Image
කුඩා දරුවන් අවිහිංසකය. සුන්දරය. නිර්ව්‍යාජය. මේ නිසාම ඔවුන් පූදින්නට වෙර දරන මල් කැකුළු සේය. සමාජයක, රටක අනාගත වත්කම වන්නේ ඔවුන්ය. දෙමාපියන්ගේ ආදරණීය බලාපොරොත්තු මධ්‍යයේ මෙලොව එළිය දකින කුඩා දරුවන් අනේක විධ දක්ෂතා වලින් පිරිපුන්ය. නමුත් ඔවුන් එකිනෙකාට සමාන දක්ෂතාවයන්ගෙන් හෝ හැකියාවන්ගෙන් යුක්ත නොවිය හැකිය. ඇතැම් දරුවන් නීරෝගී දරුවන් ලෙස උපත ලබනවා සේම ඇතැම් දරුවන් විවිධ දුබලතා සමඟ මෙලොව එළිය දකින අවස්ථාද පවතී. කෙසේ වෙතත් දෙමාපියන්ට උණහපුළුවාට තම පැටියා මැණිකක් වන්නා සේ තම දරුවාද තමාට මැණිකක්මය.  ඇතැම් දරුවන්ගේ බාහිර සංකූලතා මත ඔවුන් යම් ආබාධ තත්වයන් සහිත දරුවන් බවට බාහිරින් නිරීක්ෂණය කොට හඳුනාගත හැකි වුවත්, මානසික වශයෙන් දරුවකු තුළ පවතින සංකූලතා හඳුනා ගැනීමට යම් කාලයක් ගත වේ. කුඩා අවධියේදී දරුවාගේ වයසට අදාළ නියමිත ක්‍රියාකාරකම් සිදු නොකරන විටදීත්, මුල් ළමා සංවර්ධන අවධිදී වයසට අදාල ක්‍රියාකාරකම් සිදු නොකිරීමේදී හා දුර්වලතා පෙන්වීමේදී ඒ පිළිබඳව දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ අවධානය යොමු වේ. එලෙස බැලූ බැල්මට රෝගී තත්වයන් හඳුනාගත නොහැකි නමුත් බොහෝ පාසල් දරුවන් තුළ පවතින රෝගී තත්ත්වයන් ත්‍රිත්වයක් පිළිබඳව අද අපගේ  අවධානයට යොමු කරමු.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය තුළ මෙන්ම ද්විතීක අධ්‍යාපනය තුළද ඉගෙනුම් දුබලතා හේතුවෙන් පීඩා විඳින දරුවෝ බොහෝ වෙති. ප්‍රතිශතයක් ලෙස සැලකීමේදී පන්තිකාමරයක 5% ත් 10% ත් අතර ප්‍රතිශතයක් මෙම ගැටලු තත්වයන්ගෙන් පෙළෙන බව අනාවරණය කරගෙන තිබේ. දරුවන් තුළ කියවීම, ලිවීම හා ගණිත ක්‍රියාකාරකම් තුළ මෙකී කැපී පෙන්න දුෂ්කරතාවයන් හඳුනාගත හැකිය. විශේෂත්වය වන්නේ එම දරුවන් බුද්ධිමය වශයෙන් කිසිඳු දුබලතාවයකින් තොර වූවන් වීමයි. එනම් සාමාන්‍ය ස්වරූපයෙන් සිටින දරුවන් තුළම මෙකී ඉගනුම් දුබලතා පවතී. දරුවාගේ මොළයේ ක්‍රියාකාරිත්වයේ යම් ආබාධයක්, වෙනස්වීමක් මෙම තත්වයට හේතු වේ. සංජානන අක්‍රමිකතා හේතුවෙන් යමක් කියවීමට, ලිවීමට හෝ ගණිත ගැටළු විසඳීමට ඔවුන්ට බොහෝ අපහසු වේ.
Image
මෙම සුවිශේෂී වූ ගැටලුකාරී තත්වයන් පිළිබඳව පවතින නොදැනුවත්කමත්, ඒවා හඳුනා ගැනීමට නොහැකි වීම නිසාත් කුඩා මල් කැකුළුවන් පාසල් දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද පීඩා විඳින අවස්ථා බොහෝය. “ඕකවත් මතක තියාගන්න බැරිද?”, “හරියට පොතක් බලාගෙන කියවන්න තේරෙන්නේ නැද්ද?”, “බලන්න අකුරු එක ගොඩේ ලියලා.”, “මේ පොඩි ගානවත් අඩු කරගන්න බැරිද?” ආදී ලෙස තම දරුවන් විවේචනය කරන, පීඩාවට පත්කරන බොහෝ දෙමාපියන් සමාජයේ වෙයි. මෙම ඉගෙනුම් දුබලතා පිළිබඳව දෙමාපියන්ට මෙන්ම ඇතැම් ගුරුවරුන් තුළද පවතිනුයේ ඉතා වැරදි, නිශේධනාත්මක අවබෝධයකි. තම දරුවාගේ අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිතභාවයත්, බියත් නිසා දරුවා මත එල්ල කරන පීඩනයන් හා ප්‍රතිචාරයන් හමුවේ දුක් විඳිනුයේ අසරණ කුඩා දරුවන්ය. නමුත් නිසි අවධියේදී මෙම දුබලතා හඳුනාගෙන ඒවාට අදාළ ඉගෙනුම් ක්‍රම හා ප්‍රතිකර්ම භාවිත කිරීමෙන් දරුවාගේ කුසලතා වර්ධනය කර ගැනීමට හැකිය. මෙම ඉගෙනුම් දුබලතා දරුවෙකුගෙන් දරුවෙකුට වෙනස් විය හැකිය. එකම පන්ති කාමරයක් තුළ වුවද සිටින ඉගෙනුම් දුබලතා සහිත දරුවන් දෙදෙනකු තුළ පවතින දුබලතා  ස්වභාවයත්, එහි උග්‍රතාවත් එකිනෙකට වෙනස් විය හැකිය.
පොදුවේ මෙරට පාසල් දරුවන් තුළ එලෙස දැකිය හැකි ඉගෙනුම් දුබලතා තත්ත්වයන් ත්‍රිත්වයකි. එනම්,
  1. ලිවීමේ ගැටලු -  Dysgraphia
  2. කියවීමේ ගැටලු -Dyslexia
  3. ගණිතය විසඳීමේ ගැටළු - Dyscalculia වේ.
 
භාෂා දුබලතාව ගෙන් තොරව උපදින ලොව ඕනෑම දරුවෙකු භාෂණයෙන් අනතුරුව උපාර්ජනය කර ගනු ලබන ද්විතීයික හැකියා ලෙස ලේඛනය හා පාඨනය පෙන්වා දිය හැකිය. සාමාන්‍යයෙන් දරුවෙකු ලේඛනයට යොමු වන්නේ අවුරුදු පහෙන් පමණ පසුවය. අවුරුදු 10 පමණ ගත වන විට යම් භාෂාවක අක්ෂර මාලාව හොඳින් හඳුනාගෙන, සාමාන්‍ය වේගයෙන් වාක්‍ය ලිවීමට හා කියවීමට හැකියාව  ලබයි. නමුත් එම තත්වයට නොපැමිණෙන නොහොත් නියමිත වයස් සීමාවට අදාළ හැකියා නොලබන දරුවන් ලේඛනය හා පාඨනය සම්බන්ධ දුබලතාවන් ගෙන් යුක්ත වූවන් විය හැකිය. ඇතැම් විට මොවුන් ඉතා ඉහළ බුද්ධි මට්ටමක් ඇති දරුවන් විය හැකිය. දරුවෙකු උපතින්ම හෝ ඇතැම්විට අනතුරක් හේතුවෙන් මොළයේ මස්තිෂ්කයට ඇතිවන යම් බලපෑමක් හේතුවෙන් මෙම තත්වයට පත්විය හැකිය. ලේඛනය සම්බන්ධයෙන් එලෙස හඳුනා ගත හැකි දුබලතා Dysgraphia ලෙස හැඳින්වේ.
  1. ලිවීමේ ගැටලු -  Dysgraphia
ලේඛනය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වල ඇති කැපී පෙනෙන දුබලතා සහිත බව Dysgraphia ලෙස හැඳින්වේ. යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ‘Agraphia’ නමින් හඳුන්වන්නේද මෙම රෝගී තත්වයම වේ. මෙම තත්ත්වය ළමා කාලයේ උපතේදීම ඇතිවිය ඇති විය හැකි සේම විටෙක කාලයක් හොඳින් ලේඛනය සිදුකර වැඩිහිටි වියේදී වුවද ලේඛන හැකියා  දුබල වී යාම සිදුවිය හැකිය. ඒ අනුව මෙම රෝගී තත්වයද නැවත කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. දරුවකු තුළින් මතුවන Dysgraphia තත්වය උපතින් රැගෙන එන තත්වයකි. නමුත් එය හඳුනාගත හැකි වන්නේ පාසල් අවධියේදීය. මෙම තත්වයේ පසුවන දරුවන් සාමාන්‍ය දරුවන්ට සාපේක්ෂව බාහිර ස්වරූපය කිසිදු වෙනසක් නොමැත. අනෙක් දරුවන්ට සමාන බුද්ධි මට්ටමකින් යුක්ත වන අතර ලේඛනය හැර චිත්‍ර කලාව, හස්ත කර්මාන්තය, නර්තනය, ගායනය, වාදනය වැනි වෙනත් හැකියාවන්ගෙන් යුක්ත විය හැකිය. ඔවුන්ට ඇති එකම ගැටලුව අක්ෂර ලිවීමේ නොහැකියාවයි. අක්ෂර ලිවීමේ අඩුපාඩු, වචනයක ඇති අක්ෂර හඳුනා ගැනීමේ අපහසුතා, අක්ෂර වින්‍යාසය සම්බන්ධ දුබලතා, පිල්ලම් භාවිත සම්බන්ධ දුබලතා මෙන්ම කිසිසේත්ම ලේඛනයට ඇති නොහැකියාව මෙම රෝගී තත්වයේ මූලික ලක්ෂණ වේ. වයස අවුරුදු 10 පමණ වන විට මෙම තත්වය පැහැදිලිව හඳුනාගත හැකිය. කිසිදු අක්ෂරයක් ලිවීමට නොහැකිවීම, අක්ෂරය වෙනුවට කිසියම් සංකේතයක් පමණක් ලිවීම, විවිධ ප්‍රමාණයෙන් අක්ෂර ලිවීම, අක්ෂර අතර අනවශ්‍ය ලෙස ඉඩ තැබීම, එකම අක්ෂරය  නැවත නැවත ලිවීම, අවශ්‍ය තැනට සුදුසු අක්ෂර නොයෙදීම, නිවැරදි ලේඛන රටාවට අනුගත නොවීම, විවිධ පැති වලට හරවා අක්ෂර ලිවීම, පැන්සල හෝ පෑන තදින් අල්ලා ලිවීමට අපහසු ඉරියව් තුළින් ලිවීමට උත්සාහ කිරීම, කියන දේ නොව දරුවාට කැමති දේ ලිවීම, මතකයෙන් නොව අක්ෂර බලාගෙන අක්ෂර ලිවීම, ලියන දෙය ක්ෂණයෙන් අමතක වීම ආදී ලක්ෂණ Dysgraphia රෝගීන් තුළ දැකගත හැකිය. මෙම විවිධ රෝගී ලක්ෂණ හා හේතුකාරක මත තවදුරටත් මෙම රෝගය අනුවර්ගීකරණය කළ හැකිය.
  1. ශබ්දිම සම්බන්ධ ඩිස්ග්‍රැෆියාව
මෙම තත්වය තිබෙන අයෙකුට අක්ෂර හඬනගා කියවීමට හැකි වූවත් ලිවීමට හැකියාවක් නොමැත. මොවුන් විවිධ පැතිවලට හරවා අකුරු ලිවීම, විරාම ලක්ෂණ සඳහන් නොකිරීම, අක්ෂර ඉතාමත් අපැහැදිලි වීම, විවිධ ප්‍රමාණයෙන් අකුරු ලිවීම යන ලක්ෂණයන්ගෙන් යුක්ත වූවෝ වෙති. ඇතැම් විට එකම අකුරක් පමණක් ලිවීමට හැකි අතර ලියන්නට කියූ විට රවුම් ඇඳීම, කොම්බු ඇඳීම සිදුකරයි. ලිවීමට අකමැති මොවුන් බොහෝවිට මැකීම සිදුකරන අතර ලියූ දෙය ඔවුන්ටම කියවීමට නොහැකි අවස්ථාවන්ගෙන්ද යුක්තය.
  1. අර්ථය සම්බන්ධ ඩිස්ග්‍රැෆියාව
අක්ෂර වලින් පැන නැඟෙන ශබ්ද පිළිබඳව අවබෝධාත්මක හැකියාවක් නොමැතිකම මෙහි කැපී පෙනෙන ලක්ෂණයකි. අකුරු කියවීමට හැකියාවක් නැතත් අසා ලිවීමේදී අදාළ වචනයට කිසියම් සමීපතාවක් දක්වන වචන ලියනු ලැබේ. උදාහරණයක් ලෙස ‘bloom’ වෙනුවට ‘blom’ යනුවෙන් ලිවීම. ‘bun’ යනුවෙන් ලිවීමට උපදෙස් දුන් විට ‘cake’ යනුවෙන් ලිවීම, sky > sun යනුවෙන්ද, time > clock ලෙසද ලියා දැක්වීම වැනි අර්ථය සම්බන්ධයෙන් දුර්වලතාවන් ගෙන් යුක්ත වෙයි. නමුත් ඔවුන් සකස් කරනු ලබන අර්ථය හා බැඳුණු වචනවල අක්ෂරයන්ගේ මනා ගැලපීමක් තිබේ. නමුත් විටෙක කියවීමේ අපැහැදිලිකම් පැවතිය හැකිය. අර්ථය සම්බන්ධ ඩිස්ලෙක්සියාවද මොවුන්ට ඇත.
  1. පෘෂ්ඨීය ඩිස්ග්‍රැෆියාව
ලිවීමට අපහසු වචන ලිවීමට උත්සාහ ගැනීම හා නිවැරදිව වචන ලිවීමට ඇති නොහැකියාව මෙහි ප්‍රධාන ලක්ෂණයයි.
Biscuit > bisket
Yacht > yhagh
Mint > pint ආදී ලෙස ක්‍රමවත්ව වචන ලිවීමට ඔවුන්ට නොහැකිය. එසේම රූප ශබ්දිම සම්බන්ධ රීති අනුව ලිවීමට නොහැකි වීම දැකගත හැකිය.
  1. පාර්ශවීය ඩිස්ග්‍රැෆියාව
ලිවීමේදී ක්‍රමානුකූලව නියමිත ස්ථානයකින් ආරම්භ කොට ලිවීමට නොහැකි වීම මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර අවශ්‍ය වූ විට තමාට සිතෙන ඕනෑම ස්ථානයකින් ආරම්භ කොට පිළිවෙළක් නොමැතිව ලිවීම දැකිය හැකිය. ලිවීමේදී බොහෝ ශබ්දිම සම්බන්ධ දුබලතා දැකගත හැකි අතර අක්ෂර විවිධ ප්‍රමාණයෙන් විවිධාකාර හැඩයන්ගෙන් ලියා දක්වයි.
  1. චාලක ඩිස්ග්‍රැෆියාව
අත්වල චාලක හැකියාවන් දුර්වල කරන මෙම තත්වය කලාතුරකින් දැකගත හැකි අතර මොළයේ හටගන්නා තුවාලයකින් හෝ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයෙහි හටගන්නා දුර්වලතාවක් නිසා අත් අකුරු ලිවීමට බාධා ඇතිවේ. පැන්සල හෝ පෑන නිවැරදි ලෙස ඇල්ලීමට නොහැකි වීම, අනුරේඛනයට ඇති නොහැකියාව, ලියන විට මැණික් කටුව, අත හා කොළය නුහුරු ලෙස හැසිරවීම, යතුරු පුවරුවද හැසිරවීමට ඇති අපහසුතා මොවුන්ගේ පොදු ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය.
Image
  1. කියවීමේ ගැටලු -Dyslexia
සාමාන්‍ය බුද්ධියේ අඩුපාඩුවක් නොමැතිව අකුරු හා වචන කියවීමට නොහැකිවීම හෝ මන්දගාමී ලෙස කියවීම ඩිස්ලෙක්සියා (Dyslexia) ලෙස හැඳින්වේ. ගැබිනි සමයේ මොළයේ බාහිකයේ (Brain cortex) ඉගෙනුමට අදාළ කොටසක වන රසායනික වෙනස්කම් මෙම තත්වයට හේතු වේ. ගැහැනු දරුවන්ට හා පිරිමි දරුවන්ට එක හා සමානව ඩිස්ලෙක්සියාව බලපායි. දරුවන් අතර බහුලව දක්නට ලැබෙන මෙම තත්වයේදී අකුරු වැරදි ආකාරයට කියවීම, මාරු කරමින් කියවීම, පටලවා කියවීම, තතනමින් කියවීම හෝ කියවීමට උත්සාහ කළද කියවීමට නොහැකි වීම, මුද්‍රිත වචන කියවීමට නොහැකි වීම වැනි ලක්ෂණ පොදුවේ මෙම දරුවන් තුළින් දැකගත හැකිය. යමක් නිවැරදිව කියවීමට නම් දරුවෙකුට යමක් හඳුනා ගැනීමේ දක්ෂතාවය නොහොත් සිතීමේ දක්ෂතාවය, අකුරු වල පවතින වෙනස්කම් හඳුනා ගැනීමේ හැකියාව නොහොත් දෘෂ්ටි විභේදනය, ඇස වමේ සිට දකුණට ගෙන යෑමට හැකි වීම ආදී හැකියාවන් අනිවාර්යයෙන් තිබිය යුතුය. නමුත් විවිධ හේතූන් නිසා මෙම ක්‍රියාවලීන්ගේ සිදුවන සංකූලතා හේතුවෙන් කියවීම සම්බන්ධයෙන් වන ගැටලුකාරී අවස්ථා නොහොත් ඩිස්ලෙක්සියා වර්ග කිහිපයක් හඳුනාගත හැකිය.
  1. ශබ්දිම සම්බන්ධ ඩිස්ලෙක්ෂියාව
ශබ්දිම නීතිවලට අනුකූලව ශබ්ද උච්චාරණය කරමින් කියවීමට ඇති නොහැකියාව හෝ අපහසුතා මෙමඟින් හැඳින්වේ. මෙම රෝගයට අමතරව Auditory Phonological Dyslexia නොහොත් ‘ශ්‍රවණ ශබ්දිම ඩිස්ලෙක්සියා’ නම් තත්වයක්ද පවතී. එහිදී ශ්‍රවණ සැකසුම් දුෂ්කරතාවක් හේතුවෙන් අක්ෂර, ශබ්ද පිළිබඳ දුෂ්කරතා ඇති වෙයි. ශබ්ද, අකුරු කලවන්වී හෝ වෙනස්වී සංජානනය වේ. දරුවාට නිවැරදි හඬ ශ්‍රවණය නොවේ. ස > ත, ර > ල, ර > ට වැනි ශබ්ද පටලවා ගැනීම මෙයට නිදසුනකි.
  1. අර්ථ සම්බන්ධ ඩිස්ලෙක්ෂියාව
අලුත් වචන හා අර්ථය නොදන්නා වචන කියවීමට අපහසු වීම හා කියවන වචනවල අර්ථ සම්බන්ධයෙන් දැකගත හැකි දුබලතා මෙමඟින් හැඳින්වේ. පවතින වචන නොකියවා දක්නට නොලැබෙන, නමුත් එම වචනයට සමාන වෙනත් වචනයක් කියවීම දැකගත හැකිය. Tree යනුවෙන් තිබෙන ස්ථානයක forest ලෙස කියවීම.
Signal > singal
Left > felt
Enemy > emeny
Are there > there are ලෙස කියවීම මෙම තත්වයට නිදසුන් ලෙස දැක්විය හැක.
  1. පෘෂ්ඨීය ඩිස්ලෙක්ෂියාව
මෙහි ලක්ෂණය වන්නේ සාමාන්‍ය වහරෙහි යෙදෙන වචන පහසුවෙන් කියවිය හැකි වුවද අවිධිමත් ලෙස අක්ෂර වලින් සැකසුන වචන ලෙස කියවීමයි. එමඟින් මෙහිදී සම්පූර්ණයෙන්ම අර්ථ ගැටලුවකට මුහුණපාන්නට සිදු වේ.
