ජීවිතයේ අපි හැමෝම කැමතියි ලස්සනට ජීවත්වෙන්න. හැමෝටම එහෙම ආසාවක් තිබුණත් ඇත්තටම අපි ලස්සනට ජීවත් වෙනවද කියන එකනම් ප්‍රශ්නයක් තමයි. අපිට පුළුවන්ද ලස්සනට ජීවත්වෙන්න?  අනිත් අය අතර කැපී පෙනෙන කෙනෙක් වෙන්න? වර්තමාන සමාජයේ අප ගෙවා දමන කාර්යබහුල ජීවිතයත් සමඟ බොහෝ දෙනෙකු smart වෙන්න කැමති වුවත් එය මඟ හැරෙන අවස්ථා වැඩියි.  මේ ලිපිය ඒ අතරේ smart වෙන්න කැමති ඔබ වෙනුවෙන්.

1. සතුටින් සිටින්න.

ජීවිතේ කොපමණ මිල මුදල් රැස් කළත් මුදල්වලට ගන්න බැරි වටිනාම දෙයක් තමයි සතුට කියන්නෙ. අද වන විට නම් සමාජයේ බැලූ බැලූ හැම තැනකම ප්‍රශ්න නම් එමටයි. ඒ අතරතුර අපි කොහොමද සතුටෙන් ඉන්නේ? සතුටින් සිටීමට අවශ්‍ය පරිසරය සකසා ගත යුත්තේ අප විසින්මයි. මොකද සියලු දේවල්වලට වඩා වටිනාම දේ තමයි අපගේ මානසික නිදහස. මානසික නිදහස තිබෙනවා නම් මම හිතන්නේ සතුටින් ඉන්න එක එතරම් අමාරු දෙයක් නෙවෙයි. පළමුවෙන්ම සතුටට බාධා වන සියලු දේවල් අතහරින්න. ඍණාත්මක සිතිවිලි, ඍණාත්මක මිනිස්සු, නෑදෑයන්, යහළුවන් කවුරු වුනත් අතහරින්න හෝ ඈත්  කරලා තබාගන්නා තරමට අපට සතුටින් සිටීමට පහසුයි. බෞද්ධ දර්ශනයේත්  ‘අප්පියේහි  සම්පයෝගෝ දුක්ඛෝ’ වශයෙන් අප්‍රියයන් තුළින් ඇතිවන මහා මානසික වධය පිළිබඳව පෙන්වා දුන්නේ එබැවිනි. එම නිසා නොගැළපෙන මිනිසුන්ගෙන් ඉවත්වී ආදරණීය බැඳීම් ළඟ නතර වන්න. තමන් හිනා වෙන ගමන් තව කෙනකුගේ මුවඟට සිනාවක් ගෙන එන, එලෙස සිනහවක් ගෙනෙන්නට හේතුවන කෙනෙක් වන්න.

2.පිරිසිදුව පිළිවෙළට ජීවත්වන්න.

ගැහැණු ළමයෙක් හෝ වේවා පිරිමි ළමයෙක් හෝ වේවා පිරිසිදුකම ජීවිතය අංක එක විය යුතුයි. අඳින පළදින ඇඳුම් පැළඳුම්, පාවහන්, පෞද්ගලික සනීපාරක්ෂාව ආදී සියල්ල මෙකී පිරිසිදු බවට අදාළ වෙයි. පිළිවෙළට සිටීමත් ඒ අතර අත්‍යවශ්‍යම දෙයක්. තවත් කෙනෙකුට ප්‍රියමනාපව ඉන්න එක බොහෝ වැදගත් වෙනවා. බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම්ම වෙන්න ඕන නැහැ. පිරිසිදු ඇඳුම් හොඳට අඳින්න පුරුදු වෙන්න.

3.හොඳින් ඉගෙන ගන්න.

ඉගෙනීම කියන්නේ ජීවිතයක අඩිතාලම. අපේ ජීවිතයේ සෑම දෙයක්ම තීරණය වන්නේ, ගොඩනැගීමට හැකි වන්නේ ඉගෙනීම මතයි. එමනිසා අන් සියලු දේට වඩා ඉගෙනීමට මුල්තැන දීම වටිනවා. වයස කොපමණ වුවත් අපට අලුතින් ඉගෙන ගන්න බොහෝ දේවල් තියනවා. අලුත් දේවල් ඉගෙන ගන්න. තමන් තුළ නැති අලුත් skills හදාගෙන ඒවා වැඩිදියුණු කරගන්න. පාසල් මට්ටමේ විභාග හෝ වේවා පළමු උපාධිය හෝ වේවා පශ්චාත් උපාධිය හෝ වේවා ආදී ඕනෑම දෙයක් නිසියාකාරව තමාගේ උපරිමයෙන් සම්පූර්ණ කරන්න. එහි ප්‍රතිඵලය දිනක ඔබ පසුතැවිලි නොකරාවි.  ඔබව තව තවත් ඉදිරියටම ගෙන යාවි.

4.ප්‍රිය මනාප වන්න.

ඔබ පිරිසිදු පිළිවෙළට ඉන්න කෙනෙක් වනවා සේම සමාජයට ප්‍රියමනාප කෙනෙක් වන්න. සල්ලි වියදම් නොවන, දීමට එතරම් අපහසුවක් නැති ලස්සන සිනහාවෙන් සියලු දෙනාටම සංග්‍රහ කරන්න. සමාජයේ කුල, මල, ජාතී, ආගම්, පන්ති, භේද නොමැතිව සෑම දෙනාටම එක ලෙස ආදරය කරන්න. ගෞරව කරන්න. අනුන්ගේ පෞද්ගලිකත්වයට බාධා නොකරන්න. අඩුවෙන් කතා කර වැඩියෙන් සවන් දෙන්න. තව කෙනෙකුගේ හිත නොරිදෙන හරවත් දේ කතාබහ කරන්න. තමාට වෙනවට අකමැති දේවල් අනිත් අයට නොකර සිටින්න. සමාජයේ කෙතරම් ඉහළ තනතුරකට පත් වූවත් නිහතමානී කෙනෙක් වන්න. මන්ද නිහතමානීත්වයට ඔබව බොහෝ තැන්වලදී ඔසවා තැබිය හැකිය.

5.සැලසුම් සහගත වන්න.

ජීවිතයේ විශේෂයෙන්ම ශිෂ්‍යයන් ලෙස සැලසුම් සහගත වීම අපගේ බොහෝ වැඩකටයුතු පහසු කරයි. සැලසුම් සහගත වීම යනු කාලසටහනකට අනුව ජීවත් වීමම නොවේ. ඔබේ හෙට දවස අද plan කරන්න. දවසේ මේ මේ වෙලාවට මොනවද කරන්නේ, මොනවද කළ යුත්තේ යන්න කලින් සැලසුම් කරන්න. කාලය ඵලදායීව ගෙවා දැමීමට මෙන්ම එය අපගේ අනාගත සැලසුම් කෙරෙහිද එලෙසම බලපානු ලබයි. තමාගේ අනාගතය නිසි ලෙස සැලසුම් කරන්න. හීන වෙනුවෙන් මහන්සි වෙන්න.

6.විවිධ වන්න.

ජීවිතේ ඒකාකාරී ලෙස ගෙවා දමන පුද්ගලයන් ඔබට හමු වී නැතිද? එකම ආකාරයට අඳින පළඳින, එකම රටාවකට ජීවත් වන, එකම රටාවකට ආහාර පාන ගන්න, එකම ආකාරයට කොණ්ඩය පීරන යාලුවෝ ඔබටත් සිටිනවා ද? ඔවුන් තුළින් නැවුම් හැඟීමක් බලාපොරොත්තු විය හැකිද? smart වීමට ඔබට අවශ්‍යය නම් විවිධ වන්න උත්සාහ කරන්න. ‘අනේ කාට පේන්නද?’ ‘මොන දේ කලත් වැඩක් නෑ.’ වැනි ඍණාත්මක සිතිවිලිවලින් ඈත්ව නැවුම් වන්න. මැදි වයසේ කෙනෙකු වුවත්  ව්‍යායාම කර  ආහාරපාන පිළිබඳව සැලකිලිමත් වී ලස්සනට ජීවත්වීමට උත්සාහ කරන්න. අලුත්, තමාට ගැළපෙන, තමාට ආවේණික fashion trends හොයාගන්න. ඉඳලා හිටලා හරි ෆිල්ම් එකක් බලන්න. කොහේ හරි ඇවිදින්න යන්න. කිසිවිටෙක තව කෙනෙක් සමග තමාව සැසඳීමට උත්සාහ නොකරන්න. ජීවිතය විඳින්න. විවිධ වෙන්න.

7.පෞර්ෂත්වයෙන් හෙබි පුද්ගලයෙකු වන්න.

සමකාලීන බොහෝ මිතුර මිතුරියන් මානසික වශයෙන් මෙන්ම කායික වශයෙන්  හීන පෞරුෂයකින් යුක්ත වීම දැකගත හැකියි . අලුත් දෙයක් කිරීමට දක්වන බිය, තමාට තමා ගැන ඇති අවිශ්වාසය, වෙනත් චරිත කොපි කරමින් ජීවත්වීම තරුණ ප්‍රජාව තුළ සුලබව දැකිය හැකි දෙයක්. නමුත් ඔබට ඉන් ඔබ්බට ගොස් නිසි ස්වාධීනත්වයක් පවත්වාගත හැකි නම් smart කෙනෙකු ලෙස ජීවත් විය හැකියි. කෙනෙකු ලස්සනට ඇඳුම් ඇඳ සිටින විට, සපත්තු පැළඳ සිටින විට පසුදා ලොවම පෙරළා ඒ දේ සොයා පළඳිනවාට වඩා තමාට ගැළපෙන, තමාට දැරිය හැකි සීමාවක, තමාට අත්‍යවශ්‍ය දේ නිවැරදිව කිරීම වඩා වැදගත් බව සිතට ගන්න. ව්‍යාජ චරිත නඩත්තු කරනවාට වඩා තමා තමා ලෙස නඩත්තු කිරීමට වග බලා ගන්න. නිතරම කෘතවේදී වන්න. කුමන වගකීමක් පැවරුණත්, එය ඒ  වෙලාවට කරන්න පුළුවන් උපරිමෙන් කරන්න පුළුවන් තරම් smart වෙන්න. අලුත් දේවල්, විවිධ දේවල් කරන්න, අත්හදා බලන්න බිය නොවන්න.

8.යහපත් බව, මනුෂ්‍යත්වය රඳවා ගන්න.

කුමන දේ කුමන ලෙසින් අප පවත්වා ගත්තත් අද වන විට බොහෝ දෙනෙකුගෙන් මඟහැරෙන දෙයක් බවට මනුෂ්‍යත්වය පත්වී ඇත. තවත් අයෙකු අපහසුතාවට පත්කරන, තවත් අයෙකු පීඩාවට පත් කර ඉදිරියට යන කෙනෙක් නොවන්න. අන් අයටත් උදව් කරමින් ඉදිරියට යන්න. බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන්ද යහපත් පුරවැසියෙක් වන්න. තමන්ගේ ආගම අනුව ජීවත් වන්න. හොඳ දේවල් කාගෙන්, කොතැනින් ගන්නට තිබුණත් ඒවා ජීවිතයට එකතු කරගන්න. තම පවුල, තමන්ගේ වගකීම්, යුතුකම්, කාර්යබහුලත්වයත් සමඟ අමතක නොකරන්න. ආදරණීය බැඳීම් ළඟ ආදරයෙන් නවතින්න. සෑම විටම ආදරේ බෙදාහරින්න. වෛර නොකර ඍණාත්මක මිනිසුන් ජීවිතයෙන් අතහරින්න. කිසිවක් බලාපොරොත්තු නොවී තමන්ට පුළුවන් දේවල් කරන්න. ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වන්න. බාහිරින් මෙන්ම ඇතුළාන්තයෙන්ම ලස්සන පුද්ගලයෙකු වන්න. පළමුව ඔයාටම ඔයා ගැන ආදරේ හිතෙන කෙනෙක් වන්න. එවිට ඔබ නිරායාසයෙන්ම smart කෙනෙකු බවට පත් වේවි.

බී.ලක්ෂිකා මදුශානි 

විශේෂවේදී දෙවන වසර 

වාග්විද්‍යා අධ්‍යයනාංශය

මානවශාස්ත්‍ර පීඨය