දෛනික මිනිස් අවශ්‍යතා සපුරා ගනු වස් අප විසින් භාවිත කරනු ලබන ප්‍රධානතම සන්නිවේදන මාධ්‍යය වන්නේ භාෂාවයි. එබැවින් එය මුළු මහත් මිනිස් සංහතියේම පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූ අංගයකි. භාෂාව පිළිබඳව විවිධ අධ්‍යයනයන් සිදුවන යුගයක අප භාෂාවක් කතා කරන්නේ කෙලෙසද? අපට හැඟෙන සිතිවිල්ලක් ශබ්දවලට නඟන්නේ කෙසේද? ඇසෙන දෙයක් අප තේරුම් ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ මඳකට හෝ සිතා බලා තිබේද? ඉතා සුළු කාල පරාසයක් තුළ ක්‍ෂණිකව සිදුවන ක්‍රියාවලියක් ලෙස එය පෙනුණත් ආභ්‍යන්තරිකව එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. මිනිසාට පමණක් සුවිශේෂ වූ මෙම ශක්‍යතාව  ක්‍රියාත්මක වන ආකාරය ‘භාෂණ ක්‍රියාවලිය’ ලෙසින් හැඳින්වේ.

       භාෂාව වූ කලී මනෝමය හැකියාවකි. එනම් මනෝමය ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය ලෙස භාෂාව ඉදිරිපත් කෙරේ. භෞතිකව භාෂාව ලෙස අප දකිනුයේ කතා බහයි. (Speech)  නමුත් ද්විතීයිකව අප ඉගෙන ගනු ලබන ලේඛනය (Writing) හා පාඨනය ද (Reading) භාෂාවේ පවතින තවත් ලක්ෂණයන් වේ. එසේම පුද්ගලයන් අතර අදහස් හුවමාරු කරගැනීමේදී  සන්නිවේදන මාධ්‍යය වන්නේද  භාෂාවයි. සන්නිවේදන ක්‍රියාවලියකදී භාෂකයෙකුගේ සහ ශ්‍රාවකයෙකුගේ සහභාගීත්වය අත්‍යවශ්‍යය  බව අපි දනිමු. විටෙක කෙනෙක් තනිවම කතා කරන්නේ නම් භාෂකයාම එම අවස්ථාවේදී ශ්‍රාවකයා ලෙස පෙනී සිටී. සන්නිවේදනයේදී  මෙම දෙපාර්ශවය අතරම අන්‍යොන්‍ය සබඳතාවක් පවතී. විටෙක භාෂකයා ශ්‍රාවකයෙකු වන අතර ශ්‍රාවකයා භාෂකයෙකුද වන්නේය. සන්නිවේදනය දිගින් දිගටම සිදුවන්නේ මෙම ක්‍රියාවලිය නොකඩවා පවත්වාගෙන ගියහොත් පමණි. මෙහිදී භාෂකයාගේ අභ්‍යන්තරික මනෝමය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස උත්පාදනය කරනු ලබන යම් අදහසක් ශ්‍රාවකයාට ශබ්දාවලියක් ලෙස ඉදිරිපත් කරන විටදී ශ්‍රාවකයා විසින් එය අවබෝධ කරගනී. මිනිසා තම සිතුම්පැතුම්, අදහස්, බලාපොරොත්තු, හැඟීම් සෙසු ලෝකයා සමඟ බෙදාගනු ලබන්නේ ඒ ආකාරයටය. මෙය චක්‍රානුකූල ක්‍රියාවලියකි. එනම් සන්නිවේදනයේදී භාෂා ශබ්ද මඟින් අදහස් ඉදිරිපත් කිරීමත් ඒවා ශ්‍රවණය කිරීමෙන් පසු  අවබෝධ කරගැනීමත්, නැවත නැවත එම සිද්ධි දාමය එලෙසින්ම ක්‍රියාත්මක වීමත් භාෂණ ක්‍රියාවලිය (Speech process ) ලෙස හැඳින්විය හැකිය. මෙය දෛනික මිනිස් ජීවිතයේ සාමාන්‍ය සංසිද්ධියක් වුවත් අප භාෂණයේ යෙදීම නොහොත් වාගාලාප නිපද වීම සරල නොවූ  ආභ්‍යන්තරික වශයෙන් ඉතා සංකීර්ණ මනෝමය ක්‍රියාවලියකි.

 ලොව ඕනෑම භාෂාවක් භාවිත කරන පුද්ගලයෙකු කුඩා අවධියේදී සිය සමාජය ඇසුරින් භාෂාවක් උද්ග්‍රහණය කර ගනී. මෙලොවට බිහි වන භාෂා දුබලතාවකින් තොර ඕනෑම දරුවෙකු සහජයෙන්ම යම් භාෂා ශක්‍යතාවකින් යුක්තව උපත ලබයි. කාලයත් සමඟ අවට පරිසරයට නිරාවරණය වීමේදී සිය සමාජය ඇසුරින් භාෂාවක් හෝ භාෂා කිහිපයක් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් භාෂා දුබලතාවකින් තොර ඕනෑම දරුවෙකු සතු වේ.  මුල් කාලීනව විවිධ භාෂා ශබ්දත්, ක්‍රමයෙන් ශබ්ද එක්කොට වචන නිර්මාණයටත්, එම වචන එක්කොට වාක්‍ය නිර්මාණයටත්, කෙමෙන් සරල වාක්‍යයන්ගේ සිට සංකීර්ණ වාක්‍යයන් නිර්මාණයටත් ඒවා අවබෝධ කරගැනීමටත් මිනිස් දරුවෙකුට හැකියාව පවතී. එම භාෂා උපාර්ජන වේගය හා  රටාව සෑම සංස්කෘතියකටම අයත් ළමයෙකුගේම එක හා සමාන වේ. සිංහල වුවත් ඉංග්‍රීසි වුවත් ජර්මන්, ප්‍රංශ, රුසියන්, දෙමළ මෙම කවර භාෂාවක් වුවත් කුඩා කල දරුවෙකු භාෂා උපාර්ජනය කරගන්නේ එකම ආකාරයකටය. එලෙස අප උද්ග්‍රහණය කරගන්නා භාෂාව ඇසුරින් මනසෙහි ඉතා විශාල වාග්කෝෂයක් නිර්මාණය කරගනී. එකම භාෂාවක් කතාකරන පුද්ගලයන් දෙදෙනෙකුගේ මනසෙහි රැස්ව පවතින තොරතුරු සම්භාරය බොහෝ විට සමාන වේ. එයට හේතුව භාෂාවක් අප උද්ග්‍රහණය කරගනුයේ විශ්වීය පොදු ධර්මතාවකට අනුකූලව වීමයි. නමුත් ඇතැම් විට පුද්ගලයෙකුගේ සමාජ පසුබිම, අධ්‍යාපන මට්ටම, නිරත වන රැකියාව, පුද්ගලයාගේ රුචි අරුචිකම් මත කුඩා කල සිට මනස තුළ ගොඩනඟා ගත් වාග්කෝෂයෙහි අඩුවැඩි වීම් ඇති වීම ස්වභාවිකය. මෙලෙස ගොඩනඟා ගනු ලබන මනෝ වාග්කෝෂය ඇසුරින් අප එදිනෙදා භාෂණයේ යෙදේ.

මෙම සියලු ක්‍රියාවලීන්ගේ පාලකයා වන්නේ ග්‍රෑම් 1400ක් පමණ බරින් යුක්ත හිස්කබල තුළ ආරක්ෂාකාරී  ලෙස සැඟවුණු මස්තිෂ්කය නොහොත් මොළය නම් ඉන්ද්‍රියයි. අප මුඛයෙන් කතා කළද භාෂණයේදී මුඛය ක්‍රියාත්මක වන්නේ ශබ්ද නිෂ්පාදනයට පමණකි. සෙසු ක්‍රියාවලීන් සිදුවීමට මූලික වන්නේ මිනිස් මොළයයි. මනෝමය හැකියාවන් සම්බන්ධයෙන් ක්‍රියා කරනු ලබන්නේ මොළයේ ඉහළ කොටස හෙවත් මස්තිෂ්ක භාහිකයයි. න්‍යුරෝන සෛල මිලියන ගණනක් එකිනෙක බැඳී සැකසී ඇති මස්තිෂ්ක භාහිකයෙහි පිහිටි කණ්ඩිකා මඟින් විවිධ ශරීර කාර්යයන් සිදු කෙරේ. එහිදී භාෂණය සම්බන්ධයෙන් වැදගත් වන්නේ වම් මස්තිෂ්ක අර්ධ ගෝලයෙහි පිහිටි ලලාට කණ්ඩිකාවයි. භාෂණය පමණක් නොව යමක් සැලසුම්කිරීම, අනාවැකි දැක්වීම, මෙන්ම ශාරීරික චලනයන්ද පාලනය වන්නේ එම කොටසිනි.  1861 දී ප්‍රංශ වෛද්‍යවරයෙකු වූ Pual Broca විසින් භාෂාව නිෂ්පාදන කිරීම හා  එහි පාලනය සම්බන්ධයෙන් ලලාට කණ්ඩිකාවෙහි වෙනම ස්ථානයක් පවතින බව අනාවරණය කරන ලදී. එතැන් පටන් එම ස්ථානය බ්‍රෝකා මණ්ඩලය (Broca’s area) ලෙස හැඳින්විය. එසේම 1974 දී ජර්මන් ජාතික  Carl Wernick නම් වෛද්‍යවරයා විසින් දකුණු මස්තිෂ්ක අර්ධ ගෝලයේ පවතින ශංකක කණ්ඩිකාවේ එක් ස්ථානයක් අවබෝධය හා එහි පාලනය පිළිබඳව කටයුතු කරන බව අනාවරණය කරන ලදී. එතැන් පටන් එම ස්ථානයද වර්ණිකේ මණ්ඩලය(Wernicke’s area) ලෙස හැඳින්වේ. මෙම කොටස්වලට හානි සිදුවුවහොත් එම ස්ථාන සම්බන්ධ වූ භාෂණ ගැටලු ඇතිවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි. මීට අමතරව පාඨනය සඳහා පාර්ශවික කණ්ඩිකාවත්, දෘෂ්ටිය සඳහා අපරකපාල කණ්ඩිකාවත්, ශ්‍රවණය සඳහා  ශංකක කණ්ඩිකාවත්, වැදගත් වන බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. මොළය තුළ මෙම සියලු ස්ථානයන්ගේ ක්‍රියාකාරීත්වය කෙරෙහි රුධිරය මඟින් ඔක්සිජන් වායුව සැපයීම අත්‍යවශ්‍යය. අප කතාබහ කරන විට මොළයේ එයට අදාළ ස්ථානවලට වැඩි රුධිර ප්‍රමාණයක් ගලා යමින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සැපයේ. කෙනෙකු කතා කරන විටෙක වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනුයේ, සුසුම් හෙළනුයේ මේ නිසාය.                

       භාෂණ ක්‍රියාවලියේ පළමු පියවර සිතිවිලි නිෂ්පාදනයයි. එනම් යම් අදහසක් ගොඩනඟා ගැනීමයි. එය මට බඩගිනියි, මට ගෙදර යන්න ඕන, මෙතන හරි රස්නෙයි, ඒක කරන්න එපා, ආදි ඕනෑම අදහසක් විය හැකිය. මොළය විසින් මෙම අදහස ප්‍රකාශනය කරන්නේ කෙසේදැයි විශ්ලේෂණය කරනු ලබයි. එහිදී පළමුව ශ්‍රාවකයාට අවබෝධ කරගත හැකි පරිදී අදාළ භාෂාව, ඔහුගේ තත්වය, වයස, උචිත වාග්මාලාව ආදි විවිධ කරුණු සැලකිල්ලට ගනිමින් අර්ථ විශ්ලේෂණයක් සිදු කරනු ලබයි. පසුව එය ඉදිරිපත් කිරීමට කවර වාගාලාප / වාක්‍ය රටාවක් අනුගමනය කරන්නේදැයි තීරණය කරයි. එය සරල වාගාලාපයක් ලෙසද, සංකීර්ණ වාගාලාපයක් ලෙසද ඉදිරිපත් කරනුයේද යන්න පිළිබඳ වාක්‍ය විශ්ලේෂණයක් සිදු කිරීම දෙවන පියවරයි. පසුව එම වාක්‍ය රටාවට ගැළපෙන පදිම නොහොත් පද තෝරාගනු ලබයි. පුද්ගලයෙකු උපාර්ජන අවධියේ පටන් උකහා ගත් මනෝ වාග්කෝෂය ඇසුරින් ප්‍රකාශ කිරීමට අවශ්‍යය අර්ථයට හා වාක්‍ය රටාවට අනුව නාම පදවලට වෙන් වූ ප්‍රත්‍ය, ක්‍රියා පදවලට වෙන් වූ ප්‍රත්‍ය, කාල භේදයට අදාළ පදිම ආදී වශයෙන් ක්‍රමවත් අනුපිළිවෙළකට පදිම තෝරා ගැනේ. එහිදී අදාළ භාෂාවේ භාෂා ව්‍යාකරණ නීතීන්ට අනුගත වෙමින් අන්තර් ගැළපීමක් සහිත පදිම එකිනෙකට ගැළපීමට ස්වාභාෂකයා වගබලා ගනී. එමඟින් සිදු වන්නේ පදිම විශ්ලේෂණයකි. පසුව එම පදිමයන්ට අවශ්‍යය භාෂා ශබ්ද/ශබ්දිම තෝරා ගැනීම සිදුවේ. පදයක් ආරම්භ වන ශබ්දය, මැද හා අග ශබ්ද, මාත්‍රා ප්‍රමාණය, රිද්මය, ආදිය රැකෙනු වස් ක්‍රමානුකූල ශබ්ද විශ්ලේෂණයකට මනස ඉන් යොමු වේ.

       පසුව මනස මඟින් මේ වන තුරු ගොඩනඟා ගත්  භාෂා ශබ්ද නිපදවීමට උච්චාරණ ඉන්ද්‍රියන්ට සංඥාවක් ලබා දෙයි. මුවෙහි පවතින දිව, යටි දත්, යටි තොල යන ඉන්ද්‍රියයන් උගුර, තල්ල, තල්ල මුදුන, උඩු දත්, උඩු තොල් ආදි චලනය නොවන ඉන්ද්‍රියයන් වෙත ස්පර්ශ වීමෙන් භාෂා ශබ්ද උච්චාරණය කෙරේ. එම ස්පර්ශයන් හෝ ඉන්ද්‍රියයන් චලනය  කරනුයේ මොළයේ පවතින බ්‍රෝකා මණ්ඩලයේ ස්නායු විසිනි. එමඟින් ශබ්දිම නිසි පිළිවෙළට උච්චාරණය කර අර්ථාන්විත වාගාලාපයක් / වාක්‍යක් උත්පාදනය කෙරේ. ‘සිතීම’ යනුවෙන් අදහස් කරනුයේ මෙම කාර්යයයි. සිතමින් කතා කිරීම, නවතිමින් මනසට විවේකයක් දෙමින් කතා කිරීම, බලාපොරොත්තු ඇති වීම වැනි සංසිද්ධීන් මඟින් භාෂණ ක්‍රියාවලියට මොළයෙහි බලපෑම පැහැදිලිව පෙනේ. භාෂකයා තුළ සිදුවන මෙම විශ්ලේෂණාත්මක ක්‍රියාවලිය උක්ත සාධක ඇසුරින් බලන කල  සරල නොවූවකි. මෙහිදී උක්ත විශ්ලේෂණ පියවරයන්හි ගමන් කිරීමට යම් කිසි කාලයක් ගත වේ. නමුත් එය ප්‍රමාණයෙන් කිව නොහැකිය. ඇතැම්විට එය ක්ෂණයෙන් සිදු විය හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙනස් විය හැකිය. මෙලෙස භාෂා උත්පාදනය සිදු වූ වහාම ඉන්ද්‍රිය ගොචරත්වය/ භාෂා සංජානනය සිදුවේ. එනම් ශ්‍රාවකයා විසින් ශ්‍රවණය මඟින් භාෂකයා පැවසු දෙය ග්‍රහණය කර ගැනීමයි. තරංග වශයෙන් පැමිණෙන භාෂා ශබ්ද ශ්‍රවණේන්ද්‍ර පද්ධතිය ඇසුරින් ග්‍රහණය කරගන්න මොහොතේ පටන් අවබෝධ සිද්ධිය ආරම්භ වේ. එය භාෂාකයා විසින් වාගාලාපයක් නිපදවීමේදී සිදුකරනු ලැබූ විශ්ලේෂණයට ප්‍රතිවිරුද්ධ වූවකි. එනම් ශ්‍රාවකයාගේ මනසට ඇතුල්වන ශබ්ද සංඥාවන්ගේ පළමුව ශබ්ද විශ්ලේෂණයත්, දෙවනුව පදිම විශ්ලේෂණයත්, පසුව වාක්‍ය විශ්ලේෂණයත්, අනතුරුව අවසානයේ වාගාලාපයේ පූර්ණ අර්ථය අවබෝධ කරගැනීමත් සිදුවේ. මෙම ක්‍රියාවලිය ඉතා වේගයෙන් සිදුවන අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙනස් විය හැකිය. ඇතැම් වාගාලාප අපට ඉක්මනින් තේරුම් ගත හැකි සේම ඇතැම් වාගාලාප අවබෝධ කරගැනීමට අපට වැඩි කාලයක් යෙදවීමට සිදු වේ. මනස නිරවුල්ව පැවතීම, අතීත සිදුවීම් පිළිබඳව ඇති මතකය, ශ්‍රාවකයාගේ දැනුම් ප්‍රමාණය, වාගාලාපයන්ගේ දීර්ඝත්වය හා වරකට කොපමණ ප්‍රමාණයක් අවබෝධ වන්නේද යන කරුණුමත පදනම්ව යමක් අවබෝධ කරගැනීම සම්බන්ධයෙන්ද විවිධ සීමා පවතී. ස්වභාෂකයෙකු පවසන ඕනෑම වාගාලාපයක් මින් පෙර නො ඇසුවද ක්‍ෂණයෙන් අවබෝධ කරගැනීමේ හැකියාව මිනිසා සතු වේ. යමක් සිතට දැනුණු විගස එය වාගාලාපයක් ලෙස මුවින් පිට කිරීමත්, යමක් ශ්‍රවණය වූ විගස එය අවබෝධ කරගැනීමත් ඉතා කෙටිකාලයක් තුළ ක්‍ෂණිකව සිදුවන ක්‍රියාවලියක් ලෙස පෙනුණද ආභ්‍යන්තරිකව එය ඉතා සංකීර්ණ, ක්‍රමවත් විශ්ලේෂණාත්මක ක්‍රියාවලියක් බව උක්ත සාධකයන්ගෙන් ගම්‍ය වේ. මානවයා අනෙක් සත්ව විශේෂයන්ගෙන් සුවිශේෂ වී ඇත්තේද මෙකී භාෂා ශක්‍යතාව නිසාවෙනි.

       මේ අනුව බලන කල  භාෂාව හා මනස අතර පවතින සම්බන්ධතාව පියවි ඇසින් සැඟව තිබුණ  ද, කෙතරම් වේගවත් හා අපූර්වතම ක්‍රියාවලියක්ද යන වග වටහා ගත හැකිය. භාෂාවේ පදනම මනසය. එබැවින් මනස තුළ සිදුවන ක්‍රියාවලීන්ගෙන් තොරව කවර භාෂාවක වුවද වාගාලාප නිපදවීමට හෝ අවබෝධ කරගැනීමට මිනිසාට හැකියාවක් නොමැත.  

බී.ලක්ෂිකා මඳුශානි

විශේෂවේදී දෙවන වසර

වාග්විද්‍යා අධ්‍යනාංශය

මානව ශාස්ත්‍ර පීඨය