සියදිවි නසා ගැනීම වත්මන් සමාජයේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇති මාතෘකාවක් වී ඇති අතර විවිධ මාධ්‍ය ඔස්සේ සියදිවි නසා ගැනීම් පිළිබඳ බොහෝ තොරතුරු අපට දිනපතා අසන්නට දකින්නට ලැබේ. මේ තත්ත්වය නිසා මෙම සියදිවි නසා ගැනීම් ශ්‍රී ලංකාවේ මෙන් ම ලෝකයේ ද ප්‍රබල සමාජ ප්‍රශ්නයක් වී ඇත. ඒම නිසා බොහෝ රාජ්‍ය සංවිධානරාජ්‍ය  නොවන සංවිධාන මෙන්ම බොහෝ පුද්ගලයන් ද  සියදිවි නසා ගැනීම් පිළිබඳව දැඩි අවධානයකින් පසු වෙමින් එම තත්ත්වයන් නිවාරණය කිරීමට කටයුතු කරනු දැකිය හැකිය.

සියදිවි නසා ගැනීම යනු සරලව ගත්කල තමා විසින් තමාගේ ජීවිතය නැති කර ගැනීම ලෙස හැදින්විය හැකි අතර මෙය ආත්ම ඝාතනය ලෙස ද හැදින්විය හැකිය. සෑම පුද්ගලයකුම කෙදිනක හෝ මරණය වැළඳ ගනී. නමුත් ඒ කවදා ද කුමන අයුරින් ද යන්න අපට තීරණය කළ නො හැකිය. පුද්ගලයාගේ ආයුකාලය තීරණය කරන්නේ ස්වභාවධර්මයයි. නමුත් පුද්ගලයකු ස්වභාවධර්මයට  පිටුපාමින් සිය ආයු කාලය කෙටි කර ගැනීම සඳහා  තමාගේ ජීවිතයට හානි කර ගන්නේ නම්  එය සියදිවි නසා ගැනීමක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  ඥානදාස පෙරේරා මහතා ප්‍රකාශ කරයි. මරණය සෑම කෙනකුට ම පොදු හා නියත දෙයක් වුව ද ඒ සෑම කෙනකුටම  ජීවත් වීමට නිදහසක් හා අයිතියක් තිබේ. මෙහිදී ස්වාභාවික මරණය දක්වා ජීවිතය ආරක්ෂා කර ගැනීම උදෙසා නීති පද්ධතිය සැකසී තිබේ. මෙම  නීති පද්ධතියට අනුව සියදිවි හානි කර ගැනීම හා සියදිවි හානි කර ගැනීමට උත්සහ කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මිනිස් ජීවිතයක වටිනාකම කොතරම් ද යන්න මිල කළ නොහැක, වචනයෙන් ද ප්‍රකාශ කළ නොහැක. මිනිස් ජිවිතයක් ස්වභාවිකව මරණයට පත්වන තුරු වෛද්‍ය විද්‍යාව තුළ අරගල කරන්නේ ද ඒ නිසාවෙනි. නීතිය තුළ සියදිවි හානි කර ගැනීම අපරාධයක් ලෙස ද, ආචාරධර්ම  තුළ වැරැදි ක්‍රියාවක් ලෙස ද. ආගම තුළ පාපයක් ලෙස ද විග්‍රහ කර ඇත්තේ ජීවිතයක ඇති අමිල වටිනාකම නිසාවෙනි.

 සියදිවි හානි කර ගැනීම සඳහා බලපාන කරුණු රාශියකි. මෙහි දී සියදිවි හානි කර ගැනීම ක්ෂණික, ආවේගශීලි ක්‍රියාවක් ලෙස මතු පිටින් පෙනුන ද ඒ පිළිබඳව ගැඹුරින් සිතා බලන විට සියදිවි නසා ගැනීම ඉතා සංකීර්ණ  ක්‍රියාවලියක් බව පැහැදිලි  වේ.එලෙසම සියදිවි නසා ගැනීම කෙරෙහි බලපානු ලබන ප්‍රධාන සාධක පිළිබඳ අවධානය යොමු කිරීමේ දී දර්ශනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචායර්ය  ඥානදාස පෙරේරා මහතා දිවි නසා ගැනීමට බලපාන කරුණු ප්‍රධාන අංග තුනක් යටතට ගොනු කර දක්වයි.

·       මානසික සාධක

·       ජෛවීය සාධක

·       පාරිසරික සාධක වේ.

නමුත් කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය  රෝලන්ඩ් අබේපාලයන් පෙන්වා දෙන පරිදි සියදිවි නසා ගැනීම්වලට බලපාන ප්‍රධාන ම හේතුවක් වන්නේ විෂාදය නම් මානසික රෝගී තත්ත්වය යි. බොහෝ මනෝ වෛද්‍යවරු ද  මෙම අදහස තහවුරු කරති.  සියදිවි නසා ගැනීම් පිළිබඳ තවදුරටත් අදහස් දක්වන එතුමා ප්‍රකාශ කරන පරිදි සියදිවි නසා ගැනීම යනු සිය ජීවිතයෙන් පලා යාමකි. එලෙසම ඔහු පෙන්වා දෙන්නේ මිනිසුන්ට සිය ජිවිතයේ කවරම හෝ අවස්ථාවක දී සියදිවි හානි කර ගැනීමට අදහසක් ඇති වුව ද එහි කිසිදු වරදක් නැති බවයි. නමුත් කලබල විය යුත්තේ එම සිතුවිලි සැලැස්මක් ආකාරයෙන් සංවිධානය වී වර්ධනය වීම ආරම්භ වුවහොත් බවයි. කෙසේ වුව ද ඉතා සරලව ගත් කල  විවිධ සම්බන්ධතා බිඳ වැටීම, ප්‍රියයන්ගෙන්  වෙන් වීම, ඇතැම් විට අප්‍රියයන් හා එකතු වීමට සිදු වීම, අධික වෙහෙස හා පීඩනය, මූල්‍යමය ප්‍රශ්න, පවුල් අභ්‍යන්තරයේ ගැටුම්, විභාග අසමත් වීම්... ආදිය අද සමාජයේ සියදිවි හානි කර ගැනීම්වලට මුල්වන ප්‍රධානතම හේතු කිහිපයක් ලෙස දැක්විය හැකිය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ යුද  සමයේ ඇති වූ දේශපාලන ගැටලු මුල්කරගෙන මිනිසා සියදිවි නසා ගැනිම්වලට පෙළඹී ඇති බව විවිධ විද්වතුන් විසින් ප්‍රකාශ කර ඇත‍.දේශපාලන හා ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදී උප සංස්කෘතිය එම සියදිවි නසා ගැනීම්වලට ප්‍රධාන හේතුවක් වී ඇති බව ඔවුහු  ප්‍රකාශ කරති.

ශ්‍රි ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම දිනෙන් දින ඉහළ යන සියදිවි නසා ගැනීම් සඳහා මිනිසුන් විවිධ ක්‍රමවේද භාවිත කිරීමට පෙළඹී ඇත. මෙහිදී ලෝකයේ විවිධ රටවල් නොයෙකුත් ක්‍රමවේද භාවිත කරන අතර ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම සඳහා භාවිත කරන ප්‍රධාන ක්‍රමවේද කිහිපයකි. ඒවා නම් ගෙල වැලලා ගැනීම, ගංගා, මුහුදු ආදී ජලාශවලට පැනීම. වෙඩිතබා ගැනීම, පුළුස්සා ගැනීම, දුම්රියට පැනීම,  වස බීම, අවි ආයුධවලින් කපා ගැනිම ආදියයි.

1950 සිට ශ්‍රී ලංකාවේ  වස පානය කර සියදිවි නසා ගැනීම් ක්‍රමයෙන්  වැඩි වී ඇත. එයට ප්‍රධාන හේතුව වස බි සියදිවි  හානි කර ගැනීම ඉතා පහසුම ක්‍රමය බැවිනි. එනම් ලංකාවේ වස වර්ග  ඉතා පහසුවෙන් සපයා ගත හැකි වීම, විවිධ සතුන් වඳ කිරීමට යොදා ගන්නා වස වර්ග  වෙළෙඳ පොළ තුළ  බහුල වීම හා ඉතා සුළු මුදලකට ලබා ගැනීමට හැකි වීම, පෞද්ගලිකව ඉතා සුළු වෙලාවක දී එය ඉටුකර ගත හැකි වීම මෙයට හේතු වේ. එසේම ගම්බඳ ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් ගොවිතැන් කටයුතු සඳහා භාවිත කරන කෘමිනාශක, පළිබෝධ නාශක පානය කර සියදිවි හානි කර ගැනීමට පෙළඹී ඇත.

එලෙසම ශරීරයට විදුලි සැර ස්පර්ශ  කර ගැනීම මඟින්  මෙන්ම නිදිපෙති හා ඖෂධ ශරීරගත කර ගැනීම මඟින් ද සියදිවි හානි කර ගැනීමේ සිද්ධීන් ලංකාවේ වරින්වර වාර්තා වී ඇත. මරාගෙන මැරෙන ක්‍රමය ද සියදිවි හානි කර ගැනීම තුළ  දැකි තවත් විශේෂ තත්ත්වයකි. වස බී දරුවන්ට ද වස පෙවීම, දරුවන් සමඟ ජලාශවලට පැනීම, දුම්රියට පැනීම ආදිය ඒ් සඳහා නිදසුන් ය. අනෙකුත් රටවල ද මෙවැනි සිදුවීම් දැකිය හැකි අතර මෙහි දී දැකිය හැකි සුවිශේෂත්වයක් වන්නේ සමහර රටවල සියදිවි නසා ගැනීම සඳහා සම්මත වූ ප්‍රසිද්ධ ස්ථාන තිබීමයි. ඒඩින්බරෝ පාලමෙන් පැන මිය යාම, තායි ගඟට පැනීම නිදසුන් ය.

එලෙසම ආසියාතික රටවල තරුණ ප්‍රජාව තම දුක, කෝපය අන් අයට පෙන්වීම හා අන් අයගේ අවධානය තමා වෙතට ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් මෙලෙස සියදිවි හානි කර ගැනීමට පෙළඹෙන බව විවිධ පර්යේණයන්ගෙන්  තහවුරු කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලෝකයේ සෑම තත්පර 40කට වරක්ම පුද්ගලයකු  සියදිවි හානි කර ගන්නා අතර සෑම වසරක ම ලක්ෂ අටකට ආසන්න පිරිසක් මෙලෙස සියදිවි හානි කර ගැනීම මඟින් මිය යති. 90 දශකයේ මුල් භාගය වන විට සමස්ත ලෝකයේම සියදිවි හානි කර ගැනීමේ සිද්ධීන් ඉහළ ගිය අතර ලෝකයේ රටවල් අතරින් වැඩිම සියදිවි නසා ගැනීම් ප්‍රමාණය ශ්‍රී ලංකාවෙන් වාර්තා  විය.

ශ්‍රී ලංකා පොලිස් සංඛ්‍යා ලේඛනවලට අනුව 2019 වසරේ දී සියදිවි නසා ගැනීම් 3135 සිදු වී ඇති අතර  එමඟින් පිරිමි මරණ 2489 ක් ද, කාන්තා මරණ 646 ක් ද වාර්තා  වී ඇත. ඒලෙසම 2020 වසරේ ජනවාරි මාසයේ සිට

ජූලි දක්වා සියදිවි නසා ගැනීමේ සිද්ධීන්  1455 ක් වාර්තා  වී ඇති අතර එමඟින්  1176 ක් පිරිමි මරණ ලෙස ද 279 ක් කාන්තා මරණ ලෙස ද පොලිස් සංඛ්‍යා ලේඛන දක්වයි. මේ වන විටත්  ලෝකයේ සියදිවි නසා ගැනීම් බහුලවම සිදුවන රටවල් 20 අතර ලංකාව ද සිටියි.

ජාත්‍යන්තර සියදිවි නසා ගැනීම් වලක්වා ගැනීමේ දිනය සැප්තැම්බර් 10 වන දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර සියදිවි නසා ගැනීම් පිලිබඳ තොරතුරු හා අවබෝධය ප්‍රචලිත කිරීම හා සියදිවි නසා ගැනීම් නිවාරණය කිරීමේ අරමුණින් 2003 වසරේ දී මෙම දිනය ප්‍රකාශයට පත් කර  ඇත.

ඇතැම් අවස්ථාවලදි පුද්ගලයකු සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ දී අපට එය වළක්වා ගත හැකිය. සියදිවි නසා ගන්නා වු බොහෝ පුද්ගලයන් ඒ පිළිබඳව තමාගේ ළඟම හිතවතකුට සංඥාවක් ලබා දීමට කටයුතු කරයි. එවැනි අවස්ථාවලදී අප ඒවාට සංවේදී විය යුතුය. ඒ වගේම සියදිවි හානි කර ගැනීමට තැත් කරන පුද්ගලයකු හමු වුවහොත් අප ඔහුට බොහෝ සේ ළං විය යුතුය. ඔහු , ඇය සමඟ කතා කර ඔහුට,ඇයට සංවේදී ව සවන් දිය යුතුය. රහස්‍යභාවය රකිමින් ඔවුන්ගේ ගැටලුව පිළිබඳව උපදේශකවරයකු  හෝ වැඩිහිටියකු දැනුවත් කළ යුතුය. සියදිවි නසා ගැනීමට තැත් කරන පුද්ගලයාට සවන් දීමෙන් හා එම පුද්ගලයන් ළඟ රැඳීමෙන් සියදිවි නසා ගැනීම් වළක්වා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව, සියදිවි නසා ගැනීම මනුෂ්‍ය ශරීරය හා ජීවිතය සම්බන්ධ වැරැදි යටතේ සඳහන් වන දඩුවම් ලැබිය හැකි අපරාධයකි. මේ පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ 16 වන පරිච්ජේදයෙන් විස්තර කර ඇත. කිසිවකුට තමාගේ ජීවිතය නැති කර ගැනීමට නීතියෙන් අවසර නැත. සියදිවි නසා ගැනීම තරමක් වෙනස් ආකාරයේ අපරාධයකි. මන්ද ඒමඟින් හානිය වන්නේ අපරාධකරුටම ය.

කෙනකු සියදිවි නසා ගත් විට ඒ හා සමිප අනෙක් පාර්ශ්වයට ඇඟිල්ල දික් කිරීම වැරැදි ක්‍රියාවකි. එලෙසම සියදිවි හානි කර ගැනීමට තැත් කළ  පුද්ගලයාගෙන් වැරැදි ලෙස ප්‍රශ්න කිරීම නො කළ යුතු ය.  සියදිවි නසා ගැනීමේ සිද්ධීන් වාර්තා  කිරීමේ දී සියදිවි නසාගත් ක්‍රමය විස්තර නො  කළ  යුතුය. ඒ හා සම්බන්ධ ඡායාරූප පල කිරීම හා ඒ සඳහා සරල හේතු, නිගමන ලබා නොදිය යුතු ය. සියදිවි නසාගත් පුද්ගලයාට වීරත්වයක් ලබා නො දිය යුතුය. සියදිවි නසා ගත් පුදගලයාගේ පවුලේ  අයට පීඩනයක් නොවන ලෙස එය වාර්තා  කළ  යුතු ය. සියදිවි නසා ගැනීම්වලට මාධ්‍ය හේතුවක් නොවී එවැනි සිද්ධීන් මර්දනය කිරීමට මාධ්‍යට විශාල වගකීමක් ඇත.

 පොලිස් කොස්තාපල්වරයකු සිය අනියම් බිරිය  මරා ගෙල රහිත මළ කඳ වේල්ලවීදියේ දමා ගොස් තමා ද ගෙල වැලලාගෙන මිය යාම පසගිය දා  රටේම අවධානයට ලක් වූ සිද්ධියකි. ඊට දින කිහිපයකට පසුව යාපනය ප්‍රදේශයේ මවක් ළිඳකට පැන දිවි නසා ගැනීමට තැත් කළ අතර මව බේරී දරු තිදෙනා මිය යාම, අන්තර්ජාල ක්‍රීඩා කිරීමට මව ජංගම දුරකනයක් ලබා නො දුන්නැ’ යි කියා පාසල් සිසුවකු දිවි නසා ගැනීම මෑතක දී සිදු වූ සියදිවි නසා ගැනීමේ සිද්ධීන් වේ.

මේ අනුව බලන විට අද සමාජයේ සියදිවි නසා ගැනීම දිනෙන් දින ඉහළ  යනු ලකුණු පෙනෙන්නට තිබේ. එලෙසම එය මේ වන විට තරුණ ප්‍රජාව අතර විලාසිතාවක් අකාරයෙන් ප්‍රචලිත වනු දැකිය හැකිය. කෙසේ නමුත් මිනිස් ජීවිතයක ඇති වටිනාකම අමිලය. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරිම මඟින් සියදිවි නසා ගැනීම් වළක්වා ගැනිමට   සියලු දෙනා කටයුතු කළ  යුතු ය. තම සමීපතමයෙක්  කිසියම් ගැටලුවකට මුහුණ දී සිටීනම් ඔහු සමඟ ගැවසී, ඔහුට සවන් දීම මඟින් මෙවැනි අවස්ථා මඟ හරවා ගත හැකිය. එලෙසම මාපියන්, වැඩිහිටියන් දරුවන් ගැන ද අවධානයෙන්  සිටිය යුතු ය. බටහිර රටවල සමාජ විද්‍යාඥයන්, මනෝ විද්‍යාඥයන් සියදිවි නසා ගැනීම් සම්බන්ධව අධ්‍යයනය කර තිබුණ ද ශ්‍රී ලංකාවේ ඒවැනි අධ්‍යනයන් අල්ප වීම මේ පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය අවම වීමට හේතුවකි.මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ සිය දිවි නසා ගැනිම් වැළැක්වීමට විශාල කාර්යන් රැසක් සිදු කරයි. ඒවා තවදුරටත් සාර්ථක කරගනිමින් මිනිස් ජීවිත රැක ගැනීමට අප සැම කටයුතු කළ  යුතු ය. එය පුණ්‍ය කර්මයක් ද වනු ඇත.

       

මධුෂ ලක්ෂාන්

මහජන සම්බන්ධතා හා මාධ්‍ය

කළමනාකරණය ගෞරව පළමු වසර,

ජනසන්නිවේදන අධ්‍යනාංශය,

කැලණිය විශ්වවිද්‍යාලය.