සුව අරණ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කොවිඩ්-19 වසංගතයෙන් පසු සියලුම විශ්වවිද්‍යාල පසුගිය සතියේ ආරම්භ වීමත් සමඟ සරසවියේ වසර හතරටම අදාළ විද්‍යාර්ථීන් විශ්වවිද්‍යාලට පැමිණියේය. ඒ අතර අලුත් නැවක් ද විශ්වවිද්‍යාලයට ඇවිදින්ය. විශ්වවිද්‍යාල උප භාෂාවෙන් අලුත් නැවක් යනු පළමුවසරට පැමිණෙන නවක විද්‍යාර්ථීන්ය. මාර්ගගත අධ්‍යාපනය හරහා නිවසේ සිට අධ්‍යාපනය කළ සියලුම විද්‍යාර්ථීන්ට භෞතිකව අධ්‍යාපනය ලැබීමට, ක්‍රීඩා කිරීමට, විවිධ උත්සව හා සැණකෙලි කිරීමට දැන් අවස්ථාව  උදා වී තිබේ. විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධිය ලබන විද්‍යාර්ථීයෙකුට වසර තුනක කාලයකුත්, ගෞරව උපාධි අපේක්ෂකයෙකුට වසර හතරක කාලයකුත් හිමිවේ. වෛද්‍ය උපාධිය හා නීති උපාධිය හදාරන විද්‍යාර්ථියෙකුට මීට වඩා කාලයක් විශ්වවිද්‍යාල උපාධිය වෙනුවෙන් වැය කිරීමට සිදු වේ. මේ කුමන විද්‍යාර්ථියෙකුට වූවත් පොදු වන විශ්වවිද්‍යාලයේ වටිනාම සම්පත හා මහා පොදු සාධකය නම් කාලයයි.

ඕනම පුද්ගලයෙකුට කාලය වැදගත්ය. නමුත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න විද්‍යාර්ථියෙකුට කාලය ප්‍රයෝජනවත්ව ගත කිරීම පිළිබඳ දෙවරක් සිතිය යුතුය. මන්ද ඔවුන් විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදයෙන්ය. අතිශය තරඟකාරී උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථ ලබා ගෙන විශ්ව විද්‍යාලයට පැමිණෙන විද්‍යාර්ථියෙකුට මෙරට අනාගතයට වැඩදායී පුරවැසියෙක් වී සේවය කිරීමේ වගකීම පවතී. එබැවින් සීමිත පිරිසකට පමණක් හිමිවෙන විශ්වවිද්‍යාල වරප්‍රසාදය  වසර තුනක හෝ හතරක සීමිත කාලසීමාව තුළ උපරිමව උපයෝජනය කිරීම කළ යුතුය. කාලය උපයෝජනය කිරීම යන්නෙන් අදහස් වන්නේ විශ්වවිද්‍යාලයෙන් වසර අවසානයේ ලැබෙන උපාධිය කෙසේ හෝ ලබා ගැනීම පමණක් නොවේ. ඊට එහා ගිය විවිධ කුසලතා හා නිපුණතා වර්ධනය කරගැනීමට, ක්‍රීඩා ජයග්‍රහණ ඔස්සේ අත්දැකීම් ලබා ගැනීමට, පොත පත කියවීමට පමණක් නොව පොත පත ලිවීමටද, විවිධ අංශයන්ගෙන් පවත්නා තරඟවලට සහභාගී වී ජයග්‍රහණ ලැබීමට යනාදී නොයෙකුත් දේ හරහා තම සරසවි ජීවිතය ආලෝකමත් කරගැනීමය. පාසල් කාලය මෙන් නොව විශ්වවිද්‍යාලයේ  ඕනම ක්‍රීඩාවක්, භාෂාවක් ඉගෙනීමට තමන්ට කැමැත්ත හා හැකියාව ඇත්නම් ඊට අවස්ථාව තිබේ. මෙහිදී වැදගත් වන්නේ ප්‍රධාන අධ්‍යාපන කටයුතු අතරතුර අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් සඳහා කාලය බෙදා වෙන් කරගැනීමයි. විශ්වවිද්‍යාල නේවාසිකපහසුකම් ද ඇති නිසා රාත්‍රී කාලයේ වුවද බාහිර ක්‍රියාකාරකම් සඳහා උපයෝජනය කළ හැකිය. සරසවියේ විවිධ ඒකක හා අංශ මගින් විද්‍යාර්ථීන්ට නොයෙක් පහසුකම් සලසා තිබුණද ඒ සෑම දෙයක් ම නොව තමන්ට සුදුසු, තමන්ගේ අනාගත බලාපොරොත්තුවට සරිලන හා ඊට රුකුලක් වන දේ තෝරාගැනීමද වඩා සුදුසුය. මේ සඳහා උපදෙස් ආදාළ ආචාර්යවරුන්ගෙන් ද, ඉහළ සහෝදරත්වයෙන් ද දැන ගත හැකිය. 

