ලෝකයේ සෑම කාන්තාවක්ම තමාගේ ජීවිතය, අනාගතය අලුත් වන හීන ගොන්නක් සමග ජීවත් වේ. හීන, බලාපොරොත්තු කියන්නෙම ජීවිතේට පාර කියන මාර්ගයකි. ඔබ ජීවන ගමන තුළ පවතින තමාගේ හීන ළඟට එන තුරු බලා සිටියාද? බලා සිටියානම් ඒවා සිහිනයන්ම පමණි. තමා දකින හීන යථාර්ථයක් කිරීමට හීන දෙස බලා සිටියාට ඒවා සැබෑ වන්නේ නැත. ලොව ජයගත් කාන්තාවන් කිසිදා සිහින ඔවුන් කරා පැමිණෙන තුරු බලා සිටියේ නැත. ඔවුහු හැම දවසකම තම හීන පිටුපස හඹා ගියෝ ය. නැතිබැරිකම්, දුර්වලතා එසේත් නැතිනම් ආබාධිතකම ඔවුහු තම ගමනට බාධාවන් කර නොගෙන එය ආශිර්වාදයක් කර ගත්හ. එවන් දිරිය කාන්තාවන් ඔවුන්ගේ ජීවිත ජයගෙන අනෙකාගේ ජීවිතයන්ට ඔවුන්ගේ ජීවිත ගමන ඔස්සේ පාර කියු බොහෝ කාන්තාවන් ලෝකය තුළ දැක ගත හැක. අවාසනාවන්ත සිදුවීම් අපි හැමෝගෙම ජීවිත තුළ සිදුවිය හැකි පොදු සංසිද්ධියකි. අසමත්වීම්, කඩාවැටීම් හමුවේ බොහෝ දෙනෙක් ජීවිතයේ බලාපොරොත්තු කඩ කරගනිති. ජීවිතයට නොයෙකුත් ප්‍රශ්න ගැටලු ආවද නැවත ජීවිතය අලුතෙන් පටන් ගන්න හිතෙන්නේ බොහොම සුළු පිරිසකට පමණි. ජීවිතයට කුමන ප්‍රශ්න එල්ල වුවත් ජීවිතය අත්හැරීම නොව ශක්තිමත්ව එයට මුහුණ දීම වැදගත් බව සනාථ කළ කාන්තාවෝ ලොකය තුළ සිටිති. ඒ අතරින් ජීවිත ගමනට ශක්තිමත්ව මුහුණ දුන් කාන්තාවකි මුනිබා මසාරි. ඇය රෝද පුටුවට හිර වුණු ජීවිතයට නව අරුතක් ගෙන දුන් කාන්තාවකි.

1987 මාර්තු 3 වැනිදා පාකිස්තානයේ රහීම්යා කාන්හි උපන් මුනිබා මසාරි සෞන්දර්ය කලා උපාධිධාරිනියකි. වයස අවුරුදු 18 දී මුනිබා මසාරි විවාහ විය. විවාහයෙන් අවුරුදු 2කට පසුව 2007 වර්ෂයේදී ඇයගේ සැමියාට නින්ද යාම නිසා වාහන අනතුරකට මුහුණ දීමට සිදු විය. ඇය ගමන් කල කාරය ප්‍රපාතයට වැටුණි. ඇගේ කොඳු ඇට පෙළට එම අනතුරින් දැඩි ලෙස හානි වීම සිදුවිය. මුනිබා මසාරි ඒ වන විට විසිවන වියේ පසු කාන්තිවකි. ඇගේ කොඳු ඇට පෙළට දැඩි හානි සිදුවීම නිසා ඇගේ ජීවිතය වෙනස් මගකට යොමු විය. ඇයට එම අනතුරේ දී ඇයව වාහනෙන් එලියට ගන්නා විට කොඳුඇට පෙළෙහි අස්ථි බිදෙන බව ඇයට දැනිනි. ඇය මාස දෙකහමාරක් කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව රෝහලේ ඇඳට විත් කාලය ගත කිරීමට ඇයට සිදු විය. එක් දවසක ඇයට ප්‍රතිකාර කර වෛද්‍යවරයා ඇය ළඟට විත් ඇය කුඩා කල සිට චිත්‍ර ශිල්පිනියක් වීමට හීන දැක්ක බව වෛද්‍යවරයා දැන සිටියහ. නමුත් වෛද්‍යවරයා ඇයට පවසන්නේ ඔබට නැවත කවදාවත් චිත්‍ර අදින්න බැහැ. ඊළඟ දිනයේ දී වෛද්‍යවරයා පැමිණ කොඳු ඇට පෙළට සිදුවී ඇති හානිය විශාල වන නිසා ඔබට නැවත ඇවිදින්නට නොහැකි වේවි. එලෙස වෛද්‍යවරයා ප්‍රකාශ කරද මුනිබා එය නොසලකා හැරීය. නැවත ඊළග දිනයේ දී වෛද්‍යවරයා පැමිණ කිසිදිනක දරු ප්‍රසූතියක් කිරීමට නොහැකි බව පවසන ලදී. මෙම සිතුවිල්ල ඇය වේදනාවෙන් පුරවන ලදී. ජීවිතයේ සුන්දරම කාලය රෝද පුටුවකට කොටුවීමට ඇයට සිදුවිය. ජීවිතයේ මෙතරම් දරුණු වේදනාවක් හිමිකර දී තිබියදී ඇගේ සැමියා ඇයව දික්කසාද  කළේ ය.

ඇගේ ජීවිතය තුළ යම් වෙනසක් සිදු කළ යුතු බව සිතූ මුනිබා කැන්වස් රෙදි මත චිත්‍ර ඇඳීම ආරම්භ කරන්නේ රෝහලේ ඇඳමත සිටින කාලය තුළ දී මය. වසර දෙකක් රෝහලේ ඇදහි සිටින මුනිබා ට අවසානයේදී රෝද පුටුවක් භාවිතා කිරීමට හැකි බවට වෛද්‍ය අනුමැතිය ලැබිණි. ඉන්පසුව ඇය අඳිනු ලැබූ පළමු චිත්‍රය වූයේ ඇගේ මරණ මංචකය යි. එක් වචනයක්වත් ප්‍රකාශ නොකර ඇගේ හදවතේ තිබු වේදනාව  චිත්‍රයට නැගුවාය. ඇයට එය පුදුමාකාර ප්‍රතිකර්මයක් විය. ඒ ආකාරයට ඇය ඇයගේ කතාව ජනතාව සමඟ බෙදා ගැනීමට ඇයට හැකි විය. මිනිස්සු එම චිත්‍ර කෙතරම් ලස්සන ද කෙතරම් දීප්තිමත් ද යන ලෙස කතා කළ ද එහි පාට පිටුපස පැවති වේදනාව නොපෙනුණි. ඇය ඇය වෙනුවෙන් ජීවත්වීමට තීර්ණය කළහ. ඇයට වෙනත් කෙනකු වීමට නැතිනම් හොඳම කෙනෙක් වීමට අවශ්‍ය නොවීය. ඇය ඇගේ බියට විරුද්ධව සටන් කළහ. ඇයට දැනෙන සෑම බියක්ම ඇය කොලයක සටහන් කළඅතර එම හැම බියක්ම නොබියව පරාජය කරන බවට ඇය අදිටන් කරගත්තා ය. ඇය බිය ලෙස සැලකූ දික්කසාදය යන බියෙන් ද ඇය නිදහස් විය. ඇය මානසිකව ශක්තිමත් විය. මවක් වීමට නොහැකි වීම ඇයව මානසිකව අඩපණ කලත් ඇය දරුවකු හදා ගැනීමට තීරණය කළා ය. ළමා නිවාස හා ඒ ආශ්‍රිත සංවිධානයන්ට දැනුම් දීමෙන් අනතුරුව අවුරුදු දෙකකට පසුව පකිස්ථානයේ පුංචි නගරයකින් හදිසියේ දුරකථන ඇමතුමක් එන ලදී. එම දුරකථන ඇමතුම් දුරකථන පණිවිඩය නම් පොඩි පිරිමි දරුවෙකු හදා ගැනීමට කැමති ද යන වගයි. ඇය නොපිලිහෙළා දරුවා හදා ගැනීමට කැමති විය. ඒ ආකාරයට ඇය ජීවිතයේ අභියෝගයන්ට මුහුණ දුන් දිරිය කාන්තාවකි.

ඇය අද වන විට පකිස්තානයේ හොඳම චිත්‍ර ශිල්පිනිය ලෙස ප්‍රසිද්ධයි. මුනිබා පැස්ටල් මාධ්‍යයෙන් චිත්‍ර අඳින අතර Muniba’s Canvas යන සන්නාමය යටතේ “Let your walls wear colors” පාඨය සමග කලා කටයුතු කරගෙන යයි. ගීත ගැයීමට හැකි ඇය Tony and Guy වෙනුවෙන් නිරූපිකාවක් ලෙස PTV රූපවාහිනී පුවත් වාර්තාකාරියක් ලෙසත් කටයුතු කරයි. එක්සත් ජාතීන්ගේ පළමු තානාපතිකමක් ලද පළමු පකිස්ථාන කාන්තාව වන්නේ ද මුනිබා මසාරිය. පරාජය විකල්පයක් කරමින් පරාද වෙන්න වෙන්න වැටෙන්න වැටෙන්න ඔබ නැගිටින්න. ඔබ නැගිටිමින් ඔබ ගන්නා හුස්මක් ගානේ ජීවත් වෙන්න. ලැබුණු ජීවිතයේ සතුට විදින්න. හැම මොහොතේම ජීවත් වෙන්න යන ලෙස මුනිබා මසාරි ඇයගේ දේශන තුළ ඉදිරිපත් කරයි. සමාජ සේවිකාවක් ලෙස ඉතා වටිනා කාරයභාරයන් සිදුකරන ඇය ළමා අපචාර වැලැක්වීමටත්, දරුවන්ගේ අයිතිවාසිකම් සහ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී කටයුතු කරයි. මේ සියල්ල ඇය රෝද පුටුව හි සිට සිදුකරයි. තමාට හැකි උපරිමයෙන් ම ජීවිතය වෙනුවෙන් කැපවිය යුතු බව මුනිබා මසාරි ගේ ජීවිත කතාවෙන් අපට ගත හැකි ආදර්ශයයි. හිතන්න.....මේ ලොකය තුළ මුනිබා වැනි කාන්තාවන් බොහෝ සිටිය හැක. ඔබත් ඔබේ ජීවිත ගමන අභියෝගයක් ලෙස සිතමින් සාර්ථකව අභියෝග වලට මුහුණ දෙන්න. එවිට ඔබ සාර්ථක වනු ඇත. ඔබ සිටින ආකාරය ඔබ පිළිගන්නා විට ලෝකය ඔබව හදුනාගනීවි.

 

H.D.තරිණි නානායක්කාර

විශේෂවේදී පළමු වසර - මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමණාකරණය

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

 

සමාජීය විද්‍යා පීඨය