දියුණුව යනු ලෝකයට අලුත් දෙයක් නොවේ. අද අප දකින යම් දෙයක් වේ ද හෙට දිනයේ දී අපට එය දැකගත නොහැකි වනු ඇත. නමුත් අපට වෙනස්ම අලුත් දෙයක් හෙට දිනයේ දී දැකිය හැකි ය. ඒ තරමටම දියුණුව සහ වෙනස් වීම  විසින් පෘථිවියටත් මානවයාටත් ප්‍රබල ලෙස  බලපෑම් හමාර ය. නො වෙනස් වන එකම දෙය වෙනස් වීම යන අදහසෙන් පැහැදිලි වන්නේ ද එවැන්නකි . අප කවුරුත් වෙනස් වන ලෝකයට අනුව හැඩ ගැසිය යුතුමය. එසේ අනුවර්තනය නො වුණහොත් අපටත් සිදුවන්නේ   මිහිපිටින් ප්‍රතික්ෂේප වීමට ය. මෙම දියුණුවත් සමඟ සියල්ල පරයා දිනෙන් දින සංකීර්ණ වන මානව අවශ්‍යතාවනට  ප්‍රමුඛත්වය හිමි වනවා සේම එහි ප්‍රතිඵල ලෙස විවිධ සොයාගැනීම් නිර්මාණය වෙමින් මානවයාගේ ප්‍රගමනයට දායකත්වය ලබාදෙන ආකාරය නම් සිත් ඇදගන්නා සුළුය. විටෙක මෙවන් බොහෝ නිර්මාණ ගොඩනැගෙනුයේ විවිධ දුෂ්කර අවස්ථාවන් හි ප්‍රතිඵල ලෙස ය. එහිලා ගත හැකි කදිම නිදසුන පසුගිය කාලය වන විට මුළු ලෝකයක් අත්දැක ඇත. ඒ මෙතෙක් වැඩිම මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලිගත් කොරෝනා වෛරසය යි. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණු ආවරණ වැනි සුළු දේ පිළිබඳ පවා අන් කවරදාටත් වඩා කතාබහ කරන්නට විය. විවිධ පන්නයේ මුහුණු ආවරණ නිර්මාණය විය. තවත් විටක එය කෝටි ගණන් මුදල් උපයන ව්‍යාපාරයක් විය. වෛරසයක් සම්බන්ධයෙන් පමණක් ම නොව සාමාන්‍ය මිනිස් ජීවිතයේ දී පවා යහපත්  සෞඛ්‍යයෙන් පිරිපුන් ජීවිතයක් ගත කිරීමට එය උපකාරී වන්නකි. මක්නිසාද අද වන විට සෑම අතකින්ම පරිසරය මිනිසාගේ දූෂණයට ගොදුරු වී ඇති නිසාවෙනි. මේ ආකාරයට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට මිනිසා සතු සූදානම බෙහෙවින් වටී. ඒ සඳහා  මිනිසා විසින් තබන අද පියවර ඉතාම අගනේ ය. චිරාත්කාලයක් මානවයාට නො නැසී පෘථිවිතලයේ කල් ගෙවීමට එය මහෝපකාරී විය හැකි ය. එහිලා තවත් එක් පියවරක් මෙසේ ඉදිරිපත් කළ හැකි ය. 

වායු දූෂණයෙන් සහ ශබ්ද දූෂණයෙන් මානවයා ගලවාගත හැකි අන්දමේ උපාංගයක් නිර්මාණය කිරීමට  පර්යේෂණ කණ්ඩායමකට හැකියාව ලැබී තිබේ . පර්යේෂකයන් විසින් මෙය හඳුන්වා ඇත්තේ   හෙඩ්ෆෝනයක් ලෙසිනි. . මෙම හෙඩ් ෆෝන්වල වායු පවිත්‍ර කාරකයක් ඇති අතර එය දූෂණය වූ වායු පිරිපහදු කරනු ලබයි  එසේම  එතුළින් නැවුම් පිරිසිදු වාතය නාසයෙන් හෝ මුඛයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට හැකියාව ලැබෙ යි. තවද මෙම නව උපාංගය බාහිර පරිසරයෙන් මිනිසා වෙත එල්ල වන්නා වූ ශබ්ද තරංග නවත්වා හෙඞ්ෆෝන් එක තුළ ඇති අද්විතීය වායු පවිත්‍ර කිරීමේ පද්ධතිය සමඟ ඒකාබද්ධ වී පරිශීලකයාට පෙරාගත් වාතය ප්‍රක්ෂේපණය කරන බව ශ්‍රීමත් ජේම්ස්  ඩයිසන්ගේ සමාගම පවස යි. සැබැවින්ම මෙවැනි සොයාගැනීම්   ඉතාමත් කාලෝචිත ඒවා වශයෙන් හැඳින්විය හැකි ය. අද වන විට බොහොමයක් රටවල වායු දූෂණය සිතා ගැනීමටවත් නොහැකි අන්දමට ඉහළ ගොස් ඇත්තේ විටෙක මානවයාගේ ආත්මාර්ථකාමී වූත් අදූරදර්ශී වූත් ක්‍රියා කලාපය පිළිබඳ ලෝකයා ගේ නෙත ඇහැරවමිනි. චීනය, ඉන්දියාව වැනි රටවල වායු දූෂණය කෙතරම් ද යත් එකිනෙකා නො පෙනෙන තරමට ම දැඩි ලෙස වාතය දූෂණයට ගොදුරු වී අවසන් ය. පැළඳිය හැකි අධිතාක්ෂණික උපාංගයක් ලෙස නිර්මාණය කර ඇති මෙම උපාංගය Dyson Zone air purifier නමින් හඳුන්වයි. මෙම උපාංගය ඉදිරියේ දී විකිණීමට අදහස් කර ඇති නමුත්  මිල ගණන් පිළිබඳව සඳහන් කිරීමක් එහි නිර්මාතෘ ආයතනය  විසින් ප්‍රකාශ  නැත. මෙය නගරවල දූෂිත වාතයෙන් ආරක්ෂා වීම සඳහා ම නිර්මාණය කරන ලද්දක් බව පැවසේ. පරීක්ෂණ කටයුතුවල දී Dyson Zone air purifier ලෙස හඳුන්වන මෙම උපාංගය Covid ඇති කරන වෛරසය වන SARS-Cov-2 මත පරික්ෂා නො කළ ද MS2 බැක්ටීරියා භක්ෂක සහ H1N1 ඉන්ෆ්ලූවන්සා යන වෛරස් වර්ග සාර්ථකව පෙරීම සිදු කර ඇති අතර ඉදිරියේ දී මෙම උපාංගය covid සඳහා විසඳුමක් ලෙස ද යොදා ගැනීමට ඉඩ ඇත. බ්‍රිතාන්‍යයේ තාක්ෂණික සමාගමක් පවසන්නේ නාගරික ප්‍රදේශවල වාතය සහ ශබ්ද දූෂණයට ප්‍රතිචාරයක් ලෙස මෙම උපාංගය නිර්මාණය කර ඇති බව යි. නිර්මාණ සමාගමේ ප්‍රධාන ඉංජිනේරු සහ සමාගමේ නිර්මාතෲ ජේම්ස් ඩයිසන් ගේ පුත් ජේක් ඩයිසන් ලන්ඩනයේ දී මෙම උපාංගය සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදු කර ඇත. එය එක් එක් කණෙහි ඇති සම්පීඩක සහ ෆිල්ටර් හරහා වාතය ඇද ගැනීමක් සිදු කරන බව පර්යේෂණවලදී දැකගත හැකි විය. මෙමගින් නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි නගර වායු දූෂක ග්‍රහණය කර ගනු ලබන අතර පසුව සම්පීඩක මගින් පිරිසුදු කරන ලද වායු ධාරා පැළඳ සිටින අයගේ නාසයට සහ මුඛයට ප්‍රක්ෂේපණය කර යි. 

සමාගමේ ප්‍රධාන ඉංජිනේරු සහ සමාගම නිර්මාතෘ මෙන්ම ප්‍රකෝටිපති ව්‍යවසායක ශ්‍රීමත් ජේම්ස් ඩයිසන්ගේ පුත් ජේක් ඩයිසන් පවසන්නේ "වායු දූෂණය ගෝලීය ගැටලුවකි. එය අප යන සෑම තැනකම අපට බලපා යි" යනුවෙනි. හෙඩ්ෆෝනය මගින් කන්වල ඇති සම්පීඩක උපයෝගී කරගනිමින් ආසාත්මිකතා සහ දූවිලි වැනි සූක්ෂම අංශු ග්‍රහණය කරගන්නා අතර සාදන ලද පෙරහන් හරහා වාතය ඇද දම යි. මෙහි සුවිශේෂී ම ගුණය නම් දූවිලි, බැක්ටීරියා මෙන්ම වෛරස් ඇතුළු මයික්‍රෝන 0.1 ක් තරම් කුඩා අංශුවලින් 99% ක් ෆිල්ටර් විසින් ග්‍රහණය කරගැනීමය. වෙනත් සාම්ප්‍රදායික මුහුණු ආවරණ නිසාවෙන් ඇති වූ ගැටලු මගහරවා ගැනීමට ඉංජිනේරුවන්ට අත්‍යවශ්‍ය වූ බව සමාගම පවස යි. මෙම උපාංගයේ වායු පෙරීම එහි ඇති වීසර් භාවිතයෙන් සිදුවන අතර පැළඳ සිටින්නා කතා කරන විට පහත් කළ හැකි ය. නැතිනම් සම්පූර්ණයෙන්ම වෙන් කළ හැකි ය. එබැවින් සෑම අතින්ම පහසු වන ආකාරයට මෙය නිමවා ඇති බව කිව හැකි ය. මෙය වසර හයක සංවර්ධනයේ සහ මූලාකෘති 500 කට වැඩි ප්‍රමාණයක ප්‍රතිඵලයක් බව කිව යුතුමය. ඩයිසන් අනතුරු අඟවන්නේ ලෝකයේ නාගරික ජනගහනය අඛණ්ඩව වර්ධනය වන අතර එහි ප්‍රතිඵල ලෙස වාතයේ දුර්වල ගුණ ඇති වන බව යි. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව ගෝලීය වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකු දූෂක සීමාවන් පිළිබඳ එහි මාර්ගෝපදේශ ඉක්මවා යන වාතය ආශ්වාස කර යි. තවද 2022 ජනවාරි මාසයේ දී ලන්ඩනයේ ජීවත්වන පුද්ගලයන්ට ඉහළ පරිසර දූෂණය හේතුවෙන් එළිමහනේ ව්‍යායාම නො කරන ලෙස උපදෙස් දෙන ලදී. එසේම යුරෝපයේ මිලියන 100 ක පමණ ජනතාවක් එහි නිර්දේශිත මට්ටමට වඩා දිගුකාලීන ශබ්ද නිරාවරණයට ගොදුරු වන බව ද කියනු ලැබේ. කාබන් මොනොක්සයිඩ් ඉහළ සාන්ද්‍රණයක් සහිත වාතය ආශ්වාස කිරීම හෘදය සහ මොළය වැනි තීරණාත්මක අවයව හිත රුධිර ප්‍රවාහනය කළ හැකි ඔක්සිජන් ප්‍රමාණය අඩු කර යි. ගෘහස්ථව හෝ සංවෘත පරිසරයන්හී දී ක්ලාන්තය, ව්‍යාකූලත්වය, සිහිසුන්භාවය සහ මරණයට පවා හේතුවීමට තරම් මාරාන්තික විය හැකි බව දක්ව යි. නයිට්‍රජන් ඔක්සයිඩ්වලට කෙටිකාලීනව නිරාවරණය වීමෙන් වුව ද ශ්වසන පද්ධතියට හානි පැමිණිය හැකි ය. මෙයාකාර වායු දූෂණය විසින් ලෝකයම ගිලගන්නා අවධියක Dyson Zone air purifier වැනි උපාංග කෙතරම් ප්‍රයෝජනවත් ද යන්න දැකිය හැකි ය. විටෙක එය මානවයා විසින් ප්‍රශ්න නිර්මාණය කර පසුව එයට විසඳුම් සෙවීමට සිදු වූවා වැනි ය. එදත් අදත් සේම හෙටටත් එය එසේම සිදු වන බවට සාක්ෂි ඕනෑ තරම් සොයා ගැනීම ඉතාම පහසු කටයුත්තකි. අවබෝධ කර ගත යුතු කරුණ නම් කාසියේ දෙපැත්තක් සේම සියල්ලෙහිම දෙපැත්තක් ඇති බව යි. 



මූලාශ්‍ර

 

https://www.dailymail.co.uk/sciencetech/article-10666755/Dyson-unveils-purifying-headphones-protect-air-noise-pollution.html

 

එම්.ඒ.තිළිණ ප්‍රසාද්

විශේෂවේදි පළමු වසර

මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණය

ජනසන්නිවේදන අධ්‍යනාංශය

සමාජීය විද්‍යා පීඨය