කාලය රන් මිණි මුතුවලටත් වඩා වටිනා බැවින්, ඉගෙනගන්නා කාලයේ අමතර ආදායමක් උපයා ගැනීමටද කාලය වෙන් කරගත හැකි නම් විද්‍යාර්ථීන්ගේ විවිධ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත්ය. තවමත් ඉගෙනගන්න බැවින් සුළු ආදායමක් හෝ ලැබෙන රැකියාවක් කිරීමේන් මුදල් අවශ්‍යතා පිරිමසා ගත හැකිය. වසර හතරක් යනු දීර්ඝ කාලයක් සේ පෙනුනද එය ඉක්මණින් ගත වෙනු ඇත. අද නවක විද්‍යාර්ථියෙකුට ව සිටින ඔබට සිවවසරක් තුළ විශ්වවිද්‍යාලයෙක් ලබා ගත හැකි ප්‍රයෝජන බොහෝය. සරසවියෙන් විවිධ විදේශීය භාෂවන් ඉගෙන ගෙන, නොමිලේම විදේශීය අධ්‍යාපනය ලැබීමට ගිය ජේෂ්ඨ විද්‍යාර්ථීන් ඊට නිදසුන් ය. සැබැවින්ම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය උදෙසා සරසවියකට පැමිණීම යනු ම දුෂ්කර කාර්යයකි,පැමිණී පසුත් ඉන් උසස් ප්‍රතිපල ලබා ගැනීම යනු ද අතිශය දුෂ්කර කාර්යයකි. මෙය සෑම විද්‍යාර්ථියෙකුටම ළඟා කර ගත හැකිය. ඊට අවශ්‍ය වන්නේ උත්සහය, කැපවීම හා කාල කළමනාකරණයයි. ගිය කාලය ඇතුන් ලවාවත් ආපසු ඇද්දවිය නොහැක. එබැවින් විද්‍යාර්ථියනි, නොපමාව සරසවි අධ්‍යාපනයේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න.  

 

සංස්කාරක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්විද්‍යාලයට නවක විද්‍යාර්ථීන් පැමිණෙන වසන්තය උදා වී ඇත.පසුගිය සති කිහිපයක් පුරා උසස් පෙළ ඉහළ සාමාර්ථ ලද විද්‍යාර්ථීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ විශ්වවිද්‍යාලයට පිළිගැණිනි. වෙනදා නවක විද්‍යාර්ථීන් පැමිණීම යනු, සරසවි උප භාෂාවෙන් නම් අලුත් නැවක් පැමිණීම තොරණ් බැඳ, එන මඟ සරසා ජ්‍යෙෂ්ඨ විද්‍යාර්ථීන් විසින් මහත් ඉහළින් පිළිගනු ලබන මංගල්‍යයකි. ඒ දවස්වල විශ්වවිද්‍යාලයම කඩිගුලක් මෙන්ය. බැලූ බැලූ අත විද්‍යාර්ථීහු නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදී සිටිති. එහෙත් කොරෝනා වෛරසය හා පැමිණි අලුත් සංස්කෘතිය තුළ වර්තමානයේ සියල්ල වෙනස් වී ඇත. දැනට වසර කිහිපයක් තිස්සේ නවක විද්‍යාර්ථීන් පිළිගැණුනේ මාර්ගගත ක්‍රමයට ය. ඉන් විද්‍යාර්ථීන්ට  සුන්දර මතකයන් මෙම ඉගැනුම් ඉගැන්වීම් අත්දැකීම් සම්භාරයක් ද අහිමිව ගියේ ය. විශ්වවිද්‍යාලයට ඉගෙනීමට පැමිණෙන මෙරට සතර දිශාවම නියෝජනය කරන ශිෂ්‍යයින්ට මෙය කොතරම් අවාසනාවන්ත ඉරණමක් ද යන්න වචනයෙන් කියා නිම කළ නොහැකිය. නමුත් නුදුරු දිනකදීම නැවතත් විශ්විද්‍යාලයට පා තබා ඉගෙනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

