බුද්ධං සරණේ සිරස දරාගෙන

ධම්මං සරණේ සිත  පහදාගෙන

සංඝං සරණේ සිවුරු  දරාගෙන

ඉඤ්ඤයි තුන් සරණේ    අදහාගෙන...

තුන් සරණේ කවි ඇසෙත්ම සිහියට නැගෙන්නේ සිරිපා කරුණාවයි. උදුවප් පොහොයෙන් සිරිපා වන්දනාව ආරම්භ වීමත් සමඟ දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පේ වී සිරිපා කරුණා කිරිම සාමාන්‍ය සිරිතයි. ගෞතම බුදුන්වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටි  බව සැලකෙන ශ්‍රීපාද වන්දනා වාරය සෑම වසරකම ආරම්භ වන්නේ සධාතුක කරඬුවහන්සේ සහ සමන් දේව ප්‍රතිමාව  පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට සිරිපා මළුව තෙක් වැඩම කරවීමෙන් අනතුරුවයි. එතැන් පටන් ආරම්භ වන සිරිපා වාරය මැයි මාසයෙන් නිමා වෙයි.

සිරිපා වන්දනාව තරමක් දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා පඩි දහස් ගණනක් නැඟිය යුතු අතර සිරිපා මළුව වෙත යාමට පැය කිහිපයක් ගත වේ. ඒ නිසාම සැදැහැවතුන් කවි හරඔ සිදු කරමින් ගමන් විඩාව නිවා ගනු ලබයි. “අග්ගල කන් ඩෝං පුතා... හෙළේ නගින් ඩෝං පුතා....“ ලෙස ගායනා කරමින් යන සාමූහික ගමනක් වශයෙන් සිරිපා වන්දනාව හඳුන්වන්න පුළුවනි.

සිරිපා වන්දනාව හා බැඳුණු සාම්ප්‍රධායික වත්පිළිවෙත් පවතී. පළමුව වන්දනා කිරීමට යන කුඩා දරුවන් “කෝඩුකාරයා “ ලෙස හඳුන්වන අතර පළමුවරට යන වැඩිහිටියන් “දඬුකෝඩු“ නමින් හඳුන්වයි. වන්දනාකරුවන් සීතගඟුලින් නා පිරිසිදු වී සුමන සමන් දෙවියන්ට භාර හාර වී යාම සාමාන්‍ය සිරිතයි. හොඳට නරකට දෙකට කටමය කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙන අතර සිරිපා වන්දනාවට නම් කට පරිස්සම් කර ගැනීම ඉතා වැදගත් කරුණක් වෙයි. බෙහෝ වන්දනාකරුවෝ ‘ඉදිකටුපාන‘ යන නමින් හඳුන්වන ස්ථානයේ දී ඉදිකටු හා නූල් දවටා යති. එතැනම දැකගත හැකි අනෙක් ස්ථානය වන්නේ ‘හැරමිටිපාන‘ යි.  එහිදී හැරමිටි එල්ලීම සිදු කරනු ලබයි. අතීතයේ සිදු කළ සිරිත්-විරිත්, සම්ප්‍රදායන් ඒ ආකාරයෙන් ම  අදටත් එලෙසම ඉදිරියට පවත්වා ගෙන යනු ලබයි.

ශ්‍රී පාද අඩවිය පරිසර විද්‍යාත්මක වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් ඇති සංවේදී පරිසර කලාපයකි.  අදටත් සිරිපාදය වන්දනා කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ එදා වන්දනාකරුවන්ගේ පවති ස්වයං විනය නිසාමය. ඔවුන් එම ස්ථානයේ තබා පැමිණියේ ඔවුන්ගේ පා සටහන් පමණි. නමුත් නූතනයේ සිරිපා වන්දනාවේ යෙදෙන පිරිස් අතරින් බහුතරයක් යනුයේ වන්දනාවේ නොව, ඔවුන්ගේ හුදු විනෝදය තකාය. සිරිපා වන්දනාවේදී සිදුකරන සාම්ප්‍රදායික වත්පිළිවෙත් ඒ ආකාරයටම ඉටු කරන්න  පෙළෙඹන මිනිසුන්ම පිළිවෙත්වලින් පසුව රැගෙන එන හදුන්කූරු පැකට්, පොලිතීන් වැනි අනෙකුත් අපද්‍රව්‍ය කිසිදු තැකීමකින් තොරව එතැනම දමා එති.  වැටී ඇති එක් පොලිතින් කවරයක් ඇහිද කසල බඳුනකට දැමීම වෙනුවට කසල වැටි ඇති තැනටම තව තවත් කසල දැමීමට මිනිසුන් යොමු වෙති. පරිසරවේදීන් පවසන්නේ සිරි පා සමයේ පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය ටොන් ගණනින් තැන තැන එකතු වී ඇති බවයි.

ඒ අපද්‍රව්‍ය ඉවත් කිරිමට ප්‍රාදේශීය සභා සේවකයින්, මධ්‍යම පරිසර අධිකාරිය, ආරක්ෂක අංශ, ස්වෙච්ජා සේවකයින් සහ ඇතැම් තරුණ තරුණියන්ද එකතු වී සිදු කරන මෙම සමාජ සත්කාරය අගය කළ යුතුමය.

 අවාරයේ දෙවිවරු වඩින සිරිපා අඩවියට වාරය පැමිණෙත්ම මිනිස් වෙස් ඇති සතුන්ගේ ආගමනයත් සමග දහම් සුවඳ පැතිරුණු අවට කැළි කසල ගන්ධයෙන් දූෂ්‍ය වේ. මෙහොතක් නැවතී සිතන්නට කාලය එලැඹ ඇත. මිනිසුන් සිතන පතන විදිය වෙනස් විය යුතුය. ආත්මාර්ථකාමි නොවිය යුතුය. තම තමන් ස්වයං විනයකින් කටයුතු කරන්නේ නම් කසල බැහැර කිරීම ජාතික ප්‍රශ්නයක් බවට පත් වන්නේ නැත. තමන්ගේ කසල වෙනත් අය විසින්  ඉවත් කරනවා නම් ඔවුන් ජීවත් වීමද මහ පොළොවට බරකි.

තම වගකිම නිසි ලෙස ඉටු කරමින් කටයුතු  කරනවා නම් තමන් පිළිබඳ අවංකව තමන්ට සතුටු වීමට හැකියාව ඇත. රැල්ලට යටි ගම් බලා පිහිනනවා වෙනුවට තනිවම හෝ උඩුගම් බලා පිහිනීමට හැකි පුද්ගලයෙක් බවට පත් වන්න. මන්ද සිරිපා අඩවිය රැකගැනීම අප සියලු දෙනාගේ වගකීම සහ යුතුකමකි.

 

පූර්ණිකා ජයසේන

විශේෂවේදී පළමු වසර

ජනසන්නිවේදන අධ්‍යයන අංශ

සමාජීය විද්‍යා පීඨය.