යුද්ධය යනු සියළු ලෝක වාසීන් අසන්නට අකමැති වචනයකි. ඉතිහාසය විමසු කළ ලොව සෑම රටකම පාහේ යුද්ධය හා සම්බන්ධ අත්දැකීම් ඇත. අතීතයේ මෙන්ම වර්තමානයේ ද ලෝක සිතීමේ බොහෝ තැන් ලෙයින්, වෙඩි උණ්ඩයෙන් ලියවුනේ යුද්ධය හේතු කොටගෙනය. අප කාගේත් පැතුම සතුට, සාමය, සමගිය පිරි ලොවක් වුව ද ලෝක බලවතුන්ගේ ඇතැම් තීරණ එයට හරස් වනුයේ ඔවුනගේ න්‍යායපත්‍රයන්ට සෙසු රටවල් භාජනය කරමිනි.

 

රුසියානු යුක්රේන අර්බුදය මේ වන විට ලෝක පුවත් තුළ උණුසුම්ම පුවත බවට පත්ව හමාරය. දිනයක් දිනයක් පාසා ඒ දෙසින් ඇසෙන්නට ලැබෙනුයේ ජීවිත සහ දේපල හානි පමණකි. ලොව කෙතරම් සංවිධාන තිබුනා වුවත් ඒ සියල්ල බලවතුන් ඉදිරියේ නිහඬ ය. නේටෝව පමණක් නොව කලක් ලාංකේය යුද අපරාධ ගැන පම්පෝරි ගැසූ මානව හිමිකම් කවුන්සිලයේ වුව ද දැන් ඇස් අන්ධ ය. යුක්‍රේනයේ පිහිටට ආවේ බටහිර යුධ ආධාර පමණි. අන් සරණක් නොවූ කළ දැන් යුක්‍රේනියානු අර්බුදය දෙසින් අලුත් පුවතක් අසන්නට ලැබේ. ඒ ලෝක ප්‍රකට හැකර් කණ්ඩායමක් වන Anonymous හැකර්වරුන් රුසියාවට එරෙහි සයිබර් ප්‍රහාරයක් දියත් කළ බව යි. ඔවුන් රුසියාව යුක්රේනයට එරෙහිව සිදුකරන ලබන ආක්‍රමණ අවසන් කරන තුරු රුසියානු දත්ත ගබඩා වලට ඇතුළුවීමට කටයුතු කරන බව දන්වා තිබේ. තව දුරටත් සඳහන් කර ඇත්තේ හැකර්වරුන් ඒ  සම්බන්ධයෙන් ප්‍රතිඥා පවා ලබා දී ඇති බව යි. තවද රුසියානු ලිපිගොනු 200,000 ට වඩා විශාල තොගයක් කාන්දු කර ඇති අතර ඒත් සමගම අනතුරු ඇඟවීම සිදුකර ඇත. රුසියානු ජනපති පුටින් විසින් අසල්වැසි යුක්‍රේනයට එරෙහි ආක්‍රමණ අවසන් කරන තුරු රුසියානු දත්ත ගබඩා වලට නොකඩවාම ඇතුල් වන බවත් හැකර්වරුන් දන්වා තිබේ. මෙය රුසියාව විසින් සිදු කළ ආක්‍රමණයට එරෙහි පළිගැනීමක් ලෙස දියත් කළ සයිබර් ප්‍රහාර මාලාවකි. සයිබර් ප්‍රහාර මාලාවේ රුසියානු සොල්දාදුවන්ගේ දත්ත කාන්දුවක් සහ රාජ්‍ය පාලනය යටතේ පවතින රූපවාහිනි යටත්කර ගැනීම යනාදී කරුණු ඇතුළත් විය. වාරණය, ලේඛණාගාර සහ කලාව පිළිබඳ අධීක්ෂණයක් ඇති ආයතනයක් ලෙස සලකනු ලබන රුසියානු සංස්කෘතික අමාත්‍යාංශයේ ඊ මේල් 200,000 ට අධික සංඛ්‍යාවක් ඇතුළුව විශාල දත්ත ප්‍රමාණයක් සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇත. Anonymous හැකර්වරුන් රුසියානු යුද ප්‍රයත්නයට රිංගීමට සහ කඩාකප්පල් කිරීමට ගත් අඛණ්ඩ උත්සාහයක කොටසක් ලෙස තෙල් සහ ගෑස් සමාගම් සමාගම වෙතින් ද ඊ මේල් සහ දත්ත පැහැරගෙන ඇත. එය තරමක් දුරට රුසියානු ආර්ථිකයට සෘජුව බලපෑම් කිරීමේ හැකියාවක් තිබිය හැකි ය. මන්ද තෙල් සහ ගෑස් යනු රුසියානු ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නා වූ වාණිජමය අංශ වන බැවිනි. බොහෝ අය පවසන්නේ රුසියාව වැනි ධනවත් ප්‍රබල රාජ්‍යයකට ආර්ථික සම්බාධක දැමීමෙන් ඵලක් නොමැති බව යි. එයට හේතුව ලෙස පෙනෙන්නට ඇත්තේ රුසියානු ආර්ථිකයට අවශ්‍ය බොහෝ දේ රට තුළම නිෂ්පාදනය කිරීමත් ආනයන කිරීමත් ය. තෙල් සහ ගෑස් ඉන් ප්‍රධාන යි. ආර්ථික සම්බාධක මගින් ආනයන කටයුතු වලට යම් බාධාවක් එල්ල වුව ද ජනපති ව්ලැඩිමීර් පුටිං ඒ පිළිබඳ තැකීමක් නොකරන පුද්ගලයෙකි. රුසියාව යුක්රේනයට එරෙහිව දියත් කර ඇති ප්‍රහාරයෙන් ඉවත් වන තුරුම තමන් අනවසරයෙන් ඇතුළු වී රහසිගත තොරතුරු මුදා හරින බව හැකර්වරුන් අවධාරණය කරමින් සිටී. Tiwitter පණිවිඩයක් නිකුත් කරමින් එම කණ්ඩායම පවසන්නේ "රුසියාව ඔවුන්ගේ ආක්‍රමණ නවත්වන තුරු අනවසරයෙන් දත්ත ගබඩාවලට ඇතුල් වීම දිගටම පවතිනු ඇත" යනුවෙනි.

       මෙම මාසය තුළ දී Anonymous  හැකර්වරුන් විසින් යුක්රේනයේ සිටින හමුදා සෙබළුන් 120,000 ගේ පමණ පුද්ගලික දත්ත ද එළිදරව් කරන ලද අතර, නම, උපන්දිනය, ලිපිනය සහ විදේශ ගමන් බලපත්‍ර අංක වැනි පුද්ගලික තොරතුරු අනාවරණය කරන ලදී. ඊට ප්‍රතිචාරයක් වශයෙන් රුසියාව පෙන්වා දෙන්නේ එහි නීතියට අනුව ව්‍යාජ ප්‍රවෘත්ති වලින් රුසියානු හමුදාවන් පිළිබඳ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් වරදකරු වන ඕනෑම අයෙකුට වසර 15 ක් දක්වා සිරදඬුවමක් ඇතුළුව දැඩි දඬුවම් වලට මුහුණ දිය හැකි බව යි. යුක්‍රේනය ආක්‍රමණයට සහභාගීවන සියලුම සොල්දාදුවන් යුද අපරාධ අධිකරණයට යටත් කළ යුතු බව හැකර්වරුන් විසින් Twitter පණිවිඩයක් මගින් දක්වා ඇත. රුසියාවේ මහ බැංකුව ඉලක්ක කර ගොනු 35,000 ක් සොරකම් කර ඇති බවත්, යුක්‍රේන ආක්‍රමණය පිළිබඳ විරෝධී ප්‍රචාරක පණිවිඩ මුද්‍රණය කිරීම සඳහා රුසියාව පුරා මුද්‍රණ යන්ත්‍ර ද හැක් කර ඇති බවත්, හැකර්වරුන් දන්නවා ඇත. ඔවුන් ඒ සම්බන්ධයෙන් කියා සිටියේ "අප දැනට රුසියානු මුද්‍රණ යන්ත්‍ර 156 ට ප්‍රහාර දියත් කරනවා. දැනටමත් පිටපත් 40,000 ඉක්මවා ඇත" යනුවෙනි. රුසියානු රාජ්‍ය මාධ්‍යයෙහි ද ඊ මේල් පණිවිඩ 900,000 ට වඩා කාන්දු කිරිමට ද සමත් වූ බව ද දන්වා තිබේ. Anonymous හැකර්වරුන් ඉස්ලාමීය අන්තවාදීන් සංවිධාන ඇතුළු කණ්ඩායම් පවා ඉලක්ක කර තිබුණි. පසුගිය වසරේ ජූලි මාසයේ දී ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සමාගමේ නිර්මාතෲ ඉලෝන් මස්ක් ට පවා අනතුරු අඟවන්න ට පසුබට නො වුණි. නමුත් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ තුර්කිය ඇතුළු රටවල නිර්නාමික සයිබර් ප්‍රහාර වලට සම්බන්ධ පුද්ගලයින් දුසිම් ගනනක් අත්අඩංගුවට ගෙන ඇත.

 

https://www.dailymail.co.uk/sciencetech/article-10711729/Anonymous-leaks-massive-trove-Kremlin-files-vows-continue-hacking-Russia.html?ito=native_share_article-masthead

 

එම්.ඒ.තිළිණ ප්‍රසාද්,

විශේෂවේදි පළමු වසර,

මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණය,

ජනසන්නිවේදන අධ්‍යනාංශය,

 

කැළණිය විශ්වවිද්‍යාලය.