වසර දෙකකට අධික කාලයක් කොවිඩ්-19 වසංගතය නිසා වසා තැබු මෙරට සියලු විශ්වවිද්‍යාල යළි ආරම්භ විය. සියලු විද්‍යාර්ථීන් දවස් ගණන් ඇඟිලි ගනිමින් බලාසිටී සරසවි යළි ඇරඹුම ආචාර්යවරුන්ගේද, දෙමව්පියන්ගේද සිතට සහනයක් ගෙන දෙන්නේ මාස ගණනාවක් මාර්ගගත අධ්‍යාපනයෙන් ලද තෙහෙට්ටුව ද නිසාය. පැවැති වසංග තත්වය හමුවේ මාර්ගගත අධ්‍යාපනය විකල්පයක් ලෙස භාවිත වුවත් එය සමාජය බලාපොරොත්තු වන කුසලතා පූර්ණ විද්‍යාර්ථියෙකු නිර්මාණය කිරීමෙහි අරමුණට සියයට සීයයක් සාර්ථක නොවේ. විශ්වවිද්‍යාලට පැමිණ, නව මිත්‍ර, සහෝදර සම්බන්ධතා නිර්මාණය කරමින්, පොත පත හා ආචාර්යවරු නිරන්තර අසුරු කරමින් ලබන ශික්ෂණය මාර්ගගතව ලබා ගැනීම ඉතා උගහටය. රටේ පවත්නා ආර්ථික අර්බුදය අබියස අධ්‍යාපනයේ උන්නතිය සඳහා අනාගත ශ්‍රම බලකාය නිර්මාණය කිරීමට නම් විශ්වවිද්‍යාලයට විද්‍යාර්ථීන් පැමිණිය යුතුමය. දැන් නැවතත් පෙර පැවැති වසන්තය උදා වී තිබේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

යහපත් මානසික සෞඛ්‍යයක් පැවතීම සෑම පුද්ගලයෙකුගේම දියුණුවට හේතුවකි. එදිනෙදා ජීවිතයේ පවත්නා වූ නොයෙකුත් වැඩ කටයුතු අභියස මෙකී මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම අසීරු විය හැක.විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය හදාරන පාසල් ළමුන්ගේත්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේත් යහපත් නිරෝගී මනසක් පවත්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම කාලෝචිත මාතෘකාවක් වී තිබේ.පාස්කු ප්‍රහාරය කොවිඩ් වසංගතය හා මේ වන විට ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය නිසා ඉගෙන ගන්නා විද්‍යාර්ථීන් ද සාමාන්‍ය පුරවැසියා ද යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට දැඩි අරගලයක යෙදෙමින් සිටී. 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මාධ්‍ය වෘත්තිය ලොව සතරවන ආණ්ඩුව ලෙස හැඳින්වේ. විධායකය, අධිකරණය හා ව්‍යාවස්ථාදායකය යන ආණ්ඩු තුනට පසු සිව්වන ස්ථානයට පැමිණෙන ජනමාධ්‍ය වෘත්තිය නිර්මාණශීලී ගවේෂණාත්මක මුහුණුවරකින් හැඩගැන්වෙන වන විට එහි ඇති සමාජීය අගය තව දුරටත් වැඩි වේ. කැමරාවක් අතට ගත් විගස හෝඅ පෑනක් අතට ගත් විගස මාධ්‍යවේදියෙකු නිර්මාණය නොවේ. කෙතරම් තාක්ෂණික උපකරණ තිබුණත් එවා හසුරවන මිනිසාගේ පිටුපස ඇති චින්තනය හා මනස මාධ්‍යවේදි භූමිකාව ගැන මනා අවබෝධයකින් සන්නද්ධ වීම අනිවාර්ය වේ. වර්තමාන සමාජයේ මාධ්‍ය වෘත්තිය සඳහා විවිධ සමාජ තලවල පුද්ගලයින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමන්ධවන අයුරු අපට දැක ගත හැකිය. සමාජ මාධ්‍ය භාවිතය හා සන්නිවේදන තාක්ෂනය වේගයෙන් සමාජගත වීම මේ සඳහා හේතුවක් වේ. පුරවැසි මාධ්‍යයන් ද ලොව වේගයෙන් ව්‍යාප්ති වන නිසා මාධ්‍ය වෘත්තිය සඳහා කවර පුද්ගලයෙකු ප්‍රවිශ්ට වූවද එහි දිගු සාර්ථක ගමනක් යාමට නම් මාධ්‍ය වෘත්තියට අදාළව නිරන්තර සතත්‍යාභ්‍යාසයේ යෙදිය යුතුයි.

