙනවා.

3. ඒ අකාරයට නිර්මාණය වන හැම චරිතයකින්ම සාමාජයට කුමක් හෝ පණිවිඩයක් දෙනවද? 

මම සාමාන්‍යයෙන් පණිවිඩ දෙන්න ටෙලිනාට්‍යය කරන්නේ නෑ.මම ටෙලිනාට්‍යය තුළ ඒ අදාළ චරිත හැසිරෙන විදිහ සහ ඒ සිද්ධි මාලා නිර්මාණය කරනවා.එහිදී ඒ හරහා මිනිස්සු පණිවිඩ ගන්නවා නම්,හොඳ හෝ නරක ,ඒ කියන්නේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය තුළින් මිනිස්සු හොඳ ගන්නත් පුළුවන්, නරක ගන්නත් පුළුවන්.ඒක බලන ප්‍රේක්ෂකයා අනුව තමා තීරණය වන්නේ.ඉතින් මම ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න පුළුවන් ආකාරයේ ,වර්තමාන සමාජයේ තියෙන කාරණා එකතු කරගෙන නාට්‍යය ලියනවා.නැතිව සමාජයට ආදර්ශයක් දෙන්න කියලා මම නාට්‍යය ලියන්නේ නෑ .

අපි දැන් හිතමු   සිරිසේන නාට්‍යය තුළ හැසිරෙන විදිහක් තියෙනවා, එයා කතාබහ කරන විදිහක් තියෙනවා,කතාබහ කරන දේවල් තියෙනවා, ඒ වගේ විවිධ පැති තියෙනවා .ඒවත් එක්ක තමයි ඒ චරිත යන්නේ.එතකොට හාමුදුරුවන්ගේ චරිතය ගත්තම මම විශ්වාස කරන හාමුදුරුවන්ගේ චරිතය තමයි ඒක.ලංකාවේ හිටිය යුතු යැයි විශ්වාස කරන හාමුදුරු චරිතයක් මම නිර්මාණය කරා.මීට වඩා වෙන කෙනෙකුට කියන්න පුළුවන් හාමුදුරුවෝ මීට වඩා වෙනස් වෙන්න ඕනි කියලා .එතකොට මම නිර්මාණය කරන හාමුදුරු චරිතය තමයි නාඩගම්කාරයෝ තුළ නිරූපණය වෙන්නේ.ඒ හාමුදුරුවෝ කතා කරන දේවල් හෝ හැසිරෙන ආකාරයෙන් යම් කිසි කෙනෙක් ආදර්ශයක් ගන්නවා නම් ඉතිං ඒක ඒ ගන්න කෙනාගේ වැඩක්.ඒක ඍණාත්මක වෙන්නත් පුළුවන් ධනාත්මක වෙන්නත් පුළුවන්.

පහුගිය දවස්වල මම නිර්මාණය කරපු කතාංගයේ ( එපිසොඩෙ )  තියෙනවා තමන්ගේ ස්වාමියා හැරගිය තරුණ බිරින්දෑවරුන් හැසිරිය යුතු ආකාරය සමාජය දකින්නේ කොහොමද කියන එක සහ ඒ අයගේ ඇත්ත හැඟීම කොහොමද ,තරුණ වැන්දඹු කාන්තාවකගේ හැඟිම් කොහොමද කියන එක.මට හිතෙන ආකාරය ,මම විශ්වාස කරන ආකාරයට  හා ඒ චරිතය විශ්වාස කරන ආකාරයට  ඒ ඒ චරිතය නිර්මාණය වනවා.ඒකට සමහරු ධනාත්මක ප්‍රතිචාර දක්වනවා . තවත් සමහරු කියනවා ඒක එහෙම නෙමෙයි කියලා.ඉතින් එක එක්කෙනාගේ බුද්ධි පරාසය රසවින්දනය, මති මතාන්තර, ආකල්ප එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. 

4. ලංකාවේ සමකාලීන මාලානාටක අතර නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය මොනවගේ තැනකද පිහිටන්නේ?

එහෙම මට කියන්න බෑ , මොනවගේ තැනකද තියෙන්නේ කියලා. නමුත් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය දැනට  ලංකාවේ වැඩිම  පිරිසක් නරඹන නාට්‍යයක්. එතකොට ඒක ‍යොඋටුබෙ හරහා පිටරට ඉන්න අය වුණත් ගොඩාක් නරඹන නාට්‍යයක් බවට පත් වෙලා තියෙනවා. කියන්න තියෙන්නේ අනෙකුත් මාලා නාට්‍යය එක්ක නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය ගත්තම එහෙම සුවිශේෂ වෙනසක් කියලා එකක් මම දකින්නේ නෑ .මොකද මම එහෙම දෙයක් කරන්න උත්සාහ කළෙත් නෑ .එක එක නාට්‍යය ඒ ඒ ප්‍රේක්ෂක කණ්ඩායම් ඉලක්ක කරගෙන ඒ ඒ නිර්මාණකරුවන්ගේ අදහස් අනුව තමයි ඒවා නිර්මාණය වෙන්නේ.

එතකොට ඒවා මිනිස්සු රසවිඳින ආකාරය  අනුව තමයි තීරණය වෙන්නේ.මිනිස්සුන්ට තමන් කැමති නාට්‍යය තෝරාගෙන තමන්ට බලන්න පුළුවන් .ඒ අතර නාඩගම්කාරයෝ ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් නරඹන නාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා .ඒකට ඉතිං විවිධ හේතු බලපාන්න පුළුවන්. 

5. දෙවනි ඉනිම ටෙලිනාට්‍යය ලියන සමන් එදිරිමුණි, නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය ලියන්නේ කියලා කටකතාවක් සහිත පෝස්ට් එකක් සමාජ මාධ්‍ය තුළ  හුවමාරු උනා පසුගිය දවස්වල .මොකද්ද ඒ ගැන තියෙන අදහස? 

මට ඒකට කියන්න තියෙන්නේ සමන් එදිරිමුණි නෙමේ නාඩගම්කාරයෝ ලියන්නේ සද්ධාමංගල සූරියබණ්ඩාර.

6. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය ඇයි දිගට අදින්නේ?

දැනට ලංකාවෙ පවතින ක්‍රමය අනුව ටෙලි නාට්‍යයක කොටස් ගණන තීරණය කරන එක  පිටපත් රචකයාට තනිව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරයා වගේම රූපවාහිනි නාලිකාවත් සම්බන්ධ වනවා. කොහොම වුනත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කොටස් ගණන වගේම එය ඉවර වෙන දිනයත් අපි නිශ්චිත වශයෙන්ම තීරණය කරල ඉවරයි. 

7. නවක තිරකතා රචකයන් හා නවක නිර්මාණකරුවන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? 

නවක තිරපිටපත්  රචකයන්   ලංකාවේ බිහිවෙනවා අඩුයි. දක්ෂ තිර රචකයෙක්  කියන්නෙ තිර රචනය පිළිබද   තාක්ෂණය දන්නා අය හා  නිර්මාණශීලී අය  පමණක් නෙවෙයි. ඔවුන්ට සමාජයේ බොහෝ දේ පිළිබද දැනුමක් අවබෝධයක් තිබිය යුතුයි.ඕනෑම තිර පිටපත් රචකයෙකුට සමාජයේ බොහෝ ඉසවු ගැන හොඳ දැනුමක්,ප්‍රාමාණික දැනුමක් තිබිය යුතුයි . 

ඇත්තටම මම සංගීතය හදාරපු කෙනෙක් නෙමේ .මම නැටුම් කරපු කෙනෙකුත් නෙමේ .මම ඕලෙවල් වලටවත් සංගීතය කරලා නෑ ,මගේ අප්පච්චී සංගීත ගුරුවරයෙක් උනාට .නමුත් මම මගේ ජීවිතය ගත කරපු කාලය තුළ මම ලබාගත්ත අත්දැකීම් එක්ක සහ හොයාගත්ත අත්දැකීම් එක්ක හැම ඉසව්වක්ම වගේ මට ටච් කරගන්න පුළුවන් .ඒවගේම මට ඒ ඔස්සේ හොයාගෙන යන්න පුළුවන් .මට "නාඩගම්" කියන එක පිළිබදව අල්පමාත්‍රයක හෝ දැනුමක් තියෙනවා නම් පමණයි නාඩගම් කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යන්න පුළුවන් වෙන්නේ.සොකරි කවි කියලා මේ රටේ දෙයක් තියෙන නිසා තමයි මට සොකරි කවි හොයාගෙන යන්න පුළුවන් වෙන්නේ.නැතුව මම සොකරි කවි දන්නේ  නෑනේ .නමුත් මම සොකරි කවි හොයාගෙන,ඒ හා දන්නා  අයව ඇසුරු කරලා තොරතුරු හොයාගෙන  තමයි, දැනුම් පරාසය හදාගන්න වෙන්නේ.එහිදී තිර පිටපත් රචකයෙකු අනිවාර්යයෙන්ම  හැමදේම සොයාගෙන යන කෙනෙක් වෙන්න ඕනි,අත්දැකීම් පරාසය තියෙන්න ඕනි. නැත්නම් වෙන්නේ අපි දන්න තැන විතරක් කැරකි කැරකී ඉන්න  .හැබැයි ඉතිං ඒක ටෙලිනාට්‍යයක් තුළින්ම ලබාගන්න ගියාට පස්සේ කෘතිම බවක් නිර්මාණය වෙනවා. ඕනෑම නවකයෙක් තිරපිටපතක් රචනය කරනකොට කියවන්න ඕනි,මිනිස්සු හොඳට ආශ්‍රය කරන්න ඕනි,හැම සමාජ කණ්ඩායමක් එක්කම ගනුදෙනු කිරීම ,තොරතුරු සොයාගෙන යෑමේ පිපාසයක් පැවතීම, ආදී මේවා තියෙන්න ඕනි.එහෙම උනාම හොඳ තිරපිටපත් රචකයෙක් වෙන්න පුළුවන් .අනිත් එක තමන්ගේ ආකල්පමය වශයෙන් ශක්තිමත් විය යුතුය. මම කියන්නේ නෑ මේක තමයි හරිම කියලා. ලංකාවේ ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් ජනවාර්ගික සංහිඳියාව සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙනවා මතවාදයක්. ඒ මතවාදය මම විශ්වාස කරනවා, ඒක නිවැරදි මතවාදයක් කියලා .එතකොට ඒක  නාඩගම්කාරයෝ නාට්‍යයේ ලේකම්ට තියෙන මතවාදය නෙමේ මගේ තියෙන්නේ .හැබැයි නාඩගම්කාරයෝ එකේ ලේකම්ගේ මතවාදය තියෙන අයත් ඉන්නවා .එතකොට අපේ මතය අපේ ආකල්ප  නිවැරදි තැනක අපි තියාගත්තොත් අපිට නවක පිටපත්කරුවෙක් ලෙස පිටපත් රචනයේදී වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවකට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. 

 

සාකච්ඡා කර ලිව්වේ,

සංජානා තන්ත්‍රීගේ