ජීවිතය යථාර්ථයක් කරන අද්විතීය වූ නවාතැන සරසවියයි. කුඩා කල සිටම සිප් සතරින් පෝෂණය වූ බොහෝ දෙනෙකු තම සිහින සැබෑ කර ගන්නා අවසන් කඩඉම සරසවියයි. විභාග කඩඉම් නැමති දුෂ්කර සමය පසුකර සරසවි ජීවිතය නැමති  වසන්ත කාලය උදා වීමෙන් අනතුරුව විද්‍යාර්ථීන්  ලෙස සමාජීය අත්දැකීම් ද සමඟ දෙවන පවුල ලෙස සැලකිය හැකි විශ්වවිද්‍යාලය තුළින් අසිරිමත් ගමනකට මග පාදා ගනී. වසරක් පාසා උසස් පෙළ අවසන් කරන සිසු කැලෙන් විශිෂ්ට දක්ෂතා දක්වන දක්ෂයන් සියලු දෙනා දිවයින පුරා විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සිදු කෙරේ.

එතැන් පටන් තුන් වසරක් හෝ සිවු වසරක් පුරා ගෙවන ජීවිතය නොයෙක් අභියෝග මැදින් ගෙවන ඉතා මනරම් එකක් යැයි කිව හැකි ය. එහෙත් අවාසනාවකට පසුගිය වසරකටත් අධික කාලයක් පුරාවට ලොවපුරා පවතින කොරෝනා වසංගතය හමුවේ විද්‍යාර්ථීන්ගේ  සියලු සිහින බොඳ කරමින් සිය දෙවැනි පවුල බඳු විශ්වවිද්‍යාලයෙන් ඈත් කරමින් සිය නිවෙස්වල රඳවා තැබී ය.

ජීවිතයට වැටකඩුලු බිඳ දමමින් බාධක පැමිණෙන්නා සේම මුළු මහත් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට ද කොරෝනා වසංගතය ගලන ගඟට බාධා පමුණුවන ගල් පරයක් සේ විය. බාධාවලින් නොසැලී ගඟ අපූරු රටා මවමින් ගලා යන්නා සේ විද්‍යාර්ථීන් වන අපි  එයින් නොනැවතී නැවතත්  විශ්වවිද්‍යාලය නැමැති මව් තුරුලට තුරුළු වීමට කඩිමුඩියේ  සූදානම්ව සිටින්නෙමු. මා  මෙලෙසම ඇඟිලි ගනිමින් බලාසිටි කාලයක් මාගේ මතකයට නැගේ. මා කැලණිය විශ්වවිද්‍යාලයට යා යුතු දින වකවානු සහිත ලිපිය පැමිණි දිනයේ පටන් මා යා යුතු දිනය දක්වා කාලය ගත වූයේ මටත් හොරා ය. අනතුරුව එම දිනය උදා විණි. පුදුමය නම් මා මීට පෙර, පාසල් චාරිකාවකින් හෝ විශ්වවිද්‍යාලයක් දැක නොමැති වීමයි. මම මාගේ මව සමග අදාළ දිනයේ හිමිදිරි උදෑසන බසයෙන් පිටත්වීමු. පැය ගණනකින් අනතුරුව අපි විශ්වවිද්‍යාලය ඉදිරිපිට බසයෙන් බැස්සෙමු. කැලණි කන්ද අප ඉදිරියේ අප ඉතා ආදරයෙන් පිළිගන්නා සේ බලා හිඳී. ආගන්තුක අපි ගමන්මළු  දෑතින්ම රැගෙන සෙමෙන් කැලණි කන්ද නැග්ගෙමු. පුදුමයකි, අප පිළිගන්නට යෝධ තොරණ් රාජයෙකි. දෙවන වසර සහෝදරත්වයේ මහිමයයි. කෙමෙන් අප ඇදුනේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වෙතයි. සංඝමිත්තා නේවාසිකාගාරය මා හට හිමි වූ නවාතැනයි. නවාතැනේ නන්නාදුනන අය සමඟ මා තනිකර දමා මාගේ මෑණියන් පිටත් වන්නට සූදානම් වූ මොහොත සිහිවන විට දැනුදු මගේ දෑස් තෙත් වන්නේ වෑයමකින් තොරව ය. මාගේ ජීවිතයේ අමිල වූ වස්තුව මාගේ මෑණියන්ය. කෙසේ වෙතත් මා නව ජීවිතයකට හුරුවිය යුතුව තිබේ. ඇයගෙත් මගෙත් රටේත් අනාගතය සුරක්ෂිත කිරීම විද්‍යාර්ථයන් වන අපගේ වගකීමය. එබැවින් මා විශ්වවිද්‍යාල දිවියට කෙමෙන් හුරුවන්නට විය.

පාසල් කාලයේ දී අපට හමු වූ මිතුරන් හා දහවල් ආශ්‍රයෙන් පසු මිත්‍රත්වයට විරාමයක් ලැබුණු නමුත් විශ්වවිද්‍යාල ජීවිතයේ දී හමුවන මිත්‍රත්වය විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසුව ද පවතින බව මම විශ්වාස කරමි. විශ්වවිද්‍යාලයේ පළමු දිනය කිසිදා අමතක නොවන්නකි. පළමු වසර විද්‍යාර්ථයන් වන අප පිළිගැනීමට දෙවන වසර විද්‍යාර්ථයන් පෙළ ගැසී සිටි අයුරු අපූරුය. අනතුරුව පළමු වසර විද්‍යාර්ථීන් වන අප සියලු දෙනා රැස් කර විශ්වවිද්‍යාල  උපකුලපතිනිය ඇතුළු ඇදුරු මඩුල්ල දින කිහිපයක් පුරාවට වැඩසටහන් මාලාවක් පැවැත්විණි. එහිදී විශ්වවිද්‍යාලය පිළිබඳව, අධ්‍යයන කටයුතු ආදී මෙන්ම ජීවිතයට වැදගත් බොහෝ දේ අපට සෙනෙහසින් කියා  දුනි. ඒ වැඩසටහන් සියල්ල කැලණි විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේ දී පැවැත්විණි.

ප්‍රධාන පාරට මුහුණලා එක් පසෙකින් පිහිටා ඇති කැලණි මව් සොබාදහම්  සිරියෙන් අනූන රූ රැජිනක් බව කිව මනාය. නේක වූ පුෂ්පයන්ගෙන් සුවඳවත් වූ  අලංකාරවත් භූමියේ අහස උසට ඉදි වූ ගොඩනැගිලි විද්‍යාර්ථීන්ගේ නැණගුණ වඩවන අධ්‍යයන ඒකකවලින් සමන්විත වේ. ගමක අසිරිය නොඅඩුව විද්‍යාර්ථීන් වන අපට විශ්වවිද්‍යාලය තුළින් ලැබෙනුයේ විශ්වවිද්‍යාලයද ගමක පිහිටා ඇති බැවිනි. මී අඹ සෙවන, තල්වැට, තෙල් බැම්ම, ජිම් කැන්ටිම, උද්භිද උද්‍යානය, පුස්තකාලය, විරු සිසු ස්මාරකය, විලෝ ගස් සෙවණ, ලෙනින් ශාලාව, ක්‍රිස්ටෝ ආදී වශයෙන් විශ්වවිද්‍යාලය පුරාම සුන්දරත්වය එක්  දිනකින් විඳ නිමා කළ නොහැකිය. අප පළමු වසර විද්‍යාර්ථීන්  වශයෙන්  විශ්වවිද්‍යාලය තුළ ගතකළ කාලය මාස කිහිපයකට සීමා වීමෙන් අවාසනාවන්ත ලෙස විශ්වවිද්‍යාල ජීවිතය අපට අහිමි වූවා යැයි දැනේ. කොරෝනා රකුසා මෙලෙස ගිල දැමුවේ රන් හා සමාන අපගේ වටිනා අත්දැකීම් සමුදායයි. නමුත් එලෙස ගත කළ සුළු කාලය පවා තෙල් බැම්මේ අත්දැකීම් බොහෝය. මී අඹ සේවනේ ගතකළ කාලය, කතාබහ කළ මිතුරන්, බෙදාහදා ගත් අත්දැකීම් ද සදා මතකයේ රැඳේ. පුස්තකාලය තුළදී පොත් අතර අතරමං වූ අවස්ථා බොහෝ ය. මා ඉගෙනගන්නා විෂයන්වල දේශනවලට ගිය සෑම අවස්ථාවකදීම නව මිතුරන්, නව දේශකවරුන්, නව දැනුම් හා නව අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලැබිණ. දේශක සඳහා පැමිණෙන කථිකාචාර්ය, මහාචාර්ය සියලු දෙනා ඉතා මිත්‍රශීලී හා සෙනෙහෙවන්තව දැනුම පමණක් නොව ජීවිතයට යම් යම් දේ කියා දෙති.

වචනයට නගාගත නොහැකි තරමින් ආවර්ජනය වන විශ්වවිද්‍යාල අතීතය අමතකව යන්නට පෙර, මතකය අලුත් කරන්නට, සිහිනය යථාර්ථයක් කරගන්නට, නොබෝ දිනකින් අහිමි වූ සරසවි වසන්තය යළිත් උදා වී කැලණි මවු තුරුලේ උණුහුම ලැබීමට විද්‍යාර්ථීහු නොඉවසිල්ලෙන් බලා සිටිති.

-කෞශල්‍යා තිලකරත්න.