Image
හැමෝම කියන මිග්‍රේන් (Migraine) ගැන පුංචි දැනුවත් කිරීමක් තමයි මේ,
සමහර අයට මේ හිසරදය කොච්චර වේදනාවක්ද කියනව නම් මනුස්සයෙක් පිහියකින් ඔලුවට අනිනව වගේ දැනෙනවා කියලා කියයි. කවුරු හරි ඔලුවට පොල්ලකින් ගහලා වගේ දැනෙනවා කියලා කියයි. ඒක දන්නේ හැදුන කෙනාම තමයි ඉතින්……….
මේක ටිකක් සුලබ තත්වයේ බොහෝදෙනකු පීඩා විඳින රෝගයක්. ඒ හිසරදය එන්නෙ නිකන්ම නෙවෙයි. ඔක්කාරය, වමනය සහ ආලෝකය දෙස බැලීමට අපහසු වීම යන ලක්ෂණත් එක්ක.මෙම රෝගයට ගොදුරුවන්නේ වැඩි පිරිසක් කාන්තාවන්ය. ඇතැම් අයට පරම්පරා රෝගයක් ලෙසද මෙය ඇතිවනවා.
මිග්‍රේන් හෙවත් ඉරුවාරදය කෙනකුට හිරුඑළිය, අධික ශබ්දය, සමහර ආහාර පාන නිසා මතුවනවා. ඒ නිසා ඔවුන් තමන්ට රෝගය මතුවෙන හේතු බලා එයින් වැළකීම ඉතාමත් සුදුසුය. මේ හැර ඉරුවාරදයට පොදුවේ අහිතකර ආහාරපාන, ඇවතුම් පැවතුම් නැත. ඒවා එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. එසේම මෙම රෝගයේ තවත් විශේෂත්වයක් නම් නිතර හිසරදය සෑදෙන අයට සෙම්ප්‍රතිශ්‍යාව  වැළඳෙන්නේ ඉතාමත් කලාතුරකින් වීමයි. මොළයේ ඇති (Cerebral artery) එහෙමත් නැත්නම් ධමනි විස්තාරනය වීමත්, හැකිලීමත් නිසා ඇති විය හැකි රෝගී තත්වයකි.
Image
මිග්‍රේන් හිසරදය සෑදුණු විට ආලෝකය බැලීම අපහසුය. බොහෝදෙනාට ශබ්දයට නිරාවරණය වීම ඉතාම අපහසුවනවා. මේ නිසා මිග්‍රේන් රෝගයෙන් පෙලෙන අය ආලෝකයට නිරාවරණය නොවී කාමරයකට වී දොර ජනෙල් වසා පැය ගණන් හෝ දිනක් හෝ දෙකක් නිදා ගන්නා අවස්ථා තිබෙනවා. මූලික ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස අධික හිසරදයත් සමඟ වමනය හෝ ඔක්කාරය ඇති වන අතර ඇතැම් අයෙකුට හිස කැක්කුම එක පැත්තකින් දැඩිව දැනිය හැකි අතර සමහර අයට හිස දෙපසින්ම වේදනාව හටගනී. මෙම රෝගයේ තවත් විශේෂත්වයක් වමනය ගිය පසු හිසරදය සුව වීමයි.
 
හිසරදය මේ පහළ හේතූන් නිසා දරුණු වෙන්න පුලුවන්.
  • කැෆේන් අඩංගු ආහාර
  • හෝමෝන වෙනස් වීම (කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ වෙනස් වීම් නිසා)
  • නින්ද යාමේ වෙනස් වීම
  • ආහාර වේල් අතපසු වීම
  • දුම් බීම හෝ දුම ආඝ්‍රහණය වීම
 
Image

ඒ වගේම පහත සඳහන් ආහාරද හිසරදය තව තවත් වැඩිකරන්න හේතු වෙනවා.

  • සකසන ලද ආහාර, අච්චාරු, පැසීමට බදුන් කල ආහාර, රසකාරක යෙදූ ආහාර (MSG අඩංගු ආහාර)
  • බේක් කරන ලද ආහාර, චොකලට්, රටකජු, කජු, බටර් වැනි කිරි නිශ්පාදන
  • රතු වයින්, චීස්, දුම් ගසන ලද මාලු, කුකුල් මස් පීකුදු, බෝංචි
  • පළතුරු(අලිපේර,කෙසෙල්,පැඟුරි කුලයේ පළතුරු)
  • නයුට්‍රේට අඩංගු මස් වර්ග(බේකන්,හොට් ඩෝග්ස්,සලාමි)
  • ළූණු

රෝග ලක්ෂණ

  • පෙනීමට බාධා ඇති වීම(මෙය මිග්‍රේන්වල පූර්ව අනතුරු හැඟවීමකි)
  • පොඩි තිත් වැනි දෙයක් ඇස මත ඇති සේ දැනීම
  • බොඳ වී පෙනීම
  • ඇස් වල වේදනාව
  • තාරකා වැනි හෝ සිග්සැග් ආකාරයේ ඉරි පෙනීම
  • කලුවර වීම
  • මෙය අඩු වේදනාවක සිට ඉතා දරුණු වේදනාවක් දක්වා වැඩි විය හැකිය.
  • සාමාන්‍යයෙන් පැය 6-48ක් අතර කාලයක් පැවතිය හැකිය.

 

මෙම හිසරදය සමඟ පහත ලක්ෂණ ඇති විය හැකිය.

  • සීතල
  • මූත්‍රා කිරීමේ වාර ගණන වැඩි වීම
  • අලස බව
  • ආහාර අරුචිය
  • ඔක්කාරය සමඟ වමනය
  • අකුරු කියවීමට අපහසු වීම
  • දහඩිය දැමීම
  • ආලෝකයට හෝ ශබ්දයට සංවේදී වීම
Image

රෝගය නිසි ලෙස හඳුනා ගැනීමත්  නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ මගින් මෙන්ම ජීවන රටාවේ ඇති කරගත යුතු නිවැරදි පුරුදු මගින් මිග්‍රේන් හෙවත් ඉරුවාරදය සාර්ථකව පාලනය කරගැනීමට හැකියාව පවතී .

 

මූලාශ්‍ර:

Mayo Clinic Family Health Book-5th Edition

Managing Your Migraine-Katy Munro

 

https://www.nhs.uk/conditions/migraine/

https://www.healthline.com/health/migraine

https://medlineplus.gov/migraine.html

 

සටහන:

ලස්නි නෙලුනිකා විජයවර්ධන

මහජන සම්බන්ධතා හා මාධ්‍ය  කළමනාකරණය (විශේෂවේදි දෙවන වසර)

ජනසන්නිවේදන අධ්‍යනාංශය

කැළණිය විශ්වවිද්‍යාලය