සතත්‍යාභ්‍යාසය යනු නිතර නිතර පුහුණුවීම් කිරීමයි. මාධ්‍ය වෘත්තියට පමණක් නොව ලොව සෑම නිර්මාණයක්ම, වෘත්තියක්ම නිවැරදිව කිරීමට නිරන්තර පුහුණුව අවශ්‍යයි. ඉංජිනේරු වෘත්තියද, වෛද්‍ය වෘත්තියද, නීතීඥ වෘත්තියද, රියදුරු වෘත්තියද යනාදී නේක විද වෘත්තීන්ට එම වෘත්තියට අදාළ කාර්යයන් හි නිතර නිතර නිරත වී මනා පුහුණුව ලබා ගත යුතුයි. මාර්ටින් වික්‍රමසින්හයන් මෙරට මහා ගත්කරු බවට පත් වූයේ එක රැයකින් නොවේ. විවිධ කෙටි කතා, නවකතා ලියමින් සතත්‍යාභ්‍යාසය ප්‍රගුණ කිරීමෙනි. වෝල්ටර් ක්‍රොන්කයිට්, ක්‍රිස්ටියන් අමන්පූර්, බොබ් වුඩ්වර්ඩ්, හන්ටර් එස්.තොම්සන් හා එඩ්වර් ආර් මුරෝ යනු ලොව විශිෂ්ට යැයි සම්මානයට පාත්‍ර වූ මාධ්‍යවේදීන්ය. මොවුන් ලොව ගෞරවාදරයට පාත්‍ර වූයේ තම වෘත්තිය පිළිබඳ ඇති කරගත්තා වූ අඛණ්ඩ පුහුණුව නිසාවෙනි. මෙලෙස දක්ෂ ලේඛකයෙකු, කැමරාශිල්පියෙකු, විඩියෝගැෆිශිල්පියෙකු, විශේෂාංග රචකයෙකු, ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු නිර්මාණය කිරීමට නම් මෙකී නිරන්තර පුහුණුව අත්‍යවශ්‍ය වේ. මෙකි පුහුණුව ලබා ගැනීමට, පාසල්, විශ්වවිද්‍යාල හා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන විවිධ වැඩසටහන් ද තිබේ. කුමන අවස්ථා හා ආයතන තිබුණත් විද්‍යාර්ථීන් ඊට සම්බන්ධ වී ඒ සම්බන්ධයෙන් තම දැනුම වර්ධනය කරගැනීම කළ යුතුයි.

එලෙස නිර්මාණශිලී මාධ්‍යවේදියෙකු නිර්මාණය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය විසින් පවත්වාගෙන යන නේමඬල නම් මෙම වෙබ් පුවත්පතේ "Young Journalist" විද්‍යාර්ථී කණ්ඩායමද තම හැකියාවන්, කුසලතාවයන් වැඩි දියුණු කිරීමට නම් නිතර පුහුණුවීම අවශ්‍ය වේ. එවිට මෙම කණ්ඩායම හරහා විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වන ආකාරයේ දක්ෂ මාධ්‍යවේදීන් හා රටට අවශ්‍ය සැබෑ පුරවැසියනුත් නිර්මාණය කිරීමට හැකි වේ. මෙම යහපත් අරමුණ පෙරදැරිව සතියක් පුරා සන්නිවේදන හා මාධ්‍ය ඒකකය විසින් පවත්වන්නට යෙදුණු පුහුණු වැඩසටහන් මාලව තුළ කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ නිර්මාණශීලීත්වය හා සතත්‍යාභ්‍යාසයත් වර්ධනය කරගැනීමට අවශ්‍ය විවිධ නිදසුන් හා උපක්‍රම ඉදිරිපත් වුණි. එම මාර්ගෝපදේශයන් නිසි ලෙස පුරුදු පුහුණු කර සතතභ්‍යාසය තුළින් "Young Journalist" විද්‍යාර්ථී ඔබගේ කුසලතා, ලේඛන ශක්‍යතාවත්, මාධ්‍යවේදී කුසලතාවත් වැඩි දියුණු වනු නොඅනුමානයි. 

 

සංස්කාරක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මානවයාගේ දිවිපැවැත්ම සාර්ථක කරගැනීමට නම් ක්‍රීඩාව අත්‍යවශ්‍යය. ලොව බොහෝ රටවල් පෙර පාසල් කාලයේ සිට පාසල් කාලයේදීත්, විශ්වවිද්‍යාලය තුළත් විද්‍යාර්ථීන්ට ක්‍රීඩා අධ්‍යාපනය ලබා දීමටත්, නිවාසාන්තර ක්‍රිඩා සඳහා කාලය වෙන් කිරීමටත් කටයුතු කරනුයේ ක්‍රිඩාවේ ඇති වැදගත්කම නිසාය. කාර්මික විපලවයට පෙර මිනිසුන් යන්ත්‍ර සූත්‍ර භාවිත නොකර ශ්‍රම ශක්තිය යොදා සියලු අවශ්‍යතා හා වුවමනා ඉටු කරගත්තේය. නමුත් කාර්මික විපලවයෙන් පසු ආරම්භ වු සන්නිවේදන  හා තාක්ෂණ දියුණුවත් සමඟ මිනිසා සිය කය වෙහෙස වනවාට වඩා යන්ත්‍ර සූත්‍ර මත පදනම් වූ ජිවිතයකට හුරු විය. මෙම හුරු වීම අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපෑවේ කෙසේද යන්න අප විග්‍රහා කර බැලීම වටී.

මෙතරම් ප්‍රවාහනය දියුණු නැති කාලයේ ඉගෙනගන්නා දරුවන් පාසල් ගියේ දෙපයින්ය. එසේත් නැත්නම් පා පැදිය පදවාගෙනය. නමුත් දැන් බස් රථය, පාසල් වෑන් රථය හෝ පෞද්ගලික වාහනයක් මාර්ගයෙන් පාසල වෙත ගමන් කරයි. ඉන් දරුවන්ගේ කය වෙහෙසීමක් සිදු නොවේ. ඉන් පසුව ඉගෙනගන්නා කාලයද දුව පැන සෙල්ලම් කිරීමට ඇති කාලයට වඩා වැඩිය. පාසලෙන් පසුද නොයෙකුත් විෂයන් ඉගෙනීම සඳහා අමතර පන්ති සඳහා සහභාගී වන බැවින් තම කය වෙහෙසවා සෙල්ලම් කිරීමට දරුවන්ට කාලයක් නොමැත. පවත්නා සංකීර්ණ සමාජ පද්ධතිය තුළ වඩා දැනුමින් පොහොසත් වෘත්තිකයෙකු බිහි කිරීමේ අරමුණින් ගමන් කරන මේ සමාජ ක්‍රමය කායික මානසික සුවය සමබරව පවත්වාගන්නා නීරෝගී පුද්ගලයෙකු බිහි කිරීමට ගන්නා උත්සහය තරමක් මන්දගාමීය. වසර 13ක් පාසල තුළත්, ඉන්පසුව තෘතීක අධ්‍යාපනය සඳහා යොමුවන  වසර කිහිපය තුළත් විද්‍යාර්ථියෙකුට ක්‍රීඩා කිරීම සඳහා සමාජයෙන් ලැබෙන තල්ලුව සාපේක්ෂව අඩුය. ඊට වඩා වර්තමානයේ වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයෙකු, පරිගණක තාක්ෂණවේදියෙකු හා නීතීඥයෙකු වීම වැනි සිහින පසුපස දරුවන්ව හඹාගෙන යෑමට අවශ්‍ය පසුබිම, තරඟකාරී හා ආත්මාර්ථකාමී මනසත් නිර්මාණය කිරීමට දක්වන උනන්දුව වැඩිය.

පොත පත දැනුම පමණක් ඇති විද්‍යාර්ථියෙකු පරිගණකය, ජංගම දුරකථනය ආධාරයෙන් දෛනික වැඩකටයුතු කළ හැකි වුවද ඉන් ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට කැලරි දහනය වීමක් සිදු නොවේ. සියල්ලටම වඩා වැදගත්වන්නේ විද්‍යාර්ථියෙකුගේ නීරෝගීභාවයයි. නීරෝගීකම පරම ලාභය බව බුදුරජානන් වහන්සේ විසින් දේශනා කළේද ද එබැවිනි.  

අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ගේ කායික මානසික සුවය රටක සංවර්ධනයට සෘජුවම බලපායි. ශක්ති සම්පන්න, නීරෝගී, දැනුමින් හා බුද්ධියෙන් සන්නද්ධ වෘත්තිකයන් සිටින රටක් වේගයෙන් දියුණුව කරා ගමන් කරයි. එබැවින් ආර්ථික, දේශපාලන හා සමාජීය අර්බුද රැසක සිරවී සිටින ශ්‍රී ලාංකේය පුරවසියන් ද ක්‍රීඩාව කරා දක්වන උනන්දුව වැඩි කරගැනීම මෙරට බොහෝ ගැටලු සඳහා විසඳුම් සෙවීමට සෘජුව හා වක්‍රව බලපායි. කොතරම් ඉගෙනගත්ත ද ලෙඩ රෝගවලින් පිරි, මනස අධෛර්යමත් පරම්පාරවකට මෙරට අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීම අසීරුය. එමෙන්ම කෙතරම් හොඳට ඉගෙනගත්තද ඔහු හෝ ඇය සමාජයට වැඩදායී පරිපූර්ණ වෘත්තිකයෙකු වන්නේ ක්‍රිඩාවේ පියගැටපෙළ ආරම්භයේ සිටම නැග ආ විටය. එමනිසා ඉගෙනගන්නා විද්‍යාර්ථීන් ක්‍රීඩාවේ පියගැටපෙළ නගිමින් කායික හා මනසික සුවය යන දෙකම සමබරව පවත්වා ගෙන තමන්ගේ ඉදිරි කටයුතු සැලසුම් කිරීම වැදගත් වේ. 

 

සංස්කාරක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පෝෂණය යන වචනය කුඩා කල සිටම අපට අසා හුරු පුරුදුය. දරුවෙක් මෙලොවට බිහි වුණ දා සිට නිසි පෝෂණය සහිතව උස් මහත් කිරීම පිළිබඳ සමාජ අවධානය යොමු වේ. නමුත් මෙම සමාජ අවධානය ළමයා උස් මහත් වී අධ්‍යාපනය හමාර කරන තුරු පවතීද යන්න ගැටලු සහගතය. ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය හා පාසල් අධ්‍යාපනය ගත්තද දරුවන්ගේ පෝෂණය නිසි පරිදි නොමැතිකම හෙවත් මන්ද පෝෂණය වැඩි වන බව සෞඛ්‍ය වාර්තාවලින් හෙළි වේ. සරසවි විද්‍යාර්ථීන් ගත්තද මෙහි සැලකිය යුතු වෙනසක් නොමැත. දිනෙන් දින උග්‍ර වන සමාජ ආර්ථික ගැටලු අභියස සරසවි අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් තුළද මන්ද පෝෂණය වර්ධනය වීමක් දැකිය හැකිය. 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ අසීරුතම කඩයිම් විභාගය වන අ.පො.ස උසස් පෙළ විභාගය ඉහළින් සමත් වී මෙරට පවත්නා සීමිත රාජ්‍ය විශ්වවිද්‍යාලයකට තේරී පැමිණෙන විද්‍යාර්ථීන්ගේ නීරෝගීකම මැන බලන්නේ ඇයි ද යන්න කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් විය හැකිය. විශ්වවිද්‍යාලයට පැමිණියත්, නොපැමිණියත් මෙරට ඉපදෙන සියලු දරුවන්ගේ නීරෝගීකම යහපත්ව පැවැතීම අවිවාදයෙන් අප පිළිගත යුත්තකි. නමුත් ගැටලුව නම් පවත්නා සමාජ, ආර්ථික, දේශපාලනික ගැටලු නිසා සෑම දරුවෙකුම නිසි කායික හා මානසික නිරෝගීතාවයකින් නොසිටීමයි. නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදය ලැබ ශ්‍රී ලංකාවේ සතර දෙසින් විශ්වවිද්‍යාලයට පැමිණෙන විද්‍යාර්ථීන්ගේ කායික මානසික සුවතාවය යහපත්ව පවත්වා ගැනීම රටේ සංවර්ධනයට සෘජුවම බලපායි. මන්ද මෙරට රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රයේ අනාගත රැකියා අවශ්‍යතා හා සේවාවන් සපයන, එහි තීන්දු තීරණ ගන්නා ප්‍රධාන ශ්‍රම බලකාය මොවුන් වන බැවිනි. 

10 October 2023
03 August 2023
03 August 2023
06 June 2023
06 June 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2024, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search