Image
මිනිසා වානර පරිණාමයේ ප්‍රතිඵලයක් බැව් නොරහසකි. මානසික දියුණුවත් සමඟ දළ සිත යටපත් කර ගන්නා ඔහු සුපහන් සිතකට ඉඩහසර වෙන්කරයි . ළදරු අවධිය, ළමා අවධිය පසුකරලමින් තරුණ අවධියට පා තබන සාමාන්‍ය මනුෂ්‍ය ජීවන චක්‍රය තුළ, තරුණයා සහ තරුණිය යනු සුවිශේෂී සංදිස්ථානයකි. නිරන්තරයෙන් නවමු අත්දැකීම් ලබන්නට රුචිකත්වයක් දක්වන මොවුහු වරදට පෙළඹීමේ සම්භාවිතාවය ඉතා ඉහළය. සිත, කය, වචනය යන තිදොරෙහි  නොහික්මුණු ස්වභාවය ඊට හේතුවයි.
මිනිසාට ඇති දියුණු සිතීමේ හැකියාව නිසාවෙන් ඔවුන් තිරිසන් සතුන්ගෙන් වෙනස්වෙයි. අතීතයේ දී නිර්වස්ත්‍රව සිටි වානරයා තම සිරුරු ආවරණය කරගන්නේත්, නායකයෙකුගේ මඟපෙන්වීම යටතේ ගෝත්‍රගත වන්නේත්, ක්‍රමයෙන් වාග්කෝෂය වැඩිදියුණු කරගන්නේත් එහෙයිනි. සිතීමේ හැකියාව දියුණුවත්ම ලැජ්ජාව සහ බිය හටගන්නා අතර එවිට අවිචාරවත් හැසිරීම්, හැඟීම් සහ ආශාවන් පාලනය කර ගැනීමට පෙළ‍ඹේ. සංවරශීලී ගති පැවතුම් ඇති කර ගනී. එනම් සිත,කය, වචනය යන තිදොරෙහි හික්මුණු බවයි. නමුදු තාරුණ්‍යය පහසුවෙන් දමනය කළ නොහැකි ය . එබැවින් සංවරකම තරුණ ජීවත හා ගැලපීම අර්බුදකාරී කරුණකි. එහිදී තරුණයා ද තම වගකීම් වටහා ගනිම්න්  මනා වූ සංඥමයකින් හා අවබෝධයකින් කටයුතු කළ යුතු ය. එවිට තරුණ දිවියේ වටිනාකම තවදුරටක් වර්ධනය කර ගත හැක.
මෙහි පළමු අවස්ථාව වන්නේ  සිත සංසුන් කර ගැනීමයි. සිත යනු කුමක් ද? බුදුදහමට අනුව නිශ්චිත සිරුරක් නොමැතිව සියලු තැන්හි සැරිසරන්න කි. තිදොරෙහි සංසුන් කරගැනීමට වඩාත්ම අසීරු අංගය වන්නේ ද සිතයි. මක්නිසාදයත් අප කරන්නා වූ සියලු කාර්යයන්ට මූලික වනුයේ සිතයි. සිතෙහි හටගන්නා අරමුණු අප විසින් ක්‍රියාවට නංවයි.  තරුණ සිත තුළ විවිධ අරමුණු හට ගනී. එය යහපත් මෙන් ම අයහපත් විය හැකි ය. එකී සිතිවිලි නිසි පරිදි කළමනාකරණයට නිවැරදි මඟපෙන්වීම ලබාදීම තරුණ වියට අත්‍යවශ්‍ය ය. නිදසුනක් වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතා නොකලද එවැනි ස්ථානයක සිටින තරුණයෙකු  එයට යොමුවිය හැකි ය. නමුදු ඔහු එහි ආදීනව පෙරාතුව ම දැනුවත් අයෙක් නම් ඒ පිළිබඳ සිතෙහි ඇතිවන පෙළඹවීම මැඩ පවත්වා ගැනීමට කටයුතු කරයි. විශේෂයෙන් ම හැඟීම් ගණුදෙවේ දී මොවුන් අසාර්ථක වේ. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන ආකර්ෂණය ප්‍රේමයයැයි වරදවා වටහා ගනිමින් සම්බන්ධකම් පවත්වා අවසානයේ එහි බිද වැටීමත් සමඟ උන්මත්තකයන් බවට පත් වේ. ද්වේශ සහගත වෛරී සිතිවිලි ඇති කර ගනී.
මෙහිදී වඩාත් උචිත වනුයේ  තරුණයා විසින් ස්වයංව තම හැඟීම් වාරණයකට ලක් කිරීම යි. ඒ  සඳහා සිත දියුණු කරගත යුතු ය. එනම් භාවනාව වැඩිය යුතු ය. සරලව පළමු අවධියේ සිට මෛත්‍රී භාවනාව තුළින් ද්වේෂ සහගත වෛරී සිතිවිලි ප්‍රහානය කරගත හැකි අතර සමථ , විදර්ශනා ආදී භාවනා  විධික්‍රමයන්ට ද යොමු වී තම සිත සංසුන් කරගත හැකි ය. තරුණයෙකු වශයෙන් සිතෙහි ඇතිවෙන කිපෙන සුළු බව බොහෝ දේ අහිමි කරයි. තම මව පියා පිළිබඳ සහොදර සහොදරියන්, යහළු යෙහෙලියන් පිළිබඳ  පලිගැනීමේ සිතිවිලි ඇති කරයි. අප විසින් ම කෝපය මැඩ පවත්වා ගන්නේ නම් එකී පලිගැනීමේ අදහස් නැති වෙයි.  ඒ හරහා දමනය වූ සිත් ඇති තරුණ ප්‍රජාවක් බිහි වේ.
Image
දෙවන අංගය වන්නේ කය සංසුන් කර ගැනීමයි. සිත තුළ හටගන්නා අරමුණු සාක්ෂාත් කරගනු ලබන්නේ භාහිර ශරීරය උපයෝගී කර ගනිමිනි. මෙහිදී පංවශීලය තුළ එන පරපණ නැසීම , අනුන්ගේ දෑ සොරකම් කිරීම , කාමයෙහි වරදවා හැසිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතය යන සතරම සිදුවන්නේ කයෙනි. තරුණයා හැම විටම තමන්ගේ ජවය, ශක්තිය, සුන්දරත්වය තුළින් අවට පිරිස ඉදිරියේ කැපී පෙනීමට උත්සාහ කරයි. ඒ නිසාවෙන් රණ්ඩු ඇති කර ගනිමින් අනෙකාට හිරිහැර කිරීමට , තමන්ට අවැසි දෑ ලබා ගැනීමට සොරකමට පෙළඹීම , විවිධ මත්ද්‍රව්‍ය භාවිතය මෙන් ම සමාජය විසින් ප්‍රතිකිෂේපිත සම්බන්ධතා ඇති ගැනීමට පෙළඹේ. අවසානයේ මුළු සමාජයෙන් ම කොන් වී තම තරුණ දිවියම නිකරුණේ විනාශ කර ගනු ලබයි.
අප විසින් යමක් සිදු කිරීමේ දී එය අනෙකාට ද සාපේක්ෂව සිතා සිදු කළ යුතු ය. එනම් මා විසින් වෙනත් අයෙකුට හිමි වස්තුවක් සොරකම් කිරීමට ප්‍රථමව එය තමාට අහිමි වීමේ වේදනාව මෙනෙහි කළ යුතු ය. මෙහි දී මත්ද්‍රව්‍යයන්ට පෙළඹුණු පිරිස ඊට අවශ්‍ය මුදල් නොමැති වීම මත පළමුව නිවසින් ද පසුව භාහිර සමාජයෙන් ද සොරකම් කිරීමට පෙළ‍ඹේ. මේ සියල්ල එකකට එකක් සම්බන්ධ වී පවතී.  විරුද්ධ පාර්ශවයන් කෙරෙහි ආකර්ශනයක් ඇති වීම තරුණ වියේ දී සාමාන්‍ය ස්වභාවය කි. නමුදු ඉන් ඔබ්බට ගොස් සමාජයට පටහැනි සම්බන්ධතා පවත්වා ගැනීම තරුණ වියේ පිවිතුරු බව විනාශ කර දමයි. මෙහිදී අපගේ ගමනබිමන , ඇඳුම් පැලඳුම් , විලාසිතා කිරීම හා හැසිරීම් රටාව ද හික්මවීමකින් සිදු කළ යුතු ය. එහෙයින් තරුණයෙක් තරුණියක් වශයෙන් තමන් සිදුකරන ක්‍රියාවන් තමන්ගේ ඉදිරි අනාගතයට, තම පවුලේ ගරුත්වයට කෙතරම් දුරට බලපෑම් කරන්නේ ද යන්න පිළිබඳ ව අවධානය යොමු කර ස්වයං පාලනයකින් යුතුව සිදුකළ යුතු ය. එවිට ඒවායේ ආදීනව තමන්ට පසක් වන අතර තරුණයෙකු තරුණියක වශයෙන් තම කය සංවර කර ගත හැකි ය.
මීළඟට සංවර කර ගත යුත්තේ වචනය යි. සන්නිවේදන ක්‍රියාවලිය තුළ වචනය ඉතා සුවිශේෂී කාර්යයක් සිදු කරයි. බහ තෝරන්නට පටන් ගත් දා පටන් අප විසින් කෙතරම් වචන සංඛ්‍යාවක් කතා කරන්නට ඇති ද? ඒ අතුරින් අපගේ ජීවිතයට, අපට සවන් දුන් පිරිසගේ ජීවිතයට අර්ථයක් ගෙන දෙන්නට වචන කීයක් සමත්වූවා ද? එක් වරක් හෝ අප ඒ පිළිබඳව අවධානය යොමු කර ඇති ද යන්න ප්‍රශ්නාර්ථයකි. වර්තමාන තරුණයා භාවිතා කරන්නා වූ වචන තුළ වැඩි වශයෙන් ගැබ්වනුයේ කිසිදු වටිනාකමක් නොමැති හිස් බවක් ය.  බොහෝ විට ඔවුන්  අසත්‍ය දේ පවසා තම අවට පිරිස මුලා කොට අනිසි තෘප්තියක්  විනෝදයක් ලබයි. අප කතා කරන විට අපගේ මුවින් පිටවන වචන නිසාවෙන් කවරෙකුගේ හෝ සිතක් රිදවීමට ලක්වනවා ද,  කවුරුන් හෝ  විරසක වියහැකිද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. එසේම බොරු කියන්නා සමාජයේ පිරිහීමට ලක් වේ. ඔහු හෝ ඇය පිළිබඳ ඇති විශ්වාසය පළුදු වේ. එබැවින් හැකි සෑම විටම සත්‍ය හා නිවැරදි ම වචන භාවිතයේ යෙදිය යුතු ය. කතා කිරීමට සූදානම් වන දේ පිළිබඳ ව දෙවරක් සිතීම වඩාත් උචිත ය. මුවින් පිට වූ වචනයක් යළිත් කිසිදු ආකාරයකින් වෙනස් කළ නොහැකි ය.
 අනවශ්‍ය ශෝෂාකාරී බවකින් කතා කිරීම ද අසංවර ක්‍රියාවකි. පරුෂ වචන තුළින් තරුණ පෞර්ෂත්වයට හානි සිදු කරයි. පුද්ගලයෙකුගේ සිතක් රිදවීමට මෙන් ම සැනසීමට හැකි අවිය වචනයයි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සමස්ථ ලෝකයාටම සත්‍ය අවබෝධ කරවීමට වචනය උපයෝගී කරගනිමින් ධර්මය දේශනා කළා සේම හිට්ලර් මුසෝලිනී වැන්නවුන් මුළු ලොවක් වැනසීමට ද යොදාගත්තේ එකී වචනයයි. වචන භාවිතයේ විලාසයෙන් අපගේ යථා ස්වරූපය විද්‍යමාන වේ. එහෙයින් තරුණයන් තරුණියන් වශයෙන් අර්ථවත් සුදුසු වචන මාලාවක් අපගේ වාග්කෝෂයට එක්කර ගැනීම උචිත වේ.
 මෙලෙස සිත, කය, වචනය යන තිදොර සංවර කරගැනීම හරහා සුන්දර තරුණ දිවිය වඩාත් සුන්දර කරගත හැකි ය.                                                                                           
රසාන්දි විතාරණ
දෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජවිද්‍යා පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය.