Image
මානව පරපුරේ බිහිවීමත් සමඟ පෘථිවිය යම් යම් වෙනස් වීම්වලට ලක් වූ බව නොදන්නා අයෙකු සෙවීම පහසු නොවේ. මන්දයත් වර්තමානය වන විට අපත් ඇතුළුව කුඩා දරුවෙකුගේ සිට මහල්ලා දක්වා සෑම ඇයෙකුම සුළු වශයෙන් හෝ මෙම ගෝලාකාර වස්‍තුවේ පරිවර්තනයන්ට වගකිව යුතු වන බැවිනි. විටෙක එහි ප්‍රතිඵල යහපත් ලෙසත් තවත් විටෙක අයහපත් ලෙසත් අපටම අද භුක්ති විඳීමට ස්වභාවධර්මයා විසින් ඉඩ සලස්වා ඇත. ලෝක සනාතන සදාකාලික එකම දහම සොබාදහම ලෙස ලෝකයා අර්ථ ගන්වන්නේ එබැවින් විය යුතු ය. පෙර පැවසූ පරිවර්තනයන්, විකාශනයන් සියල්ල මේ මොහොත වන විට ලෝකයේ ඕනෑම ඉසව්වක සිටින්නෙකුට දැන කියා ගත හැකි වන්නේ ද තවත් ආකාරයක මානව සොයාගැනීම් සහ නව නිපැයුම් වලට පින් සිඳු වීමට ය.
එදා මෙදා තුර මෙම ගෝලාකාර පෘථිවිය නම් වස්තුව තුළ සිදු වූ අනේකවිධ වෙනස්කම් කෙරෙහි මානව ඉදිකිරීම් ප්‍රබල ලෙස දායක වූවාට සැක නැත. එහිදී දෙනෙත් අදහාගත නොහැකි සුවිසල්, අති දැවැන්ත නිර්මාණශීලී ගොඩනැගීම් රාශියක් ලෝක සිතියම සියුම්ව පිරික්සන ඕනෑම අයෙකුට පහසුවෙන් හඳුනාගත හැකි ය. කාශ්‍යපයන්ගේ සීගිරිය, ෂා ජහන්ගේ ටජ් මහල, ගීසාහි පිරමීඩ, ඉතාලියේ කොලෝසියම, බැබිලෝනියාවේ එල්ලෙන උයන යනාදිය ඉන් අතළොස්සක් පමණි. දැනට ලොව උසම කුලුන ලෙස නම් දරා සිටින දැවැන්ත නිර්මාණයකට හිමිකම් කියන සෞදි අරාබිය මෙහිලා සුවිසල් වැඩකරුවෙකි.
Image
සවුදි අරාබිය යනු මැදපෙරදිග රටක් වුවත් ලොවක් හඳුනන පරිදි අද වන විට එය කාන්තාර සුසුමින් පණ ලැබූ ආශ්චර්යමත් ක්ෂේම භූමියකි. මක්නිසාදයත් රුදුරු වැලිකතරට අභියෝග කෙරූ ඔවුන්ට අද වන විට කළ නොහැක්කක් නොමැති බව ලෝකයාට පෙන්වා හමාර නිසාවෙනි. දින කිහිපයකට ඉහත දී යළිත් සෞදි අරාබියානුවන් තවත් එක් දැවැන්‍ත ඉඳිකිරීමකට අත්පොත් තබනු ලැබූවේ ලොව අනෙකුත් රාජ්‍යයන් තුෂ්නිම්භූත කරලමිනි. එය කාන්තාරය තුළ ඉදිවන අධිතාක්ෂණික නගරයක් බව එහි නිර්මාපකයන් දන්වා සිටී. මෙය සැතපුම් 75 ක් පමණ දිග මෙගා සිටියක් වන අතර විශේෂම කරුණ නම් කාන්තාර ප්‍රදේශයක් හරහා මෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විටත් අරඹා තිබීමයි. දැනට ඇස්තමේන්තු කර ඇති දත්ත අනුව මෙහි වියදම පවුම් බිලියන 440 ක් ලෙස  දැක්වේ. එය ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක් පමණ වන බව ද තවදුරටත් දැක්වේ. මෙම ව්‍යාපෘතිය සෞදි අරාබියේ වත්මන් ඔටුන්න හිමි කුමරුන් වන මොහොමඩ් බින් සල්මාන් විසින් දියත් කරන ලද අතර එය විශාල කාන්තාර සංකීර්ණයක් තුළ ඉඳි වේ. කෘතිම ස්කයි රිසෝට් එකක්, සැතපුම් 100 ක සිරස් නගරයක්, අෂ්ටාෂ්‍රාකාර පාවෙන වරාය නගරයක්, පියාසර විදුලි සෝපාන, පිහිනුම් මංතීරුවක් ද යනාදී තවත් බොහොමයක් පහසුකම් සහ අංගෝපාංග මෙම මෙගා සිටියෙහි අන්තර්ගතය තුළ දැක්ක හැකිය. මෙහි නිර්මාපකයන් පවසන ආකාරයට මෙම ඉදිකිරීමෙහි අනාගත සේවයකයින් ලෙස රොබෝවරුන් පවා යොදා ගැනීමට අදහස් කර ඇත. තව ද නගරයට යටින් දිවෙන භූගත ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීමට ද සෞදි අරාබියේ ඉඳිකිරීම් කරුවන් සැළසුම් කර ඇත. මිරර් ලයින් යනුවෙන් හැඳින්වෙන මෙය උස අඬි 1,600 ක් පමණ වන ගොඩනැඟිලි දෙකකින් සමන්විත වන අතර එය කාන්තාර, වෙරළබඬ සහ කඳුකර ප්‍රදේශ හරහා දිව යයි.
2030 වන විට මිරර් ලයින් නගරය සකස් කිරීමට තමාට අවශ්‍ය බව සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් ප්‍රකාශ කර ඇතත්, එය ඉදිකිරීමට වසර 50 ක් පමණ ගත වනු ඇති බව ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ඉංජිනේරුවන් විසින් පවසා ඇත. මෙම ව්‍යාපෘතිය අවසානයේ සල්මාන් කුමරු බලාපොරොත්තු වෙන්නේ සෞදි අරාබියටම සුවිශේෂී වූ අධිතාක්ෂණික කාන්තාර ප්‍රජාවක් බිහි කිරීමයි. කලක පටන් ඔහු පවසා ඇත්තේ ඊජිත්තුවේ පිරමීඩ මෙන් සංකේතාත්මක හා කාලානුරූපී ඉදිකිරිම් ව්‍යාපෘතියක් තම රට තුළ ඇති කිරීමට අවශ්‍ය බවයි. මෙම මිරර් ලයින් ව්‍යාපෘතිය හා සම්බන්ධ තවත් එක් වැදගත් කරුණක් වනුයේ ඔවුන් ඔවුනටම විශේෂ මැදපෙරදිග ගොවිතැනට ද මෙතුළ ඉඩකඩ වෙන් කර තිබීමයි. ව්‍යාපෘතිය සමග දියත් කෙරෙන සිරස් ගොවිතැන තුළින් මිලියන ගණනක මිනිස් ප්‍රජාවක් පෝෂණය කෙරෙනු ඇත. වත්මන වන විට සෞදි අරාබිය තුළ වගා නොකෙරෙන බෝගයක් සොයාගැනීම දුෂ්කර වන තරමටම ඔවුන් ඔවුනගේ දෛවය වෙනස් කොට හමාරය. ඇතැම් පිරිස් ප්‍රකාශ කරනු ලබන ආකාරයට මෙම මිරර් ලයින් නගරය රැකියා දහස් ගණනක උල්පතක් වනු ඇත. මිලියන නවයකට වැඩි පිරිසකට නවාතැන් ගත හැකි මෙගා සිටිය මෙම වසර මුලදී ප්‍රකාශයට පත් කරන ලද අතර අරාබියානුවන්ගේ සිහින තවදුරටත් සිහින ම නොවන බව ඔවුන් පසක් කොට අවසන් ය.
Image
වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර ඇත්තේ ඩොලර් ට්‍රිලියන ගනණක ව්‍යාපෘතියක් වන මෙය නිමවීමෙන් පසු මිලියන පහක ජනතාවට නිවාස ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. විදුලි සෝපාන, පිහිනුම් මංතීරු වලට අමතරව දුම්රිය මාර්ග සහ බෝට්ටු සඳහා ජල මාර්ග ද මෙම මෙගා සිටිය තුළ ඉදිකිරීමට මෙහි නිර්මාපකයින් සැලසුම් කර ඇත. මොහොමඩ් බින් සල්මාන් කුමරු අවධාරණය කරන්නේ මෙහෙ ඉදිවන ගොඩනැගිලි සියල්ලක්ම සම්පූර්ණයෙන්ම කාබන් මධ්‍යස්ථ වනු ඇති අතර පරිසරයට වඩා යහපත් වනු ඇති බවයි. ඒ කොහොම වුනත් බොහෝ බටහිර රටවල් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රට වර්ජනය කිරීම නිසා මෙම ව්‍යාපෘතිය සඳහා එතරම් විදේශ ආයෝජන නොලැබුණු බවට සඳහන් වේ. 2018 දී මාධ්‍යවේදියෙකු වන ජමාල් කශෝගි ඝාතනය කිරීමට අණ දුන් බවට සල්මාන් හට චෝදනා එල්ල වූ නමුත් ඔටුන්න හිමි කුමරු ඒ සියල්ල ප්‍රතික්ෂේප කර ඇත. 79 හැවිරිදි වත්මන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් ජූලි මාසයේ දී ඔටුන්න හිමි කුමරු හමුවී රටවල් අතර බිඳවැටුණු සබඳතා පිළිබඳ සාකච්ඡා කර ඇත. වෝල් ස්ට්‍රීට් පුවත්පත පෙන්වා දෙන්නේ ඔටුන්න හිමි කුමරු සමඟ සබඳතා, එක්සත් ජනපදයේ උද්ධමන අනුපාතය අඩු කිරීමට උපකාරී වනු ඇතැයි බයිඩ්න් බලාපොරොත්තු වන බැවින් ඇමරිකාව සහ සෞදි අරාබිය අතර විරසකය තරමක් පහ ව ගොස් ඇති බවයි.
Image
සෞදි අරාබිය යනු අතීතයේ අප දුටු කාන්තාර මුඩුබිම නොවන බව ලෝකයා විසින් දැන් දැන් දත යුතුව ඇත. අරාබිකරයට කළ හැක්ක සුළු පටු නොවන බව ඔවුන් ලොවට පෙන්වූයේ බර්ජ් කලීෆා යනුවෙන් නම් දැරූ ලොව උසම ගොඩනැගිල්ල ඉදිවීමටත් පෙර ය. තමන්ට ඇති ඛනිජ තෙල් සම්මතින් උපරිම ප්‍රයෝජන ගත්තා වූ ඔවුන් එය ලෝකයක් ඉදිරියේ නැඟී සිටීමට සුක්ෂමව භාවිතා කර ඇත. අධික ලෙස ධනවත් රාජ්‍යයන් අතර පෙරමුණ ගැණීමට ද සෞදි අරාබිය අද වන විට සමත්ය. තෙබෙන්නා වූ එකඳු සම්මතින් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔවුන් දක්ෂයෝය. එබැවින් අප වැනි රටකට ගත හැකි ආදර්ශ බොහෝ ය. තවත් නොබෝ කලකින් ලෝකයා දෛවයට පයින් ගැසූ වැලිකතරේ අරාබියානුවන්ගේ හැකියාවන් සියල්ලෝම දැනගනු ඇත. එබැවින් සුන්දර අරාබි වසන්තයකට ඔවූහූ දිනකදී හිමිකම් කියන්නේය. එක්තරා යුගයක සිනමා අධ්‍යක්ෂකවරුන් විසින් දුටු අනාගත ප්‍රථිවිය  තවත් නොබෝ දිනකින් ලෝකයාගේ දෙනෙත් අභියස යතාර්ථයක් වනවාට සැක නැත.
මුලාශ්‍රය 
 
එම්.ඒ.තිළිණ ප්‍රසාද්
විශේෂවේදී දෙවන වසර,
මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණය,
ජන සන්නිවේදන අධ්‍යනාංශය.