මිනිසා වැඩෙන මුල් අවධිය ළමයා ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ අපි හඳුනාගනිමු. ළමයින්ගේ ලෝකය සුන්දරය. සැහැල්ලු ය. දුවමින්, පනිමින්, කෙළිදෙළින් හා සතුටින් ගෙවු ළමා ලෝකය කොවිඩ්-19 වසංගතය හමුවේ සම්පූර්ණයෙන්ම කණපිට හැරවුණි. මිතුරු මිතුරියන් හා ගුරුවරුන් සමඟ සතුටින් ගිය පාසල් ගමන ද මුළුමනින්ම වෙනස් කර නිවෙසටම සිමා වුණි. කොවිඩ්-19 වසංගතය සමස්ත සමාජයම වෙනස් ජීවන රටාවකට යොමු කළ අතර එය එකවර හදිසියේම ඇති වූ තත්වයක් නිසා ඉන් සියලු දෙනාටම විවිධ අයුරින් බලපෑම් ඇති වුණි. මෙහිදී ළමයින්ගේ අධ්‍යාපනය නිවසටම සීමා වූවා පමණක් නොව එය පාසලේ ඉගෙන ගන්නා ක්‍රමයෙන් ඔබ්බට ගොස් අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයකට මාරු විණි. මෙකී මාර්ගගත අධ්‍යාපනයට (Online Education) හුරු වීම ළමා මනසට බලපාන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණය. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාර්යය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය පවිත්‍රා ගොඩමුන්න මහත්මිය සමඟ සිදු කළ පිළිසඳර ඇසුරින් මෙම ලිපිය නිර්මාණය විණි.

වෛද්‍යතුමනි, මාර්ගත අධ්‍යාපනය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද? 

පාසලේ මෙන් නොව පරිගණකය, ජංගම දුරකථනය, ලැප්ටොප් එක හෝ ටැබ් පරිගණකය ඇසුරෙන් අන්තර්ජාලය හරහා සූම් (zoom), මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Microsoft) හෝ වෙනත් මෘදුකාංග ඔස්සේ මාර්ගගතව අධ්‍යාපනයේ නිරත වීම මාර්ගගත අධ්‍යාපනයේදී සිදු වේ. මෙහිදී ගුරුවරයා හා ළමයා අතර සම්බන්ධය දුරස්ථ වන අතර අන්තර්ජාලයට පිවිසෙන උපකරණ ආධාරයෙන් ඉගෙනුම් ඉගැන්වීම් අත්දැකිම් බෙදාගන්නවා. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ලෝකයේ අලුත් ක්‍රමයක් නොවුණත් කොවිඩ්-19 වසංගතය හමුවේ සමාජය තුළ භාවිතය වඩා ප්‍රචලිත වුණා. 

මාර්ගගත ක්‍රමය අධ්‍යාපනයේ විවිධ ගැටලු ඇති කරන බවට සමාජයේ නොයෙක් කථිකා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස?