Biscuit > biakiyut
Begin > begging
  1. ප්‍රාථමික ඩිස්ලෙක්ෂියාව
මොළයේ වම්පස මස්තිෂ්ක බාහිකයේ හටගන්නා හානියක් හේතුවෙන් ඇතිවන මෙම තත්වය ජානමය වශයෙන් බොහෝවිට ඇතිවේ. අකුරු හා සංඛ්‍යා හඳුනා නොගැනීම, අක්ෂර වින්‍යාසය වරද්දමින් කියවීම, ගණිතමය මිනුම්, කාලය, උපදෙස් හා වෙනත් කුසලතා පිළිබඳව හටගන්නා ගැටලුකාරී තත්වයකි. මෙම තත්වයෙන් පෙළෙන අයෙකුට ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කර  ද්විතීයික අධ්‍යාපනයට යොමු වීම දුෂ්කරය. පිරිමි දරුවන් තුළ මෙය බහුලව දැකගත හැකිය. සතියේ දින, මාස, සංඛ්‍යා නියමිත පිළිවෙළ කියවීමට ඔවුන්ට නොහැකිය. 6 සංඛ්‍යාව 9ලෙස කියවීම, 48 වැනි සංඛ්‍යාවක් 84 ලෙස කියවීම මෙවැනි දුර්වලතාවන්ට නිදසුන්වේ.
  1. ද්විතීයික ඩිස්ලෙක්ෂියාව
ගැබිනි සමයේ දරුවකුගේ මොළයේ වර්ධනයට සිදුවන විවිධ ගැටලු නිසා මෙම තත්වය ඇති වේ. දරුවෙකුගේ පූර්ව ළමා කාලයේදී ඌණ පෝෂණය, අවශ්‍ය උත්තේජනය ක්‍රියාකාරකම්වල වූ අඩුපාඩු හා දරුවා නොසලකා හැරීම අපයෝජනයට ලක්වීම වැනි හේතුව මෙයට බලපා හැකි අතර සුදුසු ඉගෙනුම් ක්‍රමවේද මගින් මෙම තත්වය මඟහරවා ගත හැකිය.
  1. දෘෂ්ටි ඩිස්ලෙක්ෂියාව
දෑස මගින් මොළයට නිවැරදි තොරතුරු ලබා නොදීම නිසා මෙම තත්වය ඇති වේ. දරුවා දකින තොරතුරු මොළය වෙත අසම්පූර්ණ තොරතුරු ලෙස ලැබීම නිසා දරුවා කියවන දේ නිවැරදි නොවීම, සංඛ්‍යා සහ අකුරු නොපිට හැරී පෙනීම, දෘෂ්ටි තොරතුරු පිළිබඳ මතකය දුර්වල වීම සිදුවිය හැකිය. මෙයට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ දෑස වෙතින් මොළයට තොරතුරු ලබා දෙන සමස්ත ක්‍රියාවලියෙහිම ගැටලුකාරී තත්වයක් නිසා ඇතිවන  සංකූලතාවයකි.
  1. හයිපලෙක්සියාව
මෙම තත්වයේදී වේගයෙන් කියවීම සිදු සිදුකරයි. අසාමාන්‍ය තත්වයක් වන මෙය වයසට වඩා දෙගුණයක වැඩි කෙනෙකු මෙන් හඬනගා කියවීම දැකගත හැකිය.
Image
3.ගණිතය විසඳීමේ ගැටළු - Dyscalculia
දරුවන් හට ගණිතමය ගැටලු විසඳීමට ඇති අපහසුතාවය මෙමඟින් අදහස් වේ. ගැටළු නිරාකරණය, තොරතුරු සැකසීම, ගණිතමය කළමනාකරණය තුළ මෙන්ම තර්කනය, විවෘත චින්තනය තුළ ඉතාම දුර්වල තත්වයන් පෙන්නුම් කරයි. කියවීමට අදාළ යාන්ත්‍රික ක්‍රියාවලියට වඩා ගණිතය, සංකීර්ණ ක්‍රියාදාමයකි. ගණිතයට සම්බන්ධ සංකේත, සමීකරණයන්ගෙන් සමන්විත නිසා අනෙක් කුසලතාවන්ට සාපේක්ෂව ගණිත ගැටළු විසඳීම අතර විශාල නොගැලපීමක්, දුර්වලතාවක් ඇතිවිය හැකිය. ප්‍රාථමික අවධියේ මෙන්ම ද්විතීක අවධියේද මෙවැනි දුර්වලතාවන් සහිත දරුවන් දැක ගත හැකිය. විශේෂයෙන්ම දරුවාගේ මතකයේ පවතින ගැටලුකාරී තත්වයන් සහ තොරතුරු සැකසීමේ ගැටලුකාරී තත්වයන් Dyscalculia තත්වයට හේතු වේ. ඇතැම් දරුවන්ට ලිවීමට, කියවීමට ගැටලුවක් නොමැති වුවද ගණිත ගැටළු විසඳීමේ නොහැකියාව පවතී. ඇතැම් දරුවෙකුට ලිවීමට, කියවීමට නොහැකියාව ඇති සේම ගණිත ගැටළු සිදුකිරීමටද නොහැකිය. මෙම රෝගී තත්වයේ ස්වභාවයද දරුවාගෙන් දරුවාට වෙනස් වේ.
සාමාන්‍ය ජීවිත සිදුවීම්වලට ඉලක්කම් සම්බන්ධ කර ගැනීම දුෂ්කර වීම, ඉලක්කම් මතක තබා ගැනීම අපහසු වීම සහ ඉලක්කම් මඟහැරීම, භාණ්ඩවල ප්‍රමාණය, ඒවායේ රටාවන් හඳුනා ගැනීමට අපහසු වීම, ගණනය සම්බන්ධ ක්‍රීඩා කිරීමටද අකැමැති වීම මොවුන්ගේ පොදු ලක්ෂණ ලෙස හැඳින්විය හැකිය. ද්විතීයික පාසල් අවධියේද මූලික ගණිත සිද්ධාන්ත මතක තබා ගැනීමට අපහසු වීම, නියමිත ගණිත සංකේත හඳුනා ගැනීමට නොහැකි වීම, සහ ඒවා නිවැරදිව භාවිත කිරීමට නොහැකි වීම, සංඛ්‍යා පැහැදිලිම ලිවීමට නොහැකි වීම, දිශාව පිළිබඳව අවබෝධය අඩුවීම, වෙලාව පැවසීමට අපහසු වීම වැනි එම වයසේ සාමාන්‍ය දරුවෙකු හා සංසන්දනය කිරීමේදී ප්‍රමාණවත් ගණිත කුසලතා නැති වීම දැකගත හැකිය. උසස් පාසල් වියේදී වුවත් එදිනෙදා ගණිත සංකල්ප සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම, විශේෂයෙන් මුදල් භාවිතයේදී නිවැරදිව මුළු මුදල, ඉතිරි මුදල ගණනය කර ගැනීමට නොහැකි වීම, යම් කිසි දෙයක් ප්‍රමාණයක් මැන බැලීමට අපහසු වීම,  ප්‍රස්තාර, රේඛා සටහන්වල තොරතුරු, දත්ත ග්‍රහණය කර ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවීම, ගණිතමය ක්‍රියාකාරකම් වලට දක්වන දැඩි අකමැත්ත මෙවැනි දරුවන් තුළින් දැකගත හැකි ලක්ෂණයන් වේ.
මෙවැනි ගණිතය සම්බන්ධ Dyscalculia තත්වය පන්ති කාමරය  තුළ සිදුකරන ගණිත ක්‍රියාකාරකම්වල  දුර්වලතාවන්ට පමණක් සීමා නොවේ. ගණිත සංකල්පය හා ගණිත හැකියාව එදිනෙදා අපගේ ජීවිතයන්ට බොහෝ සේ අවශ්‍ය වේ. මේ නිසා මෙවැනි රෝගී තත්වයන් කෙනෙකුගේ එදිනෙදා ජීවිතයේ බොහෝ පැතිකඩයන්ට ගැටලුකාරී අවස්ථා නිර්මාණය කළ හැකිය.
මෙවැනි දරුවන්ට එදිනෙදා ජීවිතයේදී මුදල් කළමනාකරණය අපහසුය. යමකට වැයවන මුදල ,එයින් ශේෂ වන මුදල, මුදල් ගණනය කිරීම, අයවැය සැකසීම ඔවුන්ට ඉතා අපහසුය. මෙවැනි දරුවන්ට යම් දෙයක ප්‍රමාණයක් මැනීමට නොහැකි වීම නිසා කාලය  කළමනාකරණය සම්බන්ධයෙන් විවිධ ගැටලු ඇති වේ. ඔවුන්ට කාලසටහනකට අනුව වැඩ කිරීමට අපහසුය. මිනිත්තුවක් යනුවෙන් හඳුන්වන්නේ කොපමණ කාල පරාසයක්ද, එය ගෙවී අවසන් වන්නේ කොපමනකින්ද යන දේ පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නොමැත. මෙවැනි දරුවන්ට දිශාව පිළිබඳවද ගැටලු පවතින නිසා වම-දකුණ වෙන්කර හඳුනා ගැනීමට අපහසු වීම, සිතියම් ආශ්‍රයෙන් යම් ස්ථානයක් කරා යාමට අපහසු වීම, වාහන පැදවීමේදී එය කොතරම් වේගයකින්, කෙතරම් දුර ප්‍රමාණයක් ගමන් කළේද යන බව පිළිබඳ අවබෝධය අවමය. නිතරම තමන් මඟ හැරේවි යන හැඟීමක් ඇති වීම වැනි දුර්වලතාවන්ගෙන් යුක්ත වේ.  යම්කිසි ආහාරයක් සෑදීමේදී වට්ටෝරුවට අදාළව එයට එක් කළ යුතු ද්‍රව්‍ය ප්‍රමාණයන් පිළිබඳවද අවබෝධයක් නොමැත.
මෙලෙස කුඩා කල තර්කනය, කාලය, මුදල් කළමනාකරණය, අවකාශය පිළිබඳව කෙතරම් ගැටලු තිබුණද එකී ගැටලුකාරී අවස්ථා හඳුනා නොගෙන ව්‍යාපාර ක්ෂේත්‍රයන් තුළ ඉතා ඉහළ ජයග්‍රහන ලබාගත් පුද්ගලයන් ශ්‍රී ලංකාව තුළද බොහෝ සිටී. නමුත් මෙරට අධ්‍යාපන සැලසුම්කරණය යටතේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිත විෂය සමත්වීම අනිවාර්යය කිරීමත් සමඟ ගණිත විෂය අසමත් වීම හේතුවෙන් වසරකට පාසල් හැර ගිය දක්ෂයින් ශ්‍රී ලංකාවේ තුළ බොහෝ සිටී.  එමඟින්  රටේ සංවර්ධනයට ඔවුන්ගේ කුසලතා සාධාරණ ලෙස යොදා ගැනීමට  නොහැකි වී ඇත. ගණිත කුසලතා නොමැති වුවත් වෙනත් විකල්ප මාර්ග තුළින් ජීවිතය ජයගත හැකි බව අප අවබෝධ කරගත යුතුය.
මෙවැනි රෝගාබාධයන්  නිසි වයසේදී නිසියාකාරව හඳුනා ගෙන නියමිත ප්‍රතිකාරවලට යොමු කරවීමෙන් එවැනි සංකූලතාවන්ගේ බලපෑම අවම කොට ගෙන දරුවන්ගේ අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව පවතී.
බී.ලක්ෂිකා මදුශානි
විශේෂවේදී තෙවන වසර
වාග්විද්‍යා අධ්‍යයනාංශය
මානවශාස්ත්‍ර පීඨය
මූලාශ්‍ර :-
විජේසේකර.ජේ.එස්. (2009). සන්නිවේදන දුබලතා . කැළණිය: කැළණිය විශ්වවිද්‍යාලයීය වාග්විද්‍යා අධ්‍යයනාංශය .
සූරසේන, මාලිකා. (2008). ඉගෙනුම් දුබලතා කළමනාකරණය . ගම්පහ : බුද්ධි විශේෂ අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්‌ථානය .