කුඩා කල සිට දියණියක්,  සිසුවියක්, පතිනියක්, ගෘහණියක්, මෙලොව ඇති උතුම්ම පදවිය වන මවු පදවිය දරන මවක්, උපාසිකාවක් ආදී වශයෙන් බුදු දහම තුළ විග්‍රහයට ලක්වන කාන්තාව අසීමිත වගකීම් ගොන්නක් පොදි බැඳගත් ධෛර්යමත්, සුන්දර චරිතයකි. ඇයගේ අසීමිත කැපවීමට උපහාරයක් ලෙස කාන්තාවන්ටම වෙන් වූ දිනයක් පවතී. ඒ මාර්තු 8 වැනිදාය. නමුත්මෙවන් උතුම් කාන්තාවන් වෙනුවෙන්  එක් දිනයක් පමණක් වෙන් කිරීම එතරම් වැඩදායි කටයුත්තක් නොවන බව මාගේ අදහසය. මන්ද ඇයගේ අසීමිත වගකීම් ඉටු කිරීමට ඇය දරන උත්සාහය එක් දිනකින් අගය කිරීමට නොහැකි හෙයිනි. මව්පිය සෙවණේ ආරක්ෂිතව හැදී වැඩෙන කිරිකැටි දියණිය කන් විදීම, නම් තැබීම, ඉඳුල් කට ගෑම ආදී චාරිත්‍රවලින් අනතුරුව නිසි වයස සම්පූර්ණ වීමෙන් මෙරට නිදහස් අධ්‍යාපනය යටතේ පාසල් අධ්‍යාපනය සම්පුර්ණ කරන අතර ඇයගේ අසීමිත කැපවීම මත සරසවි වරම් උදා කර ගැනීමේ භාග්‍යය හිමි වේ. සරසවියෙන් නිමා නොවන කාන්තාවගේ අධ්‍යාපනය ඇය උපන් දා සිට මියෙන තෙක් ම ඇයට ලැබේ. සරසවිය ජය ගන්නා ඇය ලොවම ජය ගැනීමට උත්සාහ දරයි. තම  අධ්‍යාපන සුදුසුකම්වලට අදාළව වෘත්තීය තෝරා ගන්නා ඇය පෞද්ගලික ජීවිතයේ ද විවිධ අවධි පසුකරයි. විශේෂත්වය නම් සියලු කාර්යයන් නිසි ලෙස කළමනාකරණය කිරීමේ හැකියාව ඇය සතු වීමයි.  

මුල් කාලීනව ශ්‍රී ලංකාවේ පැවතියේ භික්ෂු මූලික පිරිවෙන් අධ්‍යාපනයකි.  කෙසේ වෙතත් කාලයත් සමඟ පිරිමි ගිහි පිරිස ද අධ්‍යාපනයට බඳවාගත් නමුත් කාන්තාවට අධ්‍යාපන වරම් හිමි නොවීය. 1966 අංක 20 දරන උසස් අධ්‍යාපන පනතින් කාන්තා පක්ෂයට ද විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරප්‍රසාද හිමි විය. පාසල් අධ්‍යාපනයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ පිරිස උසස් අධ්‍යාපනය ලැබීමට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා අතර පිරිමි පක්ෂයට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් කාන්තා පක්ෂයට සරසවි වරම් හිමි විය. මන්ද ඇයගේ අසීමිත උත්සාහය හා කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කාන්තාවගේ ජයග්‍රහණයේ මුල්ම අඩිතාලම අධ්‍යාපනයයි. ජයග්‍රහණය ස්ථිරවම ලබා ගැනීමට නම් ඉගෙනීම නිසි ආකාරයෙන් සම්පූර්ණ කළ යුතුය. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් අනතුරුව තමන්ට දක්ෂතා පෙන්විය හැකි ක්ෂේත්‍රයක් අධ්‍යයනය කිරීමේ අවස්ථාව හිමිවන අතර ඒ අනුව තුන් වසරක හෝ සිව්වසරක අධ්‍යාපනයක් ලබා ගැනීමේ හැකියාව පවතී. සරසවියේ විශේෂත්වය නම් ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව සමාන අයිතිවාසිකම් හිමි වීමය. සරසවි වරම් ලද කාන්තා පාර්ශ්වයට නිවෙසේ සිට විශ්වවිද්‍යාලයට ඇති දුර හා පවුලේ ආදායම් මට්ටම සලකා විශ්වවිද්‍යාලය මගින් නේවාසික පහසුකම් සලසයි. අධ්‍යාපනය ලබන වසර අනුව නේවාසිකාගාර මාරුවීමක් සිදුවන අතර කොවිඩ් වසංගත තත්වයන්වලදී පවා විභාග කටයුතු කරගෙන යාමේදී බාධාවකින් තොරව පාඩම් කටයුතු සිදුකිරීමට අවශ්‍ය ආකාරයෙන් සලසා දෙයි. අසීමිත බලාපොරොත්තු ගොන්නක් එක පොකුරට පොදි බැඳගෙන විශ්වවිද්‍යාලයට ගොඩවෙන ඇය තම බලාපොරොත්තු එකිනෙක සැබෑ කරගැනීමට අසීමිත කැපවීමෙන් ක්‍රියා කරයි. 

සරසවියේදී නව මිතුරන් ආශ්‍රයට ඉඩ සැලසේ. මව්පිය ග්‍රහණයෙන් හා ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් මිදෙන ඇය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට කෙමෙන් කෙමෙන් හුරු වේ. නමුදු ඇය තම සීමාව දනී. තමා ආරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය මවුපිය උපදෙස්වලට අනුව ඉගෙන ගනි. විශ්වවිද්‍යාලය තුළ විෂය සමගාමී කටයුතු සේම විෂය පරිබාහිර කටයුතු ද සිදු කිරීමට ඇයට අවස්ථාව උදාවේ. ශිෂ්‍ය එකමුතුවෙන් හැඩවෙන කලා උළෙලවලදී සහෝදර සිසුන් සේම  උරෙනුර ගැටෙමින් එකසේ කැපවීමෙන් ක්‍රියා කිරීමේ භාග්‍යය කාන්තාවට හිමි වේ. තමන් ඉගෙන ගන්නා විෂයට අදාළ ප්‍රායෝගික කටයුතුවලදී ද ගැහැනු පිරිමි භේදයකින් තොරව අදාළ වැඩ කටයුතුවලට සහාය දැක්වීමට කාන්තාවට අවස්ථාව උදා වේ. විශ්වවිද්‍යාලය තුළ ලබා ගත හැකි රන් වටිනා අත්දැකීම් කිසිදා නැවත වෙනත් ස්ථානයකින් හිමිකර ගැනීමට අවස්ථාව උදා නොවේ.

සමාජයේ කොටසකට පමණක් හිමිවන රන් වරමක් ලෙස සැලකිය හැකි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාන්තාව ඉන් සමාජයට යහපත්, වැඩදායී සේවයක් ඉටු කිරීමට ඇප කැප වී ක්‍රියා කළ යුතුය. මන්ද අනාගතය සුරක්ෂිත කිරීමට නම් තමා ලබාගත් දේ තවකෙකුට විඳීමේ අවස්ථාව සලසා දිය යුතුය. එමගින් තමාගේ අඩිතාලම ස්ථාවර වූවා සේම තවකෙකුගේ ද අඩිතාලම ස්ථාවර කර ගැනීමට කර ගැනීමට අවස්ථාව උදා වන හෙයිනි. කාන්තාව ද පුරුෂයා සේම අසීමිතව සමාජය වෙනුවෙන් සේවයක් ඉටු කරන චරිතයකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලද කාන්තාව තමා සමාජයට කළ යුතු යහපත්, වැඩදායී කාර්ය පිළිබඳ මනා ඉලක්කයක් සහිතව පුරුදු පුහුණු වූ අයෙකි. ඇයට ලොවක් ජය ගැනීමේ හැකියාව ඇත. සරසවි සිසුවියන්ගේ මුල්ම වගකීම නම් තමන්ට ලැබුණු අනගි අවස්ථාව තමාටත් සමාජයටත් යහපත් ලෙස ප්‍රයෝජනයක් වන අයුරින් අධ්‍යාපනය ලබා ගැනීම විනා නිදහස ප්‍රයෝජනයට ගනිමින් තමාගේත් පවුලේත්  බලාපොරොත්තු සියල්ල ගඟට කැපූ ඉනි මෙන් ගසාගෙන යාමට සලසා තම ජීවිතය අන්ධකාරයෙන් පුරවා ගැනීම නොවේ. 

ලොව ජය ගත් බොහෝ කාන්තාවෝ සරසවි අධ්‍යාපනය ලැබුවෝ වෙති. සරසවි අධ්‍යාපනයේ ඇති වටිනාකම එයයි. ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර විදෙස් රටවල නීතිඥ, තානාපති, වෛද්‍ය, භාෂා පරිවර්තක, විශ්වවිද්‍යාල ආචාර්ය, මාධ්‍ය කළමනාකරණ ආදී ඉහළ වෘත්තීන්වල නියැළෙන  කාන්තාවෝ රැසක් වෙති. එමෙන්ම ලංකාවේ ද ඉහළ වෘත්තීන්වල නියැළෙන කාන්තාවෝ බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවෝ වෙති. කැලණිය විශ්වවිද්‍යාලයේ වර්තමාන උප කුලපතිනිය වන මහාචාර්ය නිලන්ති  ද සිල්වා මහත්මිය ඊට කදිම නිදසුනකි. 

කාන්තාවක් වශයෙන් ලොව ජය ගැනීමට නම් ඇයට අධ්‍යාපනය අත්‍යවශ්‍ය වේ. ඇයගේ හැකියාව හඳුනා ගැනීමට, එය ඔප් නංවා ගනිමින් සමාජයේ යහපත් හා වැදගත් ස්ථර නියෝජනය කිරීමට මෙන්ම සමාජයේ වැඩදායී පුරවැසියකු ලෙස අනාගත පරපුර වෙනුවෙන් සේවය කිරීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය කාන්තාවට අමිල වූ සම්පතකි. එබැවින් කාන්තාවට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට බාධා නොකළ යුතු අතර ඇයට ඒ සඳහා නිදහස, ශක්තිය ලබා දිය යුතු ය. මන්ද ඇයගේ කැපවීමට වටිනාකමක් ලැබිය යුතු බැවිනි. ලැබූ නිදහස ආයුධයක් ලෙස ගෙන ජයටැඹ කරා යන මාවත එළිපෙහෙළි කර ගැනීම සරසවි සිසුවියගේ වගකීමයි.

 

ඩබ්ලිව්. ආර්. කෞෂල්‍යා තිලකරත්න.

ශාස්ත්‍රවේදී විශේෂ උපාධි පළමු වසර 

මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය 

ජනසන්නිවේදන අධ්‍යයන අංශය 

 සමාජ විද්‍යා පීඨය