කොවිඩ් 19 වසංගත තත්ත්වය ගෝලීය වශයෙන් සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටින ප්‍රබලතම අභියෝගයකි. මේ පිළිබඳව නිකුත් වන විවිධ පර්යේෂණ වාර්තාවලට අනුව පෙනී යන්නේ කොරෝනා වෛරසය එහි මූලික ස්වරූපයෙන් වෙනස් වී විවිධ ප්‍රභේදයන් ඔස්සේ සීඝ්‍රයෙන් වර්ධනය වන ස්වභාවයකි. කොරෝනා ආසාදනය වන අවදානම් කණ්ඩායම් අතර ගර්භණී කාන්තාවන් විශේෂයෙන් ඇතුළත් වේ. මෙවැනි අවදානම් තත්ත්වයක් හමුවේ මව සහ දරුවා යන දෙදෙනාගේම ජීවිත ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. මේ නිසා ගර්භණී කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පවත්වා ගැනීම උදෙසා නිවැරදි මාර්ගෝපදේශයක් ලබා දීමත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු සමාජගත කිරීමත් අරමුණු කර ගනිමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය රසික හේරත් මහතා සමග සිදු කළ සංවාදයක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි. 

 

(1) වෛද්‍යතුමනි, ගර්භණී මවකට වෛරසය ආසාදනය වුණොත් ඇයට මුහුණදීමට සිදු වන විශේෂ අවදානම් තත්ත්වයක් තියෙනව ද? 

 

බොහෝ දුරට සුවිශේෂී අවදානම් තත්ත්වයක් තියෙනවා. කොවිඩ් රෝගය නිසා මවට සිදුවිය හැකි විශේෂ අවධානම් තත්වයන් මොකක්ද කියන එක ගැන කල් තියා අවබෝධ කරගැනීම ඉතාම වැදගත්. මුලින් අපි විශ්වාස කළා කොවිඩ් රෝගය නිසා ගර්භණීත්වයට කිසිදු අනතුරක් නැහැ කියලා. නමුත් අලුතින් ලැබෙන තොරතුරු අනුව අපි දැන් විශ්වාස කරනවා කොවිඩ් රෝගී තත්ත්වය නිසා ගර්භණී කාලයේ දී ඇතිවන යම් යම් අනතුරු සහ සංකූලතාවන් වල යම් වැඩිවීමක් තියෙනවා කියලා.

 

(2) ඒ අනතුරු හා සංකූලතා පිළිබඳව වැඩිදුර පැහැදිලි කරන්න පුළුවන් ද? 

 

කොවිඩ් රෝගයේ මූලික රෝග ලක්ෂණ විදිහට හඳුනාගෙන තියෙන්නෙ හුස්ම ගැනීමේ අපහසුතා, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වගේ රෝගී තත්ත්වයන්. ගර්භණී නොවන අයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වුණොත් අපි දන්නවා පෙනහළු ආශ්‍රිත නිව්මෝනියා තත්ත්වයන් ඇතිවෙනවා. ගර්භණී මවකට මේ වෛරසය ආසාදනය වුණොත් එම ආසාදන තත්ත්වයන්ගේ යම්කිසි වැඩිවීමක් පෙන්නුම් කරනවා. 

විශේෂයෙන්ම අධික රුධිර පීඩනය (PIH) ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අඩුබර දරුවන් ලැබීම, අඩු මාසයෙන් දරුවන් ලැබීම (Preter Labour) වගේම මළ දරු උපත් (IVD’s) නැත්නම් ගර්භණීභාවය ඇතුළත දී දරුවන් නැති වීම වගේ අවදානමක් උද්ගත වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මවගේ සෞඛ්‍යය හා ශාරීරික තත්ත්වය අනුව තදබල විදියට කොවිඩ් රෝගය වැළඳිලා ජීවිත අනතුරු වීමේ අවදානමක් ද තියෙනවා.

 

(3) වෛද්‍යතුමනි, ගර්භණී මවක් සිටින නිවසක වෙසෙන පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළොත් ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග මොනවාද?

 

අපිට නිතර අහන්න ලැබෙන දෙයක් තමයි ගර්භණී මාතාවක් සිටින ගෙදරක සිටින පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් රෝග වැළඳුණු අවස්ථාවන්. ඔවුන්ව රැක බලා ගැනීමේදී අපි ඇත්තෙන්ම විශේෂ ක්‍රියාදාමයක කටයුතු කරන්නේ නැහැ. ගර්භණී මව සාමාන්‍ය විදිහට නිරෝධානය කරලා නිවස තුළම රැඳී ඉන්න කියලා අපි උපදෙස් දෙනවා. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ (PHI) හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ (MOH) උපදෙස් පරිදි PCR පරීක්ෂණයක් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. යම්කිසි අවස්ථාවක හුස්ම ගැනීමේ අපහසුතාවයක්, කැස්ස, උණ වගේ රෝග ලක්ෂණ මතු වුණොත් ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය මගින් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා (MOH) මගින් ළඟම රෝහලට සම්බන්ධ වී ප්‍රතිකාර ලබාගන්න කියලා තමයි අපි උපදෙස් දීලා තියෙන්නෙ. 

ඊට අමතරව අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන ගර්භණී මවකට හෝ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් රෝගය වැළඳුණොත් එම මවට සිදුවන සමාජීය අපහසුතා ගැන. මව රෝහලකට රැගෙන ආවම ගෙදර අය නිරෝධනය වෙනවා. එතකොට ඒ අම්මව බලන්න රෝහලට එන්න කෙනෙක් නැහැ. ඒ වගේම දරු ප්‍රසූතියකට රෝහලකට පැමිණි මවක් නම් ඇය ආපහු නිවසට ගියාම දරුවා හා මව රැකබලා ගැනීමේ ගැටලු මතු වෙනවා. මේ තත්ත්වය යටතේ මතු වෙන්න ඉඩ තියෙන මේ වගේ බරපතළ සෞඛ්‍ය ගැටලු වගේම සමාජයීය ගැටලු නිසා රෝගය නොවැළඳෙන සේ ආරක්ෂා වීමට කටයුතු කිරීම ඉතාම වැදගත්.

 

(4) මෙම වෛරසයෙන් ආරක්‍ෂා වීමට විශේෂයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද?

 

මේ සම්බන්ධව අපි විශේෂ අංශ කිහිපයක් ඔස්සේ කතා කරන්න ඕන. ගර්භණී මවකට කොරෝනා ආසාධනය වීම වළක්වා ගන්නේ කොහොමද කියන එක තමයි අපේ පළවෙනි අරමුණ වෙන්න ඕන. ඒ සම්බන්ධව කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියෙනවා. පළමු සහ ඉතාම වැදගත් දේ තමයි එදිනෙදා සෞඛ්‍ය පුරුදු පිළිපැදීම. ඒ කියන්නෙ අපි කාලයක් පුරා කතා කරපු නිතර සබන් යොදා අත් සේදීම, මුඛ ආවරණ නිවැරදිව පැළඳීම සහ මීටරයක් දුරින් ආශ්‍රය කිරීම වගේ දේවල්වලින් මෙම වෛරසය ආසාදනය වීම යම් මට්ටමකට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අත්‍යාවශ්‍ය නොවන කිසිම අවස්ථාවක ගමන් බිමන් නොයෑමත් අනවශ්‍ය පුද්ගල සම්බන්ධකම් වළක්වා ගැනීමත් ඉතාම වැදගත්.

ඒ වගේම අනෙක් වැදගත් දේ තමයි ගර්භණී මව්වරුන් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්න එක. ශ්‍රී ලංකාව පුරාම ගර්භණී මව්වරුන්ට කෝවිඩ් එන්නත ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ප්‍රසව හා නාරිවේද විශේෂඥවරුන්ගේ සංසදය විසින් සියලුම ගර්භණී මව්වරුන්ට කොවිඩ් සම්බන්ධ එන්නත් ලබා ගන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ භාවිතා වන එන්නත්වලින් බොහොමයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරලා තියෙනවා ගර්භණී කාලයේ පාවිච්චි කරන්න කියලා. ඒක නිසා කිසිදු පැකිලීමකින් තොරව ඒවා ලබා ගන්න පුළුවන්. හුඟක් මව්වරුන් තුළ බියක් තියෙනවා මේ ප්‍රතිශක්තීකරණ එන්නත නිසා බබාට හානියක් වෙයි කියලා. දැනට තියෙන විද්‍යාත්මක තොරතුරුවලට අනුව ස්ථිරව ප්‍රකාශ කරන්න පුළුවන් එහෙම හානියක් වෙන්නෙ නැහැ කියලා. ඒක නිසා ගර්භණී කාලයේ ඕනෑම අවස්ථාවක කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්න කියලයි අපි නිර්දේශ කරන්නේ.

 

ශෂී ගමගේ 

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය