මලාලා යුසුෆ්සායි 

මලාලා උපත ලැබුවේ 1997 ජුලි 12 වැනි දින පාකිස්ථානයේ පහළ මධ්‍යම පාන්තික පවුලක ය. ඇයගේ පවුල යූසූෆ්සායි  ගෝත්‍රයට අයත්, පෂ්තුන් වාර්ගිකයේ සුන්නි මුස්ලිම් වේ. පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශ වල තලේබාන්වරුන් විසින් සිය ආධිපත්‍යය පතුරුවා තිබු අතර ඔවුන් එහිදී ගැහැනු ළමයින්ට පාසල් යාම තහනම් කර තිබිණි. ඇය විසින් කුඩා කල සිටම ජීවිතය, සමාජ ප්‍රශ්න පිළිබද සිය අදහස් නිර්ණාමිකව බ්ලොග් අඩවි ඔස්සේ පළ කරන්නට විය. විශේෂයෙන් ම එහිදි ඇය විසින් එවක සමාජයේ ගැහැනු ළමයින්ට හිමි වු ස්ථානය,මෙන්ම ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය පිළිබඳ සමාජ කතිකාවතක්  ගොඩනැඟුවාය. මෙලෙස මලාලා තනිව සමාජ මතය වෙනස් කිරීමට උත්සහ ගැනීමත් සමග කුඩා දැරියක වුවත් ඇයට මුහුණ දීමට සිදු වු අන්තරායන් සුළු පටු නොවීය. ඇයට  දිගින් දිගටම මරණ තර්ජන පවා එල්ල වන්නට විය. ඒ අනුව 2012 වසරේ දී තලේබාන් නායකයන් විසින් ඇයව මරා දැමීමට ඒකමතිකව  තීරණය කෙරිණී.. 

2012 ඔක්තෝබර් 09 වැනිදා පාසල් නිම වී බස් රථයකිත් නිවෙස බලා යන අතර තලේබාන් තුවක්කුකරුවෙක් බස් රියට ගොඩ වී ඒ වන විට වයස අවුරුදු 15 ක් තරම් කුඩා දැරියක් වු මලාලාට  ඔවුන් වෙඩි තැබුවේය. වෙඩි උණ්ඩය වම් ඇසේ පැත්තෙන් ඇගේ බෙල්ල හරහා ගමන් කර උරහිසට එල්ල විය. ඇයව රෝහල් ගත කළ අතර පසුව ඇය පිළිබදව ලෝකය පුරා කතාබහට ලක් විය. ඒ අනුව වැඩි දුර ප්‍රතිකාර සදහා ඇයව එංගලන්ත රජය විසින් එරටට රැගෙන ආ අතර මලාලාගේ ආරක්ෂාව සදහා  එහි සුරැකිව තබා ගන්නා ලදී.  පසුව ඇය එංගලන්තයේ සිට නැවතත් කාන්තා නිදහස, ගැහැනු  ළමයින්ගේ අධ්‍යාපන අයිතිය පිළිබඳ හඬ නගන්නට විය. 

කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් හඬනැඟු ක්‍රියාකාරිනියක වන ඇය ළමයින් සහ තරුණයන් මර්දනයට එරෙහිව සහ සියලුම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සහ ඇය කළ අරගලය වෙනුවෙන් 2014 ඔක්තෝබර් 10 වන දින   ලොව ළාබාලතම නොබෙල් සාම ත්‍යාගලාභිනිය ලෙස මලාලා ප්‍රකාශයට පත් කරන ලදී. එසේම නොබෙල් ත්‍යාගයක් ලැබූ දෙවන පාකිස්ථානු  ජාතිකයාද වේ. මලාල ගෙන ගිය තනි සටන් ව්‍යාපාරයට ලොව වටා පිරිස් එකතු වන්නට විය. මලාලා අරමුදල පිහිටුවා එමගින් ගැහැනු ළමයින්ට නොමිලේ, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට ඇය විසින් කටයුතු කරනු ලබයි. තවද මලාලා අධ්‍යාපන අරමුදල් ව්‍යපාරයෙන් අධ්‍යාපනඥයන්ගේ සහ උපදේශකයන්ගේ කාර්යයට සහය වන අතරම ලොව පුරා ගැහැනු ළමයින්ගේ ද්වීතියික අධ්‍යාපනය ඉහළ නැංවීමටද යොදා ගනු ලබයි.  ඇය පවසන්නේ ගැහැනු ළමයින්ගේ හඬ වැදගත් අතර සිය දහස් ගණනක් මලාලාවන් එහි සිටිය හැකි බවයි. කාන්තාවක් ලෙස අයිතීන් වෙනුවෙන් හඬ නගන ආකාරය පෙන්නු ඇය අනිත් කාන්තාවන්ටද ආදර්ශයක් වූවාය.සමාජ දුර්මතයන්ට බයේ මිරිකී නොසිට කාන්තාවට ඉදිරියට පැමිණීමට ඇගේ කතාව හොඳ උදාහරණයකි.   

යූ. පූර්ණිකා ජයසේන

විශේෂවේදී පළමු වසර

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

 

සමාජීය විද්‍යා පීඨය