ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීෂා බඩනසිංහ

වර්තමානයේ ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීම නිසා ගැටලු රාශියක් ඇති වි තිබේ. මේ සම්බන්ධ නො දැනුවත්භාවය, නො සැලකිල්ල එයට ප්‍රධාන වශයෙන් හේතු විය හැකිය. ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීමේ අනතුරුදායක බව සහ අවධානයට ගත යුතු කරුණු මොනවාද යන්න සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීෂා බඩනසිංහ සමඟ  කළ සාකච්ඡාකි.

 ප්‍රතිජීවක ඖෂධ ලෙස හඳුන්වන්නේ මොනවා ද..?

ප්‍රතිජීවක ඖෂධ  එසේත් නැතිනම් Antibiotic  බැක්ටීරියා ආසාදනය සඳහා ප්‍රතිකර්ම ලෙස ලබා ගන්නා ඖෂධ වර්ගයක්.අපට ආසාදන හැදෙන්නෙ  බැක්ටීරියාවලින් පමණක් නොවෙයි බොහෝ වෙලාවට අපිට වයිරස්  මඟින් ආසාදන හැදෙනවා.ඒ වයිරස් ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ.අප ප්‍රතිජීවක ඖෂධ භාවිත කළ යුත්තේ   බැක්ටීරියා ආසාදන  සඳහා  පමණයි.

ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස ලබා ගැනීමෙන් අත්වන ප්‍රතිඵල කෙබඳු ද...?

සාමාන්‍යයෙන් ප්‍රතිජීවක ඖෂධ ලබාගත යුත්තේ වෛද්‍ය නියමයන්ට අනුව පමණයි. වෛද්‍යවරයෙක් අනුමත කරන වෙලාවල්වලට,දින ගණනට සහ නියමිත ප්‍රමාණයෙන් මෙම  ඖෂධ  ලබාගත යුතුයි.අනිසි ලෙස භාවිත කිරීම ලෙස හඳුන්වන්නේ කලින් ලබාගත්  හෝ වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් කෙනකුට දුන් ඖෂධ  වට්ටෝරුවක් භාවිතය, අනුමත කළ දිනවලට භාවිත නො කර සුව වූ  විට නවතා දැමීම, එසේත් නැතිනම් දවසට තුන්වරක්, එනම් පැය අටෙන් අටට ගැනීමට නියමිත ඖෂධ දවසට දෙවරක් පමණක් භාවිත කිරීම වැනි කරුණු අනිසි භාවිතාවට ඇතුලත්. ඊට අමතරව ඖෂධ සැල් වෙත ගොස් රෝග ලක්ෂණ පවසා වෛද්‍ය අනුමැතියෙන් තොරව  ඖෂධ ලබා ගැනීම අනිසි භාවිතාව ලෙස සැලකෙනවා.

සෙම්ප්‍රතිශ්‍යාව, සාමාන්‍ය වයිරස් උණ, බඩේ අමාරුව වැනි බොහෝ ආසාදන අපිට සෑදෙන්නේ වයිරස් මඟින්. මේවට ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමෙන් ප්‍රතිඵලයක් අත් වෙන්නේ නෑ.එනම් බැක්ටීරියා ආසාදනවලට පමණක් මේ ප්‍රතිජීවක ඖෂධ ක්‍රියාත්මක වීම නිසා. අනිසි ලෙස එසේත් නැතිනම් වැරදි ලෙස ප්‍රතිජීවක භාවිතය කිරීමෙන් මෙම ඖෂධ ලබාගන්නා රෝගියාට අතුරු ආබාධ ඇතිවෙන අතර එහිදී අනවශ්‍ය ලෙස මුදල් වියදම් වීමක්ද සිදුවෙනවා.එමෙන්ම රෝගයට නිසි පිළියම් ලැබීමක් ද මෙයින් සිදු වෙන්නේ නෑ. ඊට අමතරව අනිසි ලෙස භාවිතයෙන්  මුලු සමාජයට ම හානියක් සිදුවෙනවා. මෙය සිදුවන්නේ බැක්ටීරියා එම ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් ගොඩ නගා ගැනීම නිසායි.

බැක්ටීරියා මෙසේ ප්‍රතිරෝධයක් ගොඩනඟා ගැනීම තුළින් මෙවැනි ආසාදනවලට ඵලදායි ප්‍රතිඵලයක්  නොමැති වීම නිසා මුළු සමාජයටම අනතුරුදායක වෙන්න ඉඩ තියනවා. බොහෝ  ආසාදනවලට හේතු සාධක වන බැක්ටීරියා දැනට තිබෙන ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් ඇති කරගෙන තිබෙනවා.මේ නිසා බොහෝ ආසාදන සඳහා දැනට තියෙන ප්‍රතිජීවක ඖෂධවලින් සාර්ථක ප්‍රතිඵලයක් අත් වෙන්නේ නෑ.මෙම ඖෂධවලින් කාර්යක්ෂම  ප්‍රතිඵල අත් නොවීම නිසා බැක්ටීරියා ආසාදනවලින් මිනිසුන් විශාල ප්‍රමාණයක් මිය යනවා.

ඔබතුමිය පැවසූ ආකාරයට බැක්ටීරියා ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධයක් නිර්මාණය කරගන්නේ කොහොම ද .?

ප්‍රතිජීවක මුලින්ම සොයා ගත්තේ 1920 ගණන්වල ඇලෙක්සැන්ඩර් ප්‍රෙමින් විද්‍යාඥයා විසින්.මුලින්ම පෙනිසිලින් ප්‍රතිජීවක ඖෂධය සොයා ගත්තා. ඉන් පසුව විවිධ ප්‍රතිජීවක ඖෂධ විශාල ප්‍රමාණයක් සොයා ගත්තා.බැක්ටීරියා මුල් කාලයේ ප්‍රතිජීවක ඖෂධවලට සංවේදීතාවයක් දැක්වූවා.නමුත් පසුකාලීනව මේ ඖෂධ විශාල ප්‍රමාණයෙන් සහ අනිසි ලෙස භාවිත කිරීමෙන් බැක්ටීරියා ප්‍රතිරෝධයක් පසුකාලීනව ඇතිකර ගත්තා. සියළු  ජීවීන් මෙන්ම බැක්ටීරියා ද තමන්ගේ පැවැත්ම තහවුරු කිරීමට සහ තමන්ගේ වර්ගයා බෝ කිරීමට මෙම ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් නිර්මාණය කර ගන්නවා. එය සිදුවන්නේ බැක්ටීරියා ජාන වෙනස් කිරීම මගින් සහ සෛල  ව්‍යුහය වෙනස් කරගැනීම නිසා. මේ නිසා ප්‍රතිජීවක ඖෂධ බැක්ටීරියා සෛල  ඇතුලට ඇතුල් වීම වළක්වනවා. සමහර බැක්ටීරියා  එන්සයිම සාදා එමගින් ප්‍රතිජීවක ඖෂධ විනාශ කරනවා.මේ වෙනස් කරගත් ජාන විවිධ බැක්ටීරියා විශාල ප්‍රමාණයක් අතර ඉතා ඉක්මනින්  බෙදා ගැනීමේ හැකියාවක් ඔවුන්ට තිබෙනවා. එමනිසා බොහෝ බැක්ටීරියා මෙම ජාන ලබා ගෙන ඉක්මනින් ප්‍රතිරෝධයක් ඇති කර ගන්නවා.

මේ ප්‍රතිජීවක සොයා ගැනීමට පෙර මිනිසුන් මිලියන ගණනක්  බැක්ටීරියා ආසාදනවලින් මිය ගියා.බොහෝ ප්‍රතිජීවක ඖෂධ සොයාගැනීමෙන්  බැක්ටීරියා ආසාදන පාලනයට හැකියාවක්  අප සතු වුණා.නමුත් දැනට භාවිත කරන ප්‍රතිජීවකවලට බැක්ටීරියා ප්‍රතිරෝධයක් නිර්මාණය කර ගෙන තිබීම නිසා ඉදිරියේ දී නැවතත් ප්‍රතිජීවක ඖෂධ නොමැති කාලයක් උදාවිය හැකියි.මේ බැක්ටීරියා ප්‍රතිරෝධයක් නිර්මාණය කරගැනීම නිසා ඉදිරියේදී මේ ආසාදන පාලනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් ද..?

නොවැම්බර් මාසයේ World Anti-microbial Awareness Week යනුවෙන් මහජනතාව දැනුවත් කිරීමේ සතියක් තියෙනවා.සෑම අවුරුද්දකම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය නිර්දේශ කරනවා.මෙම සතිය තුළ මුළු ලෝකයම විවිධ  වැඩසටහන් නිර්මාණය කරනවා.ශ්‍රී ලංකාවේ ද පොදු ජනතාව සහ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ඇතිව සංවිධානය කරනවා..ලංකාවේත් නොවැම්බර්  මාසයේ 18- 24 යන දිනයන්හිදී එය සිදු කළා. මෙහිදී ජනමාධ්‍ය මැදිහත්වීමෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා.මේ සඳහා විවිධ දැන්වීම් නිර්මාණය වුණා වගේම විවිධ දැනුවත් කිරීමෙ වැඩසටහන් රැසක් සංවිධානය වීමත්  සිදුවුණා .

විශේෂයෙන්ම පසුගිය වසරේදී ලංකාවේ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වූවා.මෙහිදී මහජනතාව පහත සඳහන් කරුණු කෙරෙහි දැනුවත් විය යුතුයි.

01.වෛද්‍ය නිර්දේශයෙන් පමණක් ප්‍රතිජීවක ඖෂධ ලබා ගත යුතුයි .

02.ඒවා වෛද්‍යවරයා අනුමත කරන පරිදි නියමිත ප්‍රමාණයන්ගෙන් ඖෂධ භාවිත කළ යුතුයි.

03.නියමිත කාලසටහනකට අනුව ඖෂධ භාවිත කළ යුතුයි.

04.නිර්දේශ කළ දින ගණන සම්පූර්ණ වනතුරු ඖෂධ භාවිත කළ යුතුයි.

05.පරණ ඖෂධ  වට්ටෝරුවක් භාවිතා කර ඖෂධ සැලකින් ඖෂධ ලබා නොගත යුතුයි.

06.වෙනත් රෝගියකුට නිර්දේශ කළ ඖෂධ වට්ටෝරුවකින් ඖෂධ ලබා නො ගත යුතුයි.

07.විශේෂයෙන් ම ගොවිපළ සතුන් සඳහා ප්‍රතිජීවක භාවිත කිරීමේ දී නිර්දේශ මාත්‍රා පමණක් භාවිත කළ යුතු වෙනවා.

08.ප්‍රතිජීවක පරිසරයට මුදා හැරීම නො කළ යුතුයි.

ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමට ආරම්භ වීමත් සමඟ මිනිස් ආයු කාලය වැඩි වී තිබෙනවා..මෙය සත්‍යයක් ද..?

ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමට පෙර ආසාදනවලින් එනම් විශේෂයෙන් ම ටියුබර්නිලෝසිස් ක්ෂය රෝගය ආසාදනයෙන්  මිනිසුන් මිලියන ගාණක් මිය ගියා.නමුත් ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමෙන් පසු ආශ්චර්යයක් සිදු වූවා.එමගින් බැක්ටීරියා ආසාදන සඳහා 100% ක ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවූවා.මේ නිසා මිනිසුන් මිලියන ගණනකගේ ජීවිත ආරක්ෂා වුණා. නමුත් බැක්ටීරියා ප්‍රතිරෝධය නිසා ඉදිරියේදී බැක්ටීරියා ආසාදනවලින් මිනිසුන් මිය යාමට ඉඩ පවතිනවා .දැනට තිබෙන ඖෂධවලට බැක්ටීරියා  ප්‍රතිරෝධයක් ගොඩනගා ගැනීම  ඉතා වේගයෙන් සිදුවෙනවා..එයට සාපේක්ෂව අප  නව ඖෂධ සොයා ගන්නේ ඉතාමත් සෙමින්.

නව ප්‍රතිජීවක සොයා ගැනීම සහ පර්යේෂණ කිරීම සම්බන්ධයෙන් අප ඉන්නේ පිටුපසින්. ඉදිරියේ දී හොඳින් ක්‍රියාත්මක වන ඖෂධ නො මැතිනම් ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමට පෙර යුගයට හා සමාන යුගයට අපට මුහුණ දීමට සිදුවිය හැකියි.දැනට පවතින ප්‍රතිජීවක සාර්ථකව බැක්ටීරියා මර්දනය කිරීමට ඉදිරියේදී යොදාගත නො හැකි වෙන්න පුළුවන්.අද වන විට ප්‍රතිජීවක ඖෂධ මගින් මිනිස් ජීවිත මිලියන ගණන් බේරාගෙන තිබෙනවා.මෙය මිනිස් ආයුෂ ඉතාමත් වැඩි කර තිබෙන ඖෂධ වර්ගයක්.නමුත් මිනිසුන්ගේ අනිසි භාවිතය නිසා ඒ ඖෂධවල තිබෙන ප්‍රතිඵලය  සම්පූර්ණයෙන්ම නැති වී යාමට ඉඩ පවතිනවා.යම්කිසි කාලයක් වන විට දැනට තිබෙන සියලුම ඖෂධවල කාර්යක්ෂමතාව සම්පූර්ණයෙන්ම අඩුවිය හැකියි.

තිළිණි නිසංසලා