ඔව්, මාර්ගගත ක්‍රමය හරහා අධ්‍යාපනය ලබා දීම නිසා ළමා මනසට හොද හා නරක යන දෙපාර්ශවයෙන්ම බලපෑම් ඇති වෙනවා.  ශ්‍රී ලංකාවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා දීම ඇරඹීමත් සමඟ ළමයින්ට  අවශ්‍ය පරිගණක, ලැප්ටොප්  යනාදි උපකරණ නිසිපරිදි නොමැති වීම නිසාත්, අවශ්‍ය අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට ඇති ආර්ථික අපහසුකම් නිසාත් සමාජය තුළ නොයෙකුත් ගැටලු පැන නැගිලා තියෙනවා. ළමුන් අතර විවිධාකාරයේ අසමානතා නිර්මාණය වීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම එක් හේතුවක්. එය ළමුන් තුළ මානසික පීඩනය හා ආතතිය ඇති විමට ද තුඩු දෙනව. එමෙන්ම අනෙක් අතට බොහෝ ගුරුවරුන්ටද මාර්ගගත අධ්‍යාපන ක්‍රමය අලුත් අත්දැකීමක්.  නිසි පුහුණුවකින් තොරව පෙර පැවැති ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමයෙන් මාර්ගගත ක්‍රමයට මාරු වීමද, එකවරම ඉගැන්වීමේ ක්‍රමය වෙනස් වීමද ඔවුන් තුළ යම් යම් ගැටලු නිර්මාණය විමට හේතුවක්. එමෙන්ම රට තුළ සමස්ත මාර්ගගත අධ්‍යාපනය සඳහා අවශ්‍ය අන්තර්ජාලය පහසුකම්ද සමබරව නොතිබීම මාර්ගගත අධ්‍යාපනයේ අයහපත් බලපෑම වර්ධනය වීමට හේතු වූ තවත් ප්‍රයෝගික ගැටලුවක්. මෙලෙස තාක්ෂණික පහසුකම් නොමැතිකම හා සාක්ෂරතා ගැටලු  ශ්‍රී ලංකික සමාජයේ ළමුන් තුළ මානසික බලපෑම් නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් බලපෑවා. අධ්‍යාපනය යනු පැය කිහිපයක් තුළ විෂය මාලාවක් ඉගැන්වීම ම පමණක් නොව ළමයෙකු නිරෝගීව වැඩීමට අවශ්‍ය පෞරුෂ සංවර්ධනය, ක්‍රීඩා කුසලතා ඔප් නැංවීම, නිර්මාණශීලී චින්තනය, සමාජානුයෝජනය, සමාජ අන්තර්ක්‍රියා වර්ධනය යනාදී සියල්ලම එකිනෙකට ඒකාබද්ධව සිදුවන ක්‍රියාවලියක්. මාර්ගගත අධ්‍යාපනය නිසා ළමුන් තුළ පෙර මෙන් අවධානය පාඩම් කෙරෙහි රඳවා තබා ගැනීමට අසීරු වීම, දේශන තුළ ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙස නොහැසිරීම, අභිප්‍රේරණය නොතිබීම වැනි කායික හා මානසික ගැටලුද ඇති වෙනව. ළමයෙකුගේ නිරෝගී වර්ධනය සඳහා අත්‍යවශ්‍ය අංගයක් වනුයේ මනෝ සමාජීය සංවර්ධනයයි. ඒ අනුව ඊට අවශ්‍ය වන සමාජ අන්තර්ක්‍රියා සඳහා මාර්ගගත අධ්‍යාපනය තුළින් ලැබෙන ඉඩහසර අවම වීමද ළමුන්ගේ මනෝ සමාජීය සංවර්ධනයට හා පෞරුෂ වර්ධනය අඩු කිරීමට දැඩිව බලපෑම් කරනවා.  

 

වෛද්‍යතුමනි, මෙවැනි ප්‍රායෝගික හා තාක්ෂණික ගැටලු නිසා ළමුන් තුළ මානසික රෝග ඇති වීම සමාජයේ බහුලව දැකිය හැකි නව ප්‍රවණතාවයක් නේද? 

මාර්ගගත ක්‍රමයේ පවර්හ්නා විවිධ ප්‍රායෝගික හා තාක්ෂණික ගැටලු නිසා සමාජය තුළ විශාදය, කාංසාව, ආතතිය වැනි රෝගද, සිය දිවි නසා ගැනීම් වැනි භායනක තත්වද ඇති වී තිබෙන බව සායනික ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ වර්ධනය මඟින් මනාව පැහැදිලි වෙනවා. නිසි වයසේදී පෙර පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වීම නිසාත්, මාර්ගගත අධ්‍යාපනය නිසාත් පූර්ව ළමා වියේ පසුවන දරුවන් තුළ සමාජගත වීමේ ගැටලු නිර්මාණය වෙනවා. වර්තමානයේ පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපන ලබන ළමුන් තුළ මාර්ගගත අධ්‍යාපනය නිසා සමාජ අන්තර්ක්‍රියා අඩු වීම, සම වයස් කණ්ඩායම්වල ඇසුර නැති වීම මෙවැනි මානසික රෝග ඇති වීමට දැඩිව බලපා තිබෙනවා. නිවෙස් තුළටම වී සිටීම නිසා තමන්ගේ යහළුවන් සමඟ පෙර මෙන් නිදහසේ කතා කිරීමට නොහැකි වීම, නිවසේ සිට වෘත්තීය රාජකාරි කිරීමට සිදු වීම නිසා දෙමාපියන්ද කාර්යබහුල වී තිබීම හා ඉන් දරුවන් කෙරෙහි අවධානය අඩු වීම, ළමුන්ට සෙල්ලම් කීරීමට; එළියට ගොස් පරිසරය නිදහසේ විඳීමට නොහැකි වීම නිසා ඔවුන්ට තම පීඩනයන් ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබීම ද විශාදය වැනි රෝග ළමුන් තුළ නිර්මාණය වීමට බලපානවා. එමෙන්ම කොවිඩ් වසංගතය නිසා එළියට යාමට, අනෙක් පුද්ගලයින් සමඟ ඇසුරට බියක් ඇති වීම, රාත්‍රියට නපුරු හීන පෙනීම, රාත්‍රියට නින්ද නොයාම හෝ නින්ද අධික ලෙස යාම, අනාගත බලාපොරොත්තු නිසි පරිදි ඉෂ්ට නොවේ යැයි ඇති වන බිය, බලාපොරොත්තු කඩ වීම වැනි කාරණා නිසා කාංසාව වැනි රෝග තත්ත්වයන්ට ද මඟ පෑදේ. මාර්ගගත අධ්‍යාපනය හේතුවෙන් වෙනදාට වඩා ළමුන් තුළ අන්තර්ජාල උපකරණ සඳහා ඇබ්බැහිය ඇති වීම, පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීම, මෙම උපකරවල භාවිතය පිළිබඳ දෙමාපියන්ගේ සාක්ෂරතාවය මඳ බව, ඔන්ලයින් මාධ්‍යය භාවිත නව පරම්පරාව හා වැඩිහිටි පරම්පරාව අතර ඇති වයස් පරතරය වැඩි වීම, අන්තර්ජාල සාක්ෂරතාවය පිළිබඳ දරුවන්ට නිසි උපදේශනය නොලැබීම යනාදි කාරණා නිසා සමාජයේ සයිබර් අවකාශය හරහා ඇතිවන හිරිහැර, අපයෝජනය, අක්‍රමිකතා හා කම්පන තත්ත්ව බහුලව ඇති වී තිබෙනවා. එමෙන්ම එක දිගට පරිගණකය ඉදිරිපිට වාඩි වී සිටීම නිසා ශරීරය මහත් වීම, ඇස්වල විවිධ ආබාධ ඇති වීම, කොඳු නාරටියේ ආබාධ ඇති වීම, නිතරම ආහාර ගැනීමට පෙළඹීම, අක්‍රීය චාර්යාවන් හා උදාසීන ගති ඇති වීම යනාදී කායික ආබාධ ද ඇතිවීම හඳුනා ගත හැකිය.  මේ තත්ත්වය ළමුන්ට පමණක් නොව ගුරුවරුන්ටද බලපානවා. එමෙන්ම නිතරම දඟ වැඩ කරන, පාසලේදීත් අනෙක් ළමුන්ට හිරිහැර කරන අධි ක්‍රියාශීලි දරුවන් මාර්ගගත ක්‍රමය හරහාද විවිධ උපක්‍රම යොදා තම පීඩනය පිට කරන අයුරු හඳුනා ගත හැකියි.  

පවතින කොවිඩ් වසංගතය හමුවේ විකල්පයක් ලෙස මාර්ගගත අධ්‍යාපනය යොමු වීමෙන් නොයෙක් ගැටලු ඇති වූවත් එම ගැටලු අවම කරගන්නා ක්‍රම තිබෙනවා නේද?

සැබැවින්ම මෙවැනි නොයෙකුත් අයහපත් බලපෑම් මාර්ගගත ක්‍රමය නිසා ළමුන් තුළ නිර්මාණය වුවද ඒවා අවම කරගත හැකි පිළියම්ද තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි අයහපත් ක්‍රියාවන් හා රෝගවලට ළමුන් ගොදුරු වීම නවතාලීමට දෙමාපියන් මැදිහත්වී පිළියම් යොදන්න පුළුවන්. එහිදී දෙමාපියන් අන්තර්ජාල සක්ෂරතාවය ලබා ගැනීම, ළමුන්ගේ චර්යාවේ සිදුවෙන පැහැදිලි වෙනස්කම් පිළිබඳ නිරන්තර අවධානයෙන් හා විමසිල්ලෙන් සිටීම, මාර්ගගත ක්‍රමයේ පවත්නා ආරක්ෂාව ගැන හා අනාරක්ෂිත බව ගැන අවබෝධය ලබා ගැනීම, ළමුන්ට නිදහසේ කැමැති ඕනෑම වැඩක් සිදු කිරීමට කාලය ලබා දීම, අනවශ්‍ය ලෙස පාඩම් වැඩ කිරීමට බල නොකිරීම, ගෙදර දොර ප්‍රායෝගික වැඩකටයුතු පැවරීම යනාදී ක්‍රම භාවිත කරන්න ඌනේ. එමෙන්ම දෙමාපියන්ද දරුවන්ට කාලසටහන අනුව දෛනික වැඩකටයුතු පෙළගස්වා දීම වැදගත්. ඉන් නොනැවතී පාසල් පන්ති කාමරයේ මෙන් ගෙදරට අඳින ඇඳුමින් නොව පාසල් නිළ ඇඳුමින්ම ළමුන්ව ඔන්ලයින් දේශන සඳහා සහභාගී කිරීමෙන් ඔවුන්ට මෙම තත්වය තවදුරටත් සාමාන්‍යකරණය කරන්න පුළුවන්. අනෙක් අතට ගුරුවරුන්ටද මේ සඳහා සැලකිය යුතු වගකීමක් පැවරෙනවා. මාර්ගගත අධ්‍යාපනය තුළ සාමාන්‍ය දේශනයක්  කරනවා මෙන් තොරව විවිධ නිර්මාණශීලී විධි භාවිත කර, කණ්ඩායම් ක්‍රියාකරකම් සඳහා වැඩි ඉඩ ලබා දෙමින්, නිරන්තරයෙන් ළමුන් ගැන සොයා බලමින්, ඔවුන්ගේ සංවිධානාත්මක හැකියාව වර්ධනය වන ආකාරයේ ක්‍රියාකරම්වල යෙදවීම කාලෝචිත උපක්‍රමයි. සමාජ ව්‍යාපෘති සිදු කිරීමට ළමුන් උනන්දු කිරීම තුළින් ඔවුන්ගේ පෞරුෂත්ව කුසලතා වර්ධනය කරගත හැකි අතර කුලෑටි ස්වභාවය අඩු කර සක්‍රිය, ක්‍රියාශීලී බව ඇති කරන්න පුළුවන්. එමෙන්ම ළමුන්ගේ කාලසටහන තුළ එක කාලපරිච්ඡේදයක් හෝ ඔවුන්ගේ දක්ෂතා එළි දැක්වීමට, තමන් කැමැති දේවල් කතා කිරීමට, ගීතයක් ගායනා කිරීමට යනාදී වශයෙන් ඉඩ ලබා දිය යුතුයි. නිරන්තරයෙන් සමාජ උත්තේජන ක්‍රියාකාරම් සිදු කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දිය යුතුයි. අනෙක් විශේෂ කරුණ නම් ඔන්ලයින් අධ්‍යාපනයේදී එක දිගට පැය කීපයක් පරිගණක තිරය ඉදිරිපිට සිට ඉගෙන ගැනීම ප්‍රතිපල හීන අසීරු කාර්යයක් නිසා කෙටි වේලාවන් භාවිතා කර හෝ දිගු දේශන කඩින් කඩ පැවැත්වීම වඩාත් ප්‍රායෝගික වෙනවා. 

වෛද්‍යතුමනි, ඕනම දෙයක නරක පැතිකඩ වගේම හොඳ පැත්තකුත් තියෙනවා. ඒවගේ මාර්ගගත ක්‍රමයේත් හොඳ පැත්ත අපි ප්‍රයෝනයට ගත යුතුයි නේද? 

ඔව්, අනිවාර්යෙන්ම. මාර්ගගත අධ්‍යාපනයෙන් ළමයින්ට වන අයහපත් බලපෑම පමණක් නොව එහි යහපත් පැතිකඩද උපරිමව ප්‍රයෝජනයට ගැනීම අපගේ වගකීමක්. මාර්ගගත අධ්‍යාපනය යනු ළමුන්ගේ ස්වාධීන අධ්‍යාපන හැකියාව වර්ධනය වන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ඉහළ නංවාගැනීමට තිබෙන සුවිශේෂී අවස්ථාවක්. එබැවින් ගුරුවරයා කේන්ද්‍රකොටගත් අධ්‍යාපනයෙන් බැහැරව ළමයා මූලික වී අධ්‍යාපනය කරන විට පෙර තිබූ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩුද මඟහරවා ගත හැකියි. ඒ අනුව මාර්ගගත අධ්‍යාපනයෙන් ළමා මනසට වන බලපෑම මනාව වටහා ගෙන එහි නරක දෑ අවම කර හොඳ ප්‍රතිපල ලබා ගැනීමට ළමුන්ද, ඒවා නිසි පරිදි අත් කර දීමට දෙමාපියන් හා ගුරුවරුන්ද කැපවිය යුතුයි. එමෙන්ම ඊට අදාළ නිතී රීති කාලෝචිතව සකස් කිරීමට රජය ඇතුළු බලධාරින්ද නිසි පියවර ගත යුතුයි.

 

අමානි රූපසිංහ

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය