මහාචාර්ය ශාමිලා ද සිල්වා , කායික රෝග විශේෂඥ වෛද්‍ය

කායික රෝග විද්‍යා අංශය, වෛද්‍ය පීඨය -රාගම 

කොරෝනා වසංගතය යනු මෑත කාලයේ ලෝකයේ සෑම රටක් ම ආපස්සට හැරවු දරුණු ව්‍යසනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. තරාතිරමක් නොමැතිව සෑම රටකටම කොරෝනා හමුවේ දණ ගසන්නට සිදු විය. මේ ව්‍යසනයෙන් ගොඩ ඒමේ එකම මාර්ගය බවට පත් වුයේ එන්නත්කරණය යි. යම් තාක් දුරකට හෝ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගත් රටවල් දෙස විමසිලිමත් වීමේ දි පැහැදිලි වන එක් කරුණක් නම් එම රටවල්  කොවිඩ් එන්නත්කරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළ රටවල් වීමය.

ශ්‍රී ලංකාව ද එන්නත්කරණයෙන් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගත් රටවල් අතරින් එකකි. වර්තමානය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කරමින් සාමාන්‍ය පරිදිවැඩ කටයුතු කරගෙන යමින් සිටින්නේ වැඩි පිරිසක් පළමු සහ දෙවැනි එන්නත්වලට යොමු වීම නිසා ය. නමුත් එන්නත්වලින් ලැබෙන ප්‍රතිශක්තිය කාලයක් යනවිට අඩුවන බැවින් බූස්ටර් එන්නතක අවශ්‍යතාව පැන නැගී ඇති අතර ඒ සඳහා නිර්දේශ කර ඇති ෆයිසර් එන්නත ප්‍රමාණවත් තරම් මෙරටට ගෙන්වා ගැනිමට රජය කටයුතු කර තිබේ. නමුත් බූස්ටර් එන්නත ලබා ගැනීමට බොහෝ පිරිසක් දක්වන්නේ අඩු සැලකිල්ලකි. බූස්ටර් එන්නත සම්බන්ධයෙන් සමාජයේ විවිධ දුර්මත පැතිරී යමින් තිබීම එයට  මූලික හේතුවයි.

බොහෝ අය සිතන්නේ එක් එන්නතක් හෝ එන්නත් දෙකක් ගැනීිම කොරෝනාවලින් වැළකි සිටීමට ප්‍රමාණවත් බවයි. බූස්ටර් එන්නතක්  අවශ්‍ය වෙන්නේ ඇයි?  එන්නත්වලින් ප්‍රතිශක්තියක් ලැබේ. ඇතැම් එන්නත්වලින් ජීවිත කාලයටම ප්‍රතිශක්තියක් ලැබේ. ඇතැම් ඒවාගෙන් දීර්ඝ කාලයකට ප්‍රතිශක්තියක් ලැබේ. අපට නැවත නැවත එම එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවක් ඇති නොවේ. නමුත් ඇතැම් එන්නත් වර්ග නැවත නැවත ගැනිමේ අවශ්‍යතාව ඇතිවේ. උදාහරණයක් වශයෙන් පිටගැස්ම එන්නත සඳහන් කළ හැකිය. කොරෝනා එන්නත සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ ප්‍රතිශක්තිය ලැබෙන්නේ  සිමා සහිත කාලයකට පමණක් බවය. ඒ ඒ එන්නත් වර්ග අනුව ප්‍රතිශක්තිය පවතින කාලය වෙනස් වේ. පරීක්ෂණවලින් සොයාගෙන ඇති අන්දමට සයිනොෆාම් දෙවැනි මාත්‍රාවෙන් පසු ප්‍රතිශක්තිය රඳා පවතින්නේ මාස තුනක් හෝ  හතරත් පමණි. කොවිෂීල්ඩ් දෙවැනි මාත්‍රාවෙන් පසු  ප්‍රතිශක්තිය  මාස හයක් පමණ රඳා පවති. එන්නත් වර්ගය අනුව එය වෙනස් වේ.මෙයට ප්‍රධාන හේතුව මේ එන්නත් නිෂ්පාදනය සඳහා පාවිච්ච් කරන ක්‍රමවේදය වෙනස් වීම ය. එම නිසා ලැබෙන ප්‍රතිශක්තිය පවතින කාලයද වෙනස් වේ. සයිනොෆාම් දෙවැනි මාත්‍රාවෙන් මාස තුනකට පසු සහ කොවිෂීිල්ඩ් දෙවැනි මාත්‍රාවෙන් මාස හයකට පසු බූස්ටර් එන්නතක් ගතයුතු බවට නිර්දේශ කරන්නේ එම නිසාය. බූස්ටර් එන්නතකින්කෙරෙන්නේ අඩුවීගෙන යන ප්‍රතිශක්තිය නැවත වැඩි කිරිමකි. ඒ බව සෑම කෙනකුම තේරුම් ගත යුතුය. කොරෝනා රෝගයෙන් වැළකීිම සඳහා පළමු එන්නත් දෙක පමණක් ප්‍රමාණවත් බවට බොහෝ අයගේ වැරැදි මතයක් තිබේ. තවත් අයගේ වැරැදි මතයක් නම් එන්නත් වර්ග තුනම එකම වර්ගයකින් එන්නත් කරගත යුතු බවයි.නමුත් එවැනි මතයක කිසිදු පදනමක් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ පළමු එන්නත් දෙක කුමන වර්ගයකින් ගත්ත ද බූස්ටර් එන්නත හැටියට ෆයිසර් එන්නත ලබා දීමෙන් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බවයි. මෙමගින් කිසිදු සංකූලතාවක් ඇතිනොවන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. එම සංවිධානය එවැනි තීරණයක් ලබා දීි ඇත්තේ තහවුරු කර ගත් කරුණු කාරණා මත ය. ඔවුන් මෙවැනි තහවුරු කිරීමක් කර ඇත්තේ විවිධ රටවල්වල රෝගින් දහස් ගණනක් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ මගින් ලබා ගත් දත්ත මත ය. ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි වගකිවයුතු ආයතනයක් සමස්ත ලෝකයටම බලපාන මෙවැනි තීරණයක් දෙන්නේ තහවුරු කරගත් සාක්ෂි පදනම් කරගනිමින් බව වැරැදි මතවල එළඹ ගෙන සිටින සියලු දෙනාම අවබෝධ කර ගත යුතුය.

අනෙක් කාරණය නම් ෆයිසර් එන්තත නිෂ්පාදනය කර ඇත්තේ  විශාල පිරිසක් යොදා ගනිමින් කරන ලද පර්යේෂණවලින් පසුවය. කලින් කුමන එන්තතක් ලබා ගත්ත ද බූස්ටර් එන්නත සඳහා ෆයිසර් එන්නත සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ය.

ෆයිසර් නැත්නම් අපට වැක්සින් එපා’ යනුවෙන්  කොවිඩ් එන්නත්කරණ මුල් කාලයේදි බොහෝ පිරිසක් ෆේස්බුක්  පෝස්ට් දැමු ආකාරය සහ ෆයිසර් එන්නත අවශ්‍ය බව පවසමින් ෆේස් බුක් පිටු සැකසූ ආකාරය අපට මතක ය. දැන් ෆයිසර් එන්නත මිලියන ගණන් තිබේ. නමුත්  වැඩි පිරිසක් එන්නත්කරණයට යොමු නොවීම විශාල ගැටලුවකි. මෙම එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් වගකීම් සහගත ක්‍රමවෙදය පිළිබඳ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති විශේඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන  මහතා ඉතාමත් පැහැදිලිව ඔහුගේ ෆේස් බුක් පිටුවෙ විස්තර කර තිබේ. මේ දුර්මතවල එළඹ සිටින අය ඒ පිළිබඳ  දැන ගැනීම ඉතාමත් වැදගත් ය.

”ස්පුට්නික් එන්නත හැර සියලු එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද නිෂ්පාදන සමාගම්වලින් එම නිෂ්පාදනාගාරවලින්ම ලබා ගැනීම මගින් ප්‍රමිතිය  සියයට සියයක් තහවුරු කරනු ලැබුවා. මිට අමතරව ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥයින් සියලු දත්ත පරීක්ෂාවෙන් පසු පමණක් එන්නත් සඳහා අනුමැතිය ලබා දුන්නා. මේ දක්වා එන්නත් මගින් අසාමාන්‍ය කිසිදු සංකූලතාවක්  අප රටේ හෝ ලෝකයේ ඇති වී නැහැ. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය හා අප වසංගත රෝග අංශයත් තහවුරු කරනවා.ආනයනය කළ එන්නත්වලින් බහුතරය ෆයිසර්  සහ සිනොෆාම් වන අතර ෆයිසර් එන්නතේ මුලු වියදම ලෝක බැංකුවේ ණය ආධාරයකින් ගෙවන ලද අතර ආසියානු සංවර්ධන බැංකුව මගින් සිනොෆාම් එන්නත සඳහා ගෙවීම් කරන ලදී.”

”අත රිදෙනවා, ඇඟ කසනවා, වසා ග්‍රන්ති ඉදිමුණා, කාගේද මොළේ ලේ කැටියක් හිරවෙලා ආදි කිසි ලෙසකත් බිය නොවිය යුතු තහවුරු නොකරන ලද කට කතා මෙම ප්‍රශ්නයට මුල්වෙලා. අපේ රටේ මිනිස්සු මෙතරම් කටකතා විශ්වාස කරන්නේ මොකද කියන එක ලොකු ප්‍රශ්නයක්. අගෝස්තු සැප්තැම්බර්වල මිනිස්සු මැරෙනවිට පෝලිමේ එන්නත ගන්න ගිය අය අද හැංගිලා. මේක අවාසනාවන්ත වගේම භයානක තත්ත්වයක්. ”

මහාචාර්ය නීලිකා මලවිගේ, වෛද්‍ය ආනන්ද ජයවික්‍රම වැනි අය මෙය දීර්ඝ කාලයක් තිස්සේ ම පැහැදිලි කරමින් සිටිති. නමුත් ප්‍රශ්නය වි ඇත්තේ ජනතාව ඒවා කිසිවක්  පිළි නොගැනිම ය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන නිසාත්, එය වඩාත් ආරක්ෂිත නිසාත් ෆයිසර් එන්නත මිලියන 14 ක් පමණ බූස්ටර්  එන්නත සඳහා ගෙන්වා ගෙන  තිබේ. වයස 18 ට අඩු අයට නිර්දේශ කර ඇත්තේ ද ෆයිසර් එන්නත ය. අප මෙවැනි පසුබෑමක සිටියදී ඊශ්‍රායලය වැනි රටවල් හතරවැනි එන්නතටද යොමු වී තිබෙන බව කිව යුතුය. තුන්වැනි එන්නතකින් පසු හතරවැනි එන්නතක්  අවශ්‍ය බව එම සමහර රටවල්  දැනටමත් තීරණය කරගෙන තිබේ.

කොරෝනා වයිරසය දීර්ඝ කාලයක් අප සමඟ සිටින බව සෑම කෙනකුම තේරුම් ගත යුතුය. එසේම කොරෝනා හැදුණු පසු ඇතිවන ප්‍රතිශක්තිය ජීවිත කාලයටම ලැබෙන ප්‍රතිශක්තියක් නොවන බවත් තේරුම් ගැනීිම අවශ්‍ය වේ. ඇතැම් අය එන්නතෙන් පසුව ඇතිවන අතේ වේදනාව, ඇඟ රිදීම පිළිබඳ බිය වෙති. නමුත් එවැනි ප්‍රතිචාරවලින් පෙන්නුම් කරන්නේ වඩා හොඳ ප්‍රතිශක්තියක් ගොඩනැගෙනවා යන්නයි. බූස්ටර් එන්නතෙන් වම් අතේ ඇතිවන වේදනාව සුව නොවන බවට මතයක් පැතිර යමින් තිබේ. නමුත් එය දීර්ඝ කාලිනව පවතින්නක් නොවේ. මේ පිළිබඳ පරෙස්සමින් සොයා බැලීමේදි පැහැදිලි වන දෙයක් නම් එවැනි විශේෂ වේදනාකාරි තත්ත්ව බූස්ටර් එන්නත විදීමට කලින්ද  ඔවුන්ට පැවති බව ය.හෘදයාබාධයක් දීර්ඝකාලිනව පවතින කෙනකු එන්නත ගැසීමෙන් පසු යම් කිසි හේතුවකින් මිය ගියහොත් පවුලේ අය තිරණය කරන්නේ එන්නත නිසා ඔහු හෝ ඇය මිය ගිය බවය. වයසක අයට ද බුස්ටර් එන්නත ලබා දීමට උනන්දුවක් නොදක්වන බවක් පෙනේ. නමුත් ඔවුන්ට අනිවාර්යයෙන්ම එන්නත් කළ යුතුය. මන්ද ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉතාමත් අඩු බැවිනි.කොරෝනා ආසාදනය වුවහොත් ඔවුනගේ තත්ත්වය ඉතාමත් දරුණු විය හැකිය.

අප කොරෝනා රෝගයෙන් ඇතිවිය හැකි සංකූලතා යනුවෙන් අදහස් කරනුයේ තරමක් භයානක තත්ත්වයකි.කොරෝනා එන්නත්කරණය හරියාකාරව සිදු කරගන්නේ නම් බරපතළ තත්ත්වයකට පත්නොවේ. කොරෝනා වැළදුනොත් හෙම්බිස්සාවක් වැනි තත්ත්වයක් පමණක් ඇති විය හැකිය. ජීවිත අවදානමක් ඇති නොවේ.

මෙහිදී බොහෝ විට අප දැක ඇත්තේ එන්නතෙන් පසු ඇතිවන ඕනම රෝගි තත්ත්වයක් එන්නත නිසා ඇතිවන බවට බොහෝ පිරිසක් කිසිම පදනමකින් සහ සොයා බැලීිමකින් තොරව තීරණය  කරන බව ය.ඉන් පසු සිදුවන්නේ මෙය කට කතා ලෙසට පුද්ගලයාගෙන් පුද්ගලයාට සමාජයට පැතිරීමයි. මේවා කට කතා මිස දහස් ගණනක් යොදාගෙන තහවුරු කරගත් විද්‍යාත්මක ප්‍රතිථල නොවේ.විද්‍යාත්මකව තහවරු කරගත් දෙයට වඩා සමාජ මාධ්‍යයකින් හෝ කටකතාවකින් ලැබෙන තොරතුරක් පිළිගැනිමට බොහෝ පිරිසක් කැමැත්තක් දක්වති. මෙය අපේ අධ්‍යාපන ක්‍රමයේම තියෙන ප්‍රශ්නයකි. කිසිම දෙයක් පිළිබඳ විමසිලිමත්ව හැදෑරීමක් නොකෙරේ. වෛද්‍ය විද්‍යාවේදි නම් අපට පිළි ගැනිමට උපදෙස් ලැබෙන්නේ සාක්ෂි මත තහවුරු කර ගත් කරුණු පමණි. කොරෝනාවලට නියම කෙරෙන ඖෂධ සඳහා වුවද  සායනික පර්යේෂණ තිබේ.චය්ිැ 1 සහ චය්ිැ 2 වශයෙන් ඇති එම සායනික පර්යේෂණවලින් තහවුරු වූ පසුවයි එම ඖෂධ හදුුන්වා දීමක් කරන්නේ.

කොරෝනා එන්නත් සම්බන්ධයෙන්  යම් කෙනකුට ගැටලු පවතීනම් ඒ ගැන සොයා බැලිය හැකි ක්‍රමවේද ඕනෑතරම් තිබේ. උ්‍යධල ක්‍ෘක්‍ සහ වෙනත්  ප්‍රසිද්ධ වෙබ් අඩවිවලින් තොරතුරු සොයා ගත හැකිය.

රටේ මේවන විට සෑම අංශයකම කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබයි. පාසල් ආරම්භ කර තිබේ. නමුත් විශ්වවිද්‍යාල තවමත් ආරම්භ වී නැත. වෛද්‍ය විද්‍යාලවල  සායනික කටයුතු සදහා ළමයින් ගෙන්නුවද අනෙක් පීඨවල සිසුන් අධ්‍යාපනය ලැබුවේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේය. ඊළග අභියෝගය වන්නේ ඔවුන් සඳහා විශ්වවිද්‍යාල විවෘත කිරීමය.නේවාසිකාරවලට ළමයින් ඒ ආකාරයෙන්ම ගෙන්වනවානම් ඔවුන් අනිවාර්යෙන්ම බූස්ටර් එන්නත ලබා ගත යුතුය. එන්නත් නොකර නේවාසිකාගාරවලට ළමයින් ගෙන්වුවහොත් දින දෙකක් තුනක් ඇතුළත සියලු දෙනාට වයිරස ය ආසාදය විය හැකියි.තරු ණ අය එන්නත් නොකර සිටිම  තත්ත්වය තවත් භයානක විය හැකි හේතුවකි. කොරෝනාවලින් මිය ගියඅය  අතර  වයස අවු 30ට අඩු අයත් සිටි බව අවධානයට ගත යුතුය. මියගිය අය අතර සිටි බහුතරයක් එන්නත් නොකර සිටි අයයි. ලෝකයේ ඇතැම් රටවල් විශේෂයෙන් අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල ඇතැම් විශ්වවිද්‍යාලවල එන්නත්කරනණය අනිවාර්ය කර තිබේ. විශ්වවිද්‍යාලවලට පැමිණිමට නම් ආචාර්යවරු සහ ළමයින් අනිවාර්යෙන් ම එන්නත ලබා ගත යුතුය. එසේ නොමැතිව විශ්වවිද්‍යාලවලට පැමිණිමට  අවසර නොලැබේ. අපේ විශ්වවිද්‍යාල ළමයින් බූස්ටර් එන්නත ලබා නො ගතහොත්  අපට ද එවැනි තීරණයකට(ඩ්ජජසබැ ප්බා්එැ) යාමට සිදුවිය හැකිය. එසේ නො වුනහොත් එක් පුද්ගලයකු නිසා මුළු විශ්වවිද්‍යාලයම වැසීමට සිදුු විය හැකිය.

බූස්ටර් එන්නත්කරණය සම්බන්ධව දැනුවත් කිරීම් කළ යුත්තේ ඒ ඒ පුද්ගලයාගේ මට්ටම් අනුවය. ඔවුන් පිළිගන්නා චරිත මඟින් සහ ඔවුන් පිළිගන්නා මාධ්‍ය මගින් ඒ පිළිබඳ දැනුවත් කිරිම් කළ හැකිය.යොහානි,භාතිය සන්තුෂ් වැනි ජනප්‍ර්‍රිය චරිත ඔස්සේ මෙවැනි පණිවුඩ සන්නිවේදනය  කිරිම පහසුය. විශ්වවිද්‍යාලයකනම් එන්නත ලබා ගත් ළමයින් සහ ආචාර්යවරුන්ගේ වීඩියෝ ක්ලිප් යොදාගෙන ළමයින් වෙත පණිවුඩය ගෙන යා හැකිය.

වර්තමානය වනවිට බුස්ටර් එන්නත කෙරෙහි උනන්දු නොවු රටවල් නැවත වතාවක් කොවිඩ් අර්බුදයකට යමින් තිබේ. අමෙරිකාවේ තද ඔමික්‍රෝන් රැල්ලක් පැතිර යමින් තිබේ. දිනකට ලක්ෂ දෙකක් තුනක් ඔමික්‍රෝන් ආසාදිතයන් හමුවන අතර 2500ක් 3000ක් පමණ මිය යන බව වාර්තා වේ. එම මරණවලින් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක් නොවූ අය වීම විශේෂත්වයකි. එන්නත් කර ගත් පිරිස සුළු රෝග ලක්ෂණ පෙන්වමින් බරපතළ තත්ත්වයන්ට නොයා නිවෙස්වල ගත කරති.

ශ්‍රී ලංකාවේ ද බූස්ටර් එන්නත ලබාගැනිම  කෙරෙහි  උනන්දු නොවුනහොත් තුන්වැනි කොවිඩ් රැල්ලේ ඇති වු භයානක තත්ත්වය පෙබරවාරි මාසය වන විට නැවත වතාවක් ඇති වීමේ අවදානමක්  තිබේ. මේ වනවිට අප සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යන්නේ සියයකට අනූවකට වැඩි පිරිසක් පළමු සහ දෙවැනි එන්නත් ලබාගත් නිසා ය.

ඔමික්‍රෝන්වලින් පසුව කොරෝනා අඩුවේගෙන යන බවට මතයක් තිබේ. බොහෝ අයට ඔමික්‍රෝන් හැදෙයි සහ ඉන් පසුව ප්‍රතිශක්තියක් ඇතිවේය යන අනුමානය තිබේ. නමුත් තවමත් අපට ඒ පිළිබඳ අනාවැකි පළ කළ නොහැකිය. නව ප්‍රභේදයක් පැමිණියහොත් හතරවැනි එන්නතකට පවා යාමට සිදුවිය හැකිය. එසේ අවශ්‍යතාවක් පැමිණියහොත් එයත් අප ලබා ගන්නවා යන මානසික තත්ත්වයකට පැමිණිම අවශ්‍ය වේ. ජීවිත කාලයම එන්නත් කරමින් සිටියයුතුයි යන මානසික තත්ත්වයෙන් මිදි වර්තමානයේ අවශ්‍යතාව වන බූස්ටර් එන්නත ලබාගෙන ජීවිතය ආරක්ෂා කර ගැනීම කෙරෙහි  අවධානය යොමු  කළ යුතුය.

 මේ නිසා සෑම කෙනකුම අනිවාර්යෙන්ම බුස්ටර් එන්නත ලබා ගැනිම සමාජ වගකීමක් ලෙස සැලකිය යුතුය.

 

රසිකා එස් රණවිර

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය

කැලණිය විශ්වවිද්‍යාලය