Image
වර්තමාන ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම බරපතළ සෞඛ්‍ය  ගැටලුවක් බවට පත්ව ඇත. ඩෙංගු මරණ සංඛ්‍යාව ද  ඉහළ යමින් තිබෙන අතර සැලකියයුතු පිරිසක්  රෝහල්ගතව ද ප්‍රතිකාර ලබමින් සිටිති. ඩෙංගු රෝගය සම්බන්ධයෙන් දැනුවත් විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ සහ රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සචිත් මෙත්තානන්ද මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි.

පසුගිය වසරවලට සාපෙක්ෂව මෙම වසරේ  ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. මේ සඳහා බලපාන හේතු මොනවා ද?

ඩෙංගු රෝගයේ වැඩි වීම කාලයෙන් කාලයට දකින්න ලැබෙනවා. ඩෙංගු රෝගීන් ඉතා අඩුවෙන් වාර්තා වීමක් දක්නට ලැබෙන වර්ෂ වගේම  රෝගීන් ඉතා විශාල වශයෙන් වාර්තාවෙන වර්ෂද අපට වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් ඒක තමා රටාව. අප්‍රේල් මාසයේ මැද සහ මැයි මාසයේ මුල අපට වෙනස්ම ආකාරයක වර්ෂාපතනයක් ලැබුණා. එයත් සමඟ ඩෙංගු රෝගී මදුරුවන්,කීටයන් පරිසරයේ ව්‍යාප්ත වීම වගේම ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම සිදු වුණා. ඒ සියලු‍ම කාරණා නිසා මෙම වර්ෂයේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම අපට දක්නට පුළුවන්.කොවිඩ් වසංගතයේදී නිරෝධායන නීතී අනුගමනය කළනිසා  අනෙක්  වෛරස් රෝග දකින්න ලැබුණා අඩුයි. ඒ වසරවලදි  ඩෙංගු රෝගීන්ගේත්  අඩුවක් පෙන්නුම් කෙරුණා.ඒ වගේම අපි දැකලා තියෙනවා වසර කිහිපයකට වරක් රෝගීන් වාර්තා වීමක්  වාර්තා වෙනවා. එතකොට අපි දන්නවා නිරිතදිග මෝසමත් සමඟ බස්නාහිර, දකුණ, වයඹ පළාත්වලට වැසි ලැබිලා, පායන තත්ත්වයක් එන්නේ ජූනි, ජූලි මාසවල. වැස්සත් සමඟ එකතු වුණ වතුරවල ඩෙංගු මදුරුවන් බෝවෙන්න පුළුවන්. මේ නිසා ඩෙංගු මදුරු ව්‍යාප්තිය බහුල වෙන්න පුළුවන්. සෑම වසරකම ජූනි, ජූලි මාසවල සාමාන්‍යයෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය වැඩියි. නමුත් මෙම වසරේ අනෙක් වසරවලට වඩා රෝගයේ  වැඩීවීමක් දක්නට ලැබෙනවා. වසර තුන හතරකට වරක් අපි මේ සංසිද්ධිය අත්විඳිනවා.

2017 වසරේ පැවති ඩෙංගු අධි වසංගත තත්ත්වය නැවත මෙම වසරේ ඇති විය හැකි බවට විශේෂඥයින් පවසනවා.එවැනි තත්ත්වයක් ඇතිවිය හැකිද?

ඒ ගැන හරියටම පැහැදිලි කරන්න අපහසුයි. ඩෙංගු රෝගය අධි වසංගතය තත්ත්වයකට යන්න පුළුවන් කියලා විද්‍යාත්මක වශයෙන් හරියටම තහවුරු කරගෙන නැහැ.ඩෙංගු රෝගය වරින් වර අධි වසංගතය තත්ත්වයන් බවට පත් වන්නේ කුමන හේතු නිසා ද කියලා හරියටම සොයාගෙන නැහැ.බොහෝ වෙලාවට කාලගුණය,දේශගුණික වෙනස්වීම්වල බලපෑම් නිසා ඩෙංගු රෝගය ව්‍යාප්ත වැඩිවෙන්න පුළුවන්.ඒ හැරුණාම 100% නිවැරදිව කියන්න අපහසුයි.විශේෂයෙන්ම අප්‍රේල් මස මැද අවුරුදු නිවාඩුවෙන් පසු ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීමේ විශාල වැඩි වීමක් දැක ගන්න හැකි වුණා.

ඩෙංගු රෝගයට අමතරව මේ දිනවල  වෙනත් වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙනවා. ඩෙංගු රෝගය සහ වෛරස් උණ රෝග වෙන්කර හඳුනා ගන්නේ කොහොමද ?

මේ අවස්ථාවේ  ඩෙංගු රෝගීන් බහුලව වාර්තා  වෙනවා. ඒ වගේම ඉන්ෆ්ලුුවෙන්සා වෛරස සහ සාමාන්‍ය වෛරස් උණ බහුලව පැතිරෙනවා. ඉන්ෆුවෙන්සා රෝගයේදි බොහෝ වෙලාවට ස්වශන මාර්ගය ආශ්‍රිත අපහසුතා අපට දැකගන්න පුළුවන්. කැස්ස, හෙම්බිරිස්සාව සහ උගුරේ අපහසුතා ඉන්ෆලුුවෙන්සා වෛරස් උණක දි  බහුලව දක්නට ලැබෙනවා. සාමාන්‍ය වෛරස් උණයි,ඩෙංගු රෝගයයි,ඉන්ෆුවෙන්සා උණයි කියන තුනටම මුල් දින දෙකේ උණ තත්ත්වය පවතින්න පුළුවන්.මුල් පැය 48 තුළ උණ තත්ත්වයේ වැඩි වීමක් වෙන්න පුළුවන්.පැනඩෝල්,පැරසිටමෝල් දුන්නත් උණ අඩු වෙන්නේ නැහැ කියන එක සාමාන්‍යයෙන් අහන්න ලැබෙන දෙයක්.නමුත් එකෙන් කියන්නේ නැහැ රෝගය උත්සන්න,බරපතළ එකක් කියලා. කොහොමත් සාමාන්‍ය වෛරස් උණක් වුවත් පළවෙනි දිනයේ,දෙවන දිනයේ තද උණ පවතින්න පුළුවන්.සාමාන්‍ය වෛරස් උණ පිළිබඳවත් වැරදි මත තිබෙනවා.එක වෛරසයකින් තමයි මේ උණ සියල්ලම ඇති වෙන්නේ කියලා සාමාන්‍ය ජනයා අතර මතයක් තිබෙනවා. එය සම්පුර්ණයෙන්ම වැරදියි. වෛරස් කෝටි ප්‍රකෝටි ගණනක් ඉන්නවා. මේ ඕනෑම වෛරසයකින් වෛරස් උණක් එන්න පුළුවන්. අපි හරියට හොයා ගෙන නැහැ මේ කාලයේ මේ වෛරසයෙන් මේ වෛරස් උණ හදන්නේ කියලා.
අනෙක් වෛරසවල ලක්ෂණවලට වඩා ඩෙංගු වෛරසයේ  ලක්ෂණ වෙනස්. ඩෙංගු වෛරසයේදී අපිට දක්නට ලැබෙන ලක්ෂණ තමයි. හිසරදය, වමනය, ඇඟපත රුදාව, හන්ඳි රුදාව, ඇස් යට කැක්කුම් ඩෙංගු රෝගයේදි  දක්නට ලැබෙනවා. ඩෙංගු උණ සාමාන්‍යයෙන් දින 4 ක් 5 ක් යනතුරු අඩු වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය වෛරස් උණක් දින 2 කට පසු උණ පහව යෑමේ ඉඩකඩක් තිබෙනවා. නමුත් ඩෙංගු උණ අනිවාර්යයෙන්ම දින 3කට වඩා තිබෙනවා. දින 4 ක් 5 ක් 6 ක් යනකල් ඩෙංගු උණ තියෙනවා. මේ ලක්ෂණයෙන්  තමා ඩෙංගු උණ අනෙක් වෛරස් උණවලින් වෙන්කර හඳුනා ගන්න තියෙන්නේ.ඉන්ෆුලුවෙන්සාවෙන් වෙන්කර හඳුනා ගන්න තිබෙන ලක්ෂණ තමයි සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, සෙම්ගෙඩි අමාරුව හෝ උගුරේ අමාරුව. මේවා ඩෙංගු උණේ දක්නට නැති තරම්. මෙම ලක්ෂණ බොහෝ වෙලාවට දක්නට ලැබෙන්නේ ඉන්ෆලුුවෙන්සා වෛරස් උණත් සමඟයි.

Image
වෙනත් වෛරස් රෝගවලට වඩා ඩෙංගු රෝගයේ අවදානම කෙබඳු ද?

වෙනත් වෛරස් රෝගවලින් ඇත්තටම ලොකු අවදානමක් නැහැ. සාමාන්‍ය වෛරසයකින් හටගන්නා වෛරස් උණ දින 2 ක් 3 ක් ඇතුළත බැස යනවා. ඉන් පසු පීඩාවක් දිගු කාලයකට පවතින්නේ නැහැ. ඉන්ෆුලුවෙන්සා උණ වුවත් සාමාන්‍යයෙන් දින කිහිපයකට පසු ස්වාභාවයෙන්ම උණ අඩුවෙලා යන අවස්ථා තිබෙනවා. ඩෙංගු උණේ භයානක තත්ත්වය සහ විශේෂත්වය තමයි මෙහි යම් ප්‍රමාණයක් රෝගීන් උණ බැස ගියාට පසු ඩෙංගු රක්තපාත කියන තත්ත්වයකට යන්න පුළුවන්.මෙන්න මේ හේතුව නිසා තමයි ඩෙංගු උණ අනෙකුත් වෛරස් උණට වඩා භයානකයි කියලා අපි හඳුන්වන්නේ.

ඩෙංගු රෝගය වැලඳුණේ යැයි දැනගත් පසු පරිස්සම් විය යුත්තේ කොහොමද ?

තමන්ට ඩෙංගු රෝගය ආසාදනය වී තිබෙනවාද කියන එක ලේ පරික්ෂාවකින් සොයා ගන්න පුළුවන්. එය ඩෙංගු NS1 Antigen test පරීක්ෂණ ලෙස හඳුන්වනවා.මෙම  පරීක්ෂණය මුල් පැය 12 අතර කාලයකින්  කළොත් ප්‍රතිඵලදායක වෙන්නේ නැහැ. එම පරීක්ෂණයේ ප්‍රතිඵල එම අවස්ථාවේ නෙගටිව් වෙන්න පුළුවන්. නමුත් පැය 12 කට පසු ඒ කියන්නේ දෙවනි,තුන්වෙනි දවසේ තමයි විශේෂයෙන්ම පොසිටිව් වීමේ සම්භාවිතාව වැඩි.එලෙස ඩෙංගු රෝගය වැළඳී ඇති බවට තහවුරු කරගත් පසු ක්ෂණිකව කලබල විය යුතු තත්ත්වයක් නැහැ.සාමාන්‍යයෙන් වසර පහකට හයකට කලින් නම් NS1 Antigen test  එකක් පොසිටිව් වූ පමණින් රෝහල්ගත වීම  සඳහා වෛද්‍යවරුත් නිර්දේශ කරනවා සහ රෝගීනුත් ඉතාමත් ඉක්මණින් රෝහල්ගත වෙනවා.නමුත් අපි දැන් ඩෙංගු රෝගයේ ස්වභාවය,රටාවන් හඳුනාගෙන තිබෙන නිසා ඩෙංගු වෛරස් පරීක්ෂණයක් පොසිටිව් වූ පමණින් රෝහල්ගත වෙන්න කියන්නේ නැහැ. ඩෙංගු පොසිටිව් වුණොත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි.  වෛද්‍ය උපදෙස් මත නිවෙසේ  විවේකීව ඉන්න ඕනේ. මහන්සි වී අඩු කරන්න ඕනේ.ඩෙංගු රෝගය හැදුනාම ඇඟපත රුදාව අධිකයි.එතකොට මහන්සි වෙන්න කොහොමත් අමාරුයි.අත්‍යාවශ්‍ය වැඩ තියෙනවා කියලා වැඩට යන්නවත්,මහන්සි වෙන්නවත් හොඳ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න ඕන. අඩුම තරමින් පැයකට 100 ml වත් දියර පානය කරන්න ඕන.පාන වර්ග ගැනිමේදී ජීවනි ඉතාමත් හොඳයි.සාමාන්‍ය ජලය පානය කිරීම හොඳයි ඒ වගේම තමන් කැමති දියර වර්ගයක් පානය කළාට කමක් නැහැ.නමුත් රතු පාට හෝ කළු පාට දියර වර්ග ගැනීම යෝග්‍ය වන්නේ නැහැ.රතුපාට කළුපාට දියර වර්ග හැර තමන් කැමති ඕනෑම දියර වර්ගයක් පානය කළාට කමක් නැහැ.ජලය විතරක් පානය නොකළ යුතුයි.කෑම වර්ග තමාට රුචි පරිදි ගන්න පුළුවන්.නමුත් මෙහිදී කෑම අරුචිය නිතර දකින්න ලැබෙන නිසා කෑම වැඩි ප්‍රමාණයක් ගැනීමට අපහසුයි.පැයකට 100 ml  ක  ප්‍රමාණයක් ජලය ගැනීම  අවශ්‍යයි.එම ප්‍රමාණයම  රාත්‍රී කාලයටත් ගත යුතුයි. පැයකට වරක් නොමැති වුවත් පැය 3 කට වරක් ගැනීම වැදගත්. මුත්‍රා යෑමේ අඩුවක් තියෙනවාද යන්න පිළිබඳව නිතර විමසිලිමත් විය යුතුයි. මුත්‍රා කහ පැහැයට යනවාද කියන එක ගැන අවධානයෙන් සිටීම අවශ්‍යයි .මුත්‍රා ළා  කහපාට නැත්නම් සුදු පාටට යනවා නම් එය හොඳ තත්ත්වයක්. මෙවැනි ප්‍රවේශම් වීමේ තත්ත්වයන් තමයි අවශ්‍ය වන්නේ. සාමාන්‍යයෙන් රුධිර පරීක්ෂණයකදී රුධිර පට්ටිකා ( Blood platelets) ප්‍රමාණය 130.000 ට අඩු නම් අනිවාර්යයෙන්  රෝහලකට ඇතුළත් විය යුතුයි. ඒ වගේම තමාට නොනවත්වා වමනය යනවා නම් අවශ්‍ය දියර ප්‍රමාණය ගන්න බැරි නම් රෝහලකට ඇතුළු වුණාට කමක් නැහැ.උණ අඩු වෙනකොට ඇඟපත රුදාව,ක්ලාන්ත ගතිය වගේ ලක්ෂණ මතු වෙනවා නම් රෝහලකට ඇතුළත් විය යුතුයි.

කුඩා දරුවන්ට ඩෙංගු රෝගය වැලඳුණොත් අවදානම වැඩි ද ?

අවදානම වැඩී කියලා අපි කියන්නේ නැහැ. පළමු වරට ඩෙංගු වෛරසය ආසාදනය වුණාම ඒක ඉතාම සුළු උණක් හැටියට තමයි අපිට පෙන්නුම් කරන්නේ, ඩෙංගු රක්තපාත තත්ත්වයට යන්නේ නැහැ. මුල් කාලයේදි  කුඩා දරුවන් අතර ඩෙංගු බහුල ු රෝගයක්. ඒ කාලයේ  වැඩිහිටියන් අතර ඩෙංගු රෝගය වැලඳීම අපි දැක්කේ නැහැ. වර්තමානයේ කුඩා දරුවන් අතරත් වැඩිහිටියන් අතරත් ඩෙංගු රෝගය එක හා සමානව දැකගන්න පුළුවන්. ඉතාම කුඩා අවධියේ ඩෙංගු රෝගය ඩෙංගු රක්තපාත තත්ත්වයට යාම ඉතා අඩුයි.සාමාන්‍යයෙන් වයස අවුරුදු 4 -5 දරුවන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පැමිණිම  අපට දකින්න පුළුවන්. දෙවන වර ඩෙංගු රෝගය ආසාදනය වුණොත් ඩෙංගු රක්තපාත තත්ත්වයක ට යාමට පුළුවන්. කෙසේ වුණත් කුඩා දරුවන් ඩෙංගු රක්තපාත තත්ත්වයට යන්නේ නැහැ කියලා අපිට කියන්න බැහැ.මාසයක වයසේ කුඩා දරුවෙකු පවා ඩෙංගු රෝගයට ගොඳුරු වෙන්න ඉඩ තියෙනවා.

Image
ඩෙංගු ව්‍යාප්තිය වැඩි වුණොත් එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා  ප්‍රමාණවත් රෝහල් පහසුකම් තිබෙනවා ද ?

ඇත්තටම දැනට නම් අපිට ලොකු ගැටලු‍කාරී තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ.ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සියලු‍ දේවල් රෝහල් සතුව තිබෙනවා.ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍යතා ඉතා අඩුයි.සාමාන්‍යයෙන් රෝහල් ගත වුණත් පානය කිරීමට ඒ රෝගියාට හැකි නම් ඔවුන්ට කටින් පානය කරන්න පාන වර්ග ලබා දෙනවා.රෝගීන්ගේ හෘද ස්පන්ධන වේගය,හුස්ම ගැනිමේ වේගය,රුධිර පීඩනය,මුත්‍රා යෑමේ ප්‍රමාණය සුපරික්ෂාකරී ලෙස බැලීම කරනු ලබනවා.එම සොයා බැලීම් වලට අවශ්‍ය උපකරණවල හිඟයක් දකින්න ලැබෙන්නේ නැහැ.ඒ නිසා ඒ පිළිබඳව ජනතාව කිසිඳු බිය වීමක් තබාගත යුතු නැහැ.සේලයින් අවශ්‍ය ප්‍රමාණයට තිබෙනවා. Dextran කියන බෙහෙත රටේ ආර්ථික අර්බුදය පැවති මුල් අවධියේ යම්කිසි අඩුවක් පැවතියා නමුත් මේ වනවිට අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය තිබෙනවා.


ඩෙංගු රෝගය වැලඳී සුවය ලැබු කෙනෙකුට නැවත සංකූලතා ඇතිවිය හැකිද? ඔහුන්ට මහන්සි වී වැඩ කළ නොහැකිද ?

මෙපමණ කලක් විවේකීව ඉන්න කියලා අපි කියන්නේ නැහැ. රෝගය සුව වුණාම සුවයි කියලා අපි නිගමනය කරනවා. නමුත් සාමාන්‍යයෙන් සතියක් පමණ අධික ලෙස මහන්සි වීමෙන් වැළකී සිටින්න කියලා උපදෙස් ලබා දෙනවා. සාමාන්‍ය ඩෙංගු උණක් හැදිලා සුව වුණාට පස්සේ  සතියකට විතර පසු සුපුරුදු පරිදි වැඩ කරන්න පුළුවන්. නමුත් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වුණු දරුවෙකුට සාමාන්‍යයෙන් සතියක් පමණ පාසල් යන්න එපා,මහන්සි වෙන්න එපා,ක්‍රීඩා කටයුතුවල යෙදෙන්න එපා කියලා උපදෙස් ලබාදෙනවා. එය අප වැඩි පරිස්සමට ලබා දෙන උපදේශයක්. නමුත් සතියකට විතර පසු ඔහුගේ රුධිර පට්ටිකා ප්‍රමාණය සාමාන්‍ය වුණාම,උණ අඩුවෙලා ගියාම සියලු‍ම දේවල් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඩෙංගු රෝගය තිව්‍ර අවස්ථාවේදි  ගැටලු‍කාරී තත්ත්වයක් මතු වුණේ නැත්නම් දිගුකාලීන බලපෑමක් ඇතිවීමට කිසිම අවස්ථාවක් නැහැ.

ඩෙංගු රෝගීන්ට අමතරව නැවත කොවිඩ් රෝගීන්ගේත් වැඩිවීමක්  තිබෙනවා ද?

විශේෂ වැඩි වීමක් නම් පෙනෙන්නට නැහැ.නමුත් කොවිඩ් පරීක්ෂණ කිරීමේ අපහසුතාවට තිබෙනවා.මුල් කාලයේ තරම් කොවිඩ් පරීක්ෂණ කිරීමේ හැකියාව අපට අඩුයි.එසේ වුණත් කොවිඩ් රෝගීන්ගේ විශාල වැඩි වීමක් අපට පෙනෙන්නට නැහැ. කොවිඩ් රෝගීන් වාර්තා වුණත් අසාධ්‍ය මට්ටමේ රෝගීන් වාර්තා වෙන්නේ නැහැ.
ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ සමාජ වගකීම කෙබඳු ද?

එය ඇත්තටම සමාජ වගකීමක්. රෝගය ව්‍යාප්ත වීම පාලනය පහසු නැහැ.එය සෑම දෙනාම හොඳින් තේරුම් ගත යුතු කාරණයක්. ඩෙංගු මදුරුවා කියන්නේ අපි නොහිතන තැන්වල බිත්තර දාන්න පුළුවන් සත්වයෙක්. මදුරු කීටයා පාලනය, මදුරුවන්  පාලනය ඉතාමත්ම අපහසුයි.පසු බට නොවී දිගින් දිගටම මේ පිළිබඳව කටයුතු කරනවා නම් යම්කිසි හෝ අඩු වීමක් කර ගන්න පුළුවන්. ඩෙංගු වළක්වා ගැනීම ප්‍රජාව විසින්ම කළයුතු දෙයක්. ඩෙංගු මදුරුවා ඉතාම කුඩා වතුර රැඳෙන ස්ථානයක වුවත්,සාමාන්‍යයෙන් ගසකින් කොළයක් වැටිලා ඒකේ වතුර එකතු වුණත් ඒකේ බිත්තර දාලා මදුරු කීටයන් බිහි කරන්න පුළුවන්. මොකද ඩෙංගු මදුරුවාගේ වාසස්ථාන විනාශ කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්, ලංකාවේ තියන සියලු‍ම ගස් වර්ග,ශාකවර්ග විනාශ කර එක නෙවෙයි මේකට පිළියම.හැකි පමණ අවම කරන එක තමයි අපට කරන්න පුළුවන්.තමාගේ නිවස අවට නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනිම ඉතාමත් වැදගත්.එමගින් යම් ප්‍රමාණයකට බෝ වීම පාලනය කර ගන්න පුළුවන්.

සාකච්ඡා කර ලිව්වේ...
රුවන් පුෂ්පකුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය