වර්තමාන තාක්ෂණික දියුණුවත් සමඟ අප කුඩා අවධියේ පටන් රස විඳි, ප්‍රබන්ධ කතාවන්ට පමණක් සීමා වී තිබූ බොහෝ විශ්මය දනවන සංකල්ප, සැබෑ ලෝකය තුළ ළඟා කරගැනීමට මිනිසාට හැකියාව ලැබී තිබේ. මානව පරිණාම ඉතිහාසය තුළ මානවයා විසින් ගින්දර සොයා ගැනීමේ පටන් අද වන විට තාක්ෂණික දියුණුවත් සමඟ සිදු කර ඇති නව සොයා ගැනීම් අතිශයින්ම විශ්මයජනකය. අවශේෂ සත්ව විශේෂයන් අතර උසස් මනෝමය හැකියාවකින් යුතු එකම සත්ව කොට්ඨාසය ලෙස මිනිසා අද වන විට ලොව ප්‍රබලතම හා දියුණුතම සත්වයා බවට පත්ව තිබේ. ගල් යුගයේ පටන් තමාගේ ආරක්ෂාවට අවි ආයුධ නිර්මාණයත්, ස්වාභාවික උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීමට නිවාස ඉදිකිරීමත්, ගමන් පහසුව සඳහා වාහන නිපදවා ගැනීමත් මිනිසා සිය බුද්ධිය මෙහෙයවා නිර්මාණය කරගත් විශිෂ්ටතම උපකරණයන් අතර වේ.

සමස්තයක් වශයෙන් මානව පරිණාම ඉතිහාසය තුළ තාක්ෂණික වශයෙන් මිනිසාගේ සිදු වූ පරිණාමය ප්‍රධාන අවධීන් සතරකින් යුක්ත වේ. මිනිසා විසින් ගින්දර සොයා ගැනීම එහි පළමු ප්‍රවේශය විය. අමුවෙන් ගත් ආහාරවලින් ලැබෙන කැලරි ප්‍රමාණයට වඩා පිසූ ආහාරවලින් ලැබෙන කැලරි ප්‍රමාණය වැඩියෙන් අවශෝෂණය කරගැනීමට සමත් වීම හේතුවෙන් මිනිසාගේ බුද්ධිමය හැකියාවන් හා සිතීමේ හැකියාවද වර්ධනය විය. ගොවිතැන හා රෝදය සොයා ගැනීම තාක්ෂණික පරිණාමයෙහි ලා තැබූ දෙවන පියවර විය. තමන් සතු දැනුම වෙනත් අය සමඟ හුවමාරු කර ගැනීමට එමඟින් හැකියාව ලැබුණු අතර ලේඛන කලාව සොයා ගැනීමත් සමඟ මිනිසා ළඟා කරගත් දැනුම පැපිරස් පත්‍රවල හා මැටි පුවරුවල ලියා සංරක්ෂණය කර තැබීමට සමත් විය. එය තාක්ෂණික දැනුම හුවමාරුවේ ප්‍රධාන සන්ධිස්ථානයක් විය. මිනිස් පරිණාමයේ සතර වන තාක්ෂණික විපල්වය ලෙස සැලකෙනුයේ කෘත්‍රීම බුද්ධිය සොයා ගැනීමයි. තාක්ෂණය සමඟ මිනිසා නවෝත්පාදන රාශියක් ළඟා කරගත්තද මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වයට සමාන යන්ත්‍රයක් ලොව කිසිවෙකු විසින් නිර්මාණය කර නොතිබිණි. කෘත්‍රීම බුද්ධිය මඟින් මිනිසෙකු සිතන පතන ආකාරය, තීරණ ගැනීමේ හැකියාව යන්ත්‍රයකට ලබා දීමට අවස්ථාව සැලසිණි. ලොව වඩාත් ජනප්‍රිය වූ Knight Rider, Star wars, Wall – E, Her, Ex Machina, Transformers, A Space Odysses වැනි බොහෝ කතා මාලා හා චිත්‍රපට හරහා කෘත්‍රීම බුද්ධිය යන සංකල්පය වඩාත් සමාජ ගත විය. මිනිසා සිතන පතන ආකාරයටම කටයුතු කළ හැකි යන්ත්‍ර සූත්‍ර තවදුරටත් ප්‍රබන්ධ කතාවන්ට සීමා නොකොට සැබෑ ලෝකය තුළ නිපදවීමට මෙකී කෘත්‍රීම බුද්ධිය හේතු  විය. කෘත්‍රීම බුද්ධිය හරහා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාවලියක් සිදු වේ. මුල් කාලීනව රොබෝ තාක්ෂණය උදෙසා එය භාවිත වූවත් අද වන විට බොහෝ ක්ෂේත්‍රයන්හි කටයුතු වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව සිදු කර ගැනීම සඳහා මෙකී කෘත්‍රීම බුද්ධිය භාවිත කෙරේ. සාමාන්‍යයෙන් පරිගණකයක් ක්‍රියා කරනුයේ මෘදුකාංග ඉංජිනේරුවෙකු විසින් නිර්මාණය කරනු ලබන මෘදුකාංග විධානයන්ට අනුවය. නමුත් ඉන් ඔබ්බට යමින් පරිගණකවලට යම් ක්‍රියාවලියක් මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නිවැරදිව ඉදිරියට කරගෙන යා හැකි බව දුටු පරිගණක විද්‍යාඥයින් හා ඉංජිනේරුවන් විසින් සිදු කරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස කෘත්‍රීම බුද්ධිය සොයා ගැනීම සිදු විය. මිනිස් දරුවෙකු වුවත් මෙලොව එළිය දකින විට කතා කිරීමට නොහැකි, යමක් තනිව කරගත නොහැකි, මෘදුකාංග ඇතුළත් නොකළ පරිගණකයක් වැනිය. නමුත් දරුවා ක්‍රමයෙන් සමාජ ආභාෂය ඇසුරින් තමා දකින, තමාට දැනෙන, තමාට ශ්‍රවණය වන දේවල් මිනිස් මොළය හරහා ඉතා කෙටි කාලයක් තුළදී ග්‍රහණය  කොට ගෙන ඒවා අවබෝධ කර ගැනීමට සමත් වෙයි. දරුවෙකු කුඩා කල පටන් භාෂාවක රටා උපාර්ජනය කරගන්නේද ඒ ආකාරයටය. ශරීර වර්ධනයට සාපේක්ෂව ඒවා තවදුරටත් වර්ධනය කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු ක්‍රමයෙන් භාෂාවක වුවද ප්‍රවීණත්වයට පත් වේ. ඉපදුන දා පටන් ලබන අත්දැකීම්, දැනෙන හැඟීම්, අතීත මතකය හරහා වඩාත් බුද්ධිමත් මිනිසෙකු ලෙස හැදී වැඩෙයි. නිදසුනක් ලෙස කුඩා දරුවෙකු ජීවිතයේ පළමු වරට ගින්දර දකින්නේයැයි සිතුවහොත් එහි පාට, හැඩය අනුව අපූරු දෙයක් යැයි සිතා එය ස්පර්ශ කිරීමට උත්සහ කළ හැකිය. නමුත් එයින් පිලිස්සීමකට ලක්වන නිසා භෞතිකව ලස්සන, සුන්දර දෙයක් ලෙස පෙනුනද එමඟින් හානියක් වන බව අවබෝධ කර ගනී. එවිට දරුවාගේ මොළය තුළ එය දත්ත වශයෙන් ගින්දර කෙතරම් ලස්සන වුවද ස්පර්ශ නොකළ යුතු, හානිකර දෙයක් බවට තැම්පත් වෙයි. දරුවා ඉන් පසුව මොනයම් හෝ අවස්ථාවකදී ගින්දර හෝ ගින්දරට සමාන දෙයක් දුටුවහොත් පැරණි අත්දැකීම තුළින් මොළයේ ගබඩා කොට ඇති දත්ත නිසා එය ස්පර්ශ නොකළ යුතු දෙයක් බව අවබෝධ කර ගනී. අප සිත තුළ සර්පයන්ට දක්වන බිය නිසාම රෙදි පටියක් දුටුවත් බිය වන්නේ මේ ක්‍රියාවලිය නිසාමය. මිනිසා බුද්ධිමත් සත්වයෙකු ලෙස ක්‍රියා කරන්නේ ඒ ආකාරයටය. මෙකී මනෝමය ක්‍රියාකාරීත්වය යම් ගණිතමය න්‍යායන් හරහා පරිගණකයන්ට ඇතුළත් කිරීමෙන් ලබා ගත් ප්‍රතිඵලය වන්නේ කෘත්‍රීම බුද්ධියයි.

පරිගණක විද්‍යාවේ වඩාත් සිත් ඇඳගන්නා සුළු  විෂය ක්ෂේත්‍රයක් වන කෘත්‍රීම බුද්ධිය බොහෝ විට එහි ඉංග්‍රීසි නාමය කෙටිකර දැක්වීමක් ලෙස AI ලෙස භාවිත කෙරේ. කෘත්‍රීම බුද්ධියෙහි පියා ලෙස සැලකෙන්නේ ‘ජෝන් මැකාති’ නම් පුද්ගලයායි. 1950දී පමණ සිට ක්‍රමයෙන් දියුණු වෙමින් ආ කෘත්‍රීම බුද්ධිය මිනිස් බුද්ධියෙහි නිම්වළලු පවා අබිබවා යාමට සමත් වූ බව ඔබට විශ්වාස කළ හැකිද? ඒ 1997 දී IBM  සමාගම විසින් කෘත්‍රීම බුද්ධිය අන්තර්ගත කොට නිර්මාණය කරන ලද  ‘Deep Blue’ පරිගණකය හමුවේ ලොව මෙතෙක් බිහි වූ අග්‍රගන්‍යම චෙස් ක්‍රීඩකයා ලෙස සැලකෙන රුසියානු ජාතික ‘ගැරී කැස්පරෝෆ්’ පරාජයට පත් කිරීමත් සමඟය. වඩාත් මොළය වෙහෙසවා සිදු කරනු ලබන චෙස් ක්‍රීඩාව මෙන්ම ‘ගෝ’ ක්‍රීඩාවද ලෝක ශූරයන් පරාජයට පත් කරමින් AI මඟින් බලගැන්වූ යන්ත්‍ර සූත්‍ර ජයග්‍රහණය කොට තිබේ. මිනිසා විසින් මෙතෙක් සිදු කළ බොහෝ ක්‍රියාවලීන් මිනිසාට වඩා සිය දහස් ගුණයක වේගයකින් ඉතා නිවැරදිව සිදු කිරීමට AI මඟින් බල ගැන්වූ යන්ත්‍ර සුත්‍ර වලට අද වන විට හැකියාව ලැබී තිබේ. එය කොතෙක් දුරට කාර්යක්ෂමද කිවහොත් ඉතා වැඩි ඉලක්කම් ගණනක් සහිත සංඛ්‍යාවක් එවැනි සංඛ්‍යාවකින්ම වැඩි කර පිළිතුරු ලබා ගැනීමට මිනිසා ගන්නා කාලයට වඩා සියගුණයකින් අඩු කාලයක් ගන්නා සාමාන්‍ය ගණක යන්ත්‍රයක ක්‍රියාකාරීත්වයටද ඉතා අඩු කාලයකි. එතරම් වේගයකින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් AI සතු වෙයි.

එදිනෙදා අප දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිත කරනු ලබන බොහෝ උපකරණවල මෙකී කෘත්‍රීම බුද්ධිය අන්තර්ගතව පවතී. ඔබගේ smart ජංගම දූරකථනයේ Ciri, Google Assistant, Google Search හි පටන් වීඩියෝ ක්‍රීඩා, රොබෝවරු, ස්වාධීනව ක්‍රියාත්මක වන වාහන, ගුවන් යානා, ඩ්‍රෝන යානා ආදී බොහෝ ක්ෂේත්‍රයන්හි මෙකී  AI භාවිතා වෙයි. ස්වයංක්‍රීයව, ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාව, දැනුම එක්රැස් කර ගැනීම, හේතු දැක්වීම්,  සැලසුම් සකස් කිරීම්, ස්වයං අධ්‍යයනය කිරීම්, සන්නිවේදන හැකියා, චින්තන විධි ක්‍රම මෙන්ම චලනය වීමත්, වස්තූන් හැසිරවීමේ හැකියාවත්  මෙලෙස කෘත්‍රීම බුද්ධියෙන් නිපදවූ උපකරණ යන්ත්‍ර සූත්‍ර වල අන්තර්ගත වේ. පරිගණක විද්‍යාව, මනෝවිද්‍යාව, දර්ශනය, ස්නායු විද්‍යාව, සංජනනීය විද්‍යාව , වාග්විද්‍යාව, ආර්ථික විද්‍යාව, තර්කනය වැනි ලොව බොහෝ විෂය ක්ෂේත්‍රයන්ගේ සංකලනයක් කෘත්‍රීම බුද්ධියෙහි ගැබ්ව පවතී. මෙතෙක් කල් පරිගණකයක් විසින් මිනිසා විසින් ඇතුළත් කරන ලද මෘදුකාංග දත්ත මත පමණක් ක්‍රියා කළ ද AI මඟින් බලගැන්වූ යන්ත්‍රසූත්‍ර  පරිශීලකයා සමඟ කටයුතු කරන අවස්ථාවේදීත් තවදුරටත් යාවත්කාලීන වීම සිදුවේ. ඔබට යම් ස්ථානයකට යාමට අවශ්‍ය වූ විට ඔබ භාවිතා කරනු ලබන ජංගම දුරකථන යෙදුමක් වන ‘Google Maps මේ සඳහා කදිම නිදසුනක් වේ. යම්කිසි නිශ්චිත වේලාවක අදාළ ප්‍රදේශයේ පවතින මාර්ග තදබද සමඟ වඩාත් සුදුසු වේලාව හා ගමන් කළ හැකි උපරිම වේගය ඔබ වෙත දිස් වන්නේ ඉතා කාර්යක්ෂම දත්ත විශ්ලේෂණයක යෙදීමට AI සතු හැකියාව නිසාවෙනි.

වර්තමානය වන විට මිනිසා පරිගණක ආකෘතියක ජීවත් වනවා යැයි හැඟෙන තරමටම කෘත්‍රීම බුද්ධිය දියුණු වී තිබේ. මෙම තාක්ෂණික දියුණුව මිනිසාට ඵලදායී ලෙස මෙන්ම මුළුමහත් මිනිස් සංහතියේම විනාශය කෙරෙහි ද බලපැවැත්විය හැකි බව ඔබ දන්නවාද? තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කෘත්‍රීම බුද්ධිය සඳහා ඉතා වැඩි වටිනාකමක් ලබා දී තිබේ. බොහෝ රටවල මේ වනවිටත් මිනිස් ශ්‍රමය වෙනුවෙන් AI මඟින් බලගැන්වූ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනු දැකගත හැකිය. මිනිසාට වඩා ඉතා කාර්යක්ෂමව අඩු කාලයක් තුළදී බොහෝ කාර්යයන් ප්‍රමාණයක් සිදු කිරීමට එවැනි යන්ත්‍ර සූත්‍ර වලට හැකි වී තිබීම හේතුවෙන් නොබෝ කාලයකින් මිනිස් ක්‍රියාකාරකම් වලින් 80% පමණ AI හරහා සිදුකරනු ඇතැයි විද්‍යාඥයන් අනාවැකි පළ කරයි. වැඩිදියුණු කළ විද්‍යුත් තැපැල් පණිවිඩ භාවිතයත්, ජංගම චෙක්පත්, තැන්පතු ඔබ වෙත ගෙනවිත් තිබෙනුයේ මෙම AI හරහා ය. අද වන විට කාර්යක්ෂම භාෂා ඉගැනුමට අප පවා බොහෝ විට භාවිතා කරනු ලබන ගූගල් පරිවර්තනය (Google Translation) ද AI තුළින් මිනිසාට ලැබුණු අගනා දායාදයකි. ඕනෑම අවස්ථාවක ඕනෑම භාෂාවකට යම් පරිවර්තනයක් සිදු කර ගැනීමට අවශ්‍ය වූ විට මහත් අස්වැසිල්ලක් වන එම යෙදවුමෙහි සජීවී කියවීම ද පවතිනු දැකිය හැකිය. ඇතැම් විට අපගේ අත් අකුරු පවා එම යෙදවුම් හරහා කියවීමට  හැකිවීමෙන් කටයුතු වඩාත් පහසු වී තිබේ. මෙලෙස AI තුළින් බලගැන්වූ යන්ත්‍ර මගින් ලොව තාක්ෂණික වශයෙන් මෙන්ම බුද්ධිමය වශයෙන් මහත් විප්ලවයක් සිදුවෙමින් පවතී. එවැනි නිර්මාණ අතර ස්වයං - රිය පදවන මෝටර් රථ, ගුවන් යානා පිළිබඳ ඔබ අසා තිබෙනවාද? මිනිසා මෙන්ම මාර්ග සංඥාවලට අනුගතව, මාර්ගය හරහා පාර මාරුවන පදිකයන් පිළිබඳව අවධානයෙන් යුතුව, අනෙක් වාහන අතර නියමිත දුර පවත්වාගනිමින් මිනිසාගේ මැදිහත් වීමකින් තොරව වාහනයකට තනිව මාර්ගයක ගමන් කළ හැකි බව ඔබ විශ්වාස කරනවාද?බොහෝ රටවල පවතින මාර්ග නීතිරීති අනුව ස්වයං - රිය පදවන මෝටර් රථයන්හි රියදුරු අසුනේ අනිවාර්යයෙන්ම මිනිසෙකු අසුන් ගෙන සිටිය යුතු වුවත් පූර්ණ වශයෙන් මිනිසකුගේ මැදිහත් වීමකින් තොරව ධාවනය වීමට එවැනි මෝටර් රථවලට හැකියාව පවතී. එපමණක් නොව අද වන විට ස්වයංක්‍රීය නියමු (Auto Pilot ) ගුවන් යානා ද AI හරහා ක්‍රියාත්මක වන අතර පරිගණකයට අවශ්‍ය දත්ත සැපයීමට පමණක්  ගුවන් නියමුවෙකු අවශ්‍ය වේ. එවැනි කාර්මික අංශයේ බොහෝ අවස්ථාවල දී AI භාවිතය අද වන විට නව ප්‍රවණතාවක් බවට පත්ව තිබේ.

හුරුබුහුටි කුඩා රොබෝවරුන්ගේ පටන් මිනිසා මෙන් ඇතැම් විට ඊටත් වඩා විශාල රොබෝ යන්ත්‍ර AI මගින් බලගැන්වේ. ෆින්ලන්තයේ අද වන විට භාණ්ඩ ප්‍රවාහනය සඳහා (Delivery service) මෙලෙස AI මඟින් බලගැන්වූ රොබෝ රථ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. සිය පාරිභෝගිකයන්ගේ කාර්යබහුල දිවි පෙවෙත පහසු කරනු වස් එරට සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ‘Alepa විසින් 16 kg  පමණ වන රොබෝ රථ සැටක් පමණ මේ සඳහා යොදාගෙන තිබේ. කෘත්‍රීම බුද්ධිය උපයෝගී කරගනිමින් වඩා සුදුසු මාර්ග තෝරා ගනිමින් 99% ක්ම ස්වයං ක්‍රියාකාරිත්වය මත ඒවා ක්‍රියාත්මක වේ. නිරීක්ෂණ මධ්‍යස්ථානයකින් සෑම විටම එම රථ නිරීක්ෂණය කරන අතර වැස්සේ දී මෙන්ම හිම මත හා අඳුරේ වුවද පදික මන්තීරු, ආලෝක සංඥා, මිනිසුන් හා වාහන හඳුනාගනිමින් ගමන් කිරීමට හැකිවීම එම රොබෝවරුන්ගේ විශේෂ ලක්ෂණයකි. පැයට කිලෝමීටර් 6ක වේගයකින් ගමන් කරන එම රොබෝ යන්ත්‍ර හා පාරිභෝගිකයා අතර දුරකථන යෙදුමක් මගින් සන්නිවේදන කටයුතු සිදුවේ. සාමාන්‍ය  පුද්ගලයෙකුට වැඩ කිරීම තුළින් මහන්සියක් දැනුනද පරිගණකයක් හෝ AI යන්ත්‍රයකට ඕනෑම වෙලාවක් නොකඩවා යම්කිසි වැඩක නිරත වීමට ඇති හැකියාව නිසා AI මඟින් අසීමිත වාසි රැසක් මිනිසාට ළඟා කර ගැනීමට හැකි වී තිබේ. ජපානය වැනි රටක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රතිශතය වැඩිවීමත් සමඟ වැඩිහිටි රැකවරණය උදෙසා මෙලෙස AI මඟින් බලගැන්වූ රොබෝවරු නිෂ්පාදනයට මේ වන විට පර්යේෂණ ගණනාවක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් පරිගණකයක විශේෂත්වය වන්නේ ඇතුළත් කරනු ලබන සියලු දත්ත ඉතා කෙටි කාලයකදී විශ්ලේෂණය කොට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාවයි. මිනිසාට යමක් අධ්‍යයනයට අවශ්‍ය  වුවහොත් ඒ සඳහා පොත් ගණනාවක් කියවීමට සිදුවේ. ඒ සඳහා බොහෝ කාලයක් වැය විය හැකිය. නමුත් පරිගණකයක් තුළ පොත් දහස් ගණනක දත්ත රැස්කර තබා ගත හැකි සේම ඉතා කෙටි කාලයක් තුළ ඒ සියල්ල කියවා විශ්ලේෂණය කිරීමට ද හැකියාව පවතී. ඇතැම් විට මිනිසාට සිය ජීවිත කාලයේදීම කියවීමට නොහැකි දත්ත ප්‍රමාණයක් ඉතා සුළු කාලයකදී කියවීමට පරිගණකයකට හැකියාව ලැබේ. මේ නිසාම AI අද වන විට වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා ද මහඟු සේවාවක් ඉටු කරනු පෙනේ. ලොව පුරා දිනකට ප්‍රකාශයට පත්වන නව සොයාගැනීම්, පර්යේෂණ පත්‍රිකා එක් පද්ධතියට ඇතුළත් කොට ඒ හරහා අද වන විට විවිධ ලෙඩ රෝග හඳුනා ගැනීමටත්, ඒවාට නිර්දේශයක් ලබා දීමටත් කෘත්‍රීම බුද්ධිය භාවිත කරනු ලැබේ. IBM ආයතනය මගින් එලෙස නිර්මාණය කරන ලද ‘Watson’ නම් පරිගණකය ඇසුරෙන් පිළිකා රෝගීන් දාහක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයන් ප්‍රත්‍යක්ෂ වූයේ 70% මිනිස් වෛද්‍ය නිර්දේශයන්ට සමාන නිගමන වන එමඟින් ලබා දුන් අතර ඉන් 30% ක් මිනිසා අබිබවා යමින් ලබාදුන් සාර්ථක නිර්දේශයන් බවය. පසුකාලීනව සිදුකරන ලද වෛද්‍ය පර්යේෂණ මගින් එලෙස මිනිසා නොදත් බොහෝ ප්‍රතිකර්ම හා නිර්දේශයන් සනාථ කොට ගෙන තිබේ. පද්ධතියට ඇතුලත් කරනු ලැබූ සුළු දත්තයක් හෝ මග නොහැරීම හා AI යන්ත්‍ර හරහා ඉතා ක්ෂණයෙන් සිදු කළ හැකි විශාල දත්ත විශ්ලේෂණය එම සාර්ථකත්වයේ රහසයි.

මෙලෙස මිනිසාට සැබෑ ලෝකය තුළ විශ්වාස කිරීමට පවා අපහසු බොහෝ දෑ සිදු කිරීමට AI තාක්ෂණයට අද වන විට හැකියාව ලැබී තිබේ. එහි ඇති අසීමිත වරප්‍රසාදයන් මෙන්ම AI  තාක්ෂණයෙහි අහිතකර පැතිකඩ ද එතරම්ම ප්‍රබලත්වයකින්  යුක්ත වේ. මිනිස් ශ්‍රමය භාවිතයෙන් සිදුකරන බොහෝ රැකියාවන්ට යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම හේතුවෙන් මිනිස් රැකියා ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. AI හරහා වැඩිදියුණු වන Video Game කෙරෙහි බොහෝ දරුවන්, තරුණ පිරිස් ඇබ්බැහිවීම නව ප්‍රවණතාවක්ව තිබේ. කෘත්‍රීම බුද්ධිය විකෘති කරමින් ලොව පුරා වෛරස් හා විවිධ හැකර් ප්‍රහාර සිදු කෙරේ. මිනිස් බුද්ධියට වඩා සිය දහස් ගුණයකින් ඉදිරියට ගොස් සිටින AI තමා සතු දත්ත මත පදනම්ව අලුත් දේ ඉගෙන ගනිමින් ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවෙන් යුක්ත වන නිසාම අනාගතයේ මිනිසාට පාලනය කළ නොහැකි තත්වයකට පැමිණිය හැකි බවට ලොව නන් දෙසින් අනාවැකි පළ වෙයි.

2018 දී ඇමරිකා ආරක්ෂක බළකාය මගින් ස්වයංක්‍රීයව තීරණ ගෙන සතුරා විනාශ කළ හැකි අවි ආයුධ නිපදවීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී. එයට ජාත්‍යන්තර සංවිධානවලින් එල්ල වූ දැඩි විරෝධතාව මත අර්ධ ස්වයංක්‍රීය කොට මිනිසා විසින් ඉලක්කය පෙන්වාදීමෙන් පසු පහර දෙන ආකාරයට නිපදවීමට අවසර ලැබිණි. ඒ ආකාරයෙන් විශේෂයෙන්ම ද්‍රෝණ යානා භාවිතා කරමින් සාමූහික යානා ව්‍යාපෘති ලෙස ක්‍රියා කළ හැකි අවි ආයුධ නිර්මාණයට ලෝකයෙහි ප්‍රබල යැයි සම්මත බොහෝ රටවල අවධානය මේ වනවිට යොමු වී තිබේ. බලය හමුවේ මිනිසා විසින්ම නිර්මාණය කළ තාක්ෂණය මිනිසාටම එරෙහි වන දවසක්ද උදා වීම මෙම විප්ලවය හමුවේ තවදුරටත් විශ්මය දනවන්නක් නොවේ. පරිගණකයක් තුළට කෘත්‍රීම බුද්ධියක් ලබාදීම හෝ අසීරු යැයි පවසන කලාත්මක හැකියාව ලබා දීම හෝ සිදු කළ හැකි නමුදු සදාචාර සම්පන්න ආචාරධර්ම ඉගැන්විය හැකි දැයි ගැටලුවකි. මේ නිසාම අප රසවිඳි බොහෝ චිත්‍රපටයන්හි මෙන් මිනිස් සංහතියේ අවසානය තවත් එක් යන්ත්‍රයකට හෝ  රොබෝ යන්ත්‍රයකට තීරණය කිරීමට ඉඩ නොදී තාක්ෂණික දියුණුවෙහි යහපත් හරය පමණක් උකහා ගනු වස් විනාශය ගෙනෙන අයහපත් නිමවුම් කෙරෙහි පවතින සීමා කිරීම් තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කිරීමත්, නීතිරීති, අණපනත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමත් මිනිස් සංහතියේ අනාගතය උදෙසා සිදුකරනු ලබන මහත් ආයෝජනයක් වනු විනා එය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඔස්සේ මිනිසා ළඟා කරගන්නා අරුම පුදුම ජයග්‍රහණයන්ට එරෙහි වීමක් ලෙස අප නොදැකිය යුතුය.

 

බී. ලක්ෂිකා මදුශානි

විශේෂවේදී දෙවන වසර

වාග්විද්‍යා අධ්‍යයනාංශය

 

මානවශාස්ත්‍ර පීඨය