අද වන විට ලෝකය තිබෙනුයේ ඉතාම දියුණු අවධියක ය. ඒ විද්‍යාව හා තාක්ෂණයේ කැපී කිරීම නිසා යැයි කිවහොත් වඩාත් නිවැරදි වනු ඇත. කලක් පෘථිවියටම කොටු වූ මිනිසා ඉන් ඔබ්බට ගොස් විශ්වය ගවේෂණයට පෙළඹුණේ ද විද්‍යාව හා තාක්ෂණයේ බලපරාක්‍රමය නිසාය. දැන් විද්‍යාව හා තාක්ෂණය දිනෙන් දින දියුණු වන ලෝකයේ සුවිසල් පංගුකාරයෙකි. අභ්‍යවකාශ මෙහෙයුම් කෙරෙහිද එහි බලපෑම නො අඬුව පවතී. අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් උඩුයටිකුරු කිරීමට සමත් යෝජනාවක් මේ වන විට ඉදිරිපත්ව ඇත. එනම් පෘථිවියේ සිට අභ්‍යවකාශය දක්වා Space Elevator එකක් නිර්මාණය කිරීමයි. මේ පිළිබඳව අදහස ඉදිරිපත් වනුයේ අද ඊයෙක සිට නොවේ. එය මීට වසර 150 ක පමණ කාලයකට පෙර සිටම එවකට සිටි විද්‍යාඥයින් සහ පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූවකි. නමුත් එවකට තිබුණු ප්‍රාථමික වටපිටාව හේතුවෙන් මෙවැනි යෝජනා යටපත් වන්නට ඇත. නැවත වතාවක් මෙවැනි අභ්‍යවකාශ සෝපානයක් නිර්මාණය කිරීමේ අදහස ඉදිරිපත් වනුයේ මීට වසර කිහිපයකට පමණ උඩදීය. ජපානය, චීනය, බ්‍රිතාන්‍ය, ඇමරිකාව සහ රුසියාව වැනි රටවල අභ්‍යවකාශ ඒජන්සීස් මෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කරනු

ලබන අතර මුලදී බොහෝ දෙනාගේ මතය වූයේ මෙවැනි අභ්‍යවකාශ සෝපානයක් නිර්මාණය කිරීම සඳහා සුදුසු කිසිදු අමුද්‍රව්‍යයක් පෘථිවිය තුළ නොමැති බවයි. නමුත් පසුව කාර්බන් නැනෝ ටියුබ් මේ සඳහා යෝග්‍ය බව ජපානයේ පැවසීමත් සමඟ මේ වන විට එහිලා විශාල කාර්යභාරයක් ජපානය විසින් ඉටුකරමින් සිටී. එහිදී මතුවන තවත් එක් ගැටලුවක් නම් මෙහි එක් අන්තයක් පෘථිවියේ සහ අනෙක් අන්තය හුදකලා නොකොට කවරකුට හෝ සම්බන්ධ කළ යුතු තිබීමයි. පසුව ඉදිරිපත්වූ අදහස් අනුව එහි අනෙක් අන්තය සඳට සම්බන්ධව කළ යුතු බව විද්‍යාඥයින්ගේ මතය විය. ඒ අනුව මෙම අභ්‍යවකාශ සෝපානය පෘථිවියේ සිට සඳ දක්වා නිර්මාණය කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇත. මෙය නිර්මාණයෙහි මූලික අරමුණ වනුයේ අභ්‍යවකාශ යානාව කිසිඳු බාධාවකින් තොරව පෘථිවියෙන් එපිටට රැගෙන යාමත් සහ අභ්‍යවකාශ මෙහෙයුම් වල දී දැරීමට සිදුවන අධික වියදම අවම කර ගැනීමත්ය. අභ්‍යවකාශ මෙහෙයුම් වල දී භාවිත කරනු ලබන රොකට්ටු, ෂටල, චන්ද්‍රිකා වැනි බොහෝ දේ නැවත පෘථිවියට නොපැමිණේ. නැවත පෘථිවියට ළඟා වනුයේ ඉතා සුළු ප්‍රමාණයක් වන අතරම ඒවායෙහිද බොහොමයක් කොටස් අභ්‍යවකාශයේ දී මුදාහැර හෝ වෙන යම් කාර්යයක් නිසා අහිමිව යයි. එවිට එම අදාළ අභ්‍යවකාශ ආයතනයට නැවත වතාවක් අධික මුදලක් වැය කරමින් අභ්‍යවකාශ යානා සහ ඒවායේ කොටස් නිර්මාණය කිරීමට සිදුවේ. නමුත් පර්යේෂකයින් පවසන ආකාරයට මෙම අභ්‍යවකාශ සෝපානය මඟින් පෘථිවියෙන් අභ්‍යවකාශය වෙත මුදා හැරෙන අභ්‍යවකාශ යානා නැවත පෘතුවියට ගෙන්වා ගත හැකි අතර ප්‍රතිභාවිතයටද යොදා ගත හැකි ය. මෙය කලකට ඉහත සිටම ඔවුන් දකින ලද සිහිනයකි. නමුත් එම සිහිනය තවත් වසර කිහිපයක් ඇතුළත සැබෑවක් වීමට ඉඩ ඇත.

       ජපානයේ ඉහළම ඉදිකිරීම් සමාගමක් වන Obayashi Corporation මේ වන විට මෙම අභ්‍යවකාශ සෝපානයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන අතර මේ වන විට ඔවුන් එහිලා යොදා ගැනීමට යෝජිත මූලික අමුද්‍රව්‍ය වන කාබන් නැනෝ ටියුබ් පරීක්ෂා කරමින් සිටී. එය 1991 දී පමණ ජපන් ඉංජිනේරුවකු විසින් සොයා ගන්නා ලදී. කාබන් නැනෝ ටියුබ් වලට වානේ වලට වඩා 100 ගුණයක් ශක්තිමත් වීමට හැකියාව ඇති අතර ඒවා ප්ලාස්ටික් මෙන් නම්‍යශීලී වේ. අභ්‍යවකාශ සෝපානය 96,000 km දිග කාබන් නැනෝටියුබ් කේබලයක් භාවිතයෙන් පෘථිවියේ සිට අභ්‍යවකාශයට සම්බන්ධ කරයි. පෘථිවි වායුගෝලය හරහා විහිදෙන කේබලය ඉදිරියේදී භෞතික මෙන්ම මානව සම්පත විශ්වය වෙත රැගෙන යනු ඇත. මෙය ගොඩ නැංවූ පසු ඉන්ධන හෝ විෂ රසායනික අපද්‍රව්‍ය නොමැති බැවින් අභ්‍යවකාශයට යාම මිල අඩු මෙන්ම තිරසාර වනු ඇත. අභ්‍යවකාශ සෝපානය අභ්‍යවකාශ ගමන් සහ ප්‍රවාහනය සඳහා වූ මාර්ගයක් පමණක් ම නොවෙයි. මේ ව්‍යාපෘති සංකල්පයේ හරය විමසූ කල එය බලශක්ති ගැටළු විසඳීමේ උත්සාහයක් ලෙසද සැලකිය හැකි ය. තරුණ විද්‍යාඥයන් දිරිගැන්වීමට සහ මෙම අභ්‍යවකාශ සෝපාන සංකල්පය ප්‍රවර්ධනය කිරීමට EUSPEC (යුරෝපීය අභ්‍යවකාශ සෝපාන අභියෝගය) නමින් තරඟයක් ජර්මනියේ මියුනිච් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ දී 2011, 2012, 2016 සහ 2018 වසරවල දී පැවැත්වුණු අතර එහිදී ඉහළම ගෞරවය ජපන් සිසුන් දෙදෙනෙකුට හිමිවිය. එබැවින් ජපානය ම මෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කිරීම විටෙක පුදුමයට කරුණක් නොවේ. මක්නිසාද ජපානය යනු අද වනවිට ලෝකය තුළ අභියෝගයන්ට මුහුණ දීමේ ප්‍රවීණයෙකි.

       පළමු අභ්‍යවකාශ ෂටල මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා 1981 අප්‍රේල් 12 වන දින Columbia අභ්‍යවකාශ ෂටලය කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වූ විට නැවත භාවිතා කළ හැකි අභ්‍යවකාශ යානයක සිහිනය සැබෑ විය. එතැන් සිට අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන NASA ආයතනය විසින් මෙහෙයුම් 100 ට වඩා දියත් කර ඇති අතර තව නොබෝ දිනකින් අභ්‍යවකාශ සෝපානයක් සිය මෙහෙයුම් වලදී භාවිත කිරීමේ අවස්ථාව ලොව වටා අභ්‍යවකාශ ඒජන්සි වලට උදාවනු ඇත. Lift Port යනු අභ්‍යවකාශ සෝපානයක් සඳහා සැලසුම් සකස් කරන සමාගම් කිහිපයෙන් එකකි. ඔවුන් විසින් යෝජනා කරන ආකාරයට අභ්‍යවකාශ සෝපානය සැතපුම් 62,000 පමණ වනු ඇත. එය කිලෝමීටර් වලින් 100,000 ක් පමණ වේ. අභ්‍යවකාශ සෝපානයක් කිසිදා වැසී නොයන ස්ථීර ලෙස පෘථිවි අභ්‍යවකාශ සංචාරය වේගවත් කරනු ඇති අතර එය අභ්‍යවකාශයට නිතර නිතර සංචාරය කිරීමේ මාර්ගයක් වේ. එමෙන්ම නව යුගයකට අවකාශ විවර කරනු ඇත. විටෙක අභ්‍යවකාශ සෝපානයක් පිළිබඳ අදහස ප්‍රචලිත කරන විශාලතම සාධකය වන්නේ එය අභ්‍යවකාශයට සම්පත් කැවීමේ පිරිවැය අඩු කිරීමයි. සෝපානයට ප්‍රධාන අභ්‍යවකාශ යානයක් ලෙස ෂටලයක් ප්‍රතිස්ථාපනය කළ හැකි අතර චන්ද්‍රිකා යෙදවීම, ආරක්ෂාව, සංචාරක සහ වැඩිදුර ගවේෂණය සඳහා භාවිතා කළ හැකි ය. මෙවැනි දියත් කිරීම් සඳහා  සාමාන්‍යයෙන් පෘථිවි වායුගෝලයෙන් පිටතට යාමට අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණයට වඩා අඩු ඉන්ධන ප්‍රමාණයක් වැයවන අතර ඇතැම් පර්යේෂකයින් විශ්වාස කරන්නේ අඟහරු ඇතුළු අනිකුත් අනෙකුත් ග්‍රහලෝක වලට ද අභ්‍යවකාශ සෝපාන ඉදි කළ හැකි බවයි.

       මෙම ව්‍යාපෘතියත් සමග අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයක් සම්බන්ධව බොහෝ දෙනා කතා බස් කළ අතර විද්‍යාඥයින් විසින් ද කරුණු දක්වනුයේ මෙම ව්‍යාපෘතිය අභ්‍යවකාශ සංචාරක කර්මාන්තයක් දක්වා වුව වර්ධනය විය හැකි බවයි. නමුත් කරුණු විමසා බැලූ විට මින් පෙර සිටම විවිධ අභ්‍යවකාශ ඒජන්සි මගින් සංචාරකයින් අභ්‍යවකාශයට යවා ඇති අයුරු හඳුනාගත හැකි ය. එය අනාගත අභ්‍යවකාශ සංචාරක කර්මාන්තයක මුල් පියවරක් විය හැකි ය. ඒ අනුව ඇමෙරිකානු මිලියනපතියෙකු වන Dennis Tito ලොව පළමු අභ්‍යවකාශ සංචාරකයා ලෙස 2021 අප්‍රේල් 30 වන දිනත්, දකුණු අප්‍රිකානු ව්‍යාපාරික Mark Shuttleworth 2002 අප්‍රේල් 25 වන දිනත්, ඇමරිකාන ව්‍යාපාරිකයෙකු වන Greg Olson 2005 ඔක්තෝම්බර් 1 වන දිනත්, ඉරාන සම්භවයක් ඇති විදුලි සංදේශ ව්‍යවසායකයෙකු වන Anousheh Ansari 2006 සැප්තැම්බර් 18 දින සිව්වන සංචාරකයා සහ පළමු කාන්තා අභ්‍යවකාශ සංචාරකයා ලෙසත්, මෘදුකාංග ගෘහ නිර්මාණ ශිල්පියකු වන Charles Simony 2007 අප්‍රේල් 7 වන දින පස්වන අභයවකාශ සංචාරකයන් බවටත් පත්විය. මෙම අභ්‍යවකාශ සෝපානය නිර්මාණය වීමත් සමඟ 21 වැනි සියවසේ දී මෙම චාරිකා ලාභදායී කර්මාන්තයක් විය හැකි ය. ඉදිරි දශක කිහිපය තුළින් අභ්‍යවකාශ සංචාරක සමාගම් බිහිවනු ඇත. එපමනක් නොව විද්‍යාප්‍රබන්ධ ලේඛකයින් සහ ගණිතයෙන් සීමා නොවූ යථාර්ථවාදීන් අභ්‍යවකාශ සෝපාන ගැන සිහින මැවුවේ ය. ආතර් සී ක්ලාක් The Fountains of Paradise හි 22 වැනි සියවසේ දී අභ්‍යවකාශ සෝපානයක් තැප්‍රොබේන් දූපතට ඉහළින් ඇති බව පිළිබඳ සිතින් මවා ගැනීමක් දක්වා ඇත. මින් පෙර සිටම මිනිසා සතු අභ්‍යවකාශ අත්දැකීම්, එම අභ්‍යවකාශ මෙහෙයුම්, වර්තමානයේ ඒ ඔස්සේ සිදුවන පර්යේෂණ සහ සැලසුම් සන්සන්දනය කරන විට ලෝක වාසීන් වන අපට එළඹිය හැකි නිගමනය නම් නුදුරේදීම අභ්‍යවකාශ සෝපාන සිහිනය සැබෑවක් විය හැකි බවයි. ජපානය පවසන ආකාරයට එය බොහෝවිට 2050 දී විය හැකි ය. පර්යේෂණ කටයුතු වල නියැලී  සිටින පිරිස් පවසන ආකාරයට මෙයට විවිධ ග්‍රාහක වස්තූන් සහ අභ්‍යවකාශ යානා වල කොටස් මඟින් හානි සිදුවිය හැකියි හැකි අතරම ඔවුන් ඒ වෙනුවෙන් තවත් මෙවැනිම අභ්‍යවකාශ සෝපානයක් පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතර තැනීම යෝජනා කරයි. විද්‍යාඥයින් තවදුරටත් පවසන්නේ මෙම සෝපානය නිර්මාණය ඉදිරියේ දී මතු යම් දිනෙක අභ්‍යවකාශ සංචාරක කර්මාන්තයක් දක්වා වර්ධනය විය හැකි බවයි. එසේම පෘථිවිය සහ අනෙකුත් ග්‍රහයන් අතර ගමනාගමනය ද වැඩිය ඈතක නොවන අතර අප Hollywood සිනමාපට තුළින් සහ කතා පොත් තුළින් දුටු ලෝකය සැබෑවක් වීමට ද වැඩි ඉඩක් ඇත.

 

එම්.ඒ.තිළිණ ප්‍රසාද්

විශේෂවේදි පළමු වසර

මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණය.

 

https://www.groovyjapan.com/en/space-elevator/

https://redshift.autodesk.com/japan-space-elevator/

https://science.howstuffworks.com/space-elevator.htm

https://www.britannica.com/technology/space-elevator

 

https://qz.com/1380976/japan-has-taken-its-first-step-toward-building-a-space-elevator